පසුගිය දශක ගණනාව තුළ මුළු ලෝකයම පාහේ නව ලිබරල්වාදයේ බලපෑමට යටත්ව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය සමාගම්වල ප‍්‍රධාන පෙළේ විධායක නිලධාරීන්ගෙන් සමන්විත නව ලිබරල්වාදයේ දෘෂ්ටිවාදීන් කියන පරිදි, ප‍්‍රධාන තීරණ ගැනීම වෙළඳපොළට භාර කළ යුතුව ඇත. ඒ, භාණ්ඩ සහ සේවාවන් නිෂ්පාදනය කිරීම, බෙදාහැරීම සහ පරිභෝජනය කිරීම සම්බන්ධයෙන් පමණක් නොව, වෙනත් බොහෝ මානව ක‍්‍රියාකාරීත්වයන්ට අදාළ තීරණ ගැනීම ද සම්බන්ධයෙනි. ඒ අනුව, ආර්ථික සහ සමාජ ක්ෂේත‍්‍රවල රාජ්‍යයේ මැදිහත් වීම ස්වේච්ඡාවෙන්ම අවම කළ යුතු බව කියැවේ.
මෙය, මානව ක‍්‍රියාකාරකම් සහ පරිසරය වැනි අංශ, වෙළඳපොළේ හිතුමතයට භාර නොකළ යුතු යැයි කියන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දර්ශනයෙන් වෙනස් වෙයි. නව ලිබරල්වාදී යුගය තුළ වෙළඳ පොළේ නරක බලපෑම් අවම කිරීමට සමත්, ශක්තිමත් සාමූහික ක‍්‍රියාකාරීත්වයක් නැති වීමේ තත්වය තුළ, ඇතැම් නිසග ගුණාංග සහිත බොහෝ මානව ප‍්‍රයත්නයන්, බොහෝ විට, භෞතික ලාභාපේක්ෂා පෙරදැරි කරගත් උපයෝගී ක‍්‍රියාකාරකම් බවට පත්ව ඇත. විද්‍යාත්මක පර්යේෂණ, දැනුම නිෂ්පාදනය, කලාව, ක‍්‍රීඩා, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, සමාජ සේවා, සන්නිවේදනය, දේශපාලනය සහ උපදේශනය වැනි අංශත් ඊට යටත් ය. එසේ හෙයින්, පාසල් පිහිටුවීම හෝ පරිපාලනය කිරිම කිසි විටෙක තම අරමුණ කර නොගත් ‘සමාගම් පනත’ යටතේ ජාත්‍යන්තර පාසල් ලියාපදිංචි කිරීම පුදුමයක් නොවේ. ලෙඩුන්ට, වැඩිහිටියන්ට පිරිත් සජ්ජායනා කරමින් ගම් නියම්ගම් පුරා වැඩ වදාරන බෞද්ධ භික්ෂූන් තවදුරටත් නැත. ඔවුනුත් දැන් යන්නේ එන්නේ අධි සුඛෝපභෝගී යානවාහනවලිනි. ඒවා ද, බොහෝ විට, මහජන වියදමෙනි.
ජනතාවට සේවය කිරීමට ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා දේශපාලඥයන්, තමන් සහ තම සහචර පිරිවර වෙනුවෙන් මහජන ධනය අපයෝජනය කිරීම ගැන කිසි හිරිකිතකින් පෙලෙන්නේ නැත. සිසුන්ගෙන් මුදල් අයකර ගැනීම ගැන ගුරුවරුන්ට ගානක් නැත. එක දවසක් තුළ ලෙඩුන් සිය ගණන් බලමින් ඉස්පිරිතාල ගානේ දුවන වෛද්‍යවරුන්ට හිතේ සහනයක් නැත. පුණ්‍යාධාර සංවිධානවල ප‍්‍රධාන විධායක නිලධාරීන්, සංවර්ධිත රටවල සමාජ සවිඥානක පුරවැසියන්ගෙන් එකතු කරගන්නා සුළු සම්මාදම්වලින් මිළදී ගත් නවීන පන්නයේ විලාසිතා මෝටර් රථවල යති එති.
ඔබේ පුද්ගලික ප‍්‍රශ්නවලට අනුශාසනා සපයන වෘත්තීය උපදේශකයෝ සිටිති. හැබැයි, ඒ යම් මුදලක් අය කර ගනිමිනි. ධනවත් මැද පෙරදිග ළමුන් බලා ගැනීමට, තමන්ගේ ළමුන් මහළු දෙමාපියන් ළඟ තියා අපේ මව්වරු විදේශගත වෙති. නීතිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරුණු අය, යුක්තිය පසිඳලීමට වඩා, එම ක‍්‍රමය තමන්ගේ වාසියට යොදා ගනිති. අතීතයේ දී විද්වතුන් සේ වර්ග කෙරුණු සරසවි ඇදුරන්, ශිෂ්‍යයන් තමන් ළඟට එන තෙක් දැන් බලා සිටින්නේ නැත. තමන් උගන්වන විශ්ව විද්‍යාලයෙන්ම පවත්වන බාහිර උපාධි සඳහා පෙනී සිටින අපේක්ෂකයන් සඳහා වන යෝධ ටියුෂන් පංතිවල ඉගැන්වීමට පිට පළාත්වලට යති. අවසාන වශයෙන්, බොහෝ ලේඛකයෝ පොත් ලියති. ඒ, ව්‍යාපාරයක් වශයෙන් මිස, පාඨක ප‍්‍රජාව දැනුවත් කිරීමට නොවේ.
ඉහත සඳහන් කෙළේ, පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ සහ ලෝකයේ වෙනත් තැන්වල සිදුව ඇති විපර්යාසයට උදාහරණ කිහිපයකි. ඇමරිකාවේ සහ වෙනත් තැන්වල බලූ පොරයට මැදි වී සිටින තරුණ පරපුරේ චරිත ස්වභාවය කෙරෙහි මේ කියන නව ලිබරල්වාදය බලපා ඇති තරම, ‘චරිතයේ මළ බැඳීම’ නැමැති සිය කෘතියෙන් රිචඞ් සෙනෙට් විස්තර කරයි. ඉහත සඳහන් ක‍්‍රියාකාරකම්වල ඉස්සර පැවති නිසග මානව ගුණාංග වියැකී ඇති සැටි එහි පැහැදිළි කෙරේ. මේ තත්වයට ප‍්‍රධාන හේතුව වන්නේ, කෙනෙකුගේ අවශ්‍යතා සතපා ගැනීමේ හැකියාව, බොහෝ දුරට කෙනෙකුට ඇති මිළ දී ගැනීමේ ශක්තිය මත පදනම් වීමයි. ධනය එක්රැස් කර ගත් ඇත්තෝ, හොඳට කති බොති, ප‍්‍රීති වෙති. ආහාර, ගමනාගමන සහ සෞඛ්‍ය වැනි දෛනික අවශ්‍යතා සඳහා සාමාන්‍ය මිනිසා මුහුණදෙන ගැටළු ඔවුන්ට නොපෙනෙන සෙයකි.
ව්‍යාපාරික විධායක නිලධාරියෙක්, ඇඟලූම් කම්හලක සේවකයෙකුගේ මාසයක පඩියක්, කොළඹ ආපන ශාලාවක එක ? කෑම වේලකට වියදම් කරයි. විශේෂඥ වෛද්‍යවරයෙක් එක ලෙඩෙක් බැලීම සඳහා පමණක්, නුපුහුණු කම්කරුවෙකුගේ දින දෙකක පඩියකට සමාන මුදලක් අය කරයි. දවස ගැටගසා ගැනීමට නොහැකි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වෙසෙන රටක දේශපාලඥයෙක්, රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් වාහනයක් හිමි කර ගනී. රටට විදේශ විනිමය උපයා දෙන වතු සේවකයන් වැන්නෝ අපා දුක් විඳිති. අනක්ගුණක් නැති පෞද්ගලික බස්රථ රියැදුරෝ ලාභය උපරිම කර ගනු වස් නීතිය අතට ගෙන මගීන්ගේ මෙන්ම පදිකයන්ගේ ද ජීවිත අනතුරේ හෙලති. සීග‍්‍රයෙන් වර්ධනය වන මත්පැන් ආර්ථිකය, අපරාධවලට අත වනයි: එයින් රජය ලබන ආදායමට වැඩි වියදමක්, ඒවා නිසා ඇති වන සමාජ ප‍්‍රශ්න සඳහා වැය කෙරේ. අල්ලක් තරම් ඉඩම් කෑල්ලක ඔප්පුවක් සඳහා නඩු කියන දිළිඳු ගැමියන්ව, දීර්ඝ සහ වියදම්කාරී නඩු පරිපාටිවලට පටලවා ගැනීමේ වරදකාරී හෘද සාක්ෂියේ බරක් ප‍්‍රාදේශීය නීතිඥයන්ට නැත. තමන්ගේ පැවැත්ම රැකෙන ආකාරයෙන් දිළිඳු රටවලට දීර්ඝ කාලීන ණය සපයන දියුණු රටවල් ඒ ණය නිසා එකී දිළිඳු රටවල් සදාකාලික පරායත්ත භාවයේ පැවතීම ගැන කලබල නොවෙති.
ඉහත සඳහන් කාරණා හේතුවෙන් අනාරක්ෂාව සහ සමාජ අසාධාරණය පිළිබඳ හැඟීමක් සාමාන්‍ය ජනතාව තුළ ඇතිවෙයි. මනුස්ස කම සමාජයෙන් තුරන්ව ඇතැ යි ඔවුන්ට සිතේ. ප‍්‍රභූ පංතියේ සාමාජිකයන් තවදුරටත් අනුන් පිළිබඳ හිතනමතන කෙනෙකු වශයෙන් නොපෙනේ. තවත් විදිහකින් කිවහොත්, සාමාන්‍ය ජනතාව කෙරෙහි යම් කිසි බලයක් අභ්‍යාස කිරීමේ සදාචාරමය අයිතිය තවදුරටත් ඔවුන්ට හිමි නොවේ. එහෙත්, සාමාන්‍ය ජනතාවට වෙනත් තේරීමක් නැත. බොහෝ සේවාවන් සහ පහසුකම් සඳහා ඔවුන්ට යැපීමට සිදුවන්නේම එකී ප‍්‍රභූ පංතිය මත යි. එම ක‍්‍රියාවලිය තුළ සාමාන්‍ය ජනයා මත පැටවෙන්නේ අතිවිශාල පීඩනයකි. සමහරු, මෘග අමානුෂික ආකාරයකින් ඊට ප‍්‍රතිචාර දක්වති. මුදල් සඳහා හෝ පළිගැනීම සඳහා අනුන්ව මරමින් අපරාධකරුවන් බවට පත්වෙති. තවත් අය, වාචාල ජන නායකයන්ගේ පැත්තට හෝ අළුත් ආගමික ප‍්‍රවණතා පැත්තට බර වෙති. තවත් අය, තමාගේම අභ්‍යන්තරයට හැරෙමින්, එක්කෝ පිස්සන් වෙති. නැත්නම්, සියදිවි නසා ගනිති.
මුදල් පස්සේ පන්නන පිස්සුව සහ සදාචාරමය පරිහානිය පසුපස්සේ ඇත්තේ, සමාජය අරා පැතිර ඇති ආර්ථිකමය සාපරාධීත්වයයි. බොහෝ අපරාධකරුවන් පාවිච්චි කරන්නේ, ලෝකයේ දියුණුම අවි ආයුධයි. ජීවත් වන්නේ, විශාල මන්දිරවලයි. යන්නේ එන්නේ, අපේ දේශපාලඥයන් මෙන්ම, සුඛෝපභෝගී යානවාහනවලයි. අනිත් අතට, අල්ලක මාසික වැටුපකින් දිවි ගැටගසා ගන්නා කෙනාට යන එන මගක් නැත. අන්තිම දිළින්දන් පැත්තකින් තිබ්බත්, මධ්‍යම පංතියේ පවුලක පවා ඉතිරි කරගත් සමස්ත සේසත, බරපතල එක ලෙඩ දුකක් නිසා එක පැහැර වාෂ්ප වන්නට පිළිවන.
මූලික අවශ්‍යතා සඳහා වන මුදල් පීඩනය මෙන්ම, නූතන පරිභෝජනවාදය කෙරෙහි වන ලෝලය ද නිසා, සුළු පරිමාණයේ දූෂණ, රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ දෛනික ජීවන මාදිලිය බවට පත්ව තිබේ. රූපවාහිනියේ ප‍්‍රචාරය කෙරෙන සෑම දෙයක්ම පරිභෝජනය කිරීමට ඇති හැකියාව, ‘යහපත් ජීවිතයක්’ වශයෙන් මාධ්‍ය මගින් හුවාදක්වනු ලැබේ. කෙසේ වෙතත්, එසේ පරිභෝජනය කිරීම සඳහා සල්ලි මල්ලක් තිබුණත් ප‍්‍රමාණවත් නොවේ.
සමාජමය වශයෙන් කළමනාකරණය නොකෙරෙන වෙළඳපොලක් තුළ, ව්‍යපාරික ප‍්‍රභූ පැලැන්තිය සහ තවත් ස්වල්ප දෙනෙකු අතේ, මේ තත්වය තුළ, ධනය ඒකරාශී කර ගැනීමේ අවස්ථාව උදා වී ඇත. අපේ රටේ පොහොසත්ම ව්‍යාපාරිකයන්, දීර්ඝ කාලීන කාර්මික සංවර්ධනය සඳහා දායක වන්නන් නොවේ. ඔවුන්ගෙන් බොහෝ දෙනා සිය ආයෝජන යොදවන්නේ කාර්මික නිෂ්පාදන සඳහා නොව, ආනයනික භාණ්ඩ හා සේවා මිළදී ගන්නා සහ විකුණන ව්‍යාපාර සඳහා ය. තවත් අය සිය ව්‍යාපාරික ඉලක්කය බවට පත්කර ගන්නේ, සමාජයේ ඉහළ ආදායම් ලබන ජන කොටස් ය. නිවාස අංශය ඊට පැහැදිළි උදාහරණයකි. පහළ පංතියේ සමාජ කොටස් සඳහා පෞද්ගලික ව්‍යාපාරික අංශයෙන් කෙරෙන නිවාස ව්‍යාපෘති නැති තරම් ය. සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශවල තත්වයත් එයමයි. ඉහළ ව්‍යාපාරික ලෝකයේ සමාජ වගකීම පිළිබඳ තත්වය එයින් පෙනේ.
ආර්ථිකය විවෘත කිරීමෙන් පසු දශක ගණනාවක්ම ගතව ඇතත්, රටේ නිෂ්පාදන අංශය, ජාතික දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16 ක් වැනි ඉතා කුඩා ප‍්‍රතිශතයක් පමණක් නියෝජනය වීම මෙහි දී කැපී පෙනේ. රටේ විවිධ පළාත්වල කර්මාන්ත ස්ථාපිත කෙළේ නම්, දැන් තරමට කොළඹ තුළ ධනය ඒකරාශී නොවන්ට තිබුණි. ධනය එසේ කොළඹට ඒකරාශී වන විට, මිළ අධික භාණ්ඩ සහ සේවා සඳහා ඉල්ලූම් ඇති වන්නේ ද කොළඹිනි. මේ නිසා, ආර්ථික අවස්ථා සහ පරිභෝජන අවස්ථා සොයමින් තව තවත් සෙනග කොළඹට එති. මේ වන විට, රටේ මුළු ජනගහනයෙන් තුනෙන් එකකට ආසන්න ප‍්‍රමාණයක් බටහිර පළාතේ ඒකරාශී වී සිටීම එහි ප‍්‍රතිඵලයයි. ඒ හේතුවෙන් පරිසර විනාශය පමණක් නොව, නාගරික පරිසරයක අවශ්‍යයෙන්ම තිබිය යුතු විවෘත අවකාශමය ගුණයත් වියැකී යයි.
සමස්තයක් වශයෙන් ගත් විට, රටේ ප‍්‍රභූ පැලැන්තිය සාමාන්‍ය ජනතාවගෙන් වියෝ වී ඇති බවත්, ඒ හේතුවෙන් ජනතාව මත අභ්‍යාස කළ හැකි සදාචාරමය අයිතිය එම ප‍්‍රභූ පැලැන්තියෙන් ගිලිහී ගොස් ඇති බවත් පෙනේ. එම පැලැන්තිය, තමන්ගේ වාසියට පමණක් වැඩ කරන, සෙස්සන් ගැන නොතකන සමාජ කොටසක් වශයෙන් එවිට චිත‍්‍රණය වෙයි. බලය සහ සම්පත් ඇති පංතිය, ඇති වී තිබෙන සමාජ පරිවර්තනය තුළ ‘කල දුටු තැන වළ ඉහගන්නා’, සමාජමය සහ සදාචාරමය වගකීමකින් කටයුතු නොකරන සමාජ කොටසක් බව සමාජයට වැටහෙයි.
සම්මත අගැයීම් පදනම් දෙදරා ගිය වර්තමාන සමාජ-ආර්ථික ක‍්‍රමය අරා වැඩ වසන්නේ එම පංතියයි. එවැනි තත්වයක් තුළ හතර වටින් කලඑලි බසින්නේ, හිංසනය, නොඉවසීම, සාපරාධීත්වය, උන්මත්තක භාවය, ස්වයං-විනාශය, ධන තණ්හාව සහ රෝග පීඩා වැනි දේවල් පමණි. රටේ ධනය සහ සම්පත් බෙදා හැරීම කළමණාකරණය කළ හැකිව තිබු රාජ්‍යය, දුර නොදකින අවස්ථාවාදී දේශපාලඥයන් සහ ස්වාර්ථය පමණක් පෙරට ගත් ව්‍යාපාරික පංතියේ අවශ්‍යතා නිසා ද, වෙළඳපොළ සහ පෞද්ගලික අංශය ගැන අසීමිත විශ්වාසයක් තබා ගැනීම නිසා ද, අකර්මණ්‍ය වී තිබේ. එය, සංවර්ධන කි‍්‍රයාවලිය සහ ධනයේ ප‍්‍රතිව්‍යාප්තිය ගැන මනා සැලකිල්ලෙන් සිටි රාජ්‍යයන් වූ අග්නිදිග ආසියාතික බොහෝ රටවල ඇති නොවූ තත්වයකි.
ජ්‍යේෂ්ඨ මහාචාර්ය සිරී හෙට්ටිගේ | Senior Professor Siri Hettige
*2013 දෙසැම්බර් 17 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Neo-Liberalism, Politics and Dehumanization of Society නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙන් | Image Credit: http://www.popularresistance.org/global-peoples-tribunal-on-wto-free-trade-agreements/