[ඡායාරෑපයකටත් බිය ඊනියා සංහිදියාව]

ඉන්දීය මාධ්‍යවේදී තමිල් මහාප්‍රභාකරන්
ඉන්දීය මාධ්‍යවේදී තමිල් මහාප්‍රභාකරන්

පසුගිය දෙසැම්බර් 25වන බදාදා ඉන්දීය ජාතික මාධ්‍යවේදියෙකු කිලිනොච්චියේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවත් ඔහු එම ප්‍රදේශය ඡායාරෑප ගනිමින් සිටි බවත් මාධ්‍ය වාර්තා කර තිබිනි.

එම වාර්තාවේ දැක්වෙන්නේ, ‘‘අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වාගෙන යන ඉන්දීය “ජූනියර් විකටන්“ පුවත්පතේ මාධ්‍යවේදියා ශ්‍රී ලංකා රජය විසින් පිටුවහල් කරනු ඇති බව ඉන්දීය පුවත් සේවා පවසයි යනුවෙනි.

පසුව බීබීසී ය වාර්තා කර තිබුණේ තමිල් මහාප්‍රභාකරන් නම් වූ එම මාධ්‍යවේදියා ලංකාවෙන් පිටුවල් කර ඇති බවත් ය. පිටුවහල් කිරීමෙන් පසු ඔහු කළ ප්‍රකාශයක් පසුව බීබීසීය විසින් මහාප්‍රභාකරන් මාධ්‍යවේදීයා උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ, ‘මාව අල්ල ගත්ත දවසේ උදේ ඉඳල හවස හත වෙනකල් මට කන්න ලැබුනේ නැහැ. ඊට පස්සේ මට කෑම දෙන කොට බොන්න වතුර දුන්න. ඒත් ඒ වතුර නෙමෙයි, පෙට්‍රෝල්. ඒක වැරදීමක් වෙන්න පුළුවන්. හිතා මතා කරපු දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් මට සැකයි.’ යනුවෙනි.

මෙම මාධ්‍යවේදීයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චියේ දේවස්ථානයක් තුළදී බවත් ඔහු ඊට පෙර කිලිනොච්චි ප්‍රදේශයේ ඡායාරෑප ලබා ගෙන ඇති බවත්, එසේම ඊට පෙර ශ්‍රීධරන් පාර්ලිමේන්තු මංත්‍රිවරයා සමග ඔහු ගමන් කළ බවත් ලංකාවෙන් බැහැරව සිට ක්‍රියාත්මක කරන වෙබ් අඩවි විසින් ඔහුව පිටුවහල් කිරීමට පෙර සිටම පෙන්වා දී තිබුණි.

කෙසේ නමුත් මෙම මාධ්‍යවේදීයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හමුදාව, හමුදාව ගැවසෙන ස්ථාන, පොලිස් ස්ථාන ඡායාරෑප ගත් බවට යැයි ප්‍රකාශිත චෝදනාව යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබිණි.

දැන් එය ලංකාවේ ආශ්චර්යට අනුව විසදා ඇත. පොලීසියට අනුව වෙන්නට ගිය මහා විපතක් වලක්වා ගත් සේයකි.

නමුත් මේ සටහන ලියැවෙන්නේ ඉන්දියානු මාධ්‍යවේදීයා අත්අඩංගුවට ගැනීමට හේතු වූ ‘හමුදාව, හමුදාව ගැවසෙන ස්ථාන ආදී ඡායාරෑප ගැනීම‘ යන්න මත ද විමසා බැලීමට ය.(ඇතැම් තැනක කියැවුනේ සංචාරක වීසා මත පැමිණ මෙසේ ඡායාරෑප ගල කල නොහැකි බවත්, ඔහු මාධ්‍ය වේදියෙක් නම් වෙනම ක්‍රමයකින් ඔහුට වීසා නිකුත් කිරීමට තිබූ බවත් බලදාරින් විසින් ප්‍රකාශ කර තිබිණි. නමුත් මෙය සත්‍යයෙන් තොර, සත්‍ය වසන් කිරීමට ගොතන ලද ප්‍රකාශයක් බව මේ සටහනින් පෙන්වා දෙමු. අනෙක නම් පසුගියදා ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදීනියන් දෙදෙනෙකුත් සංචාරක වීසා මත ලංකාවට පැමීණ වැඩමුලුවකට සහභාගී වූවා යැයි පවසමින් ආරක්ෂක අංශ විසින් දවස් 2කකට ආසන්න කාලයක් ප්‍රශ්ණ කර අනතුරැව ඔවුන් මුදා හැරියේ ය.)

ඒ සංහිදියාව සමග උතුරේ ඡායාරෑප ගැනීම

යුද්ධයෙන් වසර 5කට ලංවෙමින් සිටියත් උතුරේ සෑම ස්ථානයකම නිල ඇදුම් සහිතව සහ නිළ ඇදුම් රහිතව ආරක්ෂක අංශ ගැවසීම සුළබ දෙයකි. කිසියම් නිරීක්ෂනයකින් ගමන් ගන්නා ඕනෑම අයෙකුට ගස්, ගල්, ලයිට් කනු, දේවාල, පල්ලි ආදී සෑම තැනකම මේ ආරක්ෂක යැයි කියන මුහුණු හොදින් දැකගත හැකිය. එබැවින් උතුරේ ඕනෑම තැනකට කැමරාව එල්ල කරමින් ඡායාරෑප ගැනීමේදී ඒ ආරක්ෂක මුහුණු කැමරාවේ සටහන් වීම යම් පමණකට හෝ ආයාසයෙන් වලක්වා ගත හැකි වන්නේ, එසේ බේරාගෙන ඡායාරෑප ගත හැකි ආශ්චර්යමත් ‘රාජපක්ෂකරණය වූ කැමරාවක්‘ හම්බන්තොටින්වත් වත් නිර්මානය කළ පසුය.

අනෙක් කරැණ නම් යම් පමණකට තාක්ෂණයෙන් උසස් කැමරාවකින් උතුරේ ඡායාරෑප ගැනීමේදී ආරක්ෂක අංශවල ඇස එම පුද්ගලයා දෙස නිරන්තරයෙන් එල්ල වීම ද, විශේෂ උවමනාවකින් ඡායාරෑප ගන්නා පුද්ගලයන් දෙස එම ආරක්ෂක ඇස නිරන්තරයෙන් යොමු වීම ද, ඇතැම්විට ඔවුන්ගේ ප්‍රශ්ණ කිරීම් වලට ලක්වීමට සිදුවන බවද ලියුම්කරැ අත්දැකීමෙන් දනී. විශේෂයෙන් සිංහල නොවන අයෙක් ඡායාරෑප ගැනීමේදී මෙය වඩා සුවිශේෂ මෙන්ම අනතුරැදායකය. ඒ රාජපක්ෂ උතුමාණන්ගේ සංහිදියාවේ තරමය.

එය ඡායාරෑපයකින්ම ඔප්පු කරමු.

මෙම පහත පලවන ඡායාරෑපය 2012 වසරේ මැයි 18 වන දින, පස්වරු 01.18ට, නිකොන් SLR කැමරාවක සටහන් වූයේ කිලිනොච්චි නගරයේ හිංදු දේවස්ථානයකදීය. මෙහි සිටින පුද්ගලයා ආරක්ෂක අංශයකට සම්බන්ධ පුද්ගලයෙකි. මෙය අපගේ කැමරාවේ සටහන් වන්නේ, ඡායාරෑප ගන්නේ කුමක්ද? අප කතා කරන්නේ කුමක්ද යන්න සොයමින් අප වටා කැරකෙමින් සිටිය දීය.

Kilinochchi

(මෙහි රතු රවුම තුළ පෙන්වා ඇත්තේ එම නිළධාරියාය. නමුත් ත්ත්වයන් එසේ වන විට මෙම ඡායාරෑපය ලබා ගත් පුද්ගලයා ද වෙත ද ආරක්ෂක අංශ අවධානය යොමු විය හැකිය. එයට කියන්නේ සංහිදියාව කියා ය.)

දැන් මෙම හිංදු දේවස්ථානය තුළ, ලෝකයේ ඕනෑම කෙනෙක් ඡායාරෑප ගැනීමේදී මෙවන් පුද්ගලයන්ගේ රැව කැමරාවට හසු නොවී ඡායාරෑපයක් ගත නොහැකිය. එදින ද මෙවැනි පුද්ගලයින් බොහෝ දෙනෙක් මෙම කෝවිල තුළත්, ඉන් පිටතත් සිටින විට ඔවුන් මගහැර ඡායාරෑප ගන්නට නොහැකිය.

උතුරේ රැස්වීම් තුළ, මළ ගෙයක, මගුල් ගෙයක තත්ත්වය ද එසේමය. එපමණක් නොව නිදහස් වෙරළ තීර වල ද, තැබෑරැම්වල ද ඔවුන් නිරන්තරයෙන් ගැවසෙයි. මෙය යුද්ධයෙන් පසුව උතුරේ සිවිල් ක්‍රියාකාරීත්වයට බරපතල ලෙස අවහිරයක් බව උතුරේ සිවිල් සහ දේශපාලන ක්‍රියාකාරීන් බොහෝ විට පෙන්වා දී තිබිණි. විශේෂයෙන් විශ්ව විද්‍යාල ගැටලු හෝ වෙනත් ඕනෑම ගැටලුවකට පොලීසිය වෙනුවට ක්ෂනිකයකින් යොදවන්නේ හමුදාවය. අනෙක් පසින් උතුරේ ආණ්ඩුකාරයා පිළිබද ගැටලුව ද මෝරා තිබෙන්නේ ද මෙවන් පරිසරයක් තුළය. එසේම හමුදා ක්‍රියාකාරීත්වය අවම කිරීම තුළ සිවිල් පාලනය ශක්තිමත් වන බව ඔවුන් පෙන්වා දී තිබුණ ද එයින් කිසිදු ප්‍රථිපලයක් මේ වන විට අත් කර දී නොමැත. එක් පසකින් එවන් ගැටලු නිසා එහි ප්‍රථිපල බියකරැ ආකාරයෙන් නිරන්තරයෙන් උතුරෙන් වාර්තා වන්නේ ඒ නිසා ය.

ඡායාරෑපයකට මෙච්චර බය ඇයි?

ප්‍රශ්නය වන්නේ උතුරේ සෑම තැනම මෙවැනි බිල්ලන් නිරන්තරයෙන් ස්ථාන ගත කර ඇත්තේ දෙමළ ජනයාගේ වත්, ඡායාරෑපයේ පරිදි කොවිලේ ආරක්ෂාවටවත් නොවෙයි. විශේෂයෙන් සංහිදියාව නමින් සිය හමුදා ආධිපත්‍ය දෙමළ ජනයාගේ ජීවිත මත පටවා තිබීමේ ඛේදවාචකය ලොව හමුවේ තැබීම වලක්වනු පිණිස ය. ඉන්දීය මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන පසුව රටින් පිටුවහල් කරන්නේ ඒ නිසාය.

ඒ යුද්දෙන් වසර 5කට ලංවෙමින් තිබියදී රාජපක්ෂ සංහිදියාවේ තරම ලොව හමුවේ තැබීම වලක්වනු පිණිසය. එයට ඉන්දීය මාධ්‍යවෙදීන් නොවේ එය ප්‍රශ්ණ කරන ලංකාවේ ද ඕනෑම ‘පුරවැසියෙක්‘ රෙජීමයේ ගොදුරැ බවට පත් විය හැකිය. නිරන්තරයෙන් උතුරේ මාධ්‍යවෙදීන් වෙත එල්ල වන මර්දනය මෙහි ප්‍රධානම කැඩපතකි.

පසුගිය දිනක තමන්ගේ මවගේ සොහොනට ගෞරව දැක්වීමට ගිය ප්‍රකට කවියෙක් වූ ජෙයපාලන්ට තමන්ගේ මවු බිමේදී ම අත්වූ ඉරණම එහි ආසන්නම තවත් උදාහරණයකි. සොහොනකට ගොස් මිය ගිය තම සමීපතමයින්ට ගෞරව කිරීමේදී ද මිනිසුන් අත්අඩංගුවට පත්වන උතුරේ, ඡායාරෑපය ගත් විදේශ හෝ දේශීය මාධ්‍ය වෙදීන්(මෙය පීඩක පාලකයන් සමග හුරේ දමන හෘද සාක්ෂියක් නැති මාධ්‍යවේදීන්ට අදාල නොවේ) රෙජීමයේ ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වීම පිළිබදව අප පුදුම විය යුතු නැති වුවත් ඒ තුළින් සැගවීමට උත්සහ කරන සත්‍ය අවබෝධ කර ගත යුතුය. මේ ඉන්දීය මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති සත්‍යය ද එයයි. එනම් දේවල් වසං කිරීමය. සැගවීමය. ඒ සගවන්නට දෙයක් ඇති නිසාය. ලොවට ප්‍රජාතන්‍ත්‍රවාදය පෙන්වමින් ප්‍රජාතන්ත්‍රීය හර පද්ධතින් දිය කර හරින පාලනයක් විශේෂයෙන් උතුරේ සිය හමුදා බලය ද සමග රෙජීමය විසින් පවත්වාගෙන යන නිසාය. සංහිදියාව ගැන කතා කරමින් සිය හමුදා බලය යොදවා දෙමළ මිනිසාගේ පමණක් නොව දකුණේ දෙමළ නොවන මිනිසාගේ ද අයිතින් මර්දනය කරමින් ඇති නිසාය.

මෙය ලියන ලියුම්කරැත් යාපනය අර්ධද්වීපයේ වෙරළ තීරයක කුඩා කොලු පැටවු සෙල්ලම් කරන අයුරැ ඡායාරෑපයට නැගූ ‘වරදට‘ නාවික හමුදාව විසින් පැය ගානක ප්‍රශ්ණ කිරීම්වලට ද ලක් වූයේ මෙම ‘ඊනියා සංහිදියාවේ‘ බල මහිමයෙණි.

එම බලමහිමය කොතෙක් ද යත් දෙමළ ජනයාට අයත් ඉඩම් අක්කර දහස් ගණනක් තුළ හමුදා ජනපද පිහිටුවමින්, ඔවුන්ගේ ඉඩම්වල සුවිසල් හෝටල් ඉදිකරමින් ඔවුන්ගේ ජීවිත පමණක් නොව භූමිය ද උදුරා ගනිමින් සිය මුග්ධ බලය ඔවුන් මත පටවමින් සිටීම මෙම ඊනියා සංහිදියාවට අනුව උතුර සංවර්ධනය කිරීමකි. එසේ දෙමළ ජනයා පාගා ගෙන ලෝකයට කියන සංවර්ධනය ප්‍රශ්න කරමින් ඒවා ගැන ලිවීමත්, නිදහස් යැයි කියන උතුරේ ඡායාරෑපයක් ගැනීමත් බරපතල වරදකි. මරා දැමුණු සිය සමීපතමයින්ට ගෞරව දැක්වීමට ඇති එකම සොහොන් කොතත් බුල්ඩෝසර් කරමින් හමුදා කදවුරැ, විසල් මැදුරැ ඉදි කිරීම උතුරේ වසන්තය වන විට ඒ ඊනියා වසන්තය ගැන ලියන, ඒවා ඡායාරෑප ගත කිරීම දේශද්‍රෝහිය.

එබැවින් දෙමළ ජනයාගේ ආත්මය පවා තලා දමමින් ඊනියා සංවර්ධනය ගැන ලියන, ඒවායේ ඡායාරෑප ගන්නා මෙන්ම උතුරේ බැංකුවලට සිය කනකර පවා උකස් කරමින්, ගිනි පොලියට නය ගනිමින්, යංතම් හෝ ජීවිත ගැට ගහ ගන්නා මිනිසුන් ගැන නොව, උතුරේ මව්වරැන් සිය රෙදි පොටේ ගැටගසා ගෙන සිටින අන්තිම රැපියලත් ඩැහැ ගන්නට බලාසිටින මුල්‍ය ව්‍යපාර සහ බැංකු ගැන පමණක් ලියන ‘(ඊනියා)දේශප්‍රේමීන්ට පමණක් ඇතුලු විය හැකි ය‘ යන වැකිය සහිත පුවරැවක්, ලංකාවේ හංදියක්, හංදියක් පාසා මහා විශාලවට අටවා තිබෙන පුවරැ ලෙසම…..ලැබුවා වූ 2014 ජනවාරිය හෙවත් ලංකාවේ ජනමාධ්‍යට බිහිසුණුම මාසයේ දී එනම්, ලංකාවේ මාධ්‍ය සංවිධාන පවසන පරිදි ‘කලු ජනවාරියේ‘, වව්නියාවේ, ඒ9 පාරේ සවිකරන ලෙස යෝජනා කරමින්, මෙම සටහන අවසන් කරන්නට නිලාර් කාසීම් පරිවර්තනය කල ‘සහෝදර පියාපත්‘ නම් පොතෙහි අ.යේසුරාසා කවියාගේ කවියක් උපුටා දක්වමි.

එක එල්ලයේ දිවෙන
කලු තාර පාර දිග
ඇවිද යමි
උසට උස
නෙත් මානයේ දිග හැරැණු
කලු අදුරැ ලන්දේසි කොටු පවුර
මුලුගැන්ව,
මුතුන් මිත්තන් එදා බියට පත් කළ පෝරකය
පැහැදිලිව මට පෙනිණ.

විසුළ තණ මත
දරා ගිනි අවි, කාකි විරැවන්…….
රාජ්‍ය තන්ත්‍රය රකින මෙවලම
ඔට්ටුවෙයි
ඇවැසි ඕනෑ විටෙක
නිපුණ බව පෙන්වන්ට

ඔහු පෙළ ගැසී පෙළපාලියේ ඇවිද යති
දැවටෙනා සුළගේ වුව භිෂණය මුසුව එයි
ගෙවුණු මුත් තුන්සිය වසක්
වෙනස් වූයේ
කුමක් දැයි කිව හැකිද?

බස ය

පෑය ය

අපි තවම පෑගෙමුය.!