[Image: ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, පලස්තීනයේ මහින්ද රාජපක්ෂ වෘත්තීය අභ්‍යාස මධ්‍යස්ථානය විවෘත කරමිනි. | PresRajapaksa]
මෙම ලිපිය කියවන ඔබ ශ්‍රී ලංකාවේ කොතැනක හෝ චීන ජනරජයේ ආධාරයෙන් ඉදි කරන ලද හේතුවෙන් මාවෝ සේතුං හෝ චූ එන් ලායි යන චීන නායකයන් නමින් නම් කරන ලද සම්මන්ත්‍රණ ශාලා හෝ අධිවේගී මාර්ග හෝ වරාය හෝ ගුවන් තොටක් දැක තිබේ ද? චීනය පමණක් නොව ඉන්දියාව, කැනඩාව, එක්සත් ජනපදය, ජපානය යනාදී විදෙස් රටවල් ද ශ්‍රී ලංකාවේ විවිධ මහජන සුභ සිද්ධිය පිණිස විවිධ ආයතන ඉදි කිරීමට ආධාර කර තිබේ. රට පුරාම ඇවිද බැලුව ද එවැනි රටක නායකයකුගේ නමින් නම් කරන ලද ස්ථානයක් නැත.
ඒ වෙනුවට දකින්නට ඇත්තේ මහින්ද රාජපක්ෂ මාගම් තොට වරාය, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල, මිහිදු සෙන්පුර, මිහින් එයාර් යනාදිය යි. දේශීය අරමුදල් මෙන්ම විදේශීය ආධාරයෙන් ඉදි කරන ලද නමුත් දුසිම් ගණනින් ජනාධිපති රාජපක්ෂගේ නමින් නම් කරන ලද පාසැල්, ක්‍රීඩාංගන ඇතුළු විවිධ ස්ථානය රට පුරාම තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති නමින් නම් කරන ලද රාජ්‍ය ආයතන ලැයිස්තුවක් සකස් කළ හොත් එය විස්මය ජනක දේශපාලන ප්‍රකාශණයක් වන බවට සැකයක් නැත.
නිදහස් ශ්‍රී ලංකාවේ කිසිදු ජනාධිපතිවරයකු මෙලෙස අතෝරක් නැතිව සිය නමින් ආයතන නම් කර ගත්තේ නැත. ජනාධිපති ප්‍රේමදාසට ද මෙම රෝගය තිබූ නමුත් මේසා අසළකටවත් ඒමට ඔහුට බැරි විය. ඔහු සිය උදාගම් සඳහා ප්‍රදේශීය දේශපාලනඥයින්ගේ නම් තැබුවේ ය. එනමුත් එකළ තිබූ වෙනස නම් ජනාධිපති ප්‍රේමදාසගේ එම ආසාව විවේචනයට ලක් කරමින් විවිධ දේශපාලන විග්‍රහයන් ජන මාධ්‍යයේ පළ වීමය. එවැනි එක් සාර ගර්භ විවේචනයක පෙන්වා දී තිබුණේ පැරණි ලංකාවේ රජුන් නමින් නම් කරන ලද ස්ථාන නාම දුර්ලභ බවත් පුරුද්දක් වශයෙන් ස්වභාව ධර්මයට අනුකූලව නම් ගම් භාවිත වූ බවත් ය. කොස් ගස් හන්දිය, ඇතුගල් පුර, රිදීගම, රත්නපුරය යනාදී වශයෙනි.
මෙලෙස මහජන මුදලින් ඉදි කරන ලද ආයතන එක දිගට සිය නමින් නම් කර ගැනීමට රාජ්‍ය නායකයකු පෙළඹෙන්නේ මන්ද? ඉතිහාසයට සිය නම එකතු කිරීමට ද? මහජනයා අතර වඩාත් සිය නම ප්‍රචලිත කිරීමට ද? තමන්ට නැති දෙයක් ඇති කර ගැනීමට ද? තමාගේ නම සහ විශාල රෑප සෑම තැනකම දැකීමෙන් රාජ්‍ය නායකයකු ලබන තෘප්තිය කුමක් ද? තමන් රජකු යැයි සිතීම ද? ටිකක් කල්පනා කර බලන්න.
අනෙක් අතට ආධාර දෙන රටෙහි නායකයාගේ නමින් ආයතන නම් කිරීමේ සම්ප්‍රදායක් තිබුණේ නම් ඉතිහාසය විසින් පෙරලා දමන ලද ගඩාෆි නමින් වුව ආයතනයක් ලංකාවේ බිහිවන්නට ඉඩ තිබුණි. එසේ වී නම් පසුගිය වසර ගණනාව තුළ ලෝකයේ සිටින දුෂ්ඨතම රාජ්‍ය නායකයින්ගේ නම් ශ්‍රී ලංකාවේ ආගමික ආයතන, පාසැල්, ක්‍රීඩංගන යනාදිය සඳහා යෝජනා වන්නට ඉඩ තිබුණි. එලෙස ආධාර දුන් පළියට නගරයෙන් නගරය විදේශ නායකයින්ගේ නමින් ආයතන බිහිවූයේ නම් එය විකාරයක් වන්නට ද ඉඩ තිබුණි. සමහර විට හෙළ උරුමකරුවන් සහ බොදු බල හමුදා පිරිස් ඉන් සමහරක් නාම පුවරු මත තාර උලන්නටත් ඉඩ තිබුණි. ලොව එවැනි විකාර අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි.
අඳෝමැයි! දැන් 2014 ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන්හි ද මහින්ද රාජපක්ෂ නමින් ආයතන නම් කිරීමෙනි. පසුගිය දා පලස්තීනයට ගිය ජනාධිපති රාජපක්ෂ ඉතිහාසයේ නොවූ විරූ පරිදි ලෝකයට ණය වී සිටින මෙරට මුදලින් එරට වෘත්තීය පුහුණු පාසලක් ආරම්භ කළේ ය. එයට තමාගේම නම ද තැබුවේ ය. මේ නම් සම්මජ්ජාතියේ දී වත් අසන්නට නොලැබුණු වැඩ ය. ලංකාවේ අධ්‍යපාන පහසුකම් කප්පාදු කරමින් අනෙක් රට වලට අධ්‍යාපන තෑගි දීමකි. ලෝකෙට පරකාසේ ගෙදර මරගාතේ කියන්නේ මෙන් මේ වගේ වැඩ වලට ය.
මේ අතර වාරයේ ජනාධිපති රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකට ද මහත් අකර තැබ්බයක් සිදුව ඇතැයි වාර්තා විය. එනම් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුරට වැඩි ආර්ථික වටිනාකමක් තිබූ රූපවාහිනී සංස්ථා සභාපති ධුරයෙන් ඉවත් කිරීම ය. තමාට ඉවත් වන ලෙස බල කළේ ජනමාධ්‍ය ඇමැති රඹුක්වැල්ල බවත් ඊට හේතුව තමාට හෙළිදරව් කල නොහැකි බවත් ඔහු මහත් කණස්සලලෙන් කියා සිටියේ ය. එමගින් ඔහු පිළිගත්තේ තමා බල කිරීම නිසා ඉල්ලා අස් වූ බවයි.
මෙයට වසර එකහමාරකට පෙර එනම් 2011 මැයි 30 දා රූපවාහිනී සභාපති ධූරය ඔහුට පිදුවේ ද එම ඇමැතිවරයාම විසිනි. ඔහු එය දොතින් ම පිළි ගත්තේ ය. දැන් ඒ ඇමතිවරයා ම විසින් දොට්ට දමන විට ඔහු මැසිවිළි කිය යි. නිදහස් මාධ්‍ය ආයතනයක් ලෙස තිබිය යුතු රූපවාහිනී සංස්ථාව දේශපාලනඥන්ගේ ප්‍රචාරක ගුබ්බෑයමක් බව දැන දැනම එවැනි තනතුරක් දෝතින් බාර ගත් විට කුණු කරවල කෑ බළලාට මෙන් විදවන්නට වන බව ඒ මහතා නොදැන සිටින්නට නොහැකි ය. මන්ද යත් මෙම සභාපතිවරයා අන් කවරකුවත් නොව ලෝකයේ දේශපාලනය ගැන කටපාඩමින් රූපවාහිනී දේශණ පැවැත්වූවාවූත් එක්සත් ජාතීන්ගේ කොළඹ ප්‍රකාශකවරයකු වූත් මොහාන් සමරනායක මහතා නිසා ය.
තව ද ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශක තනතුර තිබියදීත් ඇමැතිවරයාට බියේ ඉල්ලා අස්වීමට සිදුවීමෙන් පෙනී යන්නේ එම ප්‍රකාශක තනතුර ලේබලයක් පමණක් බව යි. ජනාධිපතිවරයාගේ බොහෝ උපදේශකයින්ට අද සිදුව ඇති කණගාටුදායක තත්ත්වය එය යි. ඇත්ත වශයෙන්ම නම් ඔහු පරාජය වූයේ රූපවාහිනී සංස්ථාව අරත් ගෙන සිටින ජාවාරම්කාර මාෆියාවට යැයි කියනු ලැබේ. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක පවා එවැනි හොරු රැළක් හමූයේ පරාජය වන විට රටේ සාමන්‍ය ජනයා ගැන කවර කතා ද?
හොරුන් සමඟ දීග කෑවේ යැයි චෝදනා කරමින් දැන් රාජපක්ෂවාදී වියරු බලවේග අගමැති දි.මු. ජයරත්නගේ බෙල්ල ඉල්ලමින් සිටින්නේ ද මේ අතරවාරයේ ය. අගමැති ජයරත්න පැරණි ශ්‍රී ලංකාකාරයකු වන අතර ඔහුට විරුද්ධව කඳවුරු බඳිමින් සිටින්නේ රාජපක්ෂවාදී යූඇන්පීකාරයින් සහ අන්තවාදී පිරිස් ය. දි.මු ජයරත්න මත්කුඩු වෙළෙන්දෙකු සමඟ ඇයි හොදයිකම් පැවැත් වූ මත් කුඩු මෙරටට ගෙවීමට දායක වූ බවටත් මහනුවර දිසාවේ පළාත් සභා මැතිවරණයෙන් වැඩිම මනාප ගත් ඔහුගේ පුත්‍රයා එම ජාවාරම්කරයින් සමඟ ජායාරෑපවලට පෙනී සිටි බවටත් චෝදනා එල්ල වී තිබේ.
සාමාන්‍යයෙන් අගමැති දි.මු. ජයරත්න සැළකුනේ අහිංසක දේශපාලනඥයකු ලෙස ය. අනෙක් බොහෝ රාජපක්ෂවාදී දේශපාලනඥයින් මෙන් නොව ඔහු දූෂණ වංචා සම්බන්ධයෙන් නමක් දිනා ගෙන නොසිටියේ ය. එවැනි දේශපාලනඥයකු පවා මත් කුඩු ජාවාරමට හවුල්ව සිටියේ නම් අනෙක් ගොයියන් ගැන කුමණ කතා ද?
කුඩු ගැන කතා කරන විට මත් ද්‍රව්‍ය පාලනය ජනාධිපති රාජපක්ෂ වින්තනයේ ආගමික සංකල්පයක් වූ බව අමතක කළ නොහැකි ය. ප්‍රසිද්ධ ස්ථානයන්හි බියර් වීදුරුවක් බීම ද තහනම් විය. මතට තිත යැයි කී එම ඝෝෂාව දැන් වර්ණවත් සබන් බුබුලක් මෙන් පුපරා ගොස් තිබේ. මන්ද යත් මත් කුඩු ජාවාරම ද මත් කුඩු භාවිතය ද රාජපක්ෂ පවුලේ බාලයාගේ රොකට්ටුවලටත් වඩා වේගයෙන් ඉහළ යමින් තිබෙන නිසා ය. අරක්කු සහ කසිප්පු ද ජනාධිපති තරමටම ජනප්‍රිය ය.
අගමැති ජයරත්න පන්නා යන බලවේග ජනාධිපති වෘත්තීය සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර විසින් මතුකුඩු ජාවාරම් කරුවකු ලෙස නොනමින් හැදින් වූ කොළාන්නාව දේශපාලනඥයා ගැන නිහඬ ය. ඔහු ඝාතනය කැරැණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එම පතාල දේශපාලනඥයාගේ දේශපාලන වේදිකාවෙහි පෙනී සිටීම විවේචනය කිරීමෙන් දින කිහිපයකට පසු ය.
කුඩු නිසා අයෙක් මැරුම් කති. අයෙක් රජ වෙති. අගමැතිට මොනවා වෙයි ද?
සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya