‘මට තව එක දවසක් තාත්ත හම්බ වුණොත් මං කියනව

‘තාත්තෙ මං ඔයාට ගොඩක් ආදරෙයි’ කියලා.

අයිෆලය තරම් උස මිනිහෙක්ට පුළුවන්ද සැඟවෙන්න අතීතය මකාගෙන

වලාකුළු සිතුම් පොදි ඇවිත් හිස හැපෙනකොට මරු කියවනා හඳකි හිනාවෙන

හිස කෙස්ස සිඳ දැමුව දෙව්දත්තරුන් පැමි‍ණ හිස සොයන විට ඔහුට පමාවෙන

හිත රිදෙන කවි ලියන රාහුල පුතෙක් හිඳී ආදරෙයි කියන්නට බලාගෙන

|

එකම මොහොතක් තියෙයි අතට ගෙන බලන්නට සංසාරෙ කොණක් ගෙන ලිහාගෙන

බන්දේසියක තියා ආදරය ගෙන යන්න කවුරුවත් නෑ දෑත විදාගෙන

අනාගතයට යන්න සිහිනෙකට බැරි ඇයිද පුතු දෑස ඔවුනොවුන් කතාවෙන

ජීවිතෙයි කියන්නේ අතීතය විතරමද මේ මොහොත කවුරු හරි හොරාගෙන

|

හිස හැරුණු අත ඇදෙන සුළඟ වුව පුතු අසල නතරවන විට සිහිල දරාගෙන

ප්‍රශ්වාසෙ සේ කොතෙක් සුසුම් පිටවී ඇද්ද සිය දහස් ගව් ඈත ගෙවාගෙන

පෙනහලුත් කැමති ඇති අලුත් හුස්මක් ගන්න හදවතෙහි පියාපත් මවාගෙන

ඕසෝන් වියනෙහිම එවන් හුස්මක් නැද්ද රිදුම්දෙන ළය මඬල නිවාලන.

|

විරිත් ගිළිහුණ කවක අරුත් නොරඳනු බැරිද හද ගැඹුරු ගිගිම් හඬ නඟාලන

පිරිත් මිමිණෙනු ඇසෙන දවල් දවසක වුණත් හිරුත් නැතිවෙන්න හිත හදාගෙන

‘සිරිත් මල් දම’ ගොතන රටක් නැති වුණු පුතුට මවක් ඇත ජීවිතය හොයා යන

‘හරිත්’ ගහ කොළ අතර සියල් මල් ඔබට ම ය නවතින්න වසන්තය දිනාගෙන

manjula-wediwardhana
මංජුල වෙඩිවර්ධන
| MANJULA WEDIWARDENA

2014 ජනවාරි 12