අධිලබ්ධික ආගමික නිකායවල් හෙවත් ‘කල්ට්’ වශයෙන් හැඳින්වෙන ආගමික ව්‍යාපාර ඉස්සරට වඩා අද ලෝකයේ විවිධ තැන්වල ක‍්‍රියාත්මක වෙයි. විශේෂයෙන්, ක‍්‍රිස්තියානි ආගමට සම්බන්ධ මෙවැනි අධිලබ්ධික නිකායවල් නොයෙක් තැන්වල, විශේෂ හේතු නිසා, ප‍්‍රසිද්ධියට පත්ව තිබේ. ‘සැල්වේෂන් ආමි’ හෙවත් ‘ගැලවීමේ හමුදාව’ වශයෙන් හැඳින්වෙන ආගමික ව්‍යාපාරය, අප කුඩා කාලයේ පටන් ලංකාවේ විවිධ තැන්වල අවිහිංසක ව්‍යාපාරයක් වශයෙන් පැවත එයි. මෙවැනි තවත් ආගමික ව්‍යාපාර තිබේ. ‘ජෙහෝවා විට්නස්’, ‘සෙවන්ත් ඬේ ඇඞ්වෙන්ටිස්ට්’ සහ ‘බෝන් (අ)ගේන්’ වැනි ව්‍යාපාර ඉන් සමහරකි.

‘ඬේවිඩියානු ශාඛාව’ නමින් හැඳින්වුණු එක් අධිලබ්ධික නිකායක සාමාජිකයන් විශාල පිරිසක් ඇමරිකානු පොලීසියේ අණට යටත්වීම ප‍්‍රතික්ෂේප කොට එක් තිප්පොලක් බලකොටුවක් කරගෙන තිබුණි. 1993 යම් දවසක ඇමරිකානු පොලීසිය මේ තිප්පොල වට කෙළේය. එහි දී, එකී සාමාජිකයන් 88 දෙනෙකු, එක්කෝ දිවි නසාගත්හ. නැත්නම් පොලිස් වෙඩි පහරින් මියගියහ. මෙය. ලෝකාවසානයක් ගැන දේශනා කොට, ඊට කලින්, සියදිවි නසා ගැනීම හරහා සාමූහික මෝක්ෂය ලබා දීමට ප‍්‍රතිඥා දුන්, එක් අධිලබ්ධික ආගමික නිකායකි
.
‘සූරිය දෙවොල’ (සෝලර් ටෙම්පල්) වශයෙන් තමන්ව හඳුන්වා ගත් තවත් මෙවැනිම නිකායක සාමාජිකයන් 53 දෙනෙක් 1994 දී, කැනඩාවේ සහ ස්විට්සර්ලන්තයේ දී සාමූහිකව දිවි නසාගත්හ. ඔවුන්ගේ මෝක්ෂය වුණේ ද, සාමුහික දිවිනසා ගැනීමයි. ඔවුන් අනුදක්නා ආචාර පද්ධතීන් නූතන ලෝකයට මොන විදිහකින්වත් ගැලපෙන ඒවා නොවේ. උදාහරණයක් වශයෙන්, මේ නිකායේ ළමුන් පාසල් අධ්‍යාපනයෙන් ඉවත් කර ගැනේ. පවතින ඖෂධ හෝ වෛද්‍ය පහසුකම් ඔවුන්ගේ හෝ ඔවුන්ගේ දරුවන්ගේ කිසි ලෙඩ දුකක් සඳහා ලබා නොගැනේ.

‘ආවුම්’ නමින් හැඳින්වුණු තවත් අධිලබ්ධික නිකායක් මගින් 1995 දී ජපානයේ ටෝකියෝ නුවර උමං දුම්රිය මාර්ගයේ දී මුදාහළ විෂ වායුවක් නිසා, 5000 කට අධික පිරිසක් තුවාල ලබා 11 දෙනෙක් මරුමුවට පත්වූහ. තමන් සමග මෝක්ෂයට යාම ප‍්‍රතික්ෂේප කරන පිරිස් මරණයට පත්කොට ඔවුන්ට පාඩමක් ඉගැන්වීමට ඔවුන් සිතුවා විය හැකිය. ඊටත් තරමක් ඈතට යන්නේ නම්, 70 දශකයේ දී ගුයානා රටේ මෙවැනි අධිලබ්ධික තවත් නිකායක සාමාජිකයන් 900 ට අධික සංඛ්‍යාවක් එකට දිවිනසා ගත්හ.

ඉහත සඳහන් අන්තවාදී උමතු ව්‍යාපාර හැරුණු විට, තවත් බොහෝ අධිලබ්ධික ආගමික නිකායන් සහ සමාජයක ස්ථාපිත ආයතනික ආගම් (බුද්ධාගම, ක‍්‍රිස්තියානිය, ඉස්ලාම් සහ හින්දු ආදී) අතර වෙනස, යම් නීති මූලධර්මයකින් හෝ වෙනත් ආගමික හේතුවක් මත හෝ නිර්වචනය කිරීමත්, එක පිරිසකට වැඩි සැළකිලි දැක්වීමත්, තවත් පිරිසකට අඩු සැළකිලි දැක්වීමත් සාධාරණ නැත. අද ස්ථාපිතව ඇති සෑම ප‍්‍රධාන ආගමක්ම, ඉතිහාසයේ යම් අවදියක දී සැළකී ඇත්තේ, එවැනි අධිලබ්ධික විශ්වාස වශයෙනි. උදාහරණයක් වශයෙන්, ක‍්‍රිස්තියානි ආගම යුදෙව් පාලකයන් විසින් මුල දී සළකන ලද්දේ අධිලබ්ධියක් (හෙවත් මිථ්‍යා විශ්වාසයක්) වශයෙනි. යේසුස් වහන්සේව කුරුසයේ තබා ඇණ ගැසුවේ එබැවිනි. එදා ඉන්දියාවේ හින්දු සමාජය තුළ, බුදුන් වහන්සේව මුලදී සළකන්ට ඇත්තේ ද, එවැනි අධිලබ්ධිකයෙකු වශයෙනැ යි සිතිය හැකිය. ක‍්‍රිස්තුස් වහන්සේ මුලින් යුදෙව්වෙකි. බුදුන් වහන්සේ මුලින් හින්දු ආගමිකයෙකි. මේ නිසා පවතින ආගමික බලකේන්ද්‍රය ප‍්‍රශ්න කරන ඕනෑම සුළුතරයක් අධිලබ්ධික නිකායක් වශයෙන් යම් කාලයක දී සැළකෙන්ට පිළිවන. ඒවා එක දිගටම එසේ පවතී ද, එසේ නැතහොත් රටේ ප‍්‍රධාන ධාරාවේ ආගමික ව්‍යාපාරයක් බවට එය පත්වේ ද යන්න ඉතිහාසය තුළ තීරණය වී ඇත්තේ, එකී ලබ්ධියට රාජ්‍ය අනුග‍්‍රහය ලැබී ඇත් ද හෝ නැත් ද යන කාරණය මතයි. එබැවින්, ‘හෘද සාක්ෂියේ නිදහස’ සහ ඕනෑම ආගමක් ඇදහීමට ශිෂ්ඨ සමාජයක පුරවැසියන්ට ඇති අයිතිය, එම සමාජයේ ස්ථාපිත ආයතනගත ආගම් අදහන්නන්ට තරමටම, අධිලබ්ධික ආගමික සුළුතරයන්ට ද තිබිය යුතු බව අවිවාදිත ය

හික්කඩුවේ ප‍්‍රහාරයට ලක්වූ දේවස්ථාන ගැනෙන්නේ, හිංසනය සහ ප‍්‍රචණ්ඩත්වය පිටුදකින, එක්තරා ආකාරයක ක‍්‍රිස්තියානි මූලධර්මවාදී ආගමික ව්‍යාපාර වශයෙනි. එහෙත් බෞද්ධ භික්ෂූන් ඊට පහර දෙන්නේ, එය ක‍්‍රිස්තියානි ද, නැතහොත් මූලධර්මවාදී ද යන කාරණයක් පෙරදැරිව නොව. ‘බෞද්ධ රටේ’ වෙනත් ආගමක් ප‍්‍රචාරය කිරීමට ඇති අයිතිය බරපතල කොන්දේසිවලට යටත් බව කියාපෑමටයි. මේ කොන්දේසි තීරණය කරන්නේ, වෙන කිසිවෙකු නොව, බෞද්ධයන්ම යි. තිසරණී ගුණසේකර යම් තැනක පැහැදිළිව පෙන්වා දෙන පරිදි, කෙන්යාවේ පවා බෞද්ධ පන්සලක් තිබේ. ඊට එරෙහිව කෙන්යානු ජාතිකයන් නැගී සිටි බවක් වාර්තා වී නැති බව ඈ කියයි. අප‍්‍රිකාවේ පවා බුද්ධාගම ප‍්‍රචාරය කිරීමට බෞද්ධයන්ට ඇති ඒ අයිතිය, බෞද්ධ රටේ අන්‍යාගමිකයන්ට නොදීම මොන තරම් අබෞද්ධ ක‍්‍රියාවක් ද? කෙසේ වෙතත්, තම විරෝධයට යම් ‘විදග්ධ’ ගතියක් හෝ ‘සාධාරණ’ ගතියක් ආරෝපණය කිරීම සඳහා ඇතැමුන් කියන්නේ, මේ පිරිස් බෞද්ධයන්ව හරවා ගන්නේ විවිධ ‘අල්ලස්’ මාර්ගයෙන් බවයි. හික්කඩුවේ භික්ෂූන්ගේ චෝදනාවත් එය විය හැකිය. එහි දී ඔවුන් පෙන්වීමට උත්සාහ කරන්නේ, ආගමික කාරණයකට වඩා, ‘සදාචාරය’ පිළිබඳ කාරණයකි.

වරක්, ධර්ම ශ‍්‍රවණය කරනු පිණිස පැමිණි එක් නිරාහාර පුද්ගලයෙකුට බුදුන් වහන්සේ ධර්ම දේශනා කෙළේ නැත. උන්වහන්සේ මුලින්ම කෙළේ එම පුද්ගලයාට කෑම පිළිගැන්වීමයි. එය, ‘අල්ලසක්’ වශයෙන් කිසිවෙකු හඳුන්වන්නේ නැත. මේ කියන ආගමික නිකායවල සාමාජිකයන්, දිළිඳු බෞද්ධයන් වෙසෙන පෙදෙස්වලට ගොස් එම පිරිස්වලට භෞතිකව ඇපඋපකාර කරන්නේ මනුෂ්‍යත්වය කෙරෙහි වන දයාවකින් නම් එය කිසිවෙකුට ප‍්‍රශ්නයක් විය යුතු නැත, එහෙත් එසේ කරන්නේ, හුදෙක් ඒ හරහා එම පුද්ගලයන්ව සිය ආගමට හරවා ගැනීමේ අභිප‍්‍රායකින් නම්, එතැන වංචනික අභිප‍්‍රායක් ඇතත්, එය ප‍්‍රශ්නයක් විය යුත්තේ, බෞද්ධයන්ට නොව, එම ආගමිකයන්ටමයි. මන්ද යත්, භෞතික පාරිතෝෂික සහ දීමනා හරහා කෙනෙකු හරවා ගත යුතු තරමට එම ආගමේ ‘සද්-ධර්මය’ තුළ යම් දුප්පත්කමක් හෝ දුර්වලතාවක් පැවතිය යුතු නිසා ය. ආධ්‍යාත්මික ‘විමුක්තියකට’ හරවා ගන්නා මාර්ගය මුදල හෝ යම් භෞතික පාරිතෝෂිකයක් නම්, ඒ කියන ‘විමුක්තියේ’ ව්‍යාජය දැකීමට කෙනෙකුට පිළිවන් විය යුතුය.

මෙහිදී අප වටහාගත යුතු ප‍්‍රධාන කරුණු දෙකක් තිබේ. එකක් නම්, යුදෙව් ආගම හැර අද පවතින සෑම ආගමක්ම ව්‍යාප්තිවාදී ආගම් වන බවයි. (යුදෙව් ආගමත්, මීට සියවස් පහළොවකට පමණ පෙර කාලයේ, ඉතා ප‍්‍රචණ්ඩකාරී ලෙසින්, ව්‍යාප්තිවාදී වුණි). අපේ මාතෘකාවට අදාළ බුද්ධාගම සම්බන්ධයෙන් සලකා බලන්නේ නම්, බුදුන් වහන්සේ ප‍්‍රථම වරට පස්වග මහණුන්ට ධර්ම දේශනා කිරීමෙන් පසු ඔවුන්ට දුන් උපදේශය වුණේ, සතරදිග් භාගයේ ගොස් එම ධර්මය ප‍්‍රචාරය කරන්න යන්නයි. එපමණක් නොව, සිය මෑණියන් වූ මහාමායා දේවියට අභිධර්මය දේශනා කිරීම සඳහා උන්වහන්සේ මේ පෘථුවියෙන් එහා දිව්‍ය ලෝකයකට ද වැඩම කළහ. එනම්, පිටසක්වල පවා, ධර්ම ප‍්‍රචාරය කෙරී ඇති බවයි. හික්කඩුවේ භික්ෂූන් මේ ඉතිහාසය නොදන්නේ යැයි සිතිය නොහැක. එනිසා අපේ අවධානය යොමු විය යුත්තේ දෙවැනි කාරණයටයි.

එනම්, මෙය සහ මෙවැනි වෙනත් ප‍්‍රහාරයන් (උදාහරණයක් වශයෙන්, මුස්ලිම් සහ හින්දු දේවස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට කළ පහරදීම්) පසුපස ඇති චින්තනය සෙවිය යුතු සැබෑ ඉසව්වට මාරු විය යුතුව තිබේ. එය, බුදුන් වහන්සේගේ හෝ ක‍්‍රිස්තුස් වහන්සේගේ හෝ මහම්මත්තුමාගේ සැබෑ ධර්මය පිළිබඳ ප‍්‍රශ්නයකට කිසි සම්බන්ධයක් නැත. එය සම්බන්ධ වන්නේ, සිංහල ජාතිය පිළිබඳ ප‍්‍රබන්ධයටයි.

දුටුගැමුණු-එළාර යුද්ධය, එයින් වසර හත්සීයකට පසු, අර්ථකථනය කෙරුණේ මහාවංශයෙනි. එළාරව පරාජය කිරීමෙන් පසු, ලංකාව සිංහල ජාතිය යටතේ එක්සත් කෙරුණු බව එයින් කියැවුණි. එනම්, රජවරුන් දෙන්නෙකු අතර කෙරුණු භෞමික සහ දේශපාලනික බල අරගලයක් වශයෙන් නොව, ජාතියක් සහ ආගමක් ආරක්ෂා කර ගැනීම සඳහා කෙරුණු ශුද්ධ යුද්ධයක් වශයෙනි. එය, සිංහලයාගේ ආරම්භක අයිතියට පැවරීම සඳහා, තවත් අවුරුදු තුන් සීයක් ඈතට ගිය මහාවංශ කතුවරයා, විජය කුමරුට බුදුන් වහන්සේගෙන් උප්පැන්න සහතිකයක් ලියා දුනි. ඊට අනුව, අවුරුදු පන්දහසක් බුද්ධාගම පවතින එකම රට ලංකාව වන අතර ඒ ලංකාව ආරක්ෂා වන්නේ, විජය නැමැති සිංහලයාව ආරක්ෂා වුණොත් යැයි, බුදුන් වහන්සේ ලවා මහාවංශය තුළ ‘දේශනා කෙරෙව්වේය.’ එතැන් පටන්, බුදුන්ගේ ධර්මය වෙනුවට ලංකාවේ උපන්නේ, සිංහල-බුද්ධාගමකි.

2009 මැයි 19 වැනි දා සිට දියත් වන්නේ, අර මහාවංශ සිංහලයා පිළිබඳ ප‍්‍රබන්ධය, යළි ලිවීමේ නව දේශපාලනික ව්‍යාපෘතියයි. මහානාම නැමැති භික්ෂුවගේ ‘අනිකා’ වුණේ දෙමළා ය. වර්තමාන මහානාමලාට ඒ දෙමළාට අමතරව, කිතුණු/කතෝලික, ඉස්ලාම්, ආදී විවිධ සතුරෝ සිටිති. එදා මහානාම හිමියන්ට සිටියේ දකුණු ඉන්දියානු ආක‍්‍රමණිකයන් පමණි. නූතන මහානාමලාට, චීනය සහ ඉරානය හැරුණු කොට, මුළු ලෝකයම තමන්ව ගිල ගැනීමට බලා සිටින ආක‍්‍රමණිකයන් ය.

ආගම, උපතින් ලැබෙන දෙයකැ යි නොගත යුතුය. එය එසේ වන්නේ නම්, අද ලෝකයා අදහන කිසි ආගමක් බිහි නොවන බව මුලින්ම දත යුතුය. ආගමක් යනු ආධ්‍යාත්මික විමුක්ති මාර්ගයක් යැයි විශ්වාස කරන්නේ නම්, එම ආගම ගැන තේරීමක් කිරීමේ නිදහස සෑම පුද්ගලයෙකුටම තිබිය යුතුය. මේ නිදහස අහිමි කරන්නට අයිතියක්, වෙනත් ආගම්වලට කෙසේ වෙතත්, බුද්ධාගමට කොහෙත්ම ඇත්තේ නැත. මන්ද යත්, ‘කාලාම සූත‍්‍රය’ තිබෙන්නේ බුද්ධ දේශනාවේ බැවිනි.

Gamini Viyangodaගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda