ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ඉල්ලා වීථි බසිමින් විශාල ක්‍රියාකාරීත්වයක නිරත වූ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකුට සිදු වූයේ, පාලකයින්ගේ මර්දනය හමුවේ, සිය ආරක්ෂාව පතා සිය රටින් පිටුවහල් වීමටය. එම බොහෝ දෙනා අතරින් කිහිප දෙනෙක් පමණක් අද ද රටින් බැහැරව සිට වුව ද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස වෙනුවෙන් සිය පෑන මෙහෙයවනු ලබන්නේ යහපත් සමාජයක් පිළිබදව තමන් තුල වන නොසිදෙන අපේක්ෂාව නිසා ය. එවන් මිනිසුන් කිහිපදෙනා අතර සිටින සනත් බාලසූරිය 2013 ජනවාරීයේදී ‘කළු ජනේරුවක් හා අහසක් අහිමි මිනිසෙක්‘ නමින් කවියක් ලියා එව්වේ රාජපක්ෂ ආණ්ඩුව සිදුකල, සිදුකරමින් සිටින මර්දනයේ තරම කියා පාමිනි. එම කවිය 2013 ජනවාරියේදී, ‘විකල්ප’ වෙබි අඩවිය තුළ පළකල අතර 2014 ජනවාරියේදී ද එය නැවත පළ කරන්නේ එහි ඇති හරයාත්මක ගුණය නිසාවෙනි.

උදුරාගත්ත සොයුරන්
සඟවාගත්ත මිතුරන්
ඉඳුල් බත් වෙනුවෙන්
පාවාදුන්න බැලයන්

එලවා සටන් සගයන්
උදුරා පෑන් පින්සල්
උගුල්ලා අබිමන්
හීලෑකළ හපුටු කතුවන්

පොළුගසා හිස්
පළා මද කා හදවත්
මැටියෙන් අඹාගත්
පිළිම මැද වැජඹෙනා මැරයන්

දත් නැති උසාවිත්
ලැජ්ජා නැති පොලීසිත්
අතර කොඳු ඇති සගයන්
දරා දිරිගෙන තාම අසිපත්

ඔව් වසර හතරක්
කළු ජනේරුම හතරක් !
අතක් ඔසවා කෑ ගසන්නට
අහසක් අහිමි මිනිසෙක්මි
මම්……….

ඉදින් සොයුරනි
‘කළු ජනේරුව’ කියන වදන ම
ඇතැම්විට මා බියෙන් සසලයි.
‘‘කළුනං අල්ලලා
අපුල්ලාපියව් ඔය ජනේරුව සුදුවෙන්ඩ……!’’
සිය ඇපිල්ලූම් ඇනියට
කොයිවෙලේ අණදෙයිද
මහරජාණන්

Sanath-Balasooriyaසනත් බාලසූරිය | Sanath Balasooriya
ජනවාරි 2013