‘‘නිළියක් වෙනවා කියන්නෙත්, දේශපාලඥයෙක් වෙනවා වගේම තමයි’’
-රුවන්ති මංගලා
පළාත් සභා මැතිවරණය ඉදිරියේ අපේ සිනමා සහ ටෙලි නිළියන් දේශපාලනයට කඩා වැදීමට එරෙහිව කෙරෙන ප‍්‍රහාරවල අගක් මුලක් පාදා ගත හැකි ද? ඒ ගැන තරමක් විමසිලිමත්ව බැලූවොත් පෙනී යන දෙයක් වන්නේ, ඒ පරිහාසාත්මක සහ නිර්දය විවේචනවල, විවේචනයට ලක්වන්නන්ට වඩා විවේචකයන් ගැන යමක් කියැවෙන බවයි. ඒ වනාහී, ප‍්‍රසිද්ධියේ පෙන්නුම් කරන කුහක වතයි. එසේම එය. ස්ත‍්‍රිය කෙරෙහි වන ද්වේෂයෙන්, පහත් හැඟීමෙන් සහ අසාධාරණයෙන් ද යුක්තයි.
මෑතකදීම ඒ ගැන ප‍්‍රහාරාත්මකව ලියූ තැනැත්තා, ‘අයිලන්ඞ්’ පුවත්පතේ විශේෂාංග රචක ලූෂන් රාජකරුණානායක ය. මේ සුරූපියන් ‘කාම නිමිති’ වශයෙන් හඳුන්වන ඔහු, ලංකා දේශපාලනයේ ‘සුපිරි’ ක‍්‍රීඩාවට ඔවුන් නොහොබිනා බව කියයි. මේ දවස්වල බහුලව සංසරණය වන බොහෝ විද්‍යුත් තැපැල් සන්නිවේදන සමග ලූෂන්ගේ දෝෂදර්ශනය සමානත්වයක් උසුළයි. මට ලැබුණු එක විද්‍යුත් තැපෑලක මේ යුවතියන්ව ‘කිරි මණ්ඩල’ නමින් හඳුන්වමින්, එය තීව‍්‍ර කිරීමට, ‘ෆොටෝ ෂොප්’ තාක්ණය යොදාගෙන ඔවුන්ගේ පියයුරු පුම්බා තිබෙන අතර, එදෙස බලාගෙන ප‍්‍රමෝදමත් වන සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේනගේ මුහුණත් පසෙකින් දක්වා තිබේ. පිළිකා රෝගයෙන් විඳවන රෝගීන්ට අවශ්‍ය ඖෂධ සැපයීමට මෛතී‍්‍රපාල සිරිසේන අසමත්ව සිටීම වෙනම කාරණයකි. කෙසේ වෙතත්, එම යුවතියන්ව මෙම ලිපියේ හඳුන්වා ඇත්තේ ‘ගොන් වැස්සියන්’ වශයෙනි.
සිනමා නිළියක් දේශපාලනයට සම්බන්ධ වීම තුළ යම් නෛසර්ගික අවගුණයක් තිබේ ද? සිනමාවෙන් පැමිණ දේශපාලනය තුළ සුරුවිරුකම් පෑ අයවළුන් නැද්ද? හිටපු ඇමරිකානු ජනාධිපති රොනල්ඞ් රේගන් එක උදාහරණයකි. ශ‍්‍රී ලංකාවේ, ගාමිණි ෆොන්සේකා, ටී. බී. ඉලංගරත්න සහ විජය කුමාරණතුංග වැන්නෝ වූහ. පබා වැන්නන්, මෙහි දී යෝග්‍ය උදාහරණයක් නොවිය හැකිය. එහෙත්, හොඳ-නරක යන දෙකම දේශපාලනය තුළ ගැහැනු-පිරිමි භේදයකින් හෝ නළු-නොනළු භේදයකින් හෝ තොරව සොයාගත හැකිය. පබා විශේෂ මැටි ගොඩක් බව වෙනම කතාවකි: මියගිය සිරිල් ධර්මවර්ධන මට කී කතාවක් අනුව, සිරිකොතේ රැස්වීමක ඔහු සමග ඇය අසුන්ගෙන සිටි එක් අවස්ථාවක කැස්ත්‍රෝ ගැන යම් කතාවක් මතු වු අවස්ථාවේ, සිරිල් දෙසට හැරී ඇය, ’කවුද සිරිල් අයියේ කැස්ත්‍රෝ කියන්නේ?’ යැයි ඇසුවේලූ. ඒත්, මතක තියාගන්න: ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් පරිණත ව්‍යාපාරිකයෙකු වූ කරූ ජයසූරියට වඩා ඡන්ද ප‍්‍රමාණයක් ඇය ලබා ගත්තාය.
අනිත් අතට, පාර්ලිමේන්තුවේ තවත් මැටි මෝල්ලූ බොහොමයක් සිටිති. නවවැනි කැලෑසිය පමණක් සමත් ඇමතිවරු සිටිති. ඉතිං, පබා ගැන විස්සෝප වන්නේ ඇයි? නීති ක්ෂේත‍්‍රයෙන්, වෛද්‍ය ක්ෂේත‍්‍රයෙන්, ගුරු වෘත්තියෙන් සහ ව්‍යාපාර ක්ෂේත‍්‍රයෙන් පැමිණ පාර්ලිමේන්තුව හැඩගැන්වූ යුගයට ‘ආයුබෝවන්’ කියා දැන් බොහෝ කලකි. ඒ වෙනුවට, වංචාවෙහි නිපුණ, බලකේන්ද්‍රයට ආවඩන හැකියාව පමණක් සහිත අන්ධ ගොබ්බයන් ද, පාසලෙන් දොට්ට වැටුණු, හිස් ඔලූ ගෙඩි සහිත විකටයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද අද එහි අඩුවක් නැත. මෑතක දී කෙනෙකු කී පරිදි, ලංකාවේ දේශපාලනයත්, සුදුසු තැනට වතුර ගලා බසින්නා සේ, තැනේ හැටියට හැඩගැහෙන්නකි. බලකේන්ද්‍රයේ වැඩ වෙසෙන මහා තරුව වඩාත් කැමති එවැනි නිවටයන්ට ය. මන්ද යත්, උන් කියන විදිහට ඉන්න දන්නා හැත්තක් බැවිනි. ලංකාවේ වර්තමාන බල දේශපාලනය තුළ ප‍්‍රධාන සුදුසුකම වන්නේ, සුවච කීකරු භාවය මිස රටේ දියුණුවට කෙරෙන සම්ප‍්‍රදානයන් නොවේ. හේතුව, බල කේන්ද්‍රයේ සමස්ත අභිමතාර්ථය වන්නේ, දේශපේ‍්‍රමී වාගාලාපය සහ වෙස්මුහුණට යටින්, රටේ සම්පත් කොල්ලකෑම වන බැවිනි. සිරිමා-සමසමාජ යුගයේ රාජ්‍ය පාලිත සමාජවාදී අදියර අහෝසි කොට, 70 දශකය මැද භාගයේ හඳුන්වා දුන් නිදහස් වෙළඳපොල යාන්ත‍්‍රණය සහ ඉන් සකසා ගත් පෞද්ගලික අංශයේ වර්ධනයන් නොවන්නට, මුළු රටව අද තිබෙනු ඇත්තේ, නැවත ගොඩගත නොහැකි අගාධයක ය.
පිරිමි ආධිපත්‍යයෙන් ජරපත් කෙරුණු පාර්ලිමේන්තුවට දැන් බෙහෙවින් අවශ්‍ය කොට තිබෙන යම් අවංක භාවයක් සහ දයාවක්, අඩුවෙන් දූෂිත කාන්තා සම්ප‍්‍රාප්තියෙන් සැපයෙන්නට පිළිවනැ යි, සුපුරුදු ආරයට සිතීමේ දී, කෙනෙකු බලාපොරොත්තු වෙයි. ඇත්තෙන්ම, සමහරු යම් දේවල් උගෙන ගනිමින් ඉහළට ගමන් කළ හැකි අතර තවත් අය දූෂිතයාගේම අතකොලූ වන්නට පිළිවන. අපේ පාර්ලිමේන්තුව මරුමුසු ය: ජෙනරාල් සරත් ෆොන්සේකාව පටලවා සිරගත කිරීමේ දී සහ ඔහුගේ බොත්තම් ගැලවීමේ දී එම පාර්ලිමේන්තුව ගානක් නැතිව සිටියේය. සේවයේ නියුතු අගවිනිසුරුවරියව, පහත් පෙළේ අපරාධකාරියක සේ කුදලා එළියට පැන්නීමේ දී එය ගානක් නැතිව සිටියේය. එවැනි සාපරාධී අවනඩු අනුමත කළ කීර්තිමත් නිළි මාලිනී ෆොන්සේකා මෙන්, මේ අළුත් නිළියන් හුදෙක් අත් එසැවීමට පමණක් පේ වෙන එකක් නැතැ යි කෙනෙකුට අපේක්ෂා කළ හැකිය.
අනිත් අතට, මේ කියන තාරකාවන් පිරිමින් විණි නම්, මේ තරම් හාහෝවක් ඇති වෙති යි ඔබ සිතන්නේ ද? කැලෑ පත්තර විද්‍යුත් තැපැල්වලින් පෙන්නුම් කෙරෙන්නේ වෙන කිසිවක් නොව, ස්ත‍්‍රිය කෙරෙහි පවතින පිරිමි අගතියයි. ඔවුන්ගේ පියයුරු පුම්බන්නේ එබැවිනි. එසේම, මේ විවේචනාත්මක පිරිමින් ගැහැනු පියයුරු කෙරෙහි දක්වන කාම ලෝලය ද එයින් පෙන්නුම් කෙරේ. ශ‍්‍රී ලංකාව තවමත් පිරිමින් රජ කරන රටකි. ලෝකයේ ප‍්‍රථම අගමැතිවරිය බිහි කෙළේ ලංකාව වුව ද, එය හුදු අහම්බයක් පමණකි යි දැන් සිතේ. දේශපාලනයේ නියැළෙන ගැහැනිය, පිරිමි විවේචකයන්ට කවදත් හොඳ ‘බයිට්’ එකක්ම වූ වග අපි දනිමු. දෙහිවල ගල්කිස්ස ප‍්‍රදේශයේ එවැනි කාන්තාවකට එරෙහිව ඒ දිනවල ගසා තිබූ අසභ්‍ය පෝස්ටර් අපට තවම මතක ය.
මේ විවේචකයන්ගේ ඇත්තම ප‍්‍රශ්නය කුමක් දැ යි අපට වටහා ගත හැකි ද? ගැහැනුන්ගේ පැමිණීම නිසා පළාත් සභා කැඳ හැලියක් වෙතැ යි ඔවුන් සිතන්නේ ද? එය නම් කෙසේවත් විය නොහැකිය. මන්ද යත්, එය දැනටමත් එසේ යැයි කවුරුත් දන්නා බැවිනි. ආණ්ඩුකරණයේ ගුණාත්මක මට්ටම වර්ධනය කිරීමට එයින් කිසි සෙතක් සැලසී නැත. ඒ වෙනුවට මහා බරක් වෙමින්, බදු ගෙවන්නන්ට දරන්නට වන විශාල වියදමක් බවට එය පත්ව ඇත. රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වීම, මේ පළාත් සභා හරහා තවදුරටත් තීව‍්‍ර කොට ඇත. පොලිස්කාරයන්ට රාජකාරිය කිරීමට ඇති ඉඩ දැන් සීමිත ය. වෛද්‍යවරුන්ට, පාසල් ප‍්‍රධානීන්ට, ගුරුවරුන්ට සහ සෞඛ්‍යාරක්ෂක සේවකයන්ට පවා රාජකාරි කිරීම ඒ මගින් අපහසු කෙරී තිබේ. නීතියේ ආධිපත්‍යය-හෝ රාජපක්ෂලාගේ කොල්ලයට හසු වී තවමත් බේරී ඇති මොන යම් හෝ එවැනි දෙයක් ඇත්නම්-එය පවා මේ ක‍්‍රමය තුළ තර්ජනයට ලක්ව ඇත. පාර තොටේ යන එන සාමාන්‍ය මිනිසාට සහ ගැහැනියට පවා එය තර්ජනයක් වී ඇත. කන්‍යාවන් දූෂණය කිරීමට පළාත් සභා නියෝජිතයන් මනා හුරුබුහුටි කමක් දක්වති. ඒ ගැන පොලීසියට කළ හැකි කිසිවක් නැත.
සත්‍යය වන්නේ, මුළු ශ‍්‍රී ලංකාවේම පාලන ක‍්‍රමය, රූපකාත්මක අරුතකින්, ‘මෙරිගෝරවුමක්’ වී ඇති බවයි: සියයකට අධික ඇමති සංඛ්‍යාවක් හිටියත්, තම තමන්ගේ ක්ෂේත‍්‍ර තුළ ප‍්‍රතිපත්ති-සංවර්ධනය සම්බන්ධයෙන් කිසිවක් කිරීමට ඒ කිසිවෙක් සමත්ව නැත. නීති විරෝධී ආකාරයෙන් පුටුවේ වාඩි කැරැවූ අගවිනිසුරුවරයා, තමා කියන දෙය තුළ ඇති ව්‍යාජෝක්තිය ගැන වගේ වගක් නැතිව මෙන්, අධිකරණ පද්ධතිය ප‍්‍රතිසංස්කරණය කිරීමට තමාට අවශ්‍ය බව දැන් කියයි. මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවට රටේ අගමැතිවරයාම ලක්වෙයි. ලොක්කාගේ පුතාව ගුවන් නියමු ප‍්‍රාථමික පරීක්ෂණයකින් සමත් නොකෙළේ යැයි, ගුවන් නියමු පරීක්ෂකවරයෙකුව ගෙදර යවයි. නීති විද්‍යාල පරීක්ෂණවල දී ඥාති සංග‍්‍රහයේ යෙදී අතටම හසු වී නීති විද්‍යාලයේ විදුහල්පති ධුරයෙන් පන්නා දැමූ පුද්ගලයාව ජනාධිපති නීති උපදේශක තනතුරකට පත්කෙරේ. බරපතල දූෂණ වංචා ගැන චෝදනා ලද ඉහළ පොලිස් නිලධාරීන්ට අතක් නොතැබේ. මිනීමැරුමකට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයක් ඇතැ යි කියන පුද්ගලයෙකු, ආරක්ෂක අංශයේ මොනිටර්වරයෙකු බවට පත්කෙරේ. ලොක්කාගේ මස්සිනා වන ‘ශ‍්‍රී ලංකන්’ ගුවන් සේවයේ සභාපතිවරයා, හිතුමතේට ගුවන්යානා හරවාගෙන යයි. ස්ත‍්‍රී දූෂකයන්ව බලපුලූවන්කාරයන් විසින් ආරක්ෂා කෙරේ. මෙවැනි කතා, අනන්තයි. අප‍්‍රමාණයි. ශ‍්‍රී ලංකාව ඇත්තෙන්ම, එක්තරා ආකාරයක සැණකෙලියකි.
මේ හැම තුප්පහි කමක්ම කරන අතරේ සමාජයට හොඳ මුහුණක් පෙන්වීමට දේශපාලඥයන්ට අවශ්‍ය කෙරේ. ජාතික හෙළ උරුමයේ ගම්මන්පිල මහතාට මෙවර පළාත් සභාවට තරග කිරීමට මුදල් නැති බවක් පසුගිය දා කියා තිබුණි. එබැවින් රුපියන් 100 බැගින් දායක වෙමන් තමන්ගේ දේශපාලනයට සම්මාදම් වන්නැ යි ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබුණි. රංගනය යනු එයයි. ඉතිං, අපේ ටෙලි නිළියෝ රංගනය ගැන නොදන්නෝ ද? සත්තකින්ම, ගම්මන්පිලට වඩා හොඳට ඔවුන් රංගනයෙන් සජ්ජිත වනු ඇත. දේශපාලන ශිල්පය, ඔවුන්ගේ අතේ අගේට නැළවෙනු ඇත. මේ සත්‍යය, එක නිළියක් වන රුවන්ති මංගලා අවංකවම ප‍්‍රකාශ කොට තිබුණි: ‘‘නිළියක් වෙනවා කියන්නෙත්, දේශපාලඥයෙක් වෙනවා වගේම තමයි.’’ ඉතිං, මෙරිගෝරවුමට ඔවුනුත් ගොඩ වී, ඔවුන්ගේ ද විනෝදයෙන් ජනතාව කුල්මත් නොකළ යුත්තේ ඇයි?
දේශපාලනය වෙත අපේ තාරකාවන් ආකර්ශණය වීම ගැන ඔවුන්ට දොස් කියා පලක් නැත. මන්ද යත්, ලංකා දේශපාලනය තුළ අසීමාන්තික දිනුම් ත්‍යාග ඇති බැවිනි. ඉතිං, ඉල්ලූම වැඩි ය. ලැබෙන ඉල්ලම, දරණ වෙහෙසට සහ අවදානමට වඩා අධික ය. වෙනත් නීත්‍යානුකූල ව්‍යාපාර කිසිවකින් එවැනි ලාභ නොලැබේ. ඉතිං, දේශපාලනයට නෑවිත් කොහොමද? වැටුප් සහ විශ‍්‍රාම, අමතර වාහන සඳහා නොමිලේ බලපත‍්‍ර, පවුලේ අයවළුන්ට රාජ්‍ය තාන්ත‍්‍රික තනතුරු, ලෝකය වටා යන සවාරි ආදිය ඊට ඇතුළත් ය. එය, එකම රස ගුලාවකි. ලංකාවේ දේශපාලනය පස්සේ වහවැටීම, 18 වැනි සියවස මැද භාගයේ ඕස්ටේ‍්‍රලියාවේ රත්තරං ඉල්ලම් පස්සේ පැන්නුවා වැන්න: ප‍්‍රතිලාභ මොන තරම් ආකර්ශනීය ද යත්, ඒ පස්සේ දුවන්නෝ, ඒ වෙනුවෙන් බොරු කියන්ට, රවටන්ට සහ ප‍්‍රසිද්ධියේම ද්‍රෝහී වීමට පවා, පසුබට නොවෙත්.
ෂ්‍යාමන් ජයසිංහ | Shaiyaman Jayasinghe
| 2014 පෙබරවාරි 02 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්‘ වෙබ් අඩවියේ පළවූ Kirimandala:Our Female Stars in The Gold Rushනැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්