පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
ජනාධිපතිවරණයේ දී විපාක්ෂික පොදු අපේක්ෂකයා වූ ජෙනරල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා දිනවීම වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකළ පිරිස් අද ජීවත්වන්නේ කුමණ අවස්ථාවක දී තමනට ප්‍රහාරයක් එල්ල වනු ඇත්දැයි යන භීතියෙනි. ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩු පක්ෂයට අභියෝගයක් වන විපක්ෂ දේශපාලන ව්‍යාපාරයන්ට සහාය දීම අපරාධයක් ද?
එළෙස සහාය දීම නිසා ජීවිත කාලයක් පුරා එක්රැස් කරගත් දේපල විනාශ කර දැමිය යුතු ද? මේ සිදුවන විනාශකාරී ප්‍රහාරයන් දෙස බලා නෝනාවරුනි, මහත්වරුනි ඔබ තවමත් ජයපැනින් නැහැවෙමින් සිටින්නේ ද? ජනාධිපතිවරණ සමයේ රූපවාහිනී නාලිකා සහ පුවත්පත් පිටු පුරවමින් අපට ඡන්දය දියයුතු කවර අපේක්ෂකයාටදැයි ඔබ කියා නුදුන්නේ ද? අහෝෟ ඔබේ ඒ කටහඬ දැන් කොහි ද? ගිනි ගෙන දැවෙන විපාක්ෂික ජනයාගේ නිවෙස්, ජීවිතාරක්ෂාව පතා දිවා රෑ සැඟ වී සිටින, ස්වකීය සර්වජන ඡන්ද බලය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් භුක්ති විදීමට අයිතියක් ඇතැයි යන වත්මන් ශ්‍රී ලංකාවේ වැරදි අදහසක් වියහැකි මතය උඩ ක්‍රියා කළ දහස් ගණනාවක් අවසානයක් නැති දුක් පීඩාවන්ට ලක් කිරීම ඔබේ අපේක්ෂාව වීදැයි කරුණාකර අපට කියන්න.
පුර්ව ජනාධිපතිවරණ අවධිය තුළ දහසකට ආසන්න මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා විය. එම සාහසිකත්වයෙන් වැඩිපුරම අලාභ හානි වින්දේ ද විපාක්ෂික පිරිස් ය. එකළ ඔබ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවේ ගත කළ බැවින් ඒ තොරතුරු නොලැබුණා විය හැකි ය. නමුත් අද මෙරට කැරෙමින් ඇති වෙනත් දේශපාලන අදහසක් දැරීම පාපයක් කොට සළකා කැරෙන සාහසික අපරාධ ඔබට නොපෙනෙන්නේ ද?
ප්‍රධාන දේශපාලන පක්ෂයන්ට සහාය දෙන බහුතරයක් ප්‍රසිද්ධ පුද්ගලයන් එළෙස ඡන්දය දිය යුත්තේ කවරකුටදැයි අපට කියා සිටින්නේ ස්වකීය පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා බව මෙරට ජනයා අත් දැකීමෙන්ම දනිති. 1994 ජනාධිපතිවරණයේ දී අප බොහෝ දෙනෙකු එක්ව චන්ද්‍රිකා කුමාරතුංගට ඡන්දය දෙන සේ ”බියෙන් අත් මිදෙමු” නම් සිවිල් පුරවැසියන්ගේ ව්‍යාපාරයක් රට පුරා ගෙන ගියෙමු. ඉතා සරළ සන්ධානයක් වූ එහි එක් ප්‍රධාන එකඟතාවයක් විය. අප සෑම මහජන රැලියකදීම ඒ බව ප්‍රසිද්ධියේ කීවෙමු. එනම් බියෙන් අත් මිදෙමු වේදිකාවේ සිටින කිසිවකු බලයට පත්වන ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර නොගන්නා බවයි.
ජනාධිපතිවරණයෙන් කුමාරතුංග මහත් ජයක් ලබා ගත්තේ ය. අනතුරුව අපේ වේදිකාවේ සිටි බොහෝ දෙනෙකු පස්සා දොරෙන් රිංගා හෙංචයින් බවට පත්ව දේශපාලන පත්වීම් ලබා ගත්හ. ඉන් සමහරක් මේ වන විට වසර 13ක්ම එම තනතුරුහි යෙහෙන් වැජඹෙති. ආත්මය පාවා නොදී ස්වකීය ගරුත්වය රැක ගත්තේ ධර්මසිරි බණ්ඩාරනායක, ජයතිලක බන්ඩාර, ගුණදාස කපුගේ, සුගතපාල ද සිල්වා වැනි කිහිප දෙනෙක් පමණි.
ඉහළම දේශපාලන පත්වීම ලැබුණේ අපේ රැහේම සිටි දිවුල්ගනේට ය. කළක් දේශපාලන ගොදුරක් බවට පත්ව හිසට වහළක් පවා නැතිව ගිය කරුණාරත්න දිවුල්ගනේ ආණ්ඩු කරන රජරට අද විපාක්ෂිකයින් කී දෙනෙකු නම් ආණ්ඩු බලයේ මැර ප්‍රහායන්ට ලක්ව බියෙන් තැති ගැන්මෙන් ජීවත්වනු ඇත් ද? ඒ බිය මුසු සුසුම් ගී බවට පෙරළා ගයන්නට දිවුල්ගනේට සිහිනෙන්වත් සිතෙන්නේ නැත්ද? ඒ සිහින බියකරු චිත්ත සන්තාපයන් බවට පත් නොවනු ඇත් ද?
මා මේ ලියන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම පිණිස පුද්ගලික ලාභ ප්‍රයෝජන නොකතා දේශපාලන වේදිකාවට ගොඩ වූ හෝ ජනමාධ්‍යයේ පෙනී සිටි හෝ ශ්‍රාස්ත්‍රඥයින්, කලාකරුවන් සහ ජනමාධ්‍යවේදීන් අතලොස්සක් හෝ ඇතැයි යන සිතුවිල්ලෙන් ඔව්නට කැරෙන ආමන්ත්‍රණයක් ලෙස ය. රාජපක්ෂ රාජ පරම්පරාව සිංහලයේ මහා වංසයට ලියන්නට ශපථ කොට සිටින ජැක්සන් ඇන්තනි ප්‍රවර්ගයට නොවේ. එක්සත් ජාතික පක්ෂයට වේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වේවා ඡන්දය දෙන්නැයි අපට බණ කියන බුද්ධිමතුන්, කලාකරුවන්, ක්‍රීඩකයින් බහුතරය එසේ කරන්නේ අපට ඇති ආදරය නිසා නොව දූෂණයේ සහ භීෂණයේ කොටස්කරුවන්ව ස්වකීය ජීවිතය සැපවත් කර ගැනීමට ය. ඒ වනාහී ජැක්සන් ඇන්තනි ප්‍රවර්ගය යි.
හෘද සාක්ෂියක් ඇතයි මා සිත කියන රාජපක්ෂවාදීන්ගේ නම් ගණනාවක්ම මතුවෙමින් යට යමින් තෝරා ගැනීම දුෂ්කර බවට පත් කරයි. දේශපාලන වේදිකාවට ගොඩ වූ සියළු දෙනාම තමන්ට කීයක් හරි හම්බකර ගැනීමේ එකම අරමුණින් එසේ කළේ යැයි සිතීමට මා කැමැති නැත. එය කාගේ නමට අමතා ලියන්නදැයි යන සිතිවිල්ල දවස් ගනනාවක්ම පුරා මසිත තුළ හොල්මන් කරමින් තිබේ.
ගායක රූකාන්ත ගුණතිලක කුමාරතුංග පාලන සමයේ දී දරුණූ දේශපාලන පළිගැනීමකට ලක් විය. ඔහුගේ සහ බිරිඳ චන්ද්‍රලේඛාගේ හිස මුඩුකර ඇඟට භූමිතෙල් වත් කර ගිනි තැබීමට ඔන්න මෙන් කියා තිබුණි. ඒ ඔහු එදා එක්සත් ජාතික පක්ෂයට දේශපාලන සහාය ලබා දුන් නිසා ඊට පළි ගැනීමක් වශයෙනි. එම බිහිසුණු අවස්ථාවේ දී අප බොහෝ දෙනෙකු අවදානම් නොකතා ඔහුගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් පෙනී සිටියෙමු. අද ද එළෙසම එක්සත් ජාතිත පක්ෂයට සහාය දීමේ වරදට මාධ්‍යවේදීන් ද ඇතුළුව දහස් ගනන් අහිංසක ජනයා එවැනිම අතුරු අන්තරායන්ට මුහුණ දී සිටිති. තමා මුහුණ දුන් අපරාධකාරී අසාධාරණය දෙස අද රූකාන්ත ගුණතිලක මහින්ද රාජපක්ෂ වේදිකාවේ සිට බලා සිටින්නේ සතුටින් ද? එසේ නැත්නම් අසරණ හැගීමකින් ද? කටක් ඇර මේ මර්දනය නවත්වනැයි මහත්වරුනි ඔබ තවමත් කියා නොසිටින්නේ මන්ද?
මාලිනී ෆොන්සේකා, වැනි අප ආදරයෙන් සහ සාඩම්බරයෙන් සළකන කලාකාරියන් ද මෙවර දේශපාලනය කළේ මහින්ද රාජපක්ෂට ය. ඒ අයිතියට අපි සැම ගරු කළ යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සෑම පුරවැසියකුටම ස්වකීය දේශපාලන මතය දැරීමට අයිතියක් තිබේ. එම අයිතිය භාවිතා කරන අප හැම නිසඟයෙන්ම වෙනත් අයිතියක් සමඟ බැදේ. එනම් අනෙකාටත් එම අයිතිය සහතික කර දීමේ වගකිමයි. අද අප රටෙහි සිදුවෙමින් ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියා දාමයකි. රූපවාහිනී සංස්ථාවෙහි, ස්වාධීන රූපවාහිනියෙහි, ලේක් හවුසියෙහි ජනමාධ්‍ය ස්වාධිනත්වය වෙනුවෙන් පෙනි සිටි මාධ්‍ය පිරිස් රැකියාවෙන් පහ කරති. වැඩ තහනම් කරති. ජනමාධ්‍යවේදීන් ගනනාවක්ම ජීවිතය බේරා ගැනීම පිණිස තැනින් තැන සැඟව ජීවත්වෙති. කෝ ඔබ පොරොන්දු වූ සුභ අනාගතය විපාක්ෂියන්ගේ රුධිරයෙන් දැනටමත් තෙත් වී නැතිද?
මහින්ද රාජපක්ෂ දැන් තවත් වසර හතකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ය. මේ ඔහු පෙරළා දැමීමට කරන ආයාචනයක් නොවේ. ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුටම සමාන අයිතිවාසිකම් තිබිය යුතු බවට කැරෙන සාධාරණත්වයේ ආයාචනයයකි. නව පාලනය ලෙයින් සහ මරණයෙන් බෞතීස්ම වීම නපුරේ ලකුණක් වීම වැලැක්වීමට නම් යහපත් මිනිසුන් සිය නිහඬතාවය බිඳ දැමිය යුතුය. 1992 වසරේ දී ප්‍රේමදාස භීෂණය නොතකා අප ඔබ බෙහෝ දෙනෙකු එක්ව පැවැත් වූ ප්‍රථම බියෙන් අත් මිදෙමු උත්සවය නම් කැරුනේ රිචඩ් -රාජිනී සමරුව ලෙසිනි. එහිදී ද අප කී දේ අදට ද ගැලපේ. නපුර ජය ගන්නේ යහපත් මිනිසුන්ගේ භයානක නිහඬතාවය නිසාය.
කරුණාකර අපට කියන්න, අප අපේ දරුවන්ට උරුම කර දිය යුත්තේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන අදහස් දැරීම මගින් පමණක් ජීවිතාරක්ෂාව සහතික කර ගත හැකි රටක් ද කියා? විරුද්ධ සමාජ දේශපාලන සංස්කෘතික මතවාද මර්දනය කරන දේශයක් ද කියා?
පලා විකුණන කඩයක් හෝ හරි හැටියට කෙරෙන්නට නම් තවත් පලා විකුණන කඩයක් අසළක තිබිය යුතු යැයි කියැවෙන දෙමළ කියමනක් ඇති බව මට කියා දුන්නේ පසු කලෙක ස්ත්‍රෝත්‍ර ගායකයකු බවට පත් 1994 බියෙන් අත්මිදෙමු ව්‍යාපාරයේ ප්‍රබලයෙකි. යහපත් ආණ්ඩුකරණයක් සඳහා විවිධ දේශපාලන පක්ෂ පැවැතීමත් නිදහස් සහ සාධාරණ නිසි කළට පැවැත්වෙන් මැතිවරණ අත්‍යවශ්‍ය බවත් අපි හැම පිළි නොගන්නේ ද?
හෘද සාක්ෂියක් සහිත රාජපක්ෂවාදී බුද්ධිමතුනි කලාකරුවනි, කතුවරුනි, අපට කියන්න අද ශ්‍රී ලංකාවේ සිදුවන මෙම මර්දනකාරී දේශපාලනය සමඟ ඔබ එකඟද කියා ?. ඔබ එකඟ නැති බව අපි දනිමු. එනමුත් ඒ බව කීමට පවා ඔබට අයිතියක් නැති ද? ඒ බව කීවොත් ඔබත් ඒ ක්ෂණයෙන්ම ද්‍රෝහියකු ලෙස ෆොන්සේකා කුමංත්‍රණයේ රහසිගත හවුල්කරුවකු ලෙස හංවඩු ගැසේ යැයි බිය ද? ඇත්ත ඇති හැටියෙන් පිළිගමු. ඔබ දකින ඇත්ත කීමට ඔබට අයිතියක් නැත. ඉතිං, අප අපේ දරුවන්ට බාර දෙන්නට යන රට ද මේ? නිදි නැති නිහඬ රැයක කරුණාකර ඔබේ හෘද සාක්ෂියට සවන් දී අසන්න කළ හැකි කිසිම දෙයක් නැත් ද කියා?
ඔබට යහපතක්ම වේවා !
සුනන්ද දේශප්‍රිය