‘‘පෙලපාලියකට ගිය පලියට අපිට සලකන්නේ මෙහෙම නම්, යාපනේට කොහොම කරන්න ඇත් ද කියලා අපිට හිතාගන්න පුලූවන්. යුද්ධෙ ඉවර කරපු එක ලොකු දෙයක් කියලයි එදා අපි හිතුවේ. දැන් තමයි අපිට තේරෙන්නේ, කරලා තියෙන්නේ අහිංසක මිනිස්සුන්ව මරපු එකක් කියලා.’’- වැලිවේරියේ පදිංචිකරුවෙක්
පින්තූරයක් ඔසවාගෙන සිටින ජෙයකුමාරි බොහෝ පින්තූරවල දකින්ට ලැබුණි. ලැමිනේට් කළ විශාල ප්‍රමාණයේ ඡායාරූපයේ, ගැටවරයන් පිරිසක් ශාරීරික අභ්‍යාසවල යෙදෙමින් සිටිනු පෙනේ. හිටපු ළමා සොල්දාදුවෙකු වූ, ජෙයකුමාරිගේ බාලම පුතා එම ඡායාරූපයේ ඉන්නා බව කියැවේ. මෙය, ආණ්ඩුවේ පුනරුත්ථාපන වැඩපිළිවෙල පිළිබඳ ප්‍රසිද්ධියක් ලබා දීමට ආණ්ඩුවෙන් පළ කළ ඡායාරූපයකි.
ජෙයකුමාරිගේ කතාව, ඇගේ දෙමළ ප්‍රජාවේ මහ කතාව සාරාංශයෙන් දැක්වීමකි. යුද්ධයෙන් මියගිය ඇගේ වැඩිමහල් පුතුන් දෙන්නා එල්.ටී.ටී.ඊ, සංවිධානයට සම්බන්ධ වී ඇත්තේ ස්වේච්ඡාවෙනි. දරුස්මාන් වාර්තාවේ ලියා තිබූ පරිදි, ‘‘පැහැදිළිවම පරාජය වෙමින් තිබුණු යුද්ධයක් පවත්වාගෙන යාමටත්… සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය ආරක්ෂා කර ගැනීමටත් ගෙන ගිය යුද්ධයේ’’ අවසාන භාගයේ දී, ඇගේ බාලම පුතාව එල්.ටී.ටී.ඊ. සංවිධානයට බඳවාගෙන ඇත්තේ බලහත්කාරයෙනි. ඒ අවසාන මිනීමරු ව්‍යායාමයෙන් දිවි ගලවා ගත් ඔහු, ආපසු සිය පවුල වෙත ගොස් තිබේ. ලංකාවේ බලධාරීන්ගේ ඉල්ලීමකට කන්දුන් ජෙයකුමාරි, සිය බාලම පුතාව හමුදාවට භාර කළාය. ඉහත කී පින්තූරයේ දැක්වෙන පරිදි, ලංකාණ්ඩුවෙන් ‘පුනරුත්ථානය’ කළ එම දරුවා අද අතුරුදහන්ව සිටී.
ජෙයකුමාරි ප්‍රසිද්ධියට පැමිණියෙත්, ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානයට යොමුවුණෙත් එලෙසිනි. ඇය එල්.එල්.ආර්.සී. (‘‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම) ඉදිරියට ගියාය. මහජන විරෝධතා ව්‍යාපාරවලට සහභාගී වූවාය. දේශපාලඥයන්ව හමුවූවාය. සම්මුඛ සාකච්ඡා දුන්නාය. යුද්ධයෙන් පසුව සිය පුතා ජීවත්ව සිටි බවට සාක්ෂි ඈට ඇත. පුතාව ආණ්ඩුවට භාර දුන් බවට සාක්ෂි ඈට ඇත. අතුරුදහන් වන අවස්ථාවේ ඔහු සිටියේ රජය භාරයේ බවට සාක්ෂි ඈට ඇත. එම සාක්ෂි, එංගලන්තයේ ‘චැනල් 4’ වෙතින් ඈට ලැබුණු සාක්ෂි නොව, ලංකාවේ ආණ්ඩුව විසින්ම සපයන ලද සාක්ෂි ය. එක් වාර්තාවක් පෙන්වා දෙන පරිදි: ‘‘ආණ්ඩුවට එරෙහිව ඈට බරපතල නඩුවක් තිබේ. මන්ද යත්, සටන්කරුවන්ව පුනරුත්ථාපනය කිරීමට අදාළව ආණ්ඩුව මගින්ම ප්‍රකාශයට පත්කළ එක් ඡායාරූපයක ඇගේ පුතා ද සිටි බැවිනි’’
හමුදා භාරයට පත්කළ ඇගේ පුතා දැන් මියගොසින් නම්, යුද්ධයෙන් පසුවත් යුද අපරාධ සිදු වී ඇති බවට එයම සාක්ෂියකි.
මේ නිසා ජෙයකුමාරි ගැනත්, ඇගේ නැති වූ පුතා ගැන ඈ ගෙන යන ප්‍රසිද්ධ උද්ඝෝෂණ ගැනත් කලබල වීමට සෑම හේතුවක්ම ආණ්ඩුවට තිබේ.
යුක්තිය පතා මහා සටනක් කළ, පසුගිය සතියේ මියගිය, ටෝනි බෙන් වරක් මෙසේ කීවේය: ‘‘මිනිසුන්ව පාලනය කරන ක්‍රම දෙකක් තියෙනවා කියලා මං හිතනවා. මුලින්ම, මිනිසුන්ව බිය ගැන්වීම. ඊළඟට, ඔවුන්ගේ ධෛර්ය බිඳීම.’’ මේ ක්‍රමවේද දෙක, බොහෝ විට, එකිනෙකට සහසම්බන්ධී ය. බියට පත් මිනිස්සු, බොහෝ විට, චිත්ත ධෛර්යයෙන් වෑරෙති. ප්‍රසිද්ධ අරගලවලින් ඈත් වී, තමන්ගේ දෙයක් බලාගෙන ඉන්නට ඔවුන් තුළ ඇති වන නැමියාව වැඩි ය. ජෙයකුමාරිව අත්අඩංගුවට ගැනීම, ඇය වැනිම සිය නෑසියන් නැති වූ තවත් පවුල්, අරගල මාවතින් ඈත් කර තැබීමට පාලකයන්ට ප්‍රයෝජනවත් වනු ඇත.
ඇය කොටි හිතවාදී සැකකරුවෙකුට රැකවරණය සැපයූ බවත්, බිම් බෝම්බ අනාවරකයක් තබාගෙන සිටි බවත්, ආණ්ඩුව කියයි. වැලිවේරියේ සාමකාමී හමුදාවට සාහසික විරෝධතාකරුවන් පහර දුන් බව කීවෙත් එම ආණ්ඩුවම ය: ‘‘එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින්, හමුදා ප්‍රකාශක බි්රගේඩියර් රුවන් වනිගසේකර ප්‍රකාශ කොට සිටියේ, හමුදාව සහ පොලීසියට මුගුරුවලින්, වැලි බෝතල්වලින් සහ පෙට්‍රල් බෝම්බවලින් මුලින් පහර දුන්නේ ගම්මුන් මිස, පොලිසිය හෝ හමුදාව නොවන බවයි.’’
වැලිවේරියේ විරෝධතාකරුවන් ත්රස්තවාදීන් වශයෙන් හංවඩු ගැසීමට ආණ්ඩුව ගත් ප්රයත්නය සාර්ථක නොවුණේ, වැලිවේරිය පිහිටියේ සිංහල දකුණේ වන නිසා ය. එහි දී ආණ්ඩුවේ පදේට නටන්නට මාධ්‍ය කැමති නොවුණු නිසා ය. එවැනි සක්සුදක් සේ පෙනෙන සාක්ෂි ඉදිරියේ පවා, පිරිසුදු පානීය ජලය ඉල්ලා සාධාරණ උද්ඝෝෂණයකට පිළිපන් එම ජනතාව, ජාති-විරෝධී කුමන්ත්රණකරුවන් සේ පින්තාරු කිරීම ආණ්ඩුව නතර කෙළේ නැත. මේ මැතිවරණ සමය ආරම්භයේ ජනාධිපතිවරයාමත් එම මහ බොරුව ප්රතිරාව කෙළේය: ‘‘කර්මාන්ත ශාලා ඉවත් කරවන්න මිනිස්සුන්ව උසිගන්නලා, රටේ ආර්ථිකය විනාශ කරවන්න ඇතැම් කොටස් සූක්ෂම ව්‍යාපාරයක් ගෙනිච්චා’’
එවැනි ආණ්ඩුවක් දෙමළ විරෝධතාකාරියක් අත්අඩංගුවට ගෙන, ඇයට ත්‍රස්තවාදී ලේබලය ඇලවීමට පස්ස ගහයි ද?
වැලිවේරිය සහ කිලිනොච්චිය
වැලිවේරියේ දී ඝාතනය කෙරුණු, 17 වියැති, අකිල දිනේෂ්, ‘හමුදාව ඔහු පස්සෙන් පන්නා වෙඩි තබන විට සිටියේ මහ පාරෙන් මීටර් 200 ක් පමණ ඈතිනි… අකිල පස්සෙන් පන්නන අතරේ, තමන්ගේ ‘වීර’ ක්‍රියා සටහන් වෙතැ යි සැකෙන්, ඒ අසල නිවෙසක සවිකොට තිබූ සී.සී.ටී.වී. කැමරාවක් ද හමුදාවෙන් කුඩුපට්ටම් කෙරුණි… පාරේ ලයිට්වලටත් වෙඩි තැබූ ඔවුන්, හතර වටේට වෙඩි තබමින් මිනිසුන්ව පළවා හැරියේය.’ කෙසේ වෙතත්, දේශද්‍රෝහී ලේබලය අකිලට ඇලවුණේ නැත. මන්ද යත්, ඔහු සිංහලයෙකු වූ බැවිනි. වෙඩි තැබීම සිදුවුණේ කොළඹට සැතපුම් කිහිපයක් ආසන්නයේ වූ බැවිනි.
ජෙයකුමාරි මහත්මිය, ජන්මෙන් දෙමළ ය. ජීවත් වන්නේ, කොළඹින් බොහෝ ඈතිනි. තත්වාකාරයෙන් ගත් විට, හමුදාව වාඩිලා ගත් ප්‍රදේශයක් වන නිසා, දකුණේ/ජාත්‍යන්තරයේ මාධ්‍යයට එහි කටයුතු ආවරණය කිරීම දුෂ්කර ය. එවැනි බාධක සහිත පරිසරයක, ඇත්ත සහ බොරුව ඉතා පහසුවෙන් එකිනෙකට හුවමාරු වෙයි. හමුදා ක්‍රියාන්විතයක දී සේ ඇගේ ගම හතරවටින් වටලෑමට හමුදාවට සහ පොලීසියට පහසුවෙන්ම පුලූවන. ඇය සහ ඇගේ කුඩා දියණියගෙන් පැය ගණන් ප්‍රශ්න කරන්නට පුලූවන. මහ රෑම මහේස්ත්රාත්වරයෙකු ළඟට ඉදිරිපත් කොට, ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ අත්අඩංගුවට ගන්නට පුලූවන. බාහිර ලෝකයාට අවතීර්ණ විය නොහැකි බූස්ස කඳවුරේ ඇයව ගාල් කරන්නට පුලූවන. ඇය ගැන හෝ ඇගේ කුඩා දියණිය ගැන, ආරක්ෂක බලධාරීන් ඈට කී දෙයකට වැඩි දෙයක්, දැනගන්නට ක්‍රමයක් අද ලෝකයාට නැත.
ශ්‍රී ලංකාවේ රාජ්‍යය සහ එම රාජ්‍යය අරක්ගෙන සිටින චන්ඩි හමුදාවට නිභයව මුහුණදුන්නේ, ජෙයකුමාරි නැමැති එම මාතාවයි. එම මාතෘ පේ‍්‍රමයම, ඇයව නිහඬ කැරැවීමටත් පාවිච්චි කළ හැකිය. ඇගේ පුතාව ‘අතුරුදහන්’ කැරැවූ හමුදා භාරයටම, දැන් ජීවතුන් අතර සිටින (ඉතා මෑතක දී වැඩිවිය පත්) ඇගේ එකම දියණියත් පත්ව සිටීම ඊට හේතුවයි. (බියට පත් එම දියණිය අම්මා ඉල්ලා යාදින්නී යැයි වාර්තා වෙයි). සමහර විට, දුවගේ ආරක්ෂාවට හිලව්වක් සේ, අම්මා ලවා තමාවමත්, තමාගේ අනිකුත් උද්ඝෝෂකයන්වත් මොකකට හෝ පටලැවීමට, යමෙකු කල්පනා කළා විය හැකිය.
ජිනීවා සඳහා අගේට ගැලපෙන තොවිලයක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය, ශ්‍රී ලංකාව පිළිබඳ ඇගේ අළුත්ම වාර්තාවෙන් මෙසේ කියයි:
‘‘..සිදුවී යැයි කියන යුද අපරාධ හෝ බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන කිසි එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකුට විරුද්ධව ආණ්ඩුව නීතිමය ක්‍රියාමාර්ග ගෙන නැත.’
’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැන් ජෙයකුමාරිව අත්අඩංගුවේ තබාගන්නා රාජපක්ෂ ආණ්ඩුව, මේ තාක් අත්අඩංගුවේ පසුවන එකම කොටි සාමාජිකයෙකුට එරෙහිව හෝ නඩු පවරා නැත. වේලූපිල්ලේ ප්‍රභාකරන්ගෙන් පසු අනුප්‍රාප්තික නායකයා වීමට සිටි පුද්ගලයාව නිදහස් කෙළේ ද එම ආණ්ඩුවමයි. ඒ වෙන කිසිවක් නිසා නොව, ‘හිරු දෙවියන්ට’ පෑ පක්ෂපාතීත්වය, දැන් සිංහල ‘මහරජාණන්ට’ දැක්වීමට ඔහු කැමැත්ත පළ කිරීම නිසා ය.
2010 ජනවාරි මාසයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ගණන් කෙරෙමින් තිබියදීම, ජෙනරාල් සරත් ෆොන්සේකා සහ විපක්ෂ නායකයන් සිටි කොළඹ හෝටලයක්, හමුදා ශෛලියෙන්ම වට කෙරුණි. එම දීර්ඝ වටලෑමෙන් පසු, ජනාධිපති අපේක්ෂකයාගේ ආරක්ෂාව සඳහා නීතියෙන්ම පත්කොට සිටි හමුදා සෙබළුන්ගේ දෑත්වලට මාංචු දමා, මහපාරේ දණගස්සවා, හිරේට දක්කන් ගියේ, ‘ත්රස්තවාදීන්’ පිරිසක් මෙනි. යුද්ධයක් ජයගත් හමුදාපතිවරයෙකුට යුද්ධාවසානයෙන් සති කිහිපයක් තුළ එවැන්නක් කළ පාලන තන්ත්රයකට, වෙනස් අදහස් දරණ දෙමළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන, ඇගේම කුඩා දියණියගේ ආරක්ෂාවේ පරදුව පෙන්නා ඇගේ චිත්ත ධෛර්ය සිඳලීමට කොහොමත් පුලූවන.
දැයට කිරුළේ තිබූ හමුදාපතිවරුන්ගේ නාම ලේඛනයෙන් සරත් ෆොන්සේකාගේ නම ඉවත් කළ පිරිසකට, දෙමළ කාන්තාවකට ත්‍රස්තවාදී ලේබලය ඇලවීමත් මහ කජ්ජක් ද?
‘මානව ක්‍රියාන්විතයේ’ පුංචි රසයක්, දකුණේ සිංහලයාට වැලිවේරියේ දී ලැබුණි: ඒ ආකාරයෙන්ම, ජෙයකුමාරිට අද පමුණුවන තාඩනපීඩන, දකුණේ විසම්මුතිකයන්ගේ (වෙනස් මත දරන්නන්ගේෙ) අනාගත දෛවය කියාපාන්නකි.
වික්‍රමයක් නොවූ අවසානයකින් කෙළවර වූ ඊලාම් යුද්ධය, කොටි නායකයන් සිය අනුගාමිකයන්ට සහ සිය ප්‍රජාවට ද්‍රෝහී වීම සනිටුහන් කෙළේය. රාජපක්ෂලා අද කරන්නේත්, ස්වකීය බලකාමයට ශ්‍රී ලංකාව කැප කිරීමකි. ජෙයකුමාරි බාලේන්ද්‍රන් සහ ඇගේ දියණියගේ වර්තමාන අබග්ගය, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අසාර්ථක අරගලයේ සහ රාජපක්ෂලාගේ අසාර්ථක සාමයේ සංකේතයකි.
තිසරණී ගුණසේකර | Thisarane Gunasekara
|2014 මාර්තු 16 වැනි දා ‘කලම්බු ටෙලිග්රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Curious Case of Jeyakumari නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙන් | Image Credit :thestar Eranga Jayawardena / The Associated Press File Photo