Image Credit: www.jdslanka.org

Updates : 19.20PM, 06 April 2014

ලංකාවෙන් බැහැරව සිට ක්‍රියාත්මක වන සංවිධාන 16ක් සහ පුද්ගලයන් සිව්දෙනෙක් ලංකාව තුළ තහණම් කිරීමට පියවර ගෙන ඇතැයි පසුගිය දා ලංකා ආණ්ඩුව ප්‍රකාශ කළ ද, 2014 මාර්තු මස 21 වන දින, අංක 1854/41 දරණ ගැසට් නිවේදනයෙන් සංවිධාන 16ක් සහ පුද්ගලයින් 424 දෙනෙකු ලංකාව තුළ තහණමට ලක් කර තිබේ. එම ගැසට් නිවේදනය

##

ලංකාවෙන් බැහැරව ක්‍රියාත්මක වෙන සංවිධාන 16ක් හා පුද්ගලයන් සිව් දෙනෙක්, ත්‍රස්තවාදී සංවිධාන බවට හදුන්වමින් ඔවුන් සමඟ ගනුදෙනු කිරීම ශ්‍රි ලාංකිකයන්ට සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ශ්‍රි ලංකා රජය තීරණය කර ඇතැයි ඊයේ(01)වාර්තාවේ. මේ බව ඉදිරි සතිය තුල නිල වශයෙන් ප්‍රකශයට පත් කිරීමට නියමිත බවත් ඇතැම් වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

නමුත් නම් කරන ලද සංවිධානවලින් බොහෝමයක් සංවිධාන විදේශ රටවල තහණම් නොවූ සංවිධාන ලෙසට සැළකෙන අතර, එසේ විදේශ රටවල තහණමට ලක් නොවූ සංවිධාන, වර්තමානයේ ලංකාව තුළ තහණම් කිරීමේ සූදානමක් තුළ ජාත්‍යන්තර මට්ටමේ දී තවත් ව්‍යකූල තත්ත්වයන් වලට මුහුණ දීමට ලංකාවට සිදුවිය හැකි බවට ඇතැම් වාර්තා පවසයි. විශේෂයෙන් පසුගිය දා ජිනීවාවල දී, ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව සම්මත කෙරැණු වහාම මෙම පියවර ගැනීම නිසා ජාත්‍යන්තරයෙන් එල්ලවන විවේචන තව තවත් තීවෘ විය හැකි බවටද පැවසෙයි. විශේෂයෙන් විචාරකයින් පවසන්නේ, ජිනීවාවලදී සම්මත කෙරැණු යෝජනාවේ, 2002 සිට 2009 දක්වා කාලය තුල සිදුවු යුධ අපරාධ පිළිබඳව කෙරෙන පරීක්ෂණයකට එක්සත් ජාතීන් ට අනුමැතිය ලැබීම නිසා කිසියම් උරණ වූ තත්ත්වයකට පත්ව සිටින ලංකා ආණ්ඩුව මෙම තීරණයට පැමිණ ඇති බවයි.

කෙසේ නමුත් දෙමළ ඩයස්පෝරා සංවිධාන පසුගිය දා ජීනිවා වලදී දැවැන්ත විරෝධතා පවත්වනු ලැබිණි. ඔවුන්ගෙන් බො‍හොමයකගේ ඉල්ලීම වූයේ ලංකාවේ යුද්ධය තුළ සිදු කරන ලදැයි කියන ‘යුද අපරාධ‘ පිළිබද පිළිගත හැකි ස්වාධින, ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවයයි. එසේම ලංකාව තුළ දෙමළ ජනයා ‘වාර්ගික සංහාරයකට‘ ලක්ව ඇති බවත් පවසමින් ඔවුන්ට යුක්තිය ලගා කර ගැනීමේ අවශ්‍යතාවයත් එම විරෝධතාවල මූළික හරය ලෙස දක්නට ලැබුණි.

දැන් මෙම ‘තහණම‘ ලංකාණ්ඩුව විසින් ගෙන එන්නේ, ඩයස්පෝරාවේ එම ඉල්ලීම්වලින් එකක් වන යුද ‘ජාත්‍යන්තර පරීක්ෂණයක‘ අවශ්‍යතාවය යන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පිළිගැනීමත්, එම පරීක්ෂක්ෂණය සිදු කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කිරීමට සැරසෙන මොහොතකය.
##
අනෙක් පසින්, පසුගිය කාලයේ ලංකාවෙන් පිටුවහල්ව ජීවත්වන බොහෝ දෙමළ ජනයා සිය මවු රටට පැමිණිමට උනන්දුවක් දැක්වූ බවක් දක්නට ලැබිණි. එහෙත් එම උනන්දුව නැවත වරක් ගිණි ගෙන දැවී ගියේ, සම්මානනීය, ප්‍රකට කවියෙක් වූ ව.අයි.ස ජෙයපාලන් වසර ගණනාවකට පසු ලංකාවට පැමිණ, මියගිය සිය මවට ගෞරව දැක්වීමට ඇගේ සොහොන කරා යමින් සිටිය දී වන්නිවිලන්කුලම් ප්‍රදේශයේදී 2013 නොවැම්බර් 22 දා, ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් පසුය.

එසේම පසුගිය මාසයේ කිලිනොච්චියේ, ධර්මපුරම් ප්‍ර‍දේශයේදී ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත‘ යටතේ බාලේන්ද්‍රන් ජෙයකුමාරි අත්අඩංගුවට ගෙන, පසුව රදවා තබා ගනිමින්, ඇයගේ 13 හැවිරිදි දැරිය පරිවාස භාරයට පත් කළේය. ඉන් පසු මානව හිමිකම් ආරක්ෂකයින් වන රැකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් පියතුමා, ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත‘ යටතේ අත්අඩංගුවට ගැනීමත්, දැන් වන විට නැවතත් උතුරේ එල්ටීටීඊ ය සිය ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට යනවා යැයි පවසමින්, ආරක්ෂක අංශ විසින් උතුරේ සිදුකරනු ලබන පරීක්ෂණත් සහ රාජපක්ෂ ආණ්ඩුවේ ඡන්ද පදනම කිසියම් දෙදරීමට ලක් වී ඇති බවට, අවසන් වූ දකුණ සහ බස්නාහිර මැතිවරණයෙන් දෙන ලද සංඥාවන් ද අතරය.

මේ සියලු තත්ත්වයන් මත මෙම ‘ඩයස්පෝරා තහණම‘ පිළිබද ඇතැම් ‘ප්‍රකාශ‘ සිදු කරන්නේ හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා ය. හමුදා ප්‍රකාශක රැවන් වනිගසූරිය උපුටා දක්වමින් සංදේශය මෙසේ වාර්තා කළේ ය.

‘විදේශීය ත්‍රස්තවාදී සංවිධාන’ ලෙස හඳුනා ගත් පුද්ගලයන් සහ සංවිධාන තහනම් කිරීම පිළිබඳව නීති සම්පාදන වෙමින් පවතින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සංදේශයට ප්‍රකාශ කළේය.‘

කිසියම් සංවිධානයක් නීත්‍යානුකූල නොවන ලෙස සිය හැසිරීම් පවත්වාගෙන යන්නේ නම්, රටක ‘නීතියට අනුව‘ තහණම් කිරීමට ඕනෑම රටකට හැකියාවක් ඇත. එම තහණම සහ එම තහණම පිළිබදව වන සාකච්ඡාව දේශපාලන කටයුත්තකි. නමුත් ලංකාවේ සිදු වන්නේ කිසියම් සංවිධානයක් සහ ඒවායේ හැසිරීම හෝ ඒවා තහණම් කිරීම පිළිබදව ප්‍රකාශ නිකුත් කරන්නේ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ය.(යුද්ධයෙන් වසර 5කට ආසන්න වෙමින් තිබියදී කොළඹ නගරයේ ගස්, ගල්, තාප්ප සහ මිනිසුන් ඇවිද යා යුත්තේ කොහොමද, කෙසේද යන්න හමුදාව විසින් තීන්දු කරන යුගයක මෙවැනි දේවල් සිදු කිරීම පුදුමයක් නොවේ.) නමුත් ප්‍රශ්ණය පවතින්නේ වත්මන් ලංකාව ජාත්‍යන්තරයේදී වඩා බරපතල තත්ත්වයකට මුහුණ දී ඇති කාලයක් තුල තවතවත් මෙවන් ජාත්‍යන්තර ප්‍රශ්නවලදී පවා රාජපක්ෂ ආණ්ඩුව තුළින් මතුවන ‘මිලිටරිකරණය‘ පිළිබදව ලක්ෂණයි.

මෙවැනි තත්ත්වයක් තුළ රාජ්‍යයේ අර්බුදයත්, එයට සමගාමීව දිවෙන ජාත්‍යන්තර තෙරපුමත් දේශපාලනිකව විසදා ගන්නවා වෙනුවට ‘ගැලරියට‘ ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ ‘විසිල්‘ වලින් උද්දාමයට පත් වී ලංකාවේදී ඇමරිකාවට බැණ විදිමින්, නිව්යෝක්වලදී ඔබාමා සමග කරට අතදාගෙන පිංතූර ගත්තාට වැඩක් වන්නේ නැත. අවශ්‍ය වන්නේ යුක්තිය ඉල්ලා සිටින්නවූන්ට යුක්තිය සහ ගැටලුවලට ‘මිලිටරි විසදුම්‘ වෙනුවට ‘දියුණු දේශපාලනික විසදුමකි‘. එවා වෙනුවෙන් පෙනී සිටින්නේ නැතිව කොතෙක් වාරණයන්,අත්අඩංගුවට ගැනීම්, තහණම් කිරීම් සිදු කළත් ඵලක් වන්නේ නැති බව දහස් ගණනක් මියැදුනු පසුත් තවමත් ලාංකීය දේශපාලන සමාජය තේරැම් නොගෙන සටීමේ වරදට නැවතත් වන්දි ගෙවන්නට වන්නේ, ‘ඊනියා දේශප්‍රේමීන්ට‘ නොව දියවන්නාවෙන් මෙපිට ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුලු සාමන්‍ය ජනයාටය.

සම්පත් සමරකෝන් | Sampath Samarakoon