හරියටම මින් වසර 43 කට පෙර අද වැනි දිනක(අප්‍රේල් 06) යාපනය කොටු පවුර මතදී මමත් මගේ සඟයනුත් දෑත් උස්සා හමුදාවන්ට සහ පොලීසිවලට යටත් වීමු. එයින් පසු අදවන විට දිගු කාලයක් ගතවී අප ජීවිත සැදෑ සමයට ළඟා වී හමාරය. එදා අපේ ජීවිතවල තීරණාත්මක සන්ධිස්ථානයක් අප්‍රේල් කැරැල්ල විසින් ඇති කරනු ලැබීය. රාජ්‍ය විසින් ත්රස්තවාදීන් ලෙස හංවඩු ගැසීමත් වසර ගණනාවක් සිරගෙවල් තුල ගාල් කිරීමත් එදා අපට අපේ හිරිමල් වයසේදීම අත්විදින්නට ඉඩ ලැබුණි.
හැට ගණන්වල අග භාගයේ ලාබාල තරුණයන් ලෙස දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවන් වූ අපි එම ව්‍යාපාරය ගොඩනැගුවේ ලාංකික විප්ලවය කිරීමේ තිරසාර අදිටනිනි. අවබෝධය කෙසේ වතුදු අදිටන පිරිසුදු තියුණු එකක් විය. අපේ ජීවිත මිනිසාගේ යහපත පිණිස කැප කිරීම අපට ස්වයං ගරුත්වයක් ලබා දී තිබිණ. අධ්‍යාපනය මෙන්ම රැකියා ඉවත දැමූ තරුණ තරුණියන් තම ළාබාල දිවිය පොදු අරමුණකට යොමුකර තිබුනි. මම යන සාධකය බැහැර කරමින් අපි යන සාධකය ආදේශ කළෙමු.
අපම තනාගත් නොදියුණු අත්බෝම්බවලින් සහ ගල්කටස්වලින් සන්නද්ධ වී පොලීසි සහ හමුදාවන් ඉදිරියට දුව ගියේ බිය පිළිබඳ හැඟුම් නැති නිසා නොව අපගේ දිවියට වඩා අරමුණට මුල්තැන දී තිබූ බැවිනි. දේශපාලන බලය දරා සිටි පක්ෂ මෙන්ම විපක්ෂයද වහාම අපට එරෙහිව අත්වැල් බැඳ ගත්තේ අපව ත්රස්තවාදීන් ලෙස නම් කරමිනි. අපගේ දෙමාපියන් සතු නිවාස ගිනිබත් කර සහෝදර සහෝදරියන්ද හිර භාරයට ගනු ලැබුවේ ත්‍රස්තවාදී ලේබලය අලවමිනි.
මධ්‍ය මහා විද්‍යාල ගණනාවක් පමණක් නොව දිවයිනේ විශ්ව විද්‍යාල 2ක්ද කටුකම්බිවලින් වටකර හිරගෙවල් බවට පත්කරනු ලැබීය. ජනගහනය මිලියන 9ක් ජීවත් වූ ලංකාවෙන් 21000ක් තරුණ තරුණියන් හිරගෙවල්වලට ගාල් කරනු ලැබුනේ 5000ට වැඩි පිරිසක් මරා දමමිනි. අත්අඩංගුවට පත්වූ අය අතුරුදහන් කරවනු ලැබීය. තරුණියන් පමණක් නොව ලාබාල තරුණයන්ද ලිංගික බලහත්කාරයට සහ ලිංගික වදයට භාජනය කරනු ලැබීය. සිව්රු ගැලවූ හාමුදුරුවරුනට අත් පා කැඩෙන තුරු පහර දෙනු ලැබීය. සියළු දෙනාටම අලුත් ලෝකයක් බිහි කිරීමට ගිය අපට එතැන් සිට අලුත් දිවියක් ඇරඹුනේ හිරගෙවල් තුලයි.
අසාර්ථක වූ කැරැල්ල ගැන සිරගෙවල සිටි අපි හිමිහිට කථා කිරීම ඇරඹූ අතර තම වරද විවේචනය අප අපටම හුරු කර නොතිබුණි. එවැනි ගුණංගයක් නොදත් අපි සැම විවේචනයක්ම දෙස සතුරු ආකල්පයකින් බැලීමට පුරුදු වී සිටි අතර මතවාදී අරගලය යකඩ පොලු, උල් කළ යකඩ කූරු වලින් ආරම්භ කලෙමු. වෙනත් මත දැරූ අයට පහර දීම එදා අප සංවිධානය අනුමත කළ මතය විය.
යාපනය හිර ගෙදර සිටි විජේවීර නිදහස් කර ගැනීමට තැත්කර යාපනය කොටු පවුර මතදී සිර භාරයට පත් වූ අපි මේ වන විට යාපනය සිර ගෙදරින් හැමන් හිල් දූපත් බන්ධනාගාරයට යවනු ලැබීය. මෙම දූපතේ සිටි අපිද අප අප විසින් කරනු ලැබූ කැරැල්ල අසාර්ථක වීමට හේතු විමසීම ඇරඹුවෙමු.
මෙහිදී අපට අත්විදීමට සිදුවූ අත්දැකීම පහත අයුරින් මම, මවිසින් අප්‍රේල් කැරැල්ල ගැන ලියූ ‘බක් මහ කදුළු‘ දෙවන මුද්‍රණයට, දැනට වසර 15 කට පමණ පෙර ලියූ පෙරවදනේ කොටසක් එකතු කලෙමි.
දහසක් සුසුම් හිරගෙවල සිට වායු තලයට එක්වද්දී අපි අනාගතය පිළිබඳව පිරුණු බලාපොරොත්තුවලින් පිරී සිටියෙමු. ළාබාල වයස සුභවාදී සිහිනයන් තුල මෝහනය වී තිබුණි.
හදිසියේ අප නිදාසිටි සිහිනයෙන් අවදිවීමට තත්වයන් අපට බලකර සිටියේය. සෙමින් හිස ඔසවා අවට බැලූ අපි අප ගැනම කථා කිරීම ඇරඹුවෙමු. අපි දකිමින් සිටියේ සිහිනයක් බව කථා කිරීමට පටන් ගත්තෙමු. පුදුමයකි! අපට අප ගැනම කථා කිරීම තහනම්ව තිබුණි. එහෙත් ඒ බව අපට වැටහෙන විට බොහෝ පමාවී වැඩිය. අපේ සොයුරන් අවි ඔසවා අපට අමෝරා හමාර වී තිබුණි. අපි අප ගැන කථා කිරීම පාපයක් බව ඔවුන් පැවසූහ. අපි ගැනම කථා කිරීමේ පාපයට අපි වන්දි ගෙවිය යුතු වූයෙමු.
සිරගෙවල් තුල සිරවූ අපි නිලධාරීන්ගේ තාඩන පීඩනවලට ගොදුරු වූයෙමු. ඒත් එය ඉවසීමට අපි පුරුදු වුයෙමු. නැතිනම් එයට එරෙහිව නැගී සිටීමට පෙළ ගැසුනෙමු. ඒත් අපේම සොයුරන්ගේ යවුල් ලය පසා කරගෙන යනවිට පොලු පහරවල් හිස්මත පතිතවන විට හඬන්නට නොහැකි වූ අප විශ්මයෙන් තුෂ්නිම්භූතව විවර වූ දෑස් තුලින් බලාගෙන බිම ඇද වැටුනෙමු. හැඬීමට දෑසේ කදුළු නැති වුවද හදවත් තුල නැගුණු ඉකිය අපේම දෙසවන් තුල දෝංකාර දුනි.
මෙම සිදුවීමෙන් වසර 43 ක් ගෙවී හමාරය. ඒත් තවමත් අනෙකාගේ මතය නොඉවසීමේ ගුණයෙන් අප පක්ෂය සමුගෙන නොමැති බව පසුගිය දිනක පුවත්පතකින් කියවූයෙමි. පක්ෂයෙන් ඉවත්ව වෙනත් දේශපාලනයක යෙදෙන අයෙකු පක්ෂ සාමාජිකයෙකුගේ මරණ ගෙයකට ආවිට ඔවුනට පුරුදු ආකාරයෙන් මතවාදී අරගලය පොලු මුගුරු වලින් කර තිබුනේ එදා ආකාරයෙන්මය. ‘ඉතිහාසයෙන් සහ අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගනිමු’ යයි අතෝරක් නැතිව පවසන වචන නිකම්ම වචන බව මෙයින් පැහැදිලි නොවන්නේද? එදා මෙදා තුර වෙනත් දේශපාලන මත දැරූ අයටත් තමන්ගේ පක්ෂයෙන් ඉවත්වූ අයටත් පහරදීම, අපහාස කිරීම, මරා දැමීම දක්වා කොපමණ වතාවක් මේ අයුරින් ක්‍රියාත්මක වී තිබේද?
අපව එදා රජය විසින් හදුන්වනු ලැබුවේ ත්රස්තවාදීන් ලෙසයි. නමුත් කාලයාගේ අවෑමෙන් අපිම, අපේම පක්ෂය දෙමළ විමුක්තිකාමීන් හදුන්වනු ලැබුවේත් අද දක්වාම හදුන්වන්නේත් ත්රස්තවාදීන් ලෙසිනි. තමාව මර්දනය කළ තම සොයුරු සොයුරියන් දහස් ගණනින් වද බන්ධනයට ලක්කළ ඝාතනය කළ රාජ්‍ය(පන්තිය) තමන්ව හැදින්වීමට භාවිතා කළ භාෂාවම විප්ලවාදීන් ලෙස හදුන්වා ගන්නා ජනතා විමුක්ති පෙරමුණ විසින් තවත් පීඩිත ජන කොටසක් යටපත් කිරීමට එරෙහිව සටන් කරන සටන්කාමීන් හැදින්වීමට භාවිතා කිරීම කොතරම් නින්දා සහගතද? මෙම විධික්රමය අත්හළ යුතු අගතිකාමී, ෆැසිස්ට් ක්‍රියාදාමයක් බව වටහා ගැනීමට තාමත් නොහැකි වී තිබීම කණගාටුවට කාරණයකි.
අද අප්‍රේල් විරුවන් සමරන අය කීදෙනෙකු අප්‍රේල් කැරලි කරුවන් අතරින් අදත් ජීවතුන් අතර සිටින අයගේ අත්දැකීම් සහ විවේචනයන් අසා, කියවා හෝ ඇහුම්කන් දී තිබේද? බොහෝ විට සිදු වන්නේ තමනට සුපුරුදු අයුරින් තමා නොදන්නා කැරැල්ල සමරමින් එහි අත්දැකීම් ගැන කථා කරන අය ද්‍රෝහීන් ලෙස හැදින්වීමයි. වැරැද්ද විවේචනය සාපරාධී දෙයක් නොවන බව වටහා නොගන්නේනම් එම වරද නැවත නැවත පුනර්ජීවය ලැබීම වලකා ගත නොහැකි වනු ඇත.
රංජිත් හේනායකආරච්චි | Ranjith Hennayakaarchchi