යුද්ධය අවසානයේ තම ජයග්රහණයෙන් උද්දාමයට පත් වන සිංහල ජාතිවාදී සමාජය ඒ වන විටත් බලයේ කොටස් කරුවන් වී සිටින ෆැසිස්ට් බලවේගයන්හි නිල නොවන මඟ පෙන්වීමට හසු වී තිබිණ. යුද්ධය අවසාන අවධිය වන විට සිංහල සමාජය යුද්ධෝන්මාදයෙන් කොතරම් මත් වී සිටියාද යත් ඔවුන් හමුදා වන්දනීකරණයකට යොමුව සිටියහ. 60 -70 දශකයන්හි හමුදා සෙබලෙකු යනු ඉතා සාමාන්‍ය රැකියාවක් කරන අයෙකි. නමුත් යුද්ධය තුල කුල්මත් වන ෆැසිස්ට් වාදය හමුදාවන් ජාතියේ මුදුන් මල් කඩ බවට පත් කරනු ලබන්නේ ගැබිණි මවක් පවා නැගිට හමුදා සෙබළෙකුට බස්රියක තම අසුන ප්‍රධාන කිරීමෙනි. රණවිරුවන් ලෙස ඔවුනට විරුදාවලි දී බලයේ සිටින කල්ලියේ නායකත්වයෙන් ලද යුධ ජයග්‍රහණය ගැන නැවත නැවතත් පමණක් නොව නැවත නැවතත් ගීතිකා ගායනා කිරීම තුලම සමාජයක් ලෙස සිංහල සමාජය විශාල පිරිහීමකට පත්කරනු ලබයි. ඉන් ඉහත සමාජයේ ගරු බුහුමන් කළ අයෙකු වූයේ ලේකඛයෙකු, උගතෙකු, මහාචාර්යවරයෙකු, ගුරුවරයෙකු, කවියෙකු ආදී සමාජ වටිනාකම් ඇති අය වූ අතර යුද්ධයෙන් පසු එම සමාජ වටිනාකම් ‘රණවිරු‘(කුලී සෙබළෙකු) ප්රණාමයට ලඝු කරනු ලබයි.
තමන්ගේම රටේ ජන කණ්ඩායමක් තම අයිතීන් ඉල්ලීමේ වරදට දස දහස් ගණනින් ඝාතනය කර ලක්ෂ ගණනින් අනාථ කඳවුරු වලට කොටු කර ඒ ප්‍රීතිය සැමරීමට රටේ නගරයන්හි වීදි පුරා සිංහ කොඩි ලෙළවමින් කිරිබත් කමින් නොකනවුනට බලෙන් කවමින් සැණකෙලි පැවැත්වීම තුලින් අපේ බෞද්ධ හැදියාවන් සහ වසර දහස් ගණනක සභ්‍යත්වය කුණු කානුවලට දමන්නේ අපේ සමාජය අලුත් සභ්‍යත්වයකට අලුත් සමාජ වටිනාකම් සමුදායකට ගරු කරන නැම්මක් ඇති කරවමිනි. මෙම සැණකෙලියේදී කිරිබත් නොකෑ එකාට බලෙන් කැවීමද අපට අලුත්ම පණිවුඩයක් දෙනු ලබයි. බලහත්කාරය හා ප්රචන්ඩත්වය ෆැසිස්ට් වාදයේ ප්‍රධාන ලක්ෂණයකි. මහානායකයෙකුගේ ‘චින්තනය’ ද මග පෙන්වීමද ෆැසිස්ට් වාදයට අත්‍යවශ්‍ය ගුණාංගයක් වේ. අන්‍ය මත, අන්‍ය ආගම්, අන්‍ය භාෂා මෙන්ම විවිධත්වය නිෂේධ කිරීම ෆැසිස්ට්වාදී ලක්ෂණයක්ය. තමගේම උතුම් බව පුනා පුනා පැවසීම මෙන්ම තමාට එරෙහිව සිටින යක්ෂයාට එරෙහිව සටනට ජනයා රොද බැන්දවීමද ෆැසිස්ට් වාදයේම ගුණාංගයකි. යුද්ධයෙන් පසු අප සමාජය යන මග පෙන්වීම ඇරඹෙන්නේ මේ අයුරිනි.
යුද්ධෝන්මාදයෙන් හිත් තෝන්තුකරවනු ලැබූ එහෙයියන් වන සමාජයක් ඇතිකර එයට මග පෙන්වන්නන් කණ්ඩායමක් අත බලය ඇති රටක සිදු වන්නේ බලය ඇති අයගේ වචනයම නීතිය බවට පත්වීමයි. යුද්ධයෙන් පසු ලංකාවේ සමාජය සියලුම රාජ්‍ය පද්ධති සහ ආයතනවල ක්‍රියාදාමය මෙයට උදාහරණ සපයයි. නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට(නමට හෝ) තිබෙන පොලීසිය කුලියට මිනී මරන කප්පම්කරුවන් කල්ලියක් මට්ටමට පත්වන අතර අත්අඩංගුවට පත්වන ‘අපරාධ කරුවන්’ නීතිය ඉදිරියට ගෙනඒම වෙනුවට මාංචු පිටින් පැන යාමට තැත් කරද්දී වෙඩිතබා මරා දමනු ලැබේ. එවිට සමාජය අත්පොළසන් දෙති. මෙය ෆැසිස්ට් රාජ්‍යයකට අත්‍යවශ්‍ය ලක්ෂණයකි.
ෆැසිස්ට්වාදී රාජ්‍යයක් තුල ඇති තවත් ප්‍රධාන අංග ලක්ෂණයක් වන්නේ ඒ තුල ඇති ඒකීය මධ්‍යගතභාවය පවතිද්දීම කුඩා කුඩා ඒකකයන් හිතුමතේ ක්‍රියාත්මක වන බවක් බැලූ බැල්මට පිටට පෙන්වන ක්‍රියාදාමයක් පවත්වා ගැනීමයි. මෙම ඒකක සියල්ල එකිනෙකින් වෙන්ව ක්‍රියාත්මක වන්නේ එකම ආධිපත්‍යයක් සහ ප්රචණ්ඩත්වයක් මෙම ඒකකයන් වෙන වෙනම පවත්වා ගනිමිනි. මොවුන් අතර තරඟයක් පවතින අතර ඕනෑම මොහොතක ෆැසිස්ට් නායකත්වයේ වචනයකින් ඔවුන් නායකයාගේ සුවච කීකරු කුක්කන් බවට පත්කළ හැක. නමුදු ඒවාට ස්වාධීනව පවතිමින් ඒවාටම ආවේණික ක්‍රියාවකට ඉඩ හරින ෆැසිස්ට් වාදය එතුලින් ආරාජික බවක් බැලූ බැල්මට සමාජයට පෙන්නුම් කරයි. යම් යම් සමාජ විරෝධයක් මතුවූවා නම් මේ එක එක ඒකකයනට වෙන වෙනම එය යොමුවන අතර අසහාය ෆැසිස්ට් නායකයා එවිට එතැනට මැදිහත් වී මේ බලවේග තාවකාලිකව නිහඬ කරවමින් තම ජනහිතකාමී වීරත්වය එතුලින් සමාජය තුල තව තවත් තහවුරු කර ගනී.
මෙවැනි රටක් තුල දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ ගණනාවකි. හරියාකාර කළමනාකරණයක් නොමැති කම, මධ්‍යසාර බහුලව භාවිතා වීම සහ රටතුල සිදුවන රාජ්‍ය අපචාරයන් දෙස උදාසීන නිර්වින්දනයකට පත්වීම. එමෙන්ම හැකියාවක් ඇති උගතුන් සහ බුද්ධිමතුන් රට හැර යති. රටේ දුර්වලකම වසා ගැනීමට ඉහවහා ගිය ජාතික සහ ආගමික අභිමානයක් මවා ගනිමින් ඒ තුල තමාගේ විශාලත්වය ගැන ස්වයං වින්දනයකට යමින් තමාගේ දුබලකම් වසා ගැනීමට උත්සාහ කිරති. එමෙන්ම පිටස්තර සතුරෙකු මවා තමන්ගේ අභ්‍යන්තර දේශපාලන නොහැකියාව වසා ගැනීමට තනති.
ෆැසිස්ට් නායක කල්ලියේ එකිනෙකා තමන්ගේ එවැනි ඒකක පවත්වන්නේ එකකට එකක් ඒවා අතර තරඟයක් ඇතිවන ආකාරයෙනි. මෙයට උදාහරණ නාට්සි ජර්මනියේ ෆැසිස්ට් රාජ්‍ය තුල 1933 -1939 යුද්ධ ආරම්භය දක්වා නැගෙන නාට්සි කණ්ඩායම් තුලින් පැහැදිලිව දකින්නට ඇත. හයින්ඩ්රිච් හිම්ලර්, ගොබෙල්, හයිඩ්රිච් හා රොමෙල් ආදී මෙම නායකයන් තමන්ගෙම විවිධ ඒකක පවත්වන්නේ ඒ එකිනෙකාට මිතුරු – පසමිතුරු ආකාරයෙනි. හිට්ලර් ළඟ ඔවුන් සියල්ලන්ම සුවච කීකරුය.
කැබිනට් ඇමතිවරුන්ගෙන් එකෙකු කව්බෝයි කෙනෙකු ලෙස ප්‍රසිද්ධ රැස්වීමකදී පිස්තෝල අමෝරා ජනතාවට තර්ජනය කරන විට ජනමාධ්‍යකරුවනට පහරදී කැමරාව උදුරා ගන්නා විට ඒගැන රටේ ජනයාට වගේ වගක් නැත. දොසක් කී අයෙකු දොස් පවරන්නේ ඒ ඇමතියාට මිස ඇමතිවරයා සිටින රජයට නොවීම කැපී පෙනේ. රටේ නිලධාරීන් ගස් බදින විට සිනාසෙන ජනතාව තමන් තමන්ටම සිනහසෙන බව වටහා නොගනී.
රටේ ආරක්ෂාව භාරව සිටින ඉහළම නිලය වෙතින් පොලීසිවල ප්‍රහාරක කණ්ඩායම් මිනීමැරුම් ඒකක ගොඩනගා තම වුවමනාවන් සඳහා යොදා ගන්නා අතර මෙම නිලධාරීන්ටද රිසි අයුරින් අපරාධයන්හි සහ දූෂනයන්හි යෙදීමට ඉඩහැර ඇත. මේ තත්වය රටේ ජනතාවට ඇස් පනාපිට දක්නට සලස්වන්නේ එතුලින් සමාජය තුල භිය සහ අනාරක්ෂිත බව රජකරවීමේ චේතනාවෙනි. සුදු වෑන්වලින් පැහැරගෙන යාම, බලය හිමි කල්ලිය විවේචනය කරන ඕනෑම තරාතිරමක අයෙකුව ප්‍රසිද්ධියේම රාජඋදහසට ලක්වන නීතිමය හෝ නීතිමය නොවන දණ්ඩනයකට ලක්කිරීම රාජ උදහසට ලක්කිරීම තුලින් යමක් කිරීමට බියක් සමාජගත කරවනු ලබයි.
සෑම පුද්ගලයෙකුම යමක් විවේචනය කිරීමට ප්‍රථම දෙවරක් සිතා බලන තත්වයක් ඇති කරවයි. ‘කට පියාගෙන හිටපන්. උඹ නිසා අපිවත් අමාරුවෙ වැටෙනවා’ ‘ සුදු වෑන් එයි’ වැනි කියමන් තමාගේ පවුල තුලින්ම මතුවන තත්වයකට සමාජය ගෙන එනු ලබයි. මේ අයුරින් භිය සමාජ ගත වන්නේ ෆැසිස්ට් රාජ්‍යයක් රජයන විටයි.
අධිකරණ ක්රියාදාමයේ ස්වාධීනත්වය අමු අමුවේ කෙලෙසා ඇති අතර සමහර විනිශ්චය කරුවන් ක්‍රියාත්මක වන ආකාරය නාසි ජර්මන් විනිශ්චයකරුවන් සිහි ගන්වයි. අධිකරණය යනු රටේ දේශපාලඥයන්ගේ සිතැගි ඉටුකරගන්නා මෙවලමක් ලෙසට ලඝුකර ඇති අතර එයට එක්තරා හෝ විරුද්ධත්වයක් දක්වන විනිශ්චයකරුවනට අපහාසාත්මක ඉරණමකට මුහුණ දීමට සලස්වා බොහෝ විට සේවයෙන්ද නෙරපා හරී. එයට හොඳම උදාහරණයක් අග්රවිනිශ්චයකාරවරිය නෙරපූ ආකාරය සහ සාපරාධී ලෙස දිගින් දිගටම ඇයට කරන පහරදීම තුලින් පෙන්නුම් කරයි. නීතිය ගැන විශ්වාසයක් නැති ජනතාව බලය සහ මුදල් නීතිය බව වටහා ගනිති. එනිසා එවැනි බලයකට හේත්තු වී එහි කොටස් කරුවන් ලෙස ගැලී සිටීමට දරණ වෙර තුල සෑම විටම ෆැසිස්ට් රාජ්‍යකට ජනතාවගෙන් 80%ක වැඩි දෙනාගේ සහාය ලැබේ. ජර්මනියේ හිට්ලර්ගේ නාසි රාජ්‍යයද, ප්රැන්කූගේ ස්පාඤ්ඤය ද, සුහර්තෝ යටතේ ඉන්දුනීසියාවද, මෙන්ම මුසෝලීනි යටතේ ෆැසිස්ට් ඉතාලි රාජ්‍යයටද මේ අයුරින් විශාල ජනතා සහායක් ලැබී තිබේ. ඒ තත්වය තුලින් ඔවුන් තමන්ගේ ෆැසිස්ට් රාජ්‍ය ජනතාවගේ කැමැත්තෙන් පවතින ජනතාවාදී රාජ්‍යයක් බව ලොවට පෙන්වීමට උපයෝගී කර ගනී.
ෆැසිස්ට් වාදය නැගෙන අවධියේ සමාජය තුල බලඅධිකාරය විවිධ ඒකක තුලින් මතුවේ. මේ හැමකක්ම ප්රචන්ඩ සහ යටපත්කිරීමේ අධිකාරයක් සමාජය මත පටවයි.
විමල් වීරවංශ වැනි බොල් හඬවල් අධිරාජ්‍යවාදය තමන් විසින් පතුරු ගසන සතුරා කර ගන්නේ එතුලින් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය, ලෝක ප්‍රජාව, ප්රජාතන්ත්රවාදය සහ මිනිස් අයිතීන් යනු අධිරාජ්‍යවාදී මෙවලම් ලෙස හංවඩු ගසමිනි. නැවත නැවතත් වමාර කන මේ වචන අද වන විට ලංකා සමාජයට ජීරණ වී ඇත්තේ සමාජය පසුගාමී අගාධයකට ඇද දමමිනි. ෆැසිස්ට් වාදයට පැවතීමට, තමාගේ අධිකාරිවාදී ප්රචණ්ඩ යටපත්කිරීම් සාධාරණීය කිරීමට සෑම විටකම අභ්‍යන්තර සහ බාහිර සතුරෙකු මවා ගැනීම ඉතා සාමාන්‍ය දෙයකි.
සිංහල සමාජය තුල බුද්ධාගම ‘සිංහල බෞද්ධ‘ ලෙස බෞතීස්ම කර ඇත. කරුණාව මෛත්‍රිය වෙනුවට වෛරය සහ ප්රචණ්ඩත්වය ආදේශ කර ඇත. බොදු බල සේනාව හා තවත් එවැනි සංවිධානවල සිව්රු දරන්නන් හැසිරෙන්නේ හන්දිවල රස්තියාදුකාරයන් ලෙසිනි. ඔවුන් තම සිව්රු ඔසවාගෙන පරුෂ වචනයෙන් බැණ අඩගසන්නේ ආගමික පූජකයිනට තබා මිනිස් කමටද නිගා කරමිනි. ලංකාවේ සිටින බොහෝ සිව්රු දරන්නන් ගෞතම බුදුන් වහන්සේගේ අනුගාමිකයන් නොවන බවනම් සහතිකය.
මුස්ලිම් සහ ක්‍රිස්තියානි පූජනීය ස්ථානයන් වටකර ඒවා කඩා දමමින් මොවුන් හැසිරෙන්නේ ෆැසිස්ට් ජර්මනියේ නාට්සීන් යුදෙව් පල්ලි කැඩූ ලෙසිනි. පොලීසිය සහ රටකවරවන අය මේවා දෙස බලා සිටින්නේ පැහැදිලිවම මෙම ක්‍රියාදාමයන් පිටුපස මොවුන් සිටින හෙයිනි.
මේ සියල්ල මෙසේ වෙද්දී රටේ තරුණ තරුණියන් ‘බුදු සරණයි‘ ‘දළදා සමිදු පිහිටයි‘ ‘ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි‘ කියමින් එකිනෙකාට ආශිර්වාද කරන්නේ අලුත්ම පන්නයකට බුද්ධාගම සමාජගත කර ගනිමිනි. රටේම කුඩු වෙළන්දන්, ස්ත්‍රීනට ලිංගික බලහත්කාරකම් කරන්නවුන් මහජන ඡන්දයෙන් රටේ උත්තරීතර මණ්ඩලවලට පත්කර යවන අතර ජනතාවගේ වැඩිම කැමැත්තද ඔවුන් ලබති. මොවුන් බොහෝ දෙනෙකුගේ මැණික් කටුවේ සිට වැලමිට දක්වා කඹ මෙන් පිරිත් නූල් ගැට ගසා ඇත්තේ බුදුන්ගේ දහම පිරිත් නූල් තුලින් මේ අපරාධකාරයින්ගේ මනසට ඇතුළු කරන්නට මෙනි.
හැට ගණන්වල තරුණ තරුණයින් පිරිත් නූලක් ගැට ගැසුවානම් ඒ පිරිතක් ඇසීමෙන් පසු තුන් වරුවක් යනතුරු පමනි. අද වන විස සෑම තරුණ තරුණියක්ම පවා අත්වල සුදු මෙන්ම කහ නූල්ද ගැට ගැසීම බුද්ධාගම මොඩ් වීමේ විලාසිතාව විය හැක.
මේ අතරම විගඩමක් ලෙස පෙනෙන කාරණාවක් තිබේ. රටේ ‘දේශප්‍රේමීන්‘ සියළුම අධිරාජ්‍යවාදී දෙයට එක හෙලා විරුද්ධ වෙමින් වීදි බැස බැණ අඩගසනු ලබයි. මිනිස් අයිතීන් ගැන කතා කිරීම පාපයක් කර ගෙන ඇති මොවුන් බටහිර අධිරාජ්‍යවාදීන් මිනිස් අයිතීන් අපට බලෙන් පටවන්නට එනවා යැයි මොර දෙන්නේ ලාංකිකයාට මිනිස් අයිතීන් හිමි නොවිය යුතුවා ලෙසිනි. යම් තැනක මිනිසුන් ජීවත්වේද එතැනට මිනිස් අයිතීන් අත්‍යවශ්‍යය. නමුත් අපට මිනිස් අයිතීන් එපා යැයි අපම පවසන්නේ අප රට තුල මිනිසුන් නොව වෙනස් සත්ත්ව වර්ගයක් ජීවත්වනවා යැයි ඔවුන් සිතන නිසාවත්දැයි සැක සිතේ. එසේ වුවත් මේ දේශප්‍රේමීන්ට අනුව ක්‍රිකට් නම් අපේ මුත්තලා කිරිකිත්තලා සොයාගෙන ලොවට දායද කළ සෙල්ලමකි. මෙහිදී අපට කීමට සිදු වන්නේ ‘මිනිස් අයිතීන් වගේද ක්‍රිකට්‘ කියාය.
රටේ දේශපාලන බලය අල්ලාගෙන සිටින කල්ලිය විසින් ආර්ථික බලය ද තමා සතු කරගෙන ඇත. නීතියේ ආධිපත්‍ය තම අත්අඩංගුවට ගෙන තිබේ. ඒත් මේ පිළිබඳව පොදුවේ රටේ ජනතාවගෙන් නැගෙන විරෝධයක් දැකිය නොහැකි තරම්ය.
යුධ ජයග්‍රහණය තම බලය තහවුරු කර ගැනීමට දඩමීමා කරගත් ෆැසිස්ට් කණ්ඩායම් රාජ්‍ය බලයේ කොටස් කරුවන් වී සිටින ආකාරය ගැන උදාහරණ රාජ්‍ය ආයතනවල ක්‍රියාදාමය තුලම පැහැදිලිවම දක්නට තිබේ. මෙම ගමන රටේ පරිසරය සහ සමාජ හර පද්ධතිය සුණු විසුණු කරමින් පවතින සියළුම ප්රජාතන්ත්රවාදී අයිතීන් එකින් එක විනාශ කරමින් පවතින අතර ෆැසිස්ට් වාදය බලවත්ව නැගෙමින් පවතී. නමුත් ලෝකයේ කොයිම තැනකවත් ෆැසිස්ට් වාදය සදාකල් පැවතී නොමැත. එය නැගී ශක්තිමත්ව පෙනී සිටිනවා වාගේම ඒහා සමාන වේගයකින්ම එහි වැටීමත් සිදුවන බවට ලෝකය පුරා උදාහරණ එමට ඇත.
-මතු සම්බන්ධයි- |මෙම ලිපි පෙළේ පළමු කොටස, දෙවනි කොටස සහ තුන්වන කොටස සදහා
රංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarachchi