අප්‍රේල් 14 සිංහල අවුරුද්ද බව නොදන්නවා නෙවෙයි. අවුරුද්ද කියන්නේ පොඩි එකෙකුට ඒක විස්තර කළ නො හැකි හැඟීම් පිරි සතුටක් ඇති කරන සිහිනයක්. ඒත් ඒ සතුට හරිම සාපේක්ෂයි. එහෙම කියන්නේ සතුට ලඟා කර ගන්න තියෙන අවස්ථාවන් හා හැකියාවන් වල ඇති තරම ප්‍රමාණය අනුව ය.
සෑම වසරකම අවුරුද්ද එනවා. අපි වසසට යනවාත් එක්ක අවුරුද්ද පිළිබඳ හැඟීම් වෙනස් වෙනවා. විග්රහයන් සිතුම් පැතුම් විවිධාකාර උණත්, අවුරුද්ද සංකේතයක් ලෙස එසේම පවතිනවා. මේ සංස්කෘතික ප්රපංචය සරලයි. ඒත් ඒ තුල ඇති දේශපාලනය සංකීර්ණයි.
සිංහල හින්දු අවුරුද්ද අවුරුදු හතලිස් තුනකට පස්සේත් තවත් එක දවසක්.
උදේ මට කෝල් එකක් අවා.. මගේ යාළුවෙක්ගෙන්. ලංකාවෙන් නෙවෙයි. මම ඉන්න රටෙන්මයි
ඔහු මට මතක් කරන කං අද අවුරුද්ද බව මතක් උනේ නෑ. ඒකෙන් අදහස් කරන්නේ අප්‍රෙල් 14 කියන්නේ අමතක වුණ හෝ නොදැනි හිටි දෙයක් නෙවෙයි. ඒත් අවුරුද්ද කියලා සැලසුම් කරපු දෙයක් නෑ. ළමයා උදේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා.
කිරිබත් ඉව්ව ද කියලා අහන කොට, මට උත්තර නෑ.
අපේ යාළුවා කිරිබත් උයලා. මටත් ඒ වෙලාවේ නම් හිතුනා කිරිබතක් උයන්න තිබුණා නම් හොඳයි නේද කියලා. අපිටම කන්න. ළමයටත් අවුරුද්ද ගැන මතක් කර දෙන්න,අවුරුද්ද සමරන්න..
ඒත් එක්කම කිරිබතත් එක්කම නොවැලැක්විය හැකි ලෙස මගේ මතකයට ආවේ අවුරුද්දට කන කිරිබත නම් නෙවෙයි. යුද්දය දිනලා ලක්වැසි සිංහලයන් කාපු කිරිබත.
සිංහල දෙමළ අවුරුද්ද කියලා කිරිබතක් උයන්න පුළුවන්, ඒත් එදා මිනිස්සු කාපු කිරිබතේ මතකය එන එක මහ කාලකණ්නි හැඟීමක්. කිරිබත් කියන කොට මතකයට එන ඒ හැඟීම මතකයෙන් ඈත් කරන්න බෑ. එහෙම කියලා කාටවත් කිරිබත් කෑමේ ඇති අයිතියට විලංගු දාන්න නම් නෙනෙමෙයි මේ කියන්නේ.
කොහොම උනත් 14 කියන්නේ තවත් එක දවසක් විතරක් උනත් අවුරුද්දේ සංකේතාත්මක මතකය අමතක කරන එක ඒ තරම් ලේසි නෑ.
මම ගෙදරට කෝල් එකක් ගත්තා..
අක්කගෙ පුතා පෝන් එකට උත්තර දුන්නා
“ආ කොහොමද “
“හොඳින් ඉන්නවා ලොකු මාමා“
මම අහුවා “ කෝ ආච්චී“ කියලා
ඊට පස්සේ ආච්චිට පෝන් එක දුන්නා
“ආ පුතේ උඹලා හොඳින් ඉන්නව ද“
“ඔව් ඉන්නවා“
ඔව් ඉන්නවා කිව්වට ඒ ස්වරය හා ගැප් එක ඇති අවාචික නොසන්සුන්තාව තේරෙන්නැති.
ඒ ආමන්ත්‍රණය සාමාන්‍ය උනාට අපි ඔක්කටම අසාමාන්‍යයි.
අම්මා හඬන ස්වරයකින් මෙන් උඹලා කවුරුවත් නෑ මොන අවුරුදු ද
මම ඔක්කෝගෙම විස්තර අහගෙන ගියා. ඒත් මේ පාර මට සතයක් වත් ගෙදරට යවන්න බරි උණා.
ඒත් ඉතාලියෙ ඉන්න නංගී සල්ලි යවලා..
ඒ යවපු සල්ලි බෙදලා දුන්න අයගෙ ලැයිස්තුවක් මට කිව්වා.. ඒ ඔක්කොම පවුලේ අය.
“මේ පාර හරිම සවුත්තුයි පුතේ.. වතුර නෑ.. කිරි අම්මාගෙ (නංගි) කුඹුර මැරුණා වී ඇටයක් වත් ගන්න බැරි උණා. පහළ වෙලේ අර කෑල්ලත් මරිලා ගියා. හරිම හාඩප්.“
මම අහගෙන හිටියා විතරයි. ඒකට උත්තර නෑ..
පෝන් එක තිබ්බට හිතට සංතෝෂයක් නෑ.
මම දන්න කාලේ ඉඳලා ඔය කුඹුරුවලින් සන්තෝස වෙලා ඇත්තේ කවදද කියලා නම් මට මතක නෑ
ඒත් කන්ඩවත් වී ඇටයක් නෑ කියන කොට. මගේ පපුවත් පත්තු උණා. මොනවා කරන්න ද
මට සල්ලි ටිකක් යවන්න තිබුණා.. සතුට කියන්නේ මම හිතන දේ නෙවෙයි උන් හිතන දේ.
මම දන්නවා අපේ ගම, ගෙදර, පවුල මිනිස්සු.
අවුරුද්දට ණය වෙලා හරි හැමෝම මොනවා හිරි කනවා. උදේට සංතෝසෙන් පටන් ගත්තට හවස් වෙන කොට කැලබැගෑනිත් වෙනවා. බීමත් කම නිසා අඬ දබර ඇති වෙනවා. බූරු පොළවල් වලට ගිහින් ඇඳුනුත් උගසට තියලා බූරු ගහනවා. වෛරය තරහ අමතක කරනවා වගේම වෛරය පිරිමහගන්නෙත් මේ අවුරුද්දමයි. පිට ඉඳලා ගමට එන අයගෙ තරම පේන්නන්නත් මේ අවුරුද්දම යොදා ගන්නවා.ඒක තමයි මම අත් දැකපු අපේ ගමේ අවුරුද්ද.
ඒත් පොඩි එවුන් වෙලා හිටපු අපි උදේම වැවෙන් නාලා, අලුත් ඇඳුම් ඇඳගෙන, හනුමා රතිඥ්ඥ පෙට්ටයත් අරගෙන ගම වටේ යන්න පටන් ගන්නවා. තරගෙට රතිඥ්ඥා පත්තු කර ගන්නවා. ඒ ගමේ ප්‍රාන්තවල ඉන්න මගේ වයසේ කොල්ලොත් එක්ක. රතිඥ්ඥා ශබ්ධෙට හොඳටම අසරණ වෙන්නේ ගමේ ඉන්න බල්ලෝ. බය වෙච්ච දඩාවතේ යන බල්ලන්ගේ ඇඟටත් රතිඥ්ඥා පත්තු කරලා හිංසනමය සතුටකුත් අපි අත් වින්දා. හැම ගෙදරකටම ගිහින් මොනවා හරි කනවා නැත්තම් තේ එකක් බොනවා. පංසලට යනවා. හාමුදුරුවන්ටත් වඳිනවා. ඊට පස්සේ යාළුවොත් එක්ක කලින් සැලසුම් කර ගත්ත හොර වැඩ ටික පටන් ගන්නවා. ඒ තමයි හංගපු සිගරට් ටික එලියට අරං හැංගිලා උරන්න ගන්න එක. සමහර අවුරුදුවල කසිප්පුත් බොන්න ගන්නවා. හිතවතුන්ගේ ගෙවල්වලිනුත් දෙනවා. බීලා වැඩි වෙලා වමනේ දාලත් තියෙනවා. වෙරි හිඳෙන කං කැලේ නිදාගෙන ඉඳලත් තියෙනවා. මේ වගේ මතකයන් ගොඩයි. ඒ මීට වසර තිස් පහකට විතර උඩ දී. ඒත් දැන් ඒක වෙනස් ඇති. ඒදා මම හිතපු විදිහවත් අද හිතන විදිහවත් නොවෙන්න පුළුවන්. ඒත්. ජීවිතවල මූලික පදනම එහෙමමයි. අක්කගෙ පුතා අන්තරජාලෙ තියෙන පෝන් එකක් පාචිච්චි කළාට, ගමේ පරණ පාර දිගේම කාපට් පාරක් ගියාට, මිනිස්සු ණයයි. කුඹුරු කෙරුවාව තවමත් එහෙමමයි. ජීවත් වෙන්නේ කූඹුරු නිසා නෙවෙයි. වෙන වෙන දේවල් නිසයි
අම්මගෙ කතාවෙන් කියැවුණේ ඒකම නේද.
අම්මට නංගී දුන්න සල්ලි ටික වෙස්සන්තර රජ්ජුරුවෝ වගේ බෙදලා දුන්න විදිහ කියන කොට මට මගේ විවේචනය නොකර ඉන්න බැරි උණා. මම කිව්වා ඔය අයට ඔය විදිහට දෙන්න එපා. ඒකට හුරු උනාම කවදාවත් ස්වාධීන වෙන්න බෑ. උන්ටමයි ඒක නරක කියලා.
ඒකට අම්මා කිව්වේ අවුරුද්දනේ පුතේ.. වෙනදත් උන්ට ඇඳුම් ආයිත්තං අරං දෙනවනේ කියලා. දැන් හරිම අමාරුයි කියලා. මට අහන්න හිතුනා උඹලගෙ රජතුමාට කියන්නෙපැයි කියලා. ඒත් මම ඒක ඇහුවෙ නෑ
මගේ කතාව නරුම ඇත්තක්. ඒත් මට පස්සේ අනුකම්පාවක් ඇති වුණේ උන් ටික පිළිබඳ චිත්ත රූප පහල වෙලා.
ජීවිතය පිළිබඳ දේශපාලනිකව මේ මිනිස්සුන්ට මොනවා කියන්න ද.
මම අසරණයි. ඒ උන් හිනිදමත් නෙවෙයි. මේ ජීවිතය විග්‍රයට වඩා සංකීර්ණ සංස්කෘතියක් නිසයි.
12 වැනිදා මම ඉන්න රටේත් පොඩි අවුරුදු නිමිත්තකට ගියා.
දේශපාලනිකව හිතන මිනිස්සුත්, එසේ නොසිතන්නේ යැයි අපි සිතන අයත් එක්ක ඔක්කොම එකතු වෙලා සුහදශීලි සාදයක් පැවතුණා. දෙමළ සොයුර සොයුරියනුත් සිංහල හිතවතුනුත්, දන්නා නොදන්නා අයත් එතන හිටියා. කෑම බොහොම රසවත්ව හදලා තිබුණා. කෑමෙන් පස්සේ විනෝදය හා සතුට පිණිස පොඩි සංගීතයකුත් තිබුණා. ඒක ප්‍රො ග්‍රෑම් කරපු සින්දුවලට සිංහල සහෝදරයෙක් සින්දු කියන්න ගත්තා. විවධ ගායකයන්ගේ, ඒ කියන්නේ ජෝතිපාලගේ, ක්ලැරන්ගේ, මිල්ටන්ගේ ජිප්සීස්ලගෙ, කපුගේගෙ ආදි තවත් අයගෙ සිංදු කියන්න උනා. පැමිණ හිටිය අයත් සිංදු කිව්වා. එක යාලුවෙක් “චන්ද්‍රාමෙ රෑ පායා අවා“ කියන සිංදුව දෙමලෙන් හා සිංහලෙන් කිවිවම සභාව අලංකාරමත් උනා. ඒ වගේම ඉලේ රාජා කියන කමල් හස්න් රඟපාන නායගම් චිත්‍රපටියේ “තේම් පාංඬි තේම ඉලෙයි“ කියන සිංදුවත් කිව්වා. ඇත්තටම සිංහල දෙමළ භාෂාමය පරතරය හා අපේ සමීපකම හා දුරස්ථ බව කොච්චරද කියන එක පෙන්නුවා කිව්වොත් නිවැරදියි.
ඒත් එක්කම අර ප්‍රෝග්‍රෑම් කළ ගායක මහතා විසින් ගායනා කරපු බොහෝ සිංදුවලට සභාවේ හිටපු අයත් නටන්න ගත්තා. ගීතය නර්තනය මානවයට නැතුව බැරි දෙයක්. නච්ඡ ගීත වාදිත විසූක.. උනාට ඇඟේ තියෙන දෙයක්
යන්න රට වටේ එන්න මා ප්‍රියේ – ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ – තුන් සිංහලේ
කන්ද උදරටය් පාත දුම්බරය් – වටේම මුතු පර මුහුදය්
මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ
ලා ලලල ලා ලා ලා ලා … නුවර වැවේ වැව රවුමේ
ලා ලා ලලා ලා … තුන් සිංහලේ
ලා ලලල ලා ලා ලා ලා … තිසා වැවේ හඳ පානේ
ලා ලා ලලා ලා … තුන් සිංහලේ
වැවය් දාගැබය් ගමය් පන්සලය් – සිංහල පොලව මගේ
ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ
දේව මන්දිරේ කදිර කෝවිලේ – ඝන්ටා නද පැතිරෙන්නේ
ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ
කියන සිංදුවටත් හරිම දේශප්‍රේමීව හැමෝම නටන්න ගත්තා.
වැවය් දාගැබය් ගමය් පන්සලය් – සිංහල පොලව මගේ
ඇවිත් හිටිය දෙමළ සහෝදර සහෝදරියන්ට නම් සිංහල සිංදුවල තේරුම හරියටම මොකක්ද කියන එක තේරෙන්න නැතුව ඇති. ඒත් ඔවුන් බලා ගෙන හිටියා. සතුටු උණා. සංතෝසෙන් හිනා වුණා… තේරුමට නෙවෙයි රිද්මයට
දේශපාලනයේ දී ජාතික ප්රශ්නය, ස්වං නීර්ණ අයිතිය, ජාතීවාදය, වර්ගවාදය, පංතිය, ප්‍රතිසංස්කරණ, ධනවාදය ආදී මේ හැම දේකටම චිවේචනාත්මකයි. සිංහල බුද්ධාගම හා පංසල අතර වෙලී ඇති ජාතිවාදයයි මේ සිංදුවයි, මේවට එරෙහියි කියන මිනිස්සුම ඒකට නටන කොට නම් මට මතක් උනේ පහුගිය පලාත් සභා ඡන්දෙට තරගයට වාගේ සිංදු කියද්දී, රැස්වීම්වල නටපු මිනිස්සු. විමල් විරවංශගේ, දයාසිරි ජයසේකරගේ, රංජන් රාමණායකගේ වගේ සින්දුවලට නටපු මිනිස්සු.
ඒත් ඉතින් විප්ලවවාදීන්ට වෙනමම නටන්න සින්දුත් නෑ, ගායකයොත් නැති කොට, වෙන මොනවා කරන්නද සින්දු නොකියා නටන්නැතුව ඉන්නකොට තමන් නෑ වගේ හැඟීමකුත් පහළ වෙනවනෙ. ඒ හින්ද වෙන මොනවා කරන්නද, සාමාන්‍ය මිනිහට මොකුත් කියන්න බෑ. අසාමාන්‍ය මිනිහට මොතකුත් කියන්නත් බෑ. මම හිතන විදිහෙයි වැරැද්ද.
ඒත් එක්කම මට මට මතකයට ආවේ සුචරිත ගම්ලත් මහාචාර්යතුමා විසින් අනූ ගණන්වල මහජන පුස්තකාලයේ පවත්වපු දේශන. ඒ දේශන අලලා ලියපු “මාක්ස්වාදී විකට රූප“ කියන පොත. ඒ පොත විප්ලවාදී සාහිත්‍යකරුවන්ට හිරියට අත්පොතක් වාගෙයි. ලාංකීය ගීත සාහිත්‍ය පංති දෘෂ්ටිකෝණයෙන් පතුරු ගහලා තිබුණා. රත්න ශ්රීටවත් කපුගේටවත් ඒකෙන් ගැලවෙන්න ලැබුණෙ නෑ. ඒත් ලූෂන් බුලත් සිංහල, දර්ශන මේදිස් වගේ ගීත රචකයන්ගේ පද රචනා පැසසුමට ලක් වුණා. ඒ ඔවුන් තම අනුභූතිය පංති දෘෂ්ටිකෝණයෙන් නිර්මාණය කරලා තිබුණු නිසා. දර්ශන මේදිස් කවියා නම් දන්න තරමට සිය දේශපාලයේම ඉන්න මිනිහෙක්. ඒත් ලූෂන්ට එහෙම කියන්න පුළුවන් ද
හොඳ පද රචනයක් තිබුණත්, හොඳ කට හඬක් තිබුණත් අපිට හොඳ මිනිහෙක් (ගායකයෙක්) නැති වීම පස්සේ කාලයේ දේශපාලනික සංස්කෘතිය තුල ලොකු ගැටලුවක් වීම නිසා රසවින්දනය හා අචාර දාර්මික දෘෂ්ටිවාදය තුල අපිට අතර මං වෙන්න වුණා. අද වෙ කොට ඒක බර පතලම ගැටලුවක් වෙලා. කවුද රැඩිකල් කියන එකත්, කවුද විප්ලවාදී කියන එකත් ප්‍රශ්නයක් වෙලා. වේරලියද්ද හොඳ ගීතයක් ගායනා කරද්දී, මහින්ද රාජ පක්ෂ අපේ මහ රජා කියලත් කියනවා. රත්න ශ්‍රී ගේ පෑනෙන් විශිෂ්ඨ ගීතයක් ලියැවෙන කොට, ජාතිවාදී චම්පිකටත් ගීතයක් ලියැවෙනවා. අමරදේවටත්, නන්දා මාලිටත් සුනිල් ආරිය රත්තටත් යන හැමොටම මේක පොදුයි.ඒ නිසා විප්ලවවාදීන් හෝ මාක්ස්වාදීන් හෝ මොනයම් රැඩිකල් මිනිස්සු රන් මලක් ලෙස දේවි බඹුන් සිංදුවට හෝ ඉහත සිංදුවට නටන එකත්, ඒත් එක්කම විමුක්ති ගී ගැන කතා කරන එකත් අතර ඇත්තෙත් මේ තත්ත්වයමයි. මේ ගැටලුව විසඳා ගන්න බොබ් මාලෙගේ සිංදුවත් ජෝන් ලෙනන්ගේ සිංදු වලටවත් නැටුවටවත් ඇහුවටවත් හරියන්නෑ. තමන්ගේ භාෂාවෙන් කියන සිංදු තියෙන්න ඕනැ. ගායකයෝ ඉන්න ඕනෑ. ඒ නැති උනා කියලා නටන්නැතුව, සින්දු කියන්නැතුව සාමාන්‍ය මිනිහට ඉන්න බෑ. එහි වෙනසක් පෙන්වන්න අසාමාන්‍ය මිනිහට විකල්පයකුත් නෑ. ඒ නිසා මේ ඔක්කොමලා අඩු වැඩි වශයෙන් විමල් වීරවංශලා. දයාසිරි ජයසේකරලා. මේක දෘෂ්ටිවාදයේ ගැටලුවක්. පද රචනයට දෘෂ්ටියක් තිබුණට රිද්මයට හා සංගීතයට රිද්මයක් නැති නිසාද? නැතිනම් සංස්කෘතියේ ථලයක් විදිහට කොච්චර ප්රතිගාමී සිංදුවක් උනත්, විප්ලවවාදියෙකුගේ හිතට නිරායාසයෙන්ම එන්නේ ඇයි.
මේ සටහනත් එක්කම මට මතක් වෙනවා රෝහණ විජේවීර ලියලා තියෙන කවියක් ගැන
කවියේ සාරාංශගත අදහස මෙහෙම කිව්වොත් නිවැරදි විය හැකියි. විජේවීර රුසියායාවේ ඉගෙන ගන්න ගිය කාලයේ, ඔහු සහභාගි වෙනවා සාදයකට. එතන බොහෝ අය ගීත ගායනා කරමින් නටමින් විනෝද වෙන අතරේ විජේවීරද එතනට වී බලාගෙන ඉන්නවා. හිටියට ඔහු නටන්නටවත් ගීත කියන්නටවත් යන්නේ නැතිව එදෙස බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ දී එක් සුදු කාන්තාවක් පැමිණ ඔහුට නැටුමකට ආරාධනා කරනවා. එවිට ඔහු එය ප්‍රතික්ෂ්‍යප කරමින් කියනවා මෙහෙම. මට උඹත් එක්ක නටන්න බෑ. මට නටන්න නැටුමක් තියෙනවා මගේ කොදෙව්වේ කියලා. ඒක තමයි මට නටන්න තියෙන නැටුම කියලා.
කෙනෙකුට කියන්න පුළුවන් විජේවීර ඒ නැටුම නැටුවා නම් ඉවරනෙ කියලා. ඒත් මම හිතන්නේ ඒ කතාව දේශපාලනික අයිරොනි එකක්.
මේ හැම දේකින්ම කියන්නේ වෙනස් කියන මිනිස්සුන්ට මෙන්ම අසාමාන්‍ය කියන මිනිස්සුනට විකල්පයක් උවමනායි. දේශපාලනයට විතරක් නෙවෙයි. සකළ විධ දෘෂ්ටිවාදී මෙවලම්වලටම. නැතිනම් අපි හැමෝම සන්ලයිට් සී ලයිට් සබන් වගේ අදේශක. ටයර් ටියුබ් වගේ අනුපූරක. ඒක ලේසි නෑ.
මේ ගීතත් අහමු
චන්ද්රාමේ රෑ පායා ආවා
තෙම් පාඩි තේම ඉලෙයි
යන්න රටවටේ
සබඳ අපි කඳු නොවෙමු
අවදි කරනු මැන
තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටැව්
උදය ආර්. තෙන්නකෝන් | Udaya R. Thennakoon