‘‘කාන්තාවන්ට එරෙහි හිංසනයට පිරිමින්ට වරද පටවලා හරි යන්නේ නැහැ. කාන්තාවන්ම තමයි වගකියන්න ඕනේ.’’
-කතානායක චමල් රාජපක්ෂ
අමිනාල් අල්-ෆිලාල් දූෂණයට ලක්වන විට ඇයට වයස පහළොවකි.
මොරොක්කෝවේ අපරාධ නීති සංග්‍රහයට අනුව, දූෂණයට ලක්වූ තැනැත්තියව විවාහ කරගන්නේ නම්, දූෂකයාට අපරාධයේ වගකීමෙන් ගැලවිය හැකිය. තමා දූෂණය කළ තැනැත්තා සමග විවාහ වීමට අමිනාට අවශ්‍ය නොවුණි. එහෙත් දූෂකයා විවාහයට කැමති වුණි. අමිනාල්ගේ දෙමාපියන් ඊට කැමති වුණි. නඩුකාරයා ඊට කැමති වුණි.
අක්රෝශකාරී මාස කිහිපයක විවාහයෙන් පසු අමිනා මී පාසානම් බීවාය. එවිට ඇගේ වයස අවුරුදු දහසයක් වුණා පමණි.
ඇගේ සියදිවි නසා ගැනීම, රටේ පැවති ‘දූෂණ විවාහ නීතියට’ එරෙහි ජාතික හඬක් නැගීමට උපස්ථම්භක වුණි. මොරොක්කෝ පාර්ලිමේන්තුව 2014 ජනවාරි මාසයේ දී ඒ යල්පීනූ අසාධාරණ නීතිය ඒකමතිකව අවලංගු කළාය.
21 වැනි සියවසේ දෙවැනි දශකයේ දී ශ්‍රී ලංකාව තමන්ගේම ‘දූෂණ විවාහ නීතියක්’ සම්මත කර ගැනීමට සැරසෙයි.
ළමා සංවර්ධන සහ වනිතා කටයුතු ඇමති තිස්ස කරල්ලියද්දට අනුව, මේ නව නීතිය යටතේ, දූෂණයට ලක්වූ තැනැත්තියගේ කැමැත්ත ඇතොත්, දූෂකයාට ඇයව විවාහ කරගත හැකි වන්නේය. වින්දිත තැනැත්තිය බාල වයස්කාරියක් නම්, ඈට වයස 18 පිරීමෙන් පසු විවාහය සිදු කළ හැකිය.
කාන්තා දූෂණය/ළමා දූෂණය පිළිබඳ රටේ ලියලමින් ඇති උවදුරට රාජපක්ෂගේ විසඳුම එයයි. තවත් දැඩි දඬුවම් පැමිණවීම හෝ ඉක්මණින් යුක්තිය පසිඳලීම වෙනුවට, වින්දිත තැනැත්තිය විවාහ කර ගැනීමෙන් අපරාධයෙන් පළා යාමට දූෂකයාට අවස්ථාව සැපයේ.
මෙම නීතිය සම්මත වුණොත්, විශේෂයෙන් ළමා වින්දිතයන් කෙරෙහි එය ඉතා නරකට බලපානු නිසැකයි. බොහොමයක් බාල වයස්කාර දැරිවියන්ට, පවුලේ සහ සමාජයේ පීඩනය මැද දූෂකයා හා විවාහ වීමට සිදුවනු ඇත. ඒ, දූෂකයා ඒ වන විටමත් විවාහකයෙකු නොවන්නේ නම් හෝ වින්දිත දැරිවියට ඥාතිත්වයෙන් බාධාවක් නොවන්නේ නම් ය. දූෂණයට ලක්වූ තැනැත්තිය මූල්‍යමය වශයෙන් සිය පවුල මත යැපෙන තත්වයක් තුළ, (18 වියැති දැරියන්ගෙන් අතිබහුතරයක් එසේ ය), ඇගේ ‘කැමැත්ත’ යනු, හුදෙක් බලහත්කාරී විවාහයක් සඳහා යොදාගන්නා අවසර පත්‍රයක් පමණක් වනු නිසැකයි. දූෂකයා දඬුවමෙන් ගැලවෙනු ඇත. පවුල, ‘සමාජ අපවාදයෙන්’ බේරෙනු ඇත. වින්දිත ගැහැනිය (විශේෂයෙන්, වෛවාහක දූෂණය ශ්‍රී ලංකා නීතිය යටතේ අපරාධයක් නොවන නිසා) ජීවිතාන්ත අපහරණයට ලක්වනු ඇත. ඒ වූ කලී, බියකරු සිහිනයක මතකයක් සමග ජීවිත කාලයක් ගෙවනවා වෙනුවට, දවසක් නෑර, බියකරු සිහිනය තුළම මුළු ජීවිතය ගෙවීමට සිදුවීමකි.
‘මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ නීතිඥයන්ගේ’ අධ්‍යයනයකට අනුව, ‘‘දූෂණය සහ ළමා අපයෝජනය පිළිබඳ නඩුවලදී, වැරදිකරුවන්ට අත්හිටවූ දඬුවම් දීමේ ප්‍රවණතාවක් 2008 සිට දක්නට ලැබේ… පාසල් දැරියන් ඇතුළු බාල වයස්කාර දැරියන්ව සාමූහිකව දූෂණය කළ අපරාධකරුවන්ටත් පමුණුවා ඇත්තේ අත්හිටවූ දඬුවම් ය.’’ පවතින නීතිරීතිවල පවතින අඩුපාඩුකම්, ළමා දූෂණ සහ අපයෝජන උවදුර වර්ධනය වීමේ ප්‍රධාන සාධකයක් වශයෙන්, මෑතක දී පළවූ යුනිසෙෆ් වාර්තාවකින් හඳුනාගෙන තිබේ:
‘‘ළමා අපහරණය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සහ නඩු පැවරීමත්, සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ විධිවිධාන සහ වින්දිතයන් සඳහා වන ආධාර සැපයීමත් කොහෙත්ම නොසෑහේ… සමස්ත ක්රමයම නැවත සැළකිල්ලට ගෙන, කාර්යක්ෂමතාවට මුල් තැන දෙමින්, හැම අදියරකින්ම අළුතින් ගොඩනැගිය යුතුව තිබේ.’’
පවතින නීතිරීති ප්‍රමාණවත් නොවෙනවා පමණක් නොව. එම නීතිරීති අනුව කටයුතු කිරීමට ගතවන කාලය ද අතිමහත් ය. මෑතක දී පැවති පාර්ලිමේන්තු විවාදයක දී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් පෙරේරා පෙන්වා දුන් පරිදි, දූෂණ නඩුවක් අවසන් වීමට අවුරුදු හතක් සහ දහයක් අතර කාලයක් ගතවන්නේය.
ළමා ආරක්ෂාව සඳහා වන නීතියක් සැකසෙමින් ඇති බව කියැවේ. එහෙත් ‘සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ විධිවිධාන හෝ ළමා දූෂණ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ ක්රියාපරිපාටියක් ගැන එම නීතියේ සඳහන් නැති’ බව, නිර්නාමික නිල මූලාශ්‍ර පෙන්වා දෙයි. ගෙන ඒමට අපේක්ෂිත ‘දූෂණ විවාහ විධිවිධානයත්’ ඊට එක් කළ විට, අනාගත ස්ත්‍රී දූෂකයන්ට එයින් මනා කොළ එළියක් දැල්වෙනු ඇත.
2012 ජුනි මාසයේ දී අමාත්‍ය කරල්ලියද්ද, ස්ත්‍රී දූෂණය ගැන මීට වඩා බුද්ධිමත්, යුක්ති සහගත සහ ප්‍රායෝගික අදහසක් ඉදිරිපත් කර තිබුණි: ‘‘අපරාධකරුවන්ට ලැබෙන්නේ ඉතා සුළු දඬුවම්.. මීට වඩා තද නීතිරීති අපිට ඕනේ කරනවා.’’ ඔහුගේ වර්තමාන අදහස සමපාත වන්නේ, නොදැනුම, නොවුණා සේ සිටීම, කරුණු විකෘති කිරීම සහ සිද්ධි සුළු කොට තැකීම ආදියෙන් වණ වී ඇති (ළමා දූෂණය ඇතුළු) ස්ත්‍රී දූෂණය කෙරෙහි පවතින රාජපක්ෂ පාලනයේ ආකල්පය සමග ය. සභාපති ජාලිය වික්‍රමසූරිය නැමැති රාජපක්ෂ නෑයා, ස්ත්‍රී දූෂණය ලංකාවේ ප්‍රශ්නයක් නොවන බව, ‘ද වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතට සිනාසෙමින් කීවේය. ‘‘අර ජාතියේ, මේ ජාතියේ දූෂණ ලංකාවේ වෙන්නේ නැහැ. ලංකාවේ ඉන්නේ හොඳට හැදිච්ච මිනිස්සු… වෙන රටවල්වල වගේම, සිද්ධියක් දෙකක් තියෙන්න පුලූවන්.. මං කියන්නේ නැහැ, කොහෙත්ම නැහැ කියලා..’’ ඔහුගේ මාමා වන කතානායක චමල් රාජපක්ෂ, ස්ත්‍රී දූෂණය ගැන පිරිමින්ට වරද පැටවිය නොහැකි බවත්, ඊට වගකිව යුත්තේ ගැහැනුන්ම බවත් කියා සිටියේය: ‘‘ගැහැනු ගැන පිරිමි බලන විදිහ වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස ඇති කරන්න පුලූවන් ගැහැනුන්ට විතරයි.’’ ඔහු එසේ කීවේ වෙන තැනක දී නොව, ජාත්‍යන්තර කාන්තා දින සමරුවකදීම ය.
එහෙත් පර්යේෂණ අධ්‍යයනයන් මගින් පෙන්නුම් කරන්නේ වෙනම කතාවකි. මෑතක දී කරන ලද එක්සත් ජාතීන්ගේ අධ්‍යයන වාර්තාවකට අනුව, තමාගේ සහකාරිය නොවන ගැහැනියක් තමන් විසින් දූෂණය කොට ඇති බව ලංකාවේ පිරිමින්ගෙන් සියයට 14.5 ක් පිළිගෙන තිබේ. එයින් අඩකට ආසන්න පිරිසක්, එක වරකට වඩා එසේ දූෂණය කොට ඇති බව පිළිගෙන ඇත. මේ ස්ත්‍රී දූෂකයන්ගෙන් හතරෙන් තුනක්ම එසේ කිරීමේ අභිප්‍රාය වශයෙන් දක්වන්නේ, තමන් සතු ‘ලිංගික හිමිකාරීත්වයක්’ පිළිබඳ හැඟීමකි. දෙවැනුව වින්දනයයි. දඬුවම, තෙවැනි තැන ය.
එහෙත් රාජපක්ෂලා කිසි විටෙක සැබෑ දත්තවලින් නොසැලෙති. මිථ්‍යාවක් ප්‍රචාරය කිරීමට ඔවුන්ට අවශ්‍ය වූ විට කොහෙත්ම ඒවා නොතකති. වින්දිතයාට දෝෂාරෝපණය කිරීම රාජපක්ෂ මාදිලියයි. දෙමළ ජනතාව ඔවුන්ගේ සකල අබග්ගයන් සඳහා වගකීම භාරගත යුතුය. තමන්ගේ ප්‍රජාවන්ට සහ පල්ලිවලට එල්ල වන ප්රහාරයන්ට වගකිව යුත්තේ මුස්ලිම් සහ කිතුනුවන්ම ය. වැලිවේරියේ මිනිසුන් වෙඩි කෑවේ ඔවුන්ගේ වරදිනි. රාජපක්ෂලාගේ ශ්‍රී ලංකාව තුළ නරක දේවල් සිදුවන්නේ, ජනතාව අකීකරු සහ දඩබ්බර වන විට ය. දෙමළ ජනතාව, තමන්ට අසාධාරණ සේ සැලකීමට විරෝධය පාති. මුස්ලිම් සහ කිතුණු ජනතාව තමන්ගේ ආගම දහමට ඇති අයිතිය ඉල්ලා සිටිති. වස වතුර පානය කිරීම වැලිවේරියේ ජනතාව ප්‍රතික්ෂේප කරති. එසේ වීමෙන් ඔවුන් කෙළේ පොට වරද්දා ගැනීමයි. හරියට, දූෂණයට ලක්වන ගැහැනුන් සහ ළමුන් මෙනි. ඒ අතරට, හැත්තෑපස් වියැති කාන්තාවක් ද, මාස පහක බිළිඳියක් ද ගිය වසරේ එක් වූහ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගුටිකෑවේ, සැපදායී නිකේතනයක අළුත් අවුරුදු නොකා, රාජපක්ෂලාගේ වැඩවලට ඇඟිලි ගැසීමට යාම නිසා ය. ඔලූව ඉදිමුණු, උඬඟු පිරිසකට හොඳ වැඬේ ය.
රාජපක්ෂ සාරධර්ම
‘‘සෑම ශිෂ්ටාචාරයකම අරටුවේ, සාරධර්ම පද්ධතියක් සමග සම්මිශ්රිත නිර්මාණශීලීත්වයේ සංසදයක් ඇතැ’’ යි, ඉතිහාසඥ ඒ.ජී.ඊ. බ්ලේක් පෙන්වා දෙයි.
රාජපක්ෂලා ගොඩනගමින් ඉන්නේ, ඔවුන්ගේම වන අධිකාරීවාදී සාරධර්ම පද්ධතියකි. රාජපක්ෂලා විසින් නිර්වචනය කොට අර්ථ ගන්වන දේශපේ‍්‍රමය, දැන් තිබෙන ලොකුම සද්ගුණයයි. සුළුජාතික ප්‍රජාවන්ට යම් සහනයක් ඉල්ලා සිටීම හෝ ඔවුන්ට කන්දීම, භයානක දෙයක් නොවෙතොත්, අඩු වශයෙන් අනවශ්‍ය දෙයක්වත් වන්නේය. මූලික අයිතිවාසිකම්, ප‍්‍රජාතන්තී‍්‍රය නිදහස සහ ප්රගතිශීලී හර පද්ධති, ජාතික ස්වෛරීත්වයට හානිකර සහ අපේ සංස්කෘතික හැදියාවන්ට අනුචිත, බටහිර දේවල් සේ ප්‍රතික්ෂේප කෙරේ.
කැසිනෝ- ඒ වෙනම කතාවකි.
’උඹට මගේ සහෝදරයා වෙන්න බැරි නං, මං උඹේ ඔලූව පලනවා’ යන ජරමානු කියමන, ලෝකයා සහ රට සම්බන්ධයෙන් රාජපක්ෂලා අනුයන පිළිවෙතයි. සාමාන්‍ය අපරාධ ගණන් නොගන්නා ඔවුන් සාපරාධී නැමියාවක් ඇත්තන් සාදරයෙන් භාරගනී. මන්ද යත්, විසම්මුතිය පාලනය කිරීමට සහ විරුද්ධවාදීන්ට දඬුවම් පැමිණවීමට අපරාධ සහ අපරාධකරුවන් නැතිවම බැරි බැවිනි. පිස්තෝලයක් උරුක් කරගෙන ගිය හම්බන්තොට නගරාධිපතිවරයා තමන්ව හඳුන්වා ගන්නේ, ‘සෙල්ලම් සොල්දාදුවෙකු’ වශයෙනි. ඔහු නිවැරදි ය. මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන් සහ මදාවියන්ට රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ඇමතිවරුන් වශයෙන්, සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් වශයෙන්, සුභ අනාගතයක් තිබේ.
රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාව, ප්රජාතන්ත්රවාදයේ සිට බලය බෙදා හැරීම දක්වාත්, ආර්ථික කාරණාවල සිට සමාජ-සංස්කෘතික කාරණා දක්වාත් වන අතිශය වැදගත් ක්ෂේත්‍ර ගණනාවකින්, ආදිකල්පික සමාජයක් බවට රූපාන්තරණය වෙමින් තිබේ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල කරන ලද නග්න ප්‍රහාරයත්, වින්දිතයාට දඬුවම් කොට අපරාධකරුවාට තෑගි දෙන ‘දූෂණ විවාහ නීතියත්’, මේ ජාතික පරිහානියේ සංකේතයකි. සංජෛවයකි.
පොදුවේ ශ්‍රී ලාංකීය සමාජයත්, විශේෂයෙන් විපක්ෂයත්, තේරීමක් කළ යුතුව තිබේ: නැගී සිටීම හෝ යටත් වීම.
අශික්ෂිත ‘දූෂණ විවාහ නීතිය’ පරාජය කිරීමට එක්වන්න. සකල විපක්ෂය, සිවිල් සමාජය, දේශීය සහ විදේශීය මාධ්‍ය නියෝජතියන්ගෙන් සැදුම්ලත් පුළුල් බලමුලූවක් ගොඩනගා, තොරතුරු සෙවීමට නැවතත් හම්බන්තොටට යන්න.
නැතහොත්, මේ රටේ ඇති සෑම යහපත් සහ ශිෂ්ට සම්පන්න දෙයක්ම කාබාසිනියා කිරීමට රාජපක්ෂ සුනාමියට ඉඩ දෙන්න.
තිසරණී ගුණසේකර
|2014 අපේ‍්‍රල් 20 වැනි දා ‘කලම්බු ටෙලිග්රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Thuggistan නැමැති ලිපියේ සිංහල පරිවර්තන ‘යහපාලනය ලංකා’ | Image Credit:ibtimes/Reuters