Image: Vikalpa File
ලංකා දේශපාලනය ප්‍රචණ්ඩවීම ඇරඹෙන්නේ හැත්තෑ ගණන්වලදීය. 1958 ජාතිවාදී කෝලාහලය, 1965 කුමන්ත්‍රණය, දොඩම්පෙ මුදලාලි ඝාතනය වැනි සිදුවීම් ඉන්පෙර පැවැතුනා වුවත් 71 අප්‍රේල් අරගලය සමගින් ලංකා දේශපාලනය ප්‍රචණ්ඩවීම ඇරඹේ. දකුණේ මෙන්ම උතුරේද තරුණ තරුණියන් කැරලි ගැසීමට පෙළඹෙන්නේ හැටගණන්වල අග භාගයේදීය. ඊට පසු අප්‍රේල් කැරලි කරුවන් පොලීසිවලට පහර දී රාජ්‍ය බලය තම අතට ගැනීමට දරණ උත්සාහය සහ එහි අසාර්ථකවීම සමග රටපුරා සිදුවන ඝාතන රැල්ලකින් එතෙක් ලංකා දේශපාලනයට අයත් නොවූ ප්‍රචණ්ඩත්වයක් සමාජගත වේ.
ඉන් පෙර ලංකා දේශපාලනයට අයත් නොවුනු මෙම නැම්ම එදා සිට අද වනතුරු ක්‍රමක්‍රමයෙන් වැඩිවී එහි උච්ඡතම තත්වයකට අද වන විට දේශපාලනය ලඟා වී ඇත්තේ සමස්ථ සමාජයම එතුල සිරකරුවන් බවට පත්කර ගනිමිනි.
හැට ගණන් වනවිට මිනිසෙකු මරා දැමීම ඉතා විරල සිදුවීමක් වූ අතර එදින මිනිසෙකු තබා සතෙකු අනතුරකින් මිය ගියද මිනිසුන් ඒ ගැන සොයා බලන තත්වයක් පැවතුණි. යම්කිසි හේතුවක් මත මිනිසෙකු මරාදැමූ විට මුළු සමාජයම ඒ ගැන කතා කරන තත්වයක් පැවතුණි. නමුත් හැත්තෑව දශකය තුල මේ තත්වය වෙනස් කිරීම ඇරඹෙන්නේ දේශපාලන මිනීමැරීම් එසේ නැත්නම් ප්‍රචණ්ඩත්වයේ දේශපාලනය ලංකා සමාජය වසාගෙන පැතිරීමත් සමගය.
දකුණේත් උතුරේත් තරුණ කැරළිවලට පිලිතුරු දේශපාලනිකව දීමට නොදන්නා ඔල මොල දේශපාලනය, දේශපාලන පිලිතුරු දීම වෙනුවට මරා දැමීම, සිරකිරීම, වද දීම, අතුරුදහන් කිරීම ආදී ප්‍රචණ්ඩ දේශපාලනයෙන් මෙම තරුණ නැගිටීම්වලට පිළිතුරු දීම ඇරඹීය. මෙයට සාපේක්ෂකව මෙම තරුණ කැරළිකරුවන් ද ප්‍රචණ්ඩත්වයේ දේශපාලනයකින් එයට පිලිතුරු සැපයීම ඇරඹූ අතර රජය එයට ත්‍රස්තවාදී බවකින් පිලිතුරු සපයයි. එකෙකු අභිබවා අනෙකා පැරයීමට ප්‍රචන්ඩබව ආදේශකිරීම තුලින් මෙම ප්‍රචණ්ඩත්වය ක්‍රමක්‍රමයෙන් උච්ඡ ස්ථානයකට ඇදෙන්නට විය.
ලංකාවේ ජනතාව ලෝකයේ පවතින ප්‍රධාන ආගම් 4 ක් අදහන මිනිසුන් වෙති. ඉනුත් 70%ක් අවිහිංසාව මුල්කරගත් ආගමක් අදහයි. මුළු සමාජය අද වන විට හැසිරෙන, ක්‍රියාත්මක වන ආකාරය පෙන්නුම් කරන්නේ වෛරය සහ ප්‍රචණ්ඩත්වයක එය ගිලී තිබෙන බවයි. ඉතා නොදියුණු ගෝත්‍ර සමාජවල ජනයා හැසිරෙන ආකාරයට සමාන හැසිරීම් සමහර දේශපාලන කණ්ඩායම් විසින් මෙහෙයවන කල්ලි හැසිරෙන ආකාරය සිහිගන්වයි. බංගලාදේශයේ හෝ පාකිස්ථානයේ නොදියුණු ඈත ගම්මානවල ගෝත්‍රික ලෙස හැසිරෙණ ප්‍රචණ්ඩ කණ්ඩායම්වල හැසිරීම් සමහර දේශපාලන සහ බෞද්ධ කණ්ඩායම් හැසිරෙන සහ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරන ආකාරයන් අතර සමානත්වයක් ඇත. මෙය මෙසේ සිදු වන්නේ කෙසේද? එමෙන්ම මෙවැනි පිරිහීමක් ඇතිවූයේ කෙසේද යන්න බොහෝ විට පුවත්පත්වලින් සහ රටේ බුද්ධිමතුන් ප්‍රශ්න කරනු පෙනේ. හැට ගණන් වන විට මිනිසෙකු මරා දැමීම විශාල අපරාධයක් ලෙස ගැණුන රටක ඉන් වසර පනහකට පමණ පසු සමාජය මේ අයුරින් ප්‍රචණ්ඩ, වනචාරී හැසිරීමකට නතු වන්නේ කෙසේද?
බොහෝ විට රටක් දියුණු වන විට සමාජයක අපරාධ ප්‍රමාණය අඩුවන බව දියුණු සමාජයන් දෙස බැලීමෙන් පැහැදිලිව දැකිය හැක. අනෙක් අතින් බොහෝ විට සමාජයක් වසර පනහක් වැනි කාලයක් තුල දියුණුවකට ගමන් කරන බවද පැහැදිලි සත්‍යයකි. නමුත් ලංකාව එක අතකින් දියුණුවට යන විට තවත් අතකින් ගෝත්‍ර මට්ටමකට ගමන් කිරීමේ හේතු මොනවාද? ඇත්තෙන්ම ලංකා සමාජය මෙසේ වීමට හේතු විමසීම වැදගත්ය. මේ පිළිබඳව හේතු විමසීමේදී නිදහස සහ නිදහසින් පසු ලංකාවේ දේශපාලනයද විමසා බැලිය යුතුය.
කෙසේ හෝ වසර දෙදහස් පන්සීයක බෞද්ධ ශිෂ්ඨාචාරයක් ගැන මැත දොඩවන සිංහල බෞද්ධයා තම සමාජයේ වනචාරී හැසිරීම දෙස විවේචනාත්මකව නොබැලීම රටේම අවාසනාවකි.
රටතුල සිදුවන අපරාධ සහ ප්‍රචණ්ඩත්වයන් දෙකොටසකට ගැනේ. එකක් දේශපාලන ප්‍රචණ්ඩත්වය වන අතර අනෙක සිවිල් සමාජයේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන් සහ අපරාධ ලෙසිනි. අද වන විට ලංකවේ දේශපාලනයේ යෙදෙන සියළුම දේශපාලන පක්ෂ, කණ්ඩායම් දේශපාලනය තුල ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අතරම කණ්ඩායම් සහ පක්ෂ ගණනාවක්ම ප්‍රචණ්ඩ දේශපාලනයක යෙදෙති. මේ නිසාම රටේ ජනතාවගෙන් වැඩි දෙනෙකු තමන්ට ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට පහසුම ආකාරය වන වැඩිම බලය ඇති ප්‍රචණ්ඩ දේශපාලන බලවේගය වූ බලවේග සමග තමනුත් අනුගතවීම තුලින් තමන්ගේ ජීවිතයට ඇතිවන අපහසුතා අවම කර ගැනීමට මාන බැලීමයි. එහිදී වැඩිම බලය හිමි කණ්ඩායම හෝ පක්ෂය වැඩිම ජනතා සහයක් ලබන්නේ ඔවුන්ගේ සුරක්ෂිතබව, පැවැත්ම, අඩු කරදර ප්‍රමාණයක් එම කණ්ඩායම් සහතික කරන බැවිනි. මෙහිදී රාජ්‍ය යන්න එහි පොදු අර්ථයෙන් මිදී කණ්ඩායමක පැවැත්ම සහතික කරන මෙවලමක් බවට පත්වන අතර එය එම රටතුල ජීවත්වන සියල්ලන්ගේ සුරක්ෂිතබව සහතික කරන ආයතනයක් බවින් ඉවත්වනු ලබයි. එහි බලය හිමි කණ්ඩායම තම කණ්ඩායමේ වුවමනාවන් ඉටුකරන මෙවලම බවට හීලෑ කර ගන්නා මේ ආයතනය(රාජ්‍ය) එම කණ්ඩායමේ සිතැගිවලට එරෙහිවන සියල්ලන්ගේ අයිතීන් උල්ලංඝනය කරන මෙවලමක් බවට ද පත්කරති. අප කැමති වුවද නැතිද අද වන විට ලංකාව මෙම සම්භාව්‍ය රාජ්‍යයෙන් මිදී කණ්ඩායමක වුවමනා එපාකම් ඉටුකරන මෙවලමක් බවට පත්වී හමාරය. මෙම සිදුවීම එකවර සිදුවූ දෙයක් නොවන අතර වසර හැටක පමණ නැතිනම් නිදහසින් පසු ලංකාවේ සංවර්ධනය ගමන්කර ඇති ආකාරයයි.
නූතන රාජ්‍යයකට තිබියයුතු ව්‍යවස්ථාදායකය, විධායකය සහ නීතිය යන කාරණා තුන වෙන වෙනම පැවතෙමින් ජනතාවට සුරක්ෂිතබවක් ඇතිකරනු ලබයි. නමුත් ලංකාව තුල මේ වන විට සිදුව ඇත්තේ මෙම ආයතනයන් තුන වෙන වෙනම නොපවතිනවා පමණක් නොව බලය හිමි අයගේ වුවමනාවන් මේ සියල්ල තුලින් එකම ආකාරයකින් ක්‍රියාත්මක කරවීමයි.
මොවුනට එරෙහිවන අයෙකුගේ අතපය කඩා දැමීම, ඔහු හෝ ඇය බලෙන් අත්අඩංගුවට ගෙන හිර කිරීම හෝ නිකම්ම අතුරුදහන් කිරීම රට තුල සාමාන්‍ය දෙයක් බවට පත්කර ඇත. ප්‍රසිද්ධියේ මැර කල්ලි(රාජ්‍ය අනුග්‍රහය ඇති) වල තර්ජනයට ලක්වීම, එළව එළවා පහරදීමකට ලක්වීම, ජීවිතය පවා අහිමිවීමකට ලක්වීම තුල සමාජය සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත බවට ඇද දමා ඇත. ඒ පිළිබඳ කතා කිරීම, ප්‍රශ්න කිරීම, සියදිවි නසාගැනීමක් බවට පත්කර ඇත. ප්‍රචණ්ඩත්වයේ දේශපාලනය අද වන විට මේ අයුරින් ලංකාව යටපත් කරගෙන හමාරය.
සමාජය මෙසේ ප්‍රචණ්ඩත්වයට සහ දේශපාලන ප්‍රචණ්ඩ බවට අසුවීම ආරම්භවන හැත්තෑ ගණන්වලදී එක දෙක තැනින් තැන ක්‍රියාත්මක වූ මේ ප්‍රශ්නය අද සාමූහිකව රාජ්‍ය අනුග්‍රහය (ප්‍රසිද්ධියේම) ලබමින් සිදුවෙති. දේශපාලන ප්‍රචණ්ඩත්වය ගැන බැලීමේදී විවිධ දේශපාලන කණ්ඩායම්වලින් කරනු ලැබූ ප්‍රචණ්ඩත්වයන් දෙසද බැලිය යුතුය.
ලංකා සමාජය කොතරම් ප්‍රචණ්ඩත්වයක් අනුමත කරනු ලබයිද? පොලීසිය හරක් හොරෙකු ලව්වා හරකෙකුගේ පස්ස පැත්ත ඉම්බවීඹ ගැන අත්පොලසන් දීම ලංකා සමාජයේ සිරිතකි. ජනතා විමුක්ති පෙරමුණ සමහර ප්‍රදේශවල තම බලය පැතිරූ අවධියේ හොරුන් ගස් බැද පෝස්ටර් කරේ එල්ලූ විට ජනයා අත්පොළසන් දෙනු ලැබීය. තුන්ඩුකෑලි වලින් නියෝග කළ දෙය නොකළ විට මරණීය දණ්ඩනය දුන් ආකාරය ගෝත්‍ර යුගය සිහි ගන්වයි. උතුරුකරයේ තරුණ කණ්ඩායම් ගණිකාවක් ලාම්පු කණුවක ගැටගසා ඇගේ ශරීරයේ තාර තවරා කරේ පෝස්ටරයක් එල්ලූ විට ජනයා ‘නියමයි අපේ කොල්ලෝ’ කියමින් අත්පොළසන් දුන්හ. ලාම්පු කණුවක ගැටගැසූ ගැට කපන්නෙකු දිනයක් පුරා වතුර නොදී වදයට ලක්කිරීම ගැන සතුටු වූවා මිස ශෝකයක් ඇති නොකර ගනී. කොළඹ නගරය සිංගප්පූරුවක් කිරීමට, කොළඹ නගරය සුද්ධ කිරීමට, හිඟන්නන්ගේ හිස් මත ගල් පතිත කරනවිට, හිඟන්නන් අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් පිටුවහල් කරන විට, ලාංකීය මැද පන්තිය අත්පොළසන් දුන්හ. ගමක පවුලක් ම්ලේච්ඡ ලෙස ඝාතනය කළාට පසු ඒ ගැන තොරක් නැති කතන්දර ගොතමින් තලු මරන පුවත්පත් සහ රූපවාහිනී නාලිකාවලට අනුව නම් කෙරෙන මේ සාපරාධී අපරාධකරුවන් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ආයුධ පෙන්වීමට ගොස් වෙඩි කන විට, මාංචු පිටින් ගඟට පැන දියේ ගිලෙන විට, ලාංකිකයා ‘‘හොඳ වැඩේ ඕකුන්ට. ඔහොම වෙලා මදි” කියා අත්පොලසන් දෙති. මේ සියල්ල සිදුවන්නේ මෛත්‍රිය සහ අවිහිංසාව මුල්කරගත් වසර දහස් ගණනක බෞද්ධ සංස්කෘතියක් ගැන කතා කරන ජනයා අතරමය. සමහරවිට ඔවුනට අනුව ‘‘සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා! ඒත් හොරුන්, මංකොල්ලකරුවන්, ත්‍රස්තවාදීන් හා දෙමලුන් හැර” කියා ඔවුන් කියනවා විය හැක.
කණ්ඩායම් දේශපාලනය තුල ප්‍රචණ්ඩත්වයද වෙනම සලකා බැලිය යුතුය. හැටගණන්වලින් පසු ලක් පොලව මත පහලවූ සියළුම දේශපාලන කණ්ඩායම් පාහේ (උතුරේ මෙන්ම දකුණේ) කණ්ඩායම තුල වෙනත් මත දරණ අය මෙන්ම වෙනත් කණ්ඩායමකට අයත් පුද්ගලයින් සලකනු ලැබුවේ විනාශ කළ යුතු කොටස් වශයෙනි. අද දක්වාම එය එසේමය. වම යැයි කියා ගන්නා අය වමේ මත ප්‍රභේද ඇත්තන් සලකන්නේ විනාශ කළ යුතු සතුරු කොටසක් වශයෙනි. මෙම වෛරී දේශපාලනය කොතරම් උච්ච ස්ථානයක පැවතුනාද යත් (උතුරේත් දකුණේත් කණ්ඩායම්) වෙනත් මද දැරීමේ වරදට තම එක කුස උපන් සහෝදරයින් පවා ඝාතනය කළ අවස්ථා එමටය.
71 අප්‍රේල් කැරලිකරුවන් අතරින් කැරැල්ල අසාර්ථකවීමේ හේතු ගැන කතා කළ අය ද්‍රෝහීන් ලෙස නම්කරනු ලැබුනි. ඔවුනට අතින් පයින් යකඩ පොලුවලින් පහර දුන්නේ ඔවුන් සමග ඊට ප්‍රථම එකට සටන් කළ ‘‘සොයුරන්” විසින්මය. ‘ද්‍රෝහීන්ට’, ‘පාවාදෙන්නන්ට’, ‘කට්ටිවාදීන්ට’ පහර දෙන විට අනෙකුත් පාක්ෂිකයන් සතුටින් බලා සිටිමින් එය අනුමත කරනු ලැබුනි. එවැනි පහරදීම්වලට එරෙහි වූ පාක්ෂිකයෙකු සිටියේ කලාතුරකිනි.
87-90 දක්වා දකුණේ කැරලිකරුවන් තමන්ගේ පක්ෂයේ අය, පක්ෂයෙන් ඉවත් වූ පැරණි සාමාජිකයින්, වෙනත් වමේ කණ්ඩායම්වල සාමාජිකයින්, වෙනත් දේශාපාල මත දැරූ අය, ඝාතනය කරනු ලැබුවේ නිර්ධය අයුරිනි. මරා දැමීමෙන් සැහීමකට පත් නොවූ ඔවුහු මල මිණී කැබලි කර විකෘති කරනු ලැබීය. ගෙල සිද හිස් වැට ඉණිවල ඇමිණීය. එකෙකුගේ ලිගුව කපා තවකෙකුගේ කටේ ඔබනු ලැබීය. මේ කැබලි කළ මළමිණී ගස්ගල්වල, ලාම්පු කණුවල එල්ලලු ලැබීය. අවසානයේ මේ මළ මිණී වැළලීමද තහනම් කළ ඔවුන් තවත් තැනකදී මේ මළ මිණී මිහිදන් කිරීමට ගෙන යද්දී දනෙන් ඉහළ ඔසවාගෙන යෑමද තහනම් කරනු ලැබීය. එසේ නොකළ හොත් ඒ අයටද මේ අයගේ උදහසට එනම් මරණයට ලක්වීමට සිදුවන බව ලියා තබා තිබුණි.
මෙයට සාපේක්ෂකව පොලීසිය සහ හමුදාවන් විසින් දියත් කළ භීෂණයද මේ හා සමානව සහ එය ද ඉක්මවා යමින් රටම එකම බියකරු සිහිනයක් බවට පත්කරනු ලැබීය. මේ ප්‍රචණ්ඩත්වය ලෝකයේ වෙනත් තැනකින් ලංකා සමාජයට පැමිණි එකක්ද? එයත් බටහිර කුමන්ත්‍රණයක්ද?
(හම්බන්තොට ප්‍රාදේශීය සභාපති ඇතුළු මැර කල්ලිය ප්‍රසිද්ධියේ මිනිසෙකු මස්කර ඔහුගේ සහකාරියටද පහරදී බලු රැලක් මෙන් එකා පසුපස එකා ඇයට ලිංගික බලහත්කාරකම් ප්‍රසිද්ධීයේ කර ඇත. පසුව එම චෝදනාවන් ‘බටහිර කුමන්ත්‍රණයක්’ යැයි මෙම සභාපතිවරයා පවසන්නේ කිසි හිරිකිතයකින් තොරවය.)
එල්ටීටීඊය ඇතුළු උතුරේ කැරලි කණ්ඩායම් තම පක්ෂ ඇතුළතම වෙනත් මත දැරූ අය, කණ්ඩායම් හැර ගිය අය, වෙනත් කණ්ඩායම්වල අය නිර්ධය ලෙස මරා දමනු ලැබීය. එල්ටීටීඊ කණ්ඩායම් මායිම් ගම්මානවලට පැන මුළු ගමම කැති ගෑවේ මේ ගම්වල සිටි ජනයා වෙනත් ජන කණ්ඩාමකට අයත් වූ බැවිනි.
හමුදා සහ පොලීසිවල සාමාජිකයින් දෙමළ ගම්වලට ඉවක් බවක් නැතිව පහර දෙමින් දහස් ගණනින් මිනිසුන් ඝාතනය කරනු ලැබීය. අත්අඩංගුවට ගත් අයට වද දී මරා දැමුහ. අත් අඩංගුවට ගත් ස්ත්‍රීන්ට ලිංගික බලහත්කාරකම් කර මරා දමනු ලැබීය. සමහර අවස්ථාවල ප්‍රසිද්ධියේම මළමිණීවලට පවා වද හිංසා කරනු ලැබීය.
මේ සියල්ල තුල ඇත්තේ එකම ආකාරයක ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වයකි. වෙනත් මතයක් දරණ අය මැරීම, මළමිණීවලට වද දීම, අන්මත දරණ අයව අපහාසයට ලක්කිරීම, ද්‍රෝහීන් මරා දැමිය යුතුය යන මතය සමාජගත කිරීම, එසේ මරා දැමීම දෙස බලා අත්පොළසන් දෙමින් අනුමත කිරීම, ලාංකීය සමාජය පසුගිය වසර 40 ක පමණ කාලයක් තුල උතුරේත් දකුණේත් වෙනසක් නොමැතිව, අඩුවැඩි බවක් නොපෙන්වා පවත්වාගෙන විත් තිබේ.
එය විමුක්ති කණ්ඩායම් විසින්, සාමය සහ නීතිය ආරක්ෂා කිරීමට සිටින පොලීසිය විසින්,දේශපාලන පක්ෂ විසින්, හමුදා සහ ඒවාට අනුබද්ධ කණ්ඩායම් විසින්, අඩුවැඩි වශයෙන් කරගෙන විත් තිබේ. තමන් අත බලය පත් වූ තැන සෑම එකෙකකුම පාහේ එම බලය තුල මේ ප්‍රචන්ඩ සාපරාධී බව පරිහරණය කරතිබේ. (මෙහිදී බලය රාජ්‍ය බලයම වියයුතු නැත තමන් අත ආයුධ දරණ බලය තිබූ විට)
අත්අඩංගුවට පත්වූ උතුරේත් දකුණේත් තරුණ තරුණියන්, දේශාපලන සිරකරුවන් ක්‍රෑර ලෙස වදයට ලක්කිරීම ගැන ඕනෑවටත් වඩා ලංකා සමාජය තුල උදාහරණ තිබේ. යෝනි තුල බෝතල් බැස්සවීම, බයිනෙත්තු එවීම, ගුද මාර්ගයන්හි කටු කම්බි ඇතුළු කර කැරකැවීම, හිස් මත පරාල ඇණ ගැසීම, ඇස් ගැලවීම, කණකට පැන්සලක් තබා ගසා අනෙක් කණින් එළියට ගැනීම ආදී මෙකී නොකී දහසක් වද මේ අතර ඉතා ප්‍රසිද්ධ ඒවාය.
මේ සියල්ල දෙස ලංකාවේ ජනයා බලා සිට ඇත්තේ ඒවාට ඒ ඒ තත්වයන් තුල සහාය පලකරමින් සහ තමන්ද සමහර අවස්ථාවන්හිදී ඒවායේ කොටස් කරුවන් වෙමිනි. අද ප්‍රශ්නය වී ඇත්තේ මෙතරම් ප්‍රචණ්ඩත්වයක් අප සමාජය වෙලා ගෙන ඇත්තේ ඇයි? එය සමාජයක ඉදිරි ගමනක් නොව පසුපසට සංවර්ධනයක් නොවන්නේද?
වෙනත් මත දරණ අය වෙනත් භාෂා හෝ ආගම් ඇති අය පිටු දැකීම ලංකා සමාජය වසා පැතිර ඇති බවක් සහ ඒ අයට එරෙහිව ප්‍රචණ්ඩත්වයේ යෙදීම අනුමත කිරීමක් ලංකා සමාජය තුලින් පෙන්නුම් නොකරයිද? ඒ ඒ අවස්ථාවන්හිදී එක එක කණ්ඩායමට, පුද්ගලයින්ට, චෝදනා යොමු කළා වුවත් මුළු එකක් ලෙස සමාජයම ප්‍රචන්ඩත්වයක (කෙලින්ම හෝ වක්‍රව) ගිලී ඇති බවක් නොපෙනේද?
ආයුධ සන්නද්ධ නැගිටීම් ඇති අවස්ථාවන්හිදී මේ ප්‍රචණ්ඩබව පැහැදිලිව දිස්වන අතර සාමකාමී ලෙස පවතින අවධියේ එය වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක නොවන්නේද? හැත්තෑ ගණන්වල පුංචි පැලයක් වූ ප්‍රචණ්ඩත්වය අද මුළු සමාජයම වසා පැතිර වැඩී ඇති මහා වෘක්ෂයක් බවට පත්වී නොතිබේද? එසේ නම් අප ලංකා සමාජ සංවර්ධනය මැනිය යුත්තේ ධනාත්මකවද? එසේත් නැතිනම් ඍණාත්මකවද?
සාමකාමී අවධිවල ප්‍රචණ්ඩත්වය සමාජය අරා නැගෙන අයුරු පෙන්නුම්කරන ඉතා හොඳ ලක්ෂණයක් වන්නේ වෙනත් දේශපාලන මත දරණ පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට කරන නිර්ධය පහරදීමේ ප්‍රචාරක වැඩ තුලිනි. මතවාදයට මතවාදීව විවේචන ඉදිරිපත්කිරීම වෙනුවට ඔවුන්ගේ පුද්ගලික ජීවිතවලට මඩගැසීම තුල, සමාජයක් ඉදිරියේ ඔවුන් අපහාසයට ලක්කිරීම තුල, අදහස් ඉදිරිපත්කරන මිනිසුන් නිහඬ කිරීමේ විධික්‍රමය බොහෝ කණ්ඩායම්, පක්ෂ මෙන්ම ආණ්ඩුව සහ එහි කොටස්කාර මාධ්‍යයද අනුගමනය කරති. යුද්ධයට එරෙහිව සාමය ගැන කථා කළ අයට ‘ද්‍රෝහීන්, ඩොලර් කාක්කන්, බටහිර ඒජන්තලා, කොටි උදව්කරුවන්’ ආදී ලේබල් අලවා ඔවුන් මරා දැමිය යුතුය, ඔවුන්ගේ පවුල් පිටින් පුළුස්සා දැමිය යුතුය, ගෙවල් ගිණිතැබිය යුතුය, ආදී ප්‍රචාරයන් ප්‍රසිද්ධ ජනමාධ්‍ය තුලින්ම කරනු ලැබීම පෙන්වන්නේ කුමන සභ්‍යත්වයක්ද?
දේශපාලන මත ගැටුම, මඩ ගැසීම සහ අපහාස කිරීම තුලින් කරනුයේ ද ප්‍රචණ්ඩත්වය භාවිතාවට ගැනීමකි. මෙය එදිනෙදා පුවත්පත්, ගුවන්විදුලිය, දේශපාලන කථා වෙබ් අඩවිපුරා දැකිය හැකිය. ඔවුන් අත යම් අයුරකින් බලය තිබුනා නම් ඔවුන්ද කරනු ඇත්තේ බලය ඇති අය අද කරන්නා වැනිම සාහසික සාපරාධී ප්‍රචණ්ඩත්වයක් අනුගමනය කිරීමයි.
අද වන විට සමාජය පුරා මේ ප්‍රචණ්ඩත්වය පැතිරී ඇත්තේ ශරීරයක් තුල සෑම අස්සක් මුල්ලකම කරා පැතිර ඇති පිලිකාවක් මෙනි. රෝගයට නිසි කල නිසි සායනයක් නොකරන්නේ නම් රෝගියා අවසන් වන බව අපි දනිමු. ලංකා සමාජය තුල පැතිරී ඇති මේ ප්‍රචණ්ඩත්වයේ පිළිකාවටද නිසි සායනයක් නොකරන්නේ නම් එය සමාජයක විනාශය බව පැහැදිලියි. විවිධ නම්වලින්, විවිධ රූපවලින් පහලවන කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය සමාජගත කරන මෙම අවදියේ මෙම වෛරී ප්‍රචන්ඩ හතු පිපීමට එරෙහිව විසදුම් සෙවීමට අප ඉක්මන් නොවුනහොත් පවා වූවා වැඩිවිය හැක. දේශපාලන ප්‍රචණ්ඩත්වය සමාජයක යහපත් වැඩීමකට සුදුසු දෙයක් නොවන අතර ප්‍රචණ්ඩත්වයේ දේශපාලනය සමාජයක් විනාශ කර දමයි. එනිසා අද ලංකා සමාජය පුරා පැතිර ඇති මෙම ප්‍රචණ්ඩත්වයේ ස්වරූප සහ ඒවායේ මූලයන් හදුනාගෙන එයට නිසි ප්‍රතිකාර සෙවීම ලංකා සමාජය සතු හදිසි කාර්ය බව මගේ හැඟීමයි.
රංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarchchi