Image Credit: lankapura
යටත්විජිත වාදීන් යම්කිසි රටක් ආක්‍රමණය කරනුයේ එම රටේ සම්පත් තමන් සතු කර ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන බව අපි දනිමු. ලංකාව ආක්‍රමණය කළ සෑම යටත් විජිත වාදියෙකුම එසේ ආක්‍රමණය කලේ ලාංකික ජනයා වෙනුවෙන් වැඩ කිරීමට නොව ලංකා දූපතේ තිබූ සම්පත් කොල්ලකෑමේ අරමුණෙනි. දූපතක් වන ලංකාවට විවිධ ජාතිකයින් වසර දහස් ගණනක් තිස්සේ මෙසේ පැමිණ ඇති බවද නොරහසකි.
මෙසේ පැමිණි කොටස් රටේ සම්පත් ඒ ඒ අවධියට අනුව ඔවුනට වැදගත් වූ ආකාරයෙන් කඩා වඩා ගෙන ගොස් ඇති අතර ඔවුන් විසින්ද යමක් අපට ඉතිරි කර ගොස් තිබේ. මෙසේ පැමිණි සෑම ආක්‍රමණිකයෙකුම පාහේ දැන හෝ නොදැන ලංකා දූපත් වැසියන්ගේ ජන ජීවිතයට ඔවුන්ගේ සංස්කෘතියෙන් කොටසක් උරුම කරදී ගොස් ඇත. (විජයගේ සිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් දක්වා) එනිසා ලංකා සමාජය විවිධ සංස්කෘතීන් වලින් පෝෂණය වී තිබේ. මෙය පෙන්වන හොඳම ලක්ෂණයක් වන්නේ ලොව පිලිගත් ප්‍රධාන ආගම් 4 ක්ම අප සමාජය සතු වීමයි. එමෙන්ම ලෝකය පුරා පැවති විවිධ දර්ශනයන්හි ආභාෂයන්ද අප සමාජය ලබා තිබේ.
වසර 450ක් පමණ කාලයක් තිස්සේ යුරෝපීය යටත් විජිත වාදීන්ගේ සපත්තුවට යටවී පැවති ලංකා දූපත ඔවුන් එසේ පවත්වා ගත්තේ තුවක්කුවේ බයිනෙත්තුවේ බලයෙනි. ඔවුන්ගේ ආධිපත්‍ය ලංකා දූපතේ ස්ථාපිත කරනු ලැබුවේ මිනී කඳු සහ ලේ විල් මතිනි. ඔවුන් තමනට අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා දූපතේ වගාවන් ඇරඹීය. මේවා ප්‍රවාහනය කිරීමට මං මාවත් තනනු ලැබීය. මේවා පරිපාලනය කිරීමට පරිපාලන රටාවක් සැකසීය.
මෙම විජිතවාදීන් ලංකාව ආක්‍රමණය කරන විට මෙම දූපත තුල රාජ්‍යයන් ගණනාවක් පැවතුන අතර රජුන්ට සහ රදළයින්ගේ ආධිපත්‍යයකට යටත්ව ජීවත් වූ සාමාන්‍ය මිනිසාට අඩුම තරමින් තමන්ගේ ජීවිතයටවත් අයිතියක් නොතිබිණි. රජු සහ රදළයන් අත ඕනෑම වැසියෙකුගේ ජීවිතය නැති කිරීමේ අයිතිය පැවතුණි. සාමාන්‍ය වැසියා සතුව ගෙවල් දොරවල් ලෙස පැවතුනේ අතු පැල් පමණි. රජුට සහ රදළයන්ට හැරුණු විට ගෙයක හුණු ගෑමට පවා සාමාන්‍ය වැසියාට අයිතියක් නොතිබුණි. ලෝකයේ සෑම තැනකම සිදුවූ ආකාරයෙන් ආගම සහ පාලකයා එක්ව කටයුතු කළ අතර රට තුල ජීවත් වූයේ ආගම තුල හීලෑ කළ ජනතාවකි. පුද්ගලයෙකු සතු අයිතියක් ඇති බව පොදු මිනිසා නොසිතුවා මෙන්ම නොදැන සිටි අතර තමාගේ රැවුල කපා ගැනීමටද රදළයෙකුගේ අවසරය ඉල්ලා සිටිය යුතු විය. පොදු ස්ත්‍රියට උඩු කය වසා ඇදුම් ඇදීමට අයිතියක් නොතිබුණි. මේ අයිතිය පැවතුනේ රජු සහ රදළ පවුල්වල සාමාජිකයින්ට පමනි. බත්, අල, බතල, කොස් කරවල කෑල්ලක් සමග හෝ අල කොල මාලුවක් සමග බුදිමින් එම ජනයා එයින් තෘප්තියට පැමිණි අතර පැදුරු කඩමල්ලක නිදා ගත්තේ රජ සැප යැයි සිතා ගනිමිනි.
විජිතවාදීන් දූපත ආක්‍රමණය කරන විට මේ දූපතේ පැවති කුඩා කුඩා රාජ්‍ය ඒකක අතර පැවතුනේ සතුරු ආකල්පයකි. මෙම රාජ්‍යයන් අතර සම්බන්ධයන් විශාල වනාන්තර වලින් මායිම්ව පැවතුනි. දූපතේ එක කෙලවරක සිට අනෙක් කෙලවරට ගමන් කරන අයෙකුට රාජ්‍යයන් ගණනාවක් පසු කළ යුතු වූ අතර ගමන් කළ යුතු වූයේ අලි, කොටි, වලසුන් ගහණ වනාන්තර මැදින් පාගමනිනි. මෙම රාජධානිවල ප්‍රධාන නගරයන්වල පමණක් ගැල් වලින් ගමන් කිරීමට මාවත් තිබුණු අතර දූපත තුල පැවතුණු අනෙකුත් පාරවල් වූයේ සතුන් ගමන් කළ අඩිපාරවල් සහ ගොන් තවලම් සඳහා තිබූ අඩිපාරවල් පමනි.
හැට ගණන්වලදී ලක් පොලොව මත නැගෙන තරුණ සහ වාම දේශපාලනය ලංකා ඉතිහාස කාරණා විග්‍රහ කර ගැනීමේදී එය නිවැරදිව හදුනා නොගත් බව මගේ හැඟීමයි. ඒ ‘අපේ අතීත ශ්‍රී විභූතිය, අපේ ස්වයං පෝෂිත ආර්ථික රටාව ගැන ඔහේ කතාකළ බැවිනි’ බොහෝ වාම යැයි සිතන අය වැඩ වසම් පසුගාමී අතීතය අද ද වර්ණා කරති. ‘දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රත්‍රං බන්දේසියක මැණික් පුරවාගෙන නව යොවුන් සුරූපී තරුණියකට තනිව ගමන් කළ හැකි සමාජයක් පැවතුනා’ කියමින් අතීතය වර්ණනා කරති. මෙම විග්‍රහයන් තුලින් කරන්නේ ඉතා නොදියුණු මට්ටමක පැවති වැඩ වසම් සමාජයක් අලංකරණය කිරීමයි. ලංකාව තුල සියලු දේශපාලන අසාර්ථක වීම් වලට ප්‍රධාන හේතුව මෙම කණ්ඩායම් විග්‍රහ කර ගන්නේ අධිරාජ්‍යවාදීන් සහ ධනපති ක්‍රමය නිසා සිදුවන දෙයක් ලෙසිනි. එසේ විග්‍රහ කරන අතරම අතීතයේ මෙම දූපතේ පැවතුනේ සෞභ්‍යයෙන් පිරි නිදහස් සමාජයක් බවත් එය කඩා බිඳ දැම්මේ අධිරාජ්‍යවාදීන් සහ ධනපති ක්‍රමය විසින් බවත් චෝදනා මුඛයෙන් පවසති. (මෙහිදී මා අධිරාජ්‍යවාදීන් ලංකා දූපත ආක්‍රමණය කරන්නේ එහි ජනයා වෙනුවෙන් සේවයක් කිරීමට යැයි අදහස් නොකරමි.) ඉතා පසුගාමී වැඩවසම් බවක පැවතුණු ලංකා දූපත් සමාජය තුල මේ බටහිර අධිරාජ්‍යවාදය නොමැකෙන සටහනක් තබන්නේ පොදු මිනිසා වෙනුවෙන් විශාල යහපත් වැඩ කොටසක්ද ඒවා තුල කැටි කරමිනි. කුල පීඩනයෙන් මිරිකී සිටි මිනිසා ක්‍රිස්තියානි ආගම වැලද ගන්නේ ස්ව කැමැත්තෙනි. සිල්වලා, ප්‍රනාන්දුලා, පෙරේරලා, අල්මේදලා, ෆොන්සේකලා, පීරිස්ලා ආදී මෙකී නොකී නම් වැළඳ ගන්නේ සේද හාමි, රදා ගෙදර ගුන්ඩියා, බඩහැලයා, හකුරා, පද්දා ආදී නම්වලින් සමාජය තුල යටපත් කර තිබූ මිනිසුන්ය.
අධ්‍යාපනය හිමිව තිබුනේ රජ සහ රදළ පවුල්වල සාමාජිකයන්ට හා පන්සල්වල පැවිද්දන්ට පමනි. එයින් නිදහස්ව පාසැල් ඇතිවීම රදළ බැමි බිඳීමේ ආරම්භයකි. මෙයින් මා ඉදිරිපත් කරන්නේ අධිරාජ්‍යවාදීන් මෙරටට පැමිනියේ අප රටේ තිබූ සම්පත් සූරා කෑමට වුවත් ඔවුන් නිසා අප ලැබූ දෙයද අප සමාජයේ කොටසක් වී හමාර වූවා පමණක් නොව අප සමාජයට විශාල සම්පත් ප්‍රමාණයක්ද හිමි වූ බවයි.
පංසල් සහ පිරිවෙන්වලින් එහා ගිය පොදු මිනිසාට ලංවිය හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇතිවීම, රට තුල මාර්ග පද්ධතියක් ඇතිවීම, රටේ පොදු ජනයාගේ පුද්ගල අයිතිය තහවුරු කරන නීති පද්ධතියක් ඇතිකිරීම, (අද වන විට මෙය එසේ නොවුනද), භාෂාවට අලුතින් වචන එක්වීම, සපත්තු, කවිච්චි, බයිසිකලය, කට්ලිස්, පැටිස් වැනි භාණ්ඩ මෙන්ම අලුත් ආහාරද සමාජයට ඇතුළුවීමයි. මෙසේ ධනාත්මක දේද අප සමාජයට ඔවුන්ගෙන් එක්වී ඇත. කැමතිවූවා හෝ නැතා අද වන විට අපේ ජාතික ක්‍රිඩාව බවට ක්‍රිකට් පත්වී හමාරය. මෙහිදී අපට වඩාත්ම වැදගත්ම අංගයන් ලෙසින් අධ්‍යාපනය, නීතිය සහ දේශපාලන ක්‍රමය සමාජයට එක්වී තිබේ. ඉන්පසු ලංකාවේ බලය හිමි කර ගන්නා දේශීය ප්‍රභූන් පටන් ගැන්මේ සිටම පෙන්වන්නේ අධිරාජ්‍යවාදීන් විසින් මෙම දූපතට හිමිකර දුන් ගුණාත්මක හරයන් දියුණු කිරීමට තබා වටහාගන්නට වත් හැකියාවක් නොමැති අඩු හෝ වැඩි ලෙස වැඩවසම් මනසක් හිමි තම ආත්මාර්ථයම හැරුණු විට වෙනත් දෙයක් ගැන සිතිය නොහැකි කණ්ඩායමක් බවයි. එයට හොඳම උදාහරණය වන්නේ නිදහසින් පසු පලමු මැතිවරණයෙන් බලයට එන රජය පුරවැසි පනත මගින් එවකට ලංකාවේ ජාතික ආදායමෙන් හරි අඩක් නිපයූ වතු කම්කරු ජනයාගේ පුරවැසි අයිතිය අහිමි කිරීම තුලියි. මෙම ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාව තුල ඇති වැරැද්ද වටහා ගැනීමට වත් මේ ප්‍රභූන්ට අනූ ගණන් වනතුරුම නොහැකි විය. අදටත් ලාංකීය සමාජය මෙය වටහා ගෙන ඇත්ද යන්න සැක සහිතය. හැට ගණන්වල අග භාගයේ දී ලාංකීය නිර්ධන පන්ති විප්ලවය කිරීමට පෙරමුණු ගත් අපි හේන් ගොවියා සහ වතු කම්කරුවා සන්සන්ධනය කලේ හේන් ගොවියාට සාපේක්ෂකව වතු කම්කරුවා සුඛෝපභෝගී දිවියක් ගතකරන බවක් ගැන දොඩවමිනි. රටක පුරවැසි බව පවා අහිමිකර (අධිරාජ්‍යවාදීන් යටතේ ඔවුනට පුරවැසි බව හිමිව තිබිණ) වත්තක හතර මායිමට ජීවිතය කොටු කර සිටි වහල්ලු ගැන නිර්ධන පන්ති විප්ලවාදී විග්‍රහය එය විය.
නිදහසින් පසු බලය ගත් දේශීය ප්‍රභූන් මෙසේ එකින් එක ජනතාව සතුව තිබූ අයිතීන් කප්පාදු කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, අධිරාජ්‍යවාදීන් ලංකා සමාජය මත බලෙන් පැටවූ දෙයක් මිස අප සමාජය ඉල්ලූ දෙයක් නිසා නොවිය හැකිය. (මෙයත් හරියට අසූ හතේ අප ව්‍යවස්ථාවට 13 වෙනි සංශෝධනය එකතු කිරීම තුලින් බලය විමධ්‍යගත කිරීම හා සමානය. එය ලංකා දේශාපාලඥයාගේ හෝ ජනයාට වුවමනා වූ දෙයක් නොව ඉන්දියාව අපේ ප්‍රශ්නය විසදා ගැනීමට කළ උදව්වක් ලෙස බලෙන් පැටවීමකි. අද වන තුරුත් ලංකාවේ නිර්ධන පන්ති විප්ලවාදීන්ගෙන් කොටසක් රටේ ජන කණ්ඩායමක ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට ඇතිකළ මේ පනත පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට එරෙහි වෙති.)
කෙසේ වුවත් බලය ගත් ප්‍රභූන් රටේ ප්‍රශ්න විසදනවා වෙනුවට එහි තුල ස්ථාපිත කර තිබූ ප්‍රජාතන්ත්‍ර අයිතීන් වැඩි දියුනු කර ඒවා තව තවත් රටේ ජනයාගේ යහපතට මෙහෙයවනවා වෙනුවට දිනෙන් දින ඒ අයිතීන් කප්පාදු කරමින් සමාජය තව තවත් අර්බුදයක ගිල්වනු ලබයි. මෙහි ප්‍රතිඵල ලෙසින් මතුවන දෙමළ ජන අයිතීන් සඳහා කරන ඉල්ලීම්, මෙන්ම සිංහල සමාජය තුල තරුණ තරුණියන් රැකියා අර්බුදයට එරෙහිව කරන උද්ඝෝෂණ ඇරඹති. බලයේ සිටින ලාංකීය ප්‍රභූන් තම පවුල්වල ආධිපත්‍ය සහ සැම කටයුත්තකදීම ඔවුන් පසුපස යාමට සිදුවන ආකාරයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් පවත්වා ගැනීමට එරෙහිවන ලාංකීය තරුණයන් හැට ගණන්වල අග භාගයේ සංවිධානය වීම අරඹන්නේ (මෙම ලිපි පෙලේ මුලින් සඳහන් කළ අයුරින්) ‘ වාමාංශික නැඹුරුවක් වෙත යොමුවන ”විප්ලවවාදීන්” ලෙසිනි’. මේ අවධියේ ලෝකය තිබූ තත්වය සහ තිබූ ගමන් මගත් මෙම විප්ලවවාදී බවට රුකුල් දෙනු ලැබීය. මෙම අවධිය ලෝකය පුරා ජාතික විමුක්ති අරගල පැතිර තිබූ අවධියකි.
වාම විප්ලවවාදී කණ්ඩායම් සැම එකක්ම පාහේ ලංකා සමාජය තුල තිබූ අර්බුදය ධනපති ක්‍රමයේ අර්බුදය ලෙස විග්‍රහ කරමින්, අධිරාජ්‍යවාදය මේ සියල්ලේ එකම වැරදි කරුවා බවට පත් කරන්නේ, ලංකාවේ බලය හිමි කොටස අඩුම තරමේ ධනපති පන්තියක් ලෙස සංවර්ධනය වී ඇති බවක්වත් වටහා නොගනිමිනි. ඒ වාගේම ලාංකික සමාජය සැම විටම වරද තමා ළඟ නොව වරද අනෙකෙකු ළඟ සෙවීමට පුරුදු වූ සමාජයකි. තමන්ගේ නොදියුණු භාවයට සියළු වරද රටතුල ඇති දේශපාලනයේ වරදක් වෙනුවට අධිරාජ්‍යවාදය මත පමනක් පටවති. (අධිරාජ්‍යවාදීනට තමන්ගේ වාසිය සඳහා වැඩ සටහන් පැවතුන බවත්, පවතින බවත්, එය තවදුරටත් පවත්වා ගන්නා බවත් සැබෑවකි). නමුත් ලාංකීය පාලකයන් එතෙක් තිබූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පවා එකින් එක කප්පාදු කර දමන ආකාරය ගැන වටහා නොගැනීම වමේ පක්ෂ සහ කණ්ඩායම් අතර පැවති ප්‍රධාන දුර්වල කමකි.
ලංකා සමාජයේ පවතින පසුගාමී බව මෙයට එක් හේතුවකි. උදාහරණයක් ලෙස මගේ පවුලේ දියුණුවක් නොවන්නේ, මගේ දරුවා විභාගයෙන් පාස් නොවන්නේ, මගේ පවුලේ අය නිතර ලෙඩ රෝගවලට හසු වන්නේ අල්ලපු ගෙදර මිනිහා විසින් අපට එරෙහිව කරන ලද කොඩිවිනයක් නිසා බව අපි තරයේ විශ්වාස කරමු. තමාගේ දියුණුවට කළ යුතු දෙය, තමාගේ ප්‍රශ්නය ඇතිවීමට මූලික හේතුව සොයා නොගෙන අනෙකා ලග අපගේ අසාර්ථක බවට කාරණා සෙවීම පසුගාමී සමාජ ලක්ෂණයක් මිස ධනපති ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණයක් නොවෙති.
කෙසේ හෝ විප්ලවවාදී තරුණ පරපුර විසින් සියලු ප්‍රශ්නවලට හේතුව අධිරාජ්‍යවාදය බව ජප කිරීම තුලින් එම මතය සමාජ ගත කරන අතර මේ සියල්ලට ඇති කෝකටත් තෛලය ‘නිර්ධන පන්ති සමාජවාදී විප්ලවය’ බව ජප කරනු ලබයි. ලංකා සමාජය වසා පැතිරී ඇති වැරදි සංකල්පයක් වන්නේ අපගේ සියලු ප්‍රශ්නවලට හේතුව ‘අධිරාජ්‍යවාදය’ බවයි. එය කොතරම් සමාජ ගත කර ඇත්ද බැලීමට මේ නිදසුන් දෙස බලන්න. සියලුම සිංහල ජාතිවාදීන් සහ බොහෝ වාමාංශිකයන් කියා ගන්නා අය පුන පුනා කිව්වේ, පුන පුනා කියන්නේ, දෙමළ විමුක්තිකාමී හෝ දෙමළ ජනතා අයිතීන් සඳහා ඉදිරිපත් වන්නෝ ‘අධිරාජ්‍යවාදීන්ගේ’ වුවමනාවක් ඉටු කිරීමට අපේ රට බෙදීමට උත්සාහ කරන බවයි. එල්ටීටීඊ ඇතුළු වෙනම රාජ්‍යයක් යන මතය දරන බෙදුම් වාදීන් සහ ඔවුන්ගේ හිතවතුන් පුන පුනා ඉදිරිපත් කරන්නේ ‘අධිරාජ්‍යවාදීන්’ ලංකාව තුල දෙමළ ඊලමක් ඇති කිරීමට ඉඩ නොදෙන්නේ එතුලින් ලෝක සමාජවාදයට මග ඇතිවිය හැකි බැවිනි. තවත් කොටසකට අනුව සිංහල බෞද්ධ රාජ්‍ය විනාශ කිරීමට ක්‍රිස්තියානි ‘අධිරාජ්‍යවාදීන්’ගේ කුමන්ත්‍රණයක් අපට එරෙහිව නිරන්තර දියත්වන බවයි. තවත් කොටසකට අනුව අධිරාජ්‍යවාදය අප වැනි රටවල් සූරාකෑමට, ඒවාට එරෙහිව ඒවා තුල අර්බුද මතු කිරීමට, නිරන්තර කුමන්ත්‍රණයක යෙදී සිටින බවයි. මිනිස් අයිතීන් උල්ලංඝනයට එරෙහි වන්නෝ මිනිසුන් මරා දැමීමට එරෙහි වන්නේ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවට බව තවත් මතයකි. මේ සෑම මතයක්ම අවසානයේ අපේ ප්‍රශ්නයට හේතුව අධිරාජ්‍යවාදීන් බව පවසන අතර ඒ මතයන් ඉදිරිපත්වන අදහස් එකකට එකක් විරුද්ධ ආස්ථානයන්වල සිටිති.
ඒ සියළු ජාතික විමුක්ති හෝ ජාතිකවාදී කණ්ඩායම්වල මතය වූයේ මේ අධිරාජ්‍යවාදීන් සහ ඔවුන්ගේ හෙංචයියලා ලෙස සිටින ලාංකීය ධනපති පන්තිය බලය ස්වදේශිකයන් අතට ගත යුතු බවයි. වමේ කණ්ඩායම් ඒ මතයම දරණ අතර එයට සමාජවාදී විප්ලවයද එකතු කර සමාජවාදී සමාජයක් ගොඩ නැගීම අවසන් විසදුම ලෙස ඉදිරිපත් කරනු ලබති.
නිදහස ලැබීමත් සමගම ලංකාවේ පාලන බලය හිමි කර ගන්නේ රටේ ප්‍රභූන් වන එතෙක් යටත් විජිත ස්වාමීන්ගේ ආවතේවකරුවන්, හිතවතුන් සහ ඔවුන්ගේ පරිපාලන කාර්යන්හි නියැලුණු ස්වදේශිකයින් කණ්ඩායමයි. මොවුන් බොහෝ විට ඉංග්‍රීසි පන්නයට ඇදුම් පැළදුම් කළ, භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාෂාව කථා කළ, එක්තරා අධ්‍යාපනයකට හිමිකම් කියූ කණ්ඩායමකි. මොවුන් අතින් බලය ස්වදේශික බලවේග වෙත ගැනීමෙන් ප්‍රශ්නය විසදෙන බව හැට ගණන්වල සිට මතුවන දේශපාලන බලවේගයන්වල මතය වේ. බලය ගත් දේශීන ප්‍රභූ පැලැන්තිය, වැඩ වසම් මානසිකත්වයකින් එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජ මානසිකත්වයක් නොඉසිලීම තුල (ඉන් පෙර ඔවුන් යටත්විජිත වාදීන් සමග එකට වැඩ කළා වුවත් ) රටේ ප්‍රශ්න තව තවත් උග්‍ර වී විසදුම් පෙනෙන තෙක් මානයක නොවීය. හැත්තෑ ගණන්වලින් පසු රට ප්‍රචන්ඩ දේශාපාලනයකට පෙරලීමත් සමග ප්‍රභූන්ට තව දුරටත් තම සම්භාව්‍ය බව රැකගෙන පාලනයේ කොටස්කරුවන් වීමට ඇති නොහැකියාව සමග ජාතිකවාදී දේශාපාලන නායකයින් බලයේ කොටස් කරුවන් වීම ඇරඹේ.
මෙම ජාතිකවාදී දේශපාලනය අධිරාජ්‍ය විරෝධී මතවාදයක් දරන අතර ඔවුන් අධිරාජ්‍ය විරෝධය ලෙස දකින්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විධික්‍රමයන්ය. ඒ වාගේම තමන් මතුව එන ග්‍රාමීය පහල මැද පන්තික බැවින් මිදී ප්‍රභූ පන්තියේ කොටස් වීමේ හීන මානයකින් පෙලෙන මෙම ජාතිකවාදී කොටස් ( උදාහරණ ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ වැනි) ප්‍රචන්ඩත්වය සහ පසුගාමීබව දේශපාලන තලය අභිබැවීමට උපයෝගීකර ගනිති. සමාජය බියෙන් සහ ත්‍රස්ත කිරීමෙන් පාලනය කරගෙන යාම මොවුන්ගේ විධි ක්‍රමයයි.
ජාතිකවාදී දේශපාලනයට ‘වාමාංශික දේශපාලනය’ කියා කියා ගන්නා කණ්ඩායම් දේශපාලනය දර්ශනමය වශයෙන් වෙනස් නොවන අතර එකක් අනෙකට අලඟු තබන තත්වයකින් ක්‍රියාත්මක වේ. හැට ගණන්වල නැගෙන මෙම බලවේගයන් අවසානයේ අද වන විට ලංකා දේශාපාලනය අත්පත් කර ගෙන හමාරය. ජාතිකවාදී රාජපක්ෂලා සමග විප්ලවවාදී වීරවංශලා මෙන්ම කැරලිකාර කරුණා සහ විලී ගමගේලාද එක්ව සිටී. රස්තියාදුකාර මර්වින් සිල්වලා සමග නිර්ධන පන්ති විප්ලවයට ගිය ගුණරත්න වීරකෝන්ලා, කුරේලා මෙන්ම වාසුදේවලාද එක්ව සිටී. ප්‍රසිද්ධ මිනීමරුවන් වන දුමින්ද සිල්වලා සමග ජාතිකවාදී චම්පිකලා සහ බුද්ධිමතුන් වන ගුණදාස අමරසේකරලා අත්වැල් බැදගෙන සිටී. කුලියට මිනී මරන්නන් ප්‍රාදේශීය දේශාපලන නායකයන් ලෙසද මේ කණ්ඩායම් සමග අත්වැල් බැද සිටින අතර මේ සියල්ලන්ගේම මුවින් පිටවන එකම වාග් මාලාව අධිරාජ්‍ය විරෝධයයි. මොවුන්ට අනුව ලංකාවේ ප්‍රශ්නවලට හේතුව අධිරාජ්‍යවාදීන් වන අතර ලංකාව ගිල ගැනීමට බලා සිටින අධිරාජ්‍යවාදීන් නිරන්තරයෙන් මෙම රාජ්‍ය විනාශ කිරීමට වෙර දරයි. ඔවුන්ට අනුව ලෝකයේම ජනයා මේ පුංචි දූපත සහ එහි බෞද්ධ රාජ්‍ය ගිල ගැනීමට කුරුමානම් අල්ලමින් සිටින බව පැවසේ. රටේ වැඩි කොටසක් සිංහල ජනයා මොවුන් මේ ඉදිරිපත් කරන මතය ඉස් මුදුණින් පිලිගනිති. තමන්ගේ අයිතිවාසිකම් පා දුවිල්ලක්වත් තරම්වත් නොතකන රාජ්‍ය කරවන්නන් වෙනුවෙන් ඔවුන් ස්ත්‍රෝත්‍ර ගී ගයති. මේ අවශේෂ සතුරා ප්‍රධාන සතුරා ලෙස හදුනාගැනීම තුල අපට අපේ සැබෑ සතුරා මගහැරී ඇති බව මගේ හැඟීමයි.
සමාජවාදී සමාජයක් බිහි කිරීම සඳහා කතා කරමින් සිටින බොහෝ වමේ සහෝදරවරුන්ද අධිරාජ්‍යවාදයටම බැට දෙමින් තමාගේ සැබෑ සතුරා හරියට හදුනා නොගැනීම එක්කෝ ලංකා දේශපාලනයේ වරදකි. එසේ නැත්නම් එය පැහැදිලිව හදුනා ගැනීමට ඇති අකමැත්තකි.
ඉතා පසුගාමී වැඩවසම් මානසික මට්ටමක ජීවත්වන සමාජයක් බලය ගැනීම තුලින් සමාජවාදී සමාජයක් බවට පත් කරන්නේ කෙසේද කියා මේ නිර්ධන පන්ති විප්ලවය ගැන කතා කරන සහෝදරවරු හැබෑවටම සිතා බලා ඇත්ද යන්න මටනම් සැක සහිතය. අඩුම තරමේ නිර්ධන පන්ති විප්ලවය කිරීමට කතා කරන සමාජවාදී සමාජයක් බිහි කිරීමට වැඩ කරන කාඩර්වරුන්ගෙන් මට ඇසීමට ඇත්තේ ඔබලාගේ පෞද්ගලික දේපල පොදු දේපල බවට පත් කිරීමට ඔබ එකගවනවාද යන්නයි. මා සිතන්නේ එසේ උත්සාහ කරන අවස්ථාවක ලංකා සමාජය පුරා ‘සුකාර්සීයලා’ ලක්ෂ ගණනින් බිහිවිය හැකි බවයි.
විප්ලවය කර පින්නා ගත් නායකයින් (ප්‍රධාන කාඩර්වරු) කොපමණ ප්‍රමාණයක් අද වන විට බලයේ කොටස් කාරයෙක් වී සිටීද? එසේ බලයේ කොටස් කරුවන් වූ අය තමන් බලයේ කොටස් කරුවන් වූ විගසම කර ඇත්තේ පොදු දේපළ තම පෞද්ගලික දේපළ බවට පත්කර ගැනීම නොවේද? ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීම සඳහා ලංකා සමාජයට තව බොහෝ දුර ගමනක් තිබෙන බව මගේ හැගිමයි. යම් අයුරකින් සමාජවාදයක් බිහි වේ නම් ඒ එයින් පසුව පමනි.
යටත් විජිතවාදීන් බලය දේශීය ප්‍රභූවරුන්ට පැවරූ පසු අසාර්ථක පාලනයක් ගෙන ගිය ඔවුන් රට අර්බුදයක ගිල්වනු ලැබීය. අද වන විට ඔවුන් අතින් ජාතිකවාදී සහ විප්ලවවාදී කොටස් අතට පාලන බලය මාරු වී හමාරය. මේ වන විට ඔවුන් කරමින් සිටින්නේ සියල්ල තමන් සතු කර ගැනීමට හැමදේම කඩා ගැනීමයි. නමුත් හදා වඩා ගැනීමකින් තොර කඩා ගැනීමකින් අවසානයේ ඉතුරු විය හැක්කේ රටක් නොව කාන්තාරයකි.