‘බොකෝ හරාම්’ යනු නයිජීරියාවේ මුස්ලිම් අන්තවාදී සංවිධානයකි. එරටේ එක් ගෝත්‍රික භාෂාවක් වන ‘හවුසා’ භාෂාව තුළ, ‘බොකෝ හරාම්’ යන්නෙන් අදහස වන්නේ, ‘බටහිර අධ්‍යාපනය තහනම්’ යන්නයි. නයිජීරියාවේ උතුරු පළාත, ෂරියා නීතිය යටතේ පාලනය කෙරෙන මුස්ලිම් මූලධර්මවාදී ප්‍රාන්තයක් බවට පත්කිරීම, මේ අන්තවාදී ‘බොකෝ හරාම්’ සංවිධානයේ අරමුණයි. ගත වූ මාස හතරක කාලය තුළ එම සංවිධානය සිදුකළ ඝාතන සංඛ්‍යාව 1500 කට අධිකයි. මීට සති දෙකකට කලින් මේ සංවිධානය, පාසල් දැරියන් 276 දෙනෙකු පාසලකින් පැහැරගෙන ගියේය. එයින් 223 දෙනෙක් තවමත් ඔවුන්ගේ අත්අඩංගුවේ පසුවෙත්. මේ සිද්ධියෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් එම සංවිධානයේ නායක අබුබකර් ෂෙකා ඕ කීවේ මෙවැන්නකි: ‘මං උඹලාගේ කෙල්ලන්ව පැහැරගත්තා. ඒ කෙල්ලන්ව මං වෙළඳපොලේ විකුණනවා’
නයිජීරියානු පාර්ලිමේන්තුවේ ගැහැනුන්ගේ නියෝජනය සියයට 7 ක් පමණි. රටේ සමස්ත ගැහුනු ජනගහනයෙන් පාසල් යන්නේ සියයට 22 ක් පමණි. නිසි කලට පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන ප්රජාතන්ත්රවාදී රටක් වුව ද, එරටේ ගැහැනියගේ තත්වය එබඳු ය. ගැහැනුන් පාසල් යා යුතු නැතැ යි ‘බොකෝ හරාම්’ සංවිධානය කියා සිටින්නේ එවැනි තත්වයක් තිබියදී ය.
මීට මාස දෙකකට ඉහතදී ප්‍රංශයේ අළුතෙන් පිහිටුවා ගත් සමාජවාදී ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලයෙන් සියයට 50 ක්ම කාන්තාවන්ගෙන් පිරවීමට එරට සමාජවාදී ආණ්ඩුව කටයුතු කෙළේය. පාසල් නොයන ගැහැනු දරුවෙකු (හෝ පිරිමි දරුවෙකු) ප්‍රංශයෙන් සොයා ගැනීමට පුලූවන් කමක් නැත. එහෙත්, අද(7) එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ නිකුත් කළ වාර්තාවකට අනුව, සැමියා හෝ හිටපු සැමියාගේ හිංසනය හේතුවෙන් 2013 දී එරටේ මියගිය ගැහැනුන්ගේ සංඛ්‍යාව 121 කි. එම වාර්තාවම කියන පරිදි, සෑම ගැහැනු 10 දෙනෙකුටම එක් අයෙක්, සිය ජීවිත කාලය තුළ වෛවාහක කුටුම්බ හිංසනයට, එක අවස්ථාවකදීවත් ගොදුරු වී ඇත.
කලින් කීවේ ‘නොදියුණු’ යැයි සැළකෙන අප්‍රිකාවේ රටක තත්වයයි. දෙවැනුව කීවේ, ‘දියුණු’ යැයි සැළකෙන, කැබිනට් මණ්ඩලයෙන් හරි අඩක් ගැහැනුන් සඳහා වෙන්කොට ඇති, යුරෝපයේ රටක තත්වයයි.
භෞතික දියුණුවත්, ප්රජාතන්ත්රීය සංස්කෘතියත් විසින් ගැහැනියගේ තත්වය උසස් කොට ඇති බවට කිසි සැකයක් නැත. එහෙත් එය පමණක් ප්‍රමාණවත් නොවන බව, ඉහත කී නිදර්ශනවලින් පෙනේ. සමාජවාදී අදහස් දරණ පාලකයන්ගෙන් යුත් දියුණු රටක පවා පුරුෂමූලික චින්තනය වැඩ කරයි. එහෙත් එහි එක් වැදගත් වෙනසක් තිබේ. ගැහැනිය සහ පිරිමියා අතර සමානාත්මතාව ප්‍රතිපත්තිමය සහ නීතිමය වශයෙන් පිළිගන්නා එවැනි දියුණු රටවල්, ගැහැනිය සම්බන්ධයෙන් තවමත් ශේෂව පවතින පුරුෂමූලික පරඬැල් චින්තනය ගැහැනියගේ හරහට සිටින කිසි අවස්ථාවක අහක බලාගෙන ඉන්නේ නැත. ඉහත කී ජීවිත 121 සම්බන්ධයෙන් ප්‍රංශයේ නීතිය අකුරටම ක්‍රියාත්මක වන බවට කිසි සැකයක් නැත.
ලංකාව, ගැහැනියට අදාළ අළුත් නීතියක් ගෙන ඒමට මේ දවස්වල කටයුතු කරගෙන යයි. ඒ ස්ත්‍රී දූෂණය ආශ්රයෙනි. ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 වැනි වගන්තියට අනුව, ස්ත්‍රී දූෂණයක් සිදුවීමට, කොන්දේසි 5 කින් එකක් සම්පූර්ණ විය යුතුය. ඉන් පළමුවැන්න සහ ප්‍රධාන කාරණය වන්නේ, ගැහැනියගේ ‘කැමැත්ත නැතිව’ සංසර්ගයේ යෙදීමයි. එනම්, බලහත්කාරී සංසර්ගයයි. ඉතිරි කාරණා හතරම, ඒ ‘කැමැත්තේ’ ස්වභාවයට අදාළ, වෙනත් කොන්දේසි වන්නේය. නීති විශාරදයන් නොවන පෘථග්ජනයන් වන අප සාකච්ඡා කරන වර්තමාන මාතෘකාවේ සීමාව තුළ, ස්ත්‍රී දූෂණය යනු, ස්ත්‍රියගේ ‘කැමැත්තට’ පටහැනිව ඇයව සංසර්ගයට යට කර ගැනීම වශයෙන් ගත හැකිය. (බිරිඳගේ ‘කැමැත්ත’ නැතිව ඇය සමග ස්වාමි පුරුෂයා සංසර්ගයේ යෙදීම, ලංකාවේ නීතිය යටතේ වරදක් නොවේ). තව ද, දෙන ලද ‘කැමැත්තට’ නීතිමය වලංගු භාවය ලැබෙන්නේ, ගැහැනියගේ වයස 16 ට වැඩි නම් පමණි. දූෂණයට නියමිත දඬුවම, බරපතල වැඩ ඇතිව වසර 7 කට නොඅඩු සහ වසර 20 කට නොවැඩි සිර දඬුවමක් සහ දඩයකි. ලංකාවේ දැනට වාර්තා වන ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව වසරකට 1400 කි. එනම්, දිනපතා ගැහැනු 4 දෙනෙක් දූෂණය වෙති.
දැන් ගෙන ඒමට නියමිත ‘දූෂණ-විවාහ’ අළුත් නීතිය යටතේ, යම් ස්ත්‍රියක් දූෂණය කරන පුද්ගලයාට, ඉන් පසු එම ස්ත්රියව සරණපාවා ගන්නේ නම්, ඉහත කී දූෂණ අපරාධයේ වගකීමෙන් නිදහස් වන්නට පුලූවන. ඊට අදාළ එකම කොන්දේසිය වන්නේ, එම විවාහයට, අදාළ ස්ත්‍රියගේ ‘කැමැත්ත’ තිබීමයි. මේ කියන ස්ත්‍රිය දූෂණයට ලක්වන අවස්ථාවේ ඇගේ වයස අවුරුදු 16 ට අඩු නම්, එනම්, නෛතික කැමැත්තක් දීමට ඇය නුසුදුසු වන්නේ නම්, ඇගේ වයස සම්පූර්ණ වීමෙන් පසු එම ‘කැමැත්ත’ ලබා ගැනීමට, මේ නව නීතිය යටතේ දූෂකයාට පිළිවන. එවිට ද, තමන් කළ අපරාධයෙන් ඔහුට නිදහස් විය හැකිය.
බාල වයස්කාරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන, නීතිඥයෙකු ද වන ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් කියන්නේ මෙවැන්නකි: ‘‘බාල වයස්කාර දැරියන් දූෂණයට ලක්වූ අවස්ථාවක සහ ලිංගික ක්‍රියාව ඇගේ කැමැත්ත ඇතිව සිදුවී තිබෙන අවස්ථාවක, එම වින්දිත දැරියගේ කැමැත්ත ඇතිව ඇයව විවාහ කර ගැනීමට දූෂකයාට නීතිමය අවකාශ සැපයීම සුදුසු ය.’’
මුලින්ම, සමාජයක හෝ ජීවිතයක ඇතැම් වැදගත් කරුණු මුල් කරගෙන, අවම වයස් සීමාවක් පනවන්නේ ඇයි?
උදාහරණයක් වශයෙන්, ඡන්දය පාවිච්චි කිරීමට, විවාහ වීමට හෝ රියැදුරු බලපත්‍රයක් ගැනීමට අවම වයස් සීමාවක් නියම කොට ඇත්තේ ඇයි? එවැනි වැදගත් තීරණ ගැනීමට තරම් දැනුම් තේරුම් ඇති වයසක, පුද්ගලයෙකු සිටිය යුතු බවට ඇති පොදු පිළිගැනීමයි. දැන් ජනාධිපතිවරයා යෝජනා කරන්නේ, වයසින් මුහුකුරා ගිය පසුව (වයස 16 න් පසුව) එන දැනුම, සිද්ධිය වෙන අවස්ථාවේ (වයස 8, 9, 10 ආදී වයසක දී) දැරියට නොතිබුණු දැනුමට හිලව් කිරීමේ වරදක් නැති බවයි. මේ තර්කය, එක කොන්දේසියක් යටතේ සාධාරණ විය හැකි බව බැලූ බැල්මට පෙනේ. වයස 16 ට අඩු දැරියක සමග ලිංගික සංසර්ගය නීති විරෝධී කොට ඇත්තේ, ඇගේ කැමැත්ත තිබීම/නොතිබීම සහ පිරිමියාගේ පැත්තෙන් බලහත්කාරයක් පෑම/නොපෑම ආදී කිසිවක අදාලත්වයක් ගැන සැලකිල්ලකින් තොරව ය. උදාහරණයක් වශයෙන්, වයස අවුරුදු 15 ක දැරියක් සහ වයස අවුරුදු 18 ක තරුණයෙකු අතර ඇති වන පේ‍්‍රමයක් තුළ, දෙන්නාගේ අන්‍යොන්‍ය කැමැත්ත සහ ආශාව මත ඇති වන ලිංගික සංසර්ගයක දී, එකී තරුණයාව, හුදෙක් නිශ්චිත වයසක් පිළිබඳ පවතින නීතිමය සාධකයක් මත, ස්ත්‍රී දූෂකයෙකු කොට හිරේ යැවීම, අමානුෂික ය. ජනාධිපතිවරයා අදහස් කරන්නේ එවැන්නක් වැළැක්වීම නම්, මනුෂ්‍යයන් වශයෙන් ඒ ගැන අපේ කෝන්තරයක් නැත.
එහෙත් මේ කියන නීතියේ සැබෑව එය නොවේ. බාලවයස්කාරියක් නොවන ගැහැනියක් දූෂණයට ලක්වීමේදීත්, එකී අවසරයම, එනම්, දූෂණයෙන් පසු එම කාන්තාවගේ කැමැත්ත මත ඇයව විවාහ කරගන්නේ නම්, දූෂකයාට නීතියෙන් ගැලවී යාමට නීතිමය අවකාශ සැලසීමේ ප්රයත්නය සළකා බැලීමේ දී එය මැනවින් පෙනේ. මේ කියන (වැඩිහිටි) දූෂණය තුළ, ගැහැනියගේ අකමැත්ත සහ පිරිමියාගේ බලහත්කාරය අනිවාර්යයෙන් ගැබ් වන බව අපි දනිමු. එම අකමැත්ත සහ බලහත්කාරය එකිනෙකින් ප්රතිපෝෂිත ය. පිරිමියා බලහත්කාරය පාවිච්චි කරන්නේ, ගැහැනියගේ කැමැත්ත නැති නිසා ය. නීතිය ඉදිරියේ දූෂණය අපරාධයක් වන්නේම, ගැහැනියගේ එකී කැමැත්ත නැතිකමයි. දැන් අළුත් නීතියෙන් කරන්ට යන්නේ කුමක් ද? ඇගේ කැමැත්තට පටහැනිව ඇයව සංසර්ගයට යට කර ගැනීම මාර්ගයෙන් ඇගේ ‘කැමැත්ත’ දිනා ගැනීමට දූෂකයාට අවසර දීමයි. එනම්, කලින් ඇගෙන් ලබාගත නොහැකි වූ ‘කැමැත්ත’, ඇයව දූෂණයේ වින්දිතයෙකු බවට පත්කරනු ලැබීමේ භාග්‍යයෙන් දූෂකයාට ලබා ගැනීමට හැකි වෙයි.
මන්ත්‍රීවරුන්ට බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කෙරුණේ ජනතාවට සේවය කිරීම පහසු කරවනු පිණිසයි. අපේ දේශපාලඥයෝ ඒ බලපත්‍ර විකුණං කෑහ. ඒ හොර දේශපාලඥයන්ව පාර්ලිමේන්තුවෙන් ද පන්නා හිරේ දැමීම වෙනුවට මේ ආණ්ඩුව කෙළේ, ඒවා විකුණං කෑම නීත්‍යානුකූල කිරීමයි. අප අද වෙසෙන්නේ, එසේ ප්‍රසිද්ධියේ නීත්‍යානුකූල කර නැති තවත් අනන්තවත් දුරාචාර, නිල නොවන ආකාරයකින් ‘නීත්‍යානුකූල’ කෙරී ඇති සමාජයකයි. ස්ත්‍රී දූෂකයන්ව හිරේ දැමීම වෙනුවට, ඔවුන්ට ‘හිරයක් කරගන්නට’ එම දූෂණය තුළින් අවකාශ සැලසීම, ඒ මාවතේම තවත් ‘ඉදිරි පියවරකි’
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda