Image Credit: jdsrilanka.blogspot.com
රටේ පෙනෙන්ට තිබෙන අවනීතිය පිළිබඳව ආණ්ඩුවට විරුද්ධව, විශේෂයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් නගන බරපතල චෝදනා තිබේ. සෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් විසින්ම ගරු කරනු ලබන මූලික ව්‍යවස්ථාමය නියාමය වන ‘නීතියේ ආධිපත්‍යය’ නැති කම ඇතුළු බරපතල චෝදනා ඒවාට අන්තර්ගතයි.
යහපාලනය, බලතල වෙන් කිරීම සහ වගවීමට අදාළ එම චෝදනාවන්ට ආණ්ඩුව පිළිතුරු බඳින්නේ, වගවීමේ ක‍්‍රමයක් රටේ පවතින බවත්, නීතියට ඉහළින් කිසිවෙකු නොමැති බවත්, ආණ්ඩුවේ සෑම ක‍්‍රියාකාරකමක්ම මෙහෙයැවෙන්නේ නීතියේ ආධිපත්‍යය විසින් බවත් කියමිනි. බොහෝ විට ජී. එල්. පීරිස් ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන මෙවැනි ප‍්‍රකාශවල පදනමක් තිබේ ද? නැත්නම් ඒවා මුළුමණින් පදනම් විරහිත, විශ්වසනීයත්වයකින් තොර අදහස් ද?
කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ 2013 ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත‍්‍රණයේ දී අගවිනිසුරු මොහාන් පීරිස් කළ එක් ප‍්‍රකාශයක් මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් ය. නීතියේ ආධිපත්‍යය, යහපාලනය සහ (ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය වශයෙන්) බලතල බෙදා වෙන් කිරීම පිළිබඳ ආණ්ඩුවේ මතය ප‍්‍රකාශයට පත්කරමින් ඔහු කීවේ, ඒවා ලස්සණ වචන වුවත් ලෝකයේ කොහෙන්වත් ඒවා සොයා ගැනීමට නැති බවයි. එබැවින් ඒ ගැන කෙනෙකු ඕනෑවට වඩා කලබල විය යුතු නැතැ යි ඔහු කීය. එසේම, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර බලතල පැහැදිළිව බෙදා වෙන් කෙරෙන ඉරක් ඇඳ පෙන්විය නොහැකි බවත් ඔහු කීවේය. ආණ්ඩුව ඉදිරිපත් කළ කෙටුම්පත් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ව්‍යවස්ථා විරෝධී බවට තීන්දු කිරීම හේතුවෙන් ‘විධායකයේ හොඳ හිත’ අහිමි කරගත් අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකව, අභියාචනාධිකරණය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයත් නීති විරෝධී යැයි තීන්දු කළ ක‍්‍රියාවලියක් හරහා දොට්ට දමමින් ‘මට්ටු කළ’ බව, මේ රටේ අධිකරණය අද පත්ව ඇති ශෝචනීය තත්වය පිළිබඳ යම් වැටහීමක් ඇති කවුරුත් දනිති.
ඊළඟට, වංක භාවය සහ බරපතල විෂමාචාරය පිළිබඳ චෝදනා ඇතුළත්, මේ දක්වා අභියෝගයට ලක්ව නැති, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඇති පෙත්සමක විත්තිකරුවෙකු වන මොහාන් පීරිස්ව විධායක ජනාධිපතිවරයා විසින් අගවිනිසුරු පදවියේ පිහිටුවීය. වෘත්තීය ක්ෂේත‍්‍රයේ විශේෂත්වයක් නැති පුද්ගලයන්ව ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමට එරෙහිව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය දැක්වූ දැඩි විරෝධය නොතකා, තවත් නීතිඥයෙකුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් විධායක ජනාධිපතිවරයා විසින් දැන් පත්කොට තිබේ. මේ කිසි ක‍්‍රියාවක් සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ වගකීමට විධායක ජනාධිපතිවරයා බැඳී නැත.
මෑතක දී, ජනතාව වෙනුවෙන් වැදගත් වන ප‍්‍රශ්නයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවේ දී මතු කරන ලදි. ඒ, විදේශ සංචාර සඳහා ජනාධිපතිවරයා නාස්ති කරන මහ ධන කන්දරාව ගැන ය. ඔහුගේ සහපිරිවර දුසිම් ගණනක් මේ සංචාර සඳහා සහභාගී කර ගැනෙත්. විටෙක, මේවා සඳහා අවශ්‍ය කරන ගුවන් යානා ඒවායේ දෛනික ගුවන් ගමන්වලින් ඉවත් කරගනු ලැබේ. එහෙත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරෙන මුක්තිය (නීතියෙන් වැරදිකරුවෙකු කිරීමට ඇති නොහැකියාව) දඩමීමා කරගෙන, මේ සංචාර සඳහා වැය කෙරෙන මුදල්හදල් පිළිබඳ කිසි තොරතුරක් සැපයීම ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කෙළේය. විචාරකයන් පෙන්වා දෙන පරිදි මෙය, ජනතා ස්වෛරීත්වය ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව විසින් අමු අමුවේ අපහරණය කිරීමකි.
මොහාන් පීරිස්ව නීතිපති වශයෙන් පත්කිරීමේ සහ අගවිනිසුරු වශයෙන් පත්කිරීමේ විධායකයේ ක‍්‍රියාවන්/චර්යාවන් සම්බන්ධයෙන් ගොනු කරන ලද පෙත්සම් අළලා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දු මේ කාරණය මනාව පැහැදිළි කරයි. රටේ ආණ්ඩුවේ පරිපාලනය පත්ව ඇති කණගාටුදායක තත්වය එයින් පෙනී යයි.
එස්.සී.(එෆ්.ආර්) 297/2008 සහ 578/2008
297/2008 දරණ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉදිරිපත් කෙරුණේ, ‘ව්‍යවස්ථා මණ්ඩලය’ පත් නොකිරීම අරභයා ගරු ජනාධිපතිවරයා විසින් කරන ලදැ යි හෝ නොකර හරින ලදැ යි කියන ක‍්‍රියාවන් ගැනයි. ඊළඟ නඩුව තිබුණේ, නිසි ක‍්‍රියා පරිපාටියකින් තොරව සහ ‘ව්‍යවස්ථා මණ්ඩලයේ’ අනුමැතියකින් තොරව ශ‍්‍රී ලංකාවේ නීතිපති වශයෙන් මොහාන් පීරිස්ව ජනාධිපතිවරයා විසින් පත්කරන ලදැ යි කියන කාරණය අරභයා ය.
විධායක ජනාධිපතිවරයා විසින් කරනු හෝ නොකරනු ලබන කිසි ක‍්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට පූර්ණ මුක්තියක් ඇතැ යි යන ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තියට අනුව මේ පෙත්සම් දෙක විභාග කර බැලීමේ අනුචිත භාවය ගැන නීතිපතිවරයා ඉදිරිපත් කළ විරෝධය මත, එකී පෙත්සම්වල වගඋත්තරකරුවන්ගේ විරෝධතා ඉදිරිපත් කිරීමටත් කලින්ම, පෙත්සම් දෙක විමසිය යුතු ද නැද්ද යන්න තීරණය කිරීමේ මූලික විවාදය ඇරඹුණි.
2008 සැප්තැම්බර් 18 වැනි දා නීතිපතිවරයා මේ පෙත්සම් දෙක විභාගයට ගැනීමට එරෙහිිව සිය ලිඛිත විරෝධය දක්වා සිටියේය. ජනාධිපතිවරයා රාජකාරිමය වශයෙන් හෝ පෞද්ගලික මට්ටමෙන් හෝ කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නීතියෙන් බැඳී නොසිටින බවට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය කියා සිටින හෙයින්, පෙත්සම්කරුවන්ට ඔහුව වගඋත්තරකරුවෙකු කොට නඩුවක් පැවරීමට නොහැකි බව නීතිපතිවරයාගේ තර්කය විය. මල්ලිකාරච්චි එරෙහිව සිවා පසුපති (1985, 1 එස්.එල්.ආර්. 74) නඩු තීන්දුවේ දී අධිකරණය ඒ සම්බන්ධයෙන් මෙසේ ප‍්‍රකාශ කොට ඇත:
‘‘ජනාධිපතිවරයාගේ නිල කාලය තුළ ඔහුගේ නිල ක‍්‍රියාවන් හෝ නොකර හරින ක‍්‍රියාවන් සම්බන්ධයෙන් සේම, පෞද්ගලිකව කරන හෝ නොකර හරින ක‍්‍රියාවන් සම්බන්ධයෙන් ද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය යටතේ නීතියේ මුක්තියට ඔහුට හිමිකම් තිබේ.’’
මේ පදනම මත ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු කොට ඇති ඉහත කී පෙත්සම් විභාග නොකළ යුතු බව අධිකරණය තීන්දු කෙළේය.
එස්.සී.(එෆ්.ආර්) අංක 23/2013 පෙත්සම්
ශ‍්‍රී ලංකාවේ අගවිනිසුරුවරිය වූ ශිරානී බණ්ඩානරනායකව ඉවත් කිරීමෙන් හිස් වූ තනතුරට, ඉහත කී පෙත්සමේ 6 වැනි වගඋත්තරකරු වූ මොහොන් පීරිස්ව, ජනාධිපතිවරයා නිකුත් කළ අධිපත‍්‍රයක් මාර්ගයෙන්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107 (1) වගන්තිය යටතේ, 2013 ජනවාරි 15 වැනි දා පත්කරන ලදි.
පෙත්සම්කරුවන් මේ නඩුව ඉදිරිපත් කෙළේ, ශ‍්‍රී ලංකාවේ මහජනතාවගේ අයිතීන් සහ අවශ්‍යතා රැක දීමේත්, රටේ උත්තරීතර නීතිය වන, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත්, නීතියේ ආධිපත්‍යයත් කෙරෙහි වන නිසි ගෞරවය, සැලකිල්ල සහ බැඳීම ආරක්ෂා කර දීමේත් චේතනාවෙනි. (නිලයේ සිටන අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක විශ‍්‍රාම යන තෙක් හෝ නීතියෙන් ස්ථාපිත, බලය ලත් අධිකරණයක් මගින් වැරදිකාරිය කොට ඇයව එම තනතුරින් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින යෝජනාවක් පාර්ලිමේන්තුව මගින් සම්මත කරගන්නා තෙක්) අගවිනිසුරු ධුරය භාර ගැනීමට හෝ අගවිනිසුරු ධුරයේ කටයුතු කිරීමට මොහාන් පීරිස් ගන්නා ඕනෑම ප‍්‍රයත්නයක්, පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රකාශයට පත්කරනු ලැබීමක් පෙත්සම්කරුවෝ අපේක්ෂා කළහ.
මේ නඩුව දිගටම විභාග කර බැලීමේ ආරම්භක දිනයේ දී, ඊට එරෙහිව ද, නීතිපතිවරයා මූලික විරෝධතා දක්වා සිටියේය. මේ මූලික විරෝධය පදනම් වුණේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉහත කී 35 (1) වගන්තිය මතමයි. ඉහත කී මල්ලිකාරච්චි එරෙහිව ශිවා පසුපති නඩු තීන්දුවම ගෙනහැර පාමින් නීතිපතිවරයා දැක්වූ මූලික විරෝධය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, මොහාන් පීරිස්ව අගවිනිසුරු ධුරයට පත්කිරීමට එරෙහිව ගොනු කර තිබූ එකී පෙත්සමත් නිෂ්ප‍්‍රභා කෙළේය.
නාගානන්ද කොඩිතුවක්කු
| 2014 මැයි 7 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Executive Presidency- Public Office Above the Law නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්