ජාතක අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කෙරුණ යෝජනා, කෙටුම්පත්, මතවිමසුම්, සමීක්ෂණ, විද්වත් අදහස් ආදී නනාප්‍රකාර දේ ඇතුලත් කඩදාසි කන්දක් අධ්‍යාපන ඇමතිතුමාගේ ගේ මුල්ලේ තිබේ. අවුරුද්දෙන් අවුරුද්ද මේ කඩදාසි කන්ද ඉහල යනු විනා ඉන් ප්‍රතිපලයක් අත්වුයේ නැත. අධ්‍යාපනයේ අර්බූදය එහෙමමය.
මේ කඩදාසි කන්දට අරක්ගත් මී පවුලක් සිටියේය. කල්යෑමේදී මී අම්මා ගැබ්බර වූවාය. නොබෝ දිනකින් ඇය හුරුබුහුටි මී පැටවු කිහිප දෙනෙකු වැදුවාය. මී පැටවුන් මවගේ කිරි බොමින් වැඩී ඇවිද යා හැකි තරමට උස්මහත් වූ කළ ඔවුන්ට තම පරිසරයෙහි හැසිරීම ගැන පාරම්පරිකව එන පාඩම උගැන්වීමට මී අම්මා සිතුවාය.
ඇය වැඩිමහල් මී පැටවා කැඳවාගෙන කඩදාසි කන්දෙන් එළියට ආවාය. දැන් ඇය ලොකු මී පුතාට පරිසරයේ සැරිසරන ආකාරය උගන්වමින් සිටින්නීය. මේ අතර මී අම්මාට දැනුනේ තමන් වෙත කිසිවෙකු පැමිණෙමින් සිටින බවය. ඇය මුලින් සිතුවේ ඒ මේ දවස් වල ඇමතිතුමාගේ ගෙදර අස්සක් මුල්ලක් නෑර ගැවසෙන අධාරකරුවෙකු විය හැකි බවය. ඒත් ක්ෂණයකින් ඇයට වැටහුනේ ඒ ගෙදර සිටින බළල් තඩියා බවය. දැන් බළල් තිඩියා ලඟ ලඟම එයි. පුතාට කතා කරගෙන දිවගොස් හැංගෙන්නට කල් මදිය. සිදුවන්නට යන්නේ මහ විපතකි. මී පුතාව බළලාගේ එක කටකටත් මඳි තරම්ය. මී අම්මා වහාම කටහඬ වෙනස් කොට මහ හඬින් බල්ලෙකු සේ බුරන්නට පටන් ගත්තාය. ‛‛බව්….වව්….වව්….ගර්…ර්…ර්…’’ මේ හඬ ඇසුනු බළල් තඩියා වටයක් කැරකැවී දුවන්නට පටන් ගත්තේය. සිද්ධිය දුටු මී පුතාට හරිම සතුටුය. ඔහු පැමිණ අම්මාගේ ගෙළ බදාගෙන හාද්දක් දුන්නේය.
’‛ අම්මා මාරයිනේ…..අම්මට කොහොමද එක පාරටම ඔය නුවන පහළවුනේ?’’ මී පොඩ්ඩා විමසුවේය. ‛‛පුතේ, අර අපි ඉන්න කඩදාසි කන්දේ තිබුනු ‛‛අමතර භාෂාවක් ඉගෙනිමේ වැදගත් කම’’ ලියපු කඩදාසි බන්ඩලේ මම කාලා ඉවර වුනේ ඊයේ’’ මී අම්මා කීවාය.