Image: Vikalpa
මේ වනාහි තීරණාත්මක 2009 – මැයි මාසයෙන් පසුව එළඹුණු පස්වැනි මැයි මාසය යි… නැවැත්මක් නැතිව ඔරලෝසු කටු කරකැවේ… කැලැන්ඩර කොළ ගැලවේ… ආපසු හැරී බලන විට පෙනෙන්නට ඇත්තේ මොනවා ද…? ණය කාසි වලින් ඉදි කර තිබෙන කොන්ක්‍රීට් පාලම් බෝක්කු කාපට් පාරවල් ගුවන් තොටුපලවල් නැව් තොටුපලවල් නමැති බාධක අවහිර මධ්‍යයේ වුවත් නිරුවත් දෑස් වලින් ආපසු හැරී බලන්නට හැකි නම්… පෙනෙන්නට ඇත්තේ මොනවාද…?
අනෙකාගේ උරුමය සහ ඉඩ ප්‍රස්ථාව
2009 වසරින් පසුව සෑම වසරකම මැයි 19 වැනිදා කොළඹදී පැවැත්වෙන හමුදා-විජයග්‍රහණ සැමරුම මෙවරද පැවැත්වෙන අතර මේ දින වල එකී සැමරුම් අවස්ථාව සදහා කරන හමුදා ගුවන් නාවුක පාබල පෙරහුරු අපට දැකගත හැක… මුලු මැයි මාසයම ‘රණවිරු මාසය‘ ලෙස නම් කර ඇත…
ඒත් මළවුන් සදහා උතුරේ පැවැත්වීමට ඉඩ ඇති සියලු සැමරුම් ‘තහනම්‘ කර ඇති අතර සාමූහිකව ඉටිපන්දම් දැල්වීම හෝ පහන් දැල්වීම පවා තහනම් කර ඇත…
පසුගිය වසරේ මළවුන් සමරා ඉටිපන්දම් දැල්වූ යාපනය විශ්ව විද්‍යාල සිසුන් අත් අඩංගුවට ගනු ලැබූ අතර මෙවර එම විශ්ව විද්‍යාලය කලින්ම වසා දමා ඇති බව වාර්තා වේ…
මට පෙනෙන හැටියට පශ්චාත් යුද සමය තුළ ආණ්ඩුව කරන දැවැන්තම වරද නම් මෙයයි… එනම් ‘ඔවුන්‘ට කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නොදීම යි…
මෙයාකාරයට ඔවුන්ගේ අවස්ථාවන් පැහැරගැනීම මුලින්ම උතුරේ මහ විරු සොහොන් සුන්නද්දූලි කිරීමෙන් සහ ඒ වෙනුවට විශාල හමුදා ස්මාර්ක තැනීමෙන් ආරම්භ විය… එපමණක් ද නොව හමුදාව විසින් මුදා ගත් එල්. ටී. ටී. ඊ. පාලන ප්‍රදේශ වල පැවැති දෙමළ උරුමයක් ඇති ස්ථාන වල නම්ගම් පවා වෙනස් කරනු ලැබිණ…
‘ඔවුන්‘ගේ හිත් පිත් මෙන්ම උරුමය ද කඩා බිද සුන්නද්දූලි කර දමා අසරණ කර පාරවල් වලට කාපට් අතුරා කොන්ක්‍රීට් පාලම් ඉදිකර දී ඇත…
‘ඔවුන්‘ට දුන්නු කෝචිචිය පවා ‘දැයට කිරුළ‘ ය… සමහර විට ‘ඔවුන්‘ට අවස්ථාවක් දුන්නේ නම් එයට ‘පාර්වතී‘ හෝ ‘මාලතී‘ වැනි නමක් දමනු ඇත…
දේශපාලනික වශයෙන් ‘ඔවුන්‘ට දුන් (දීමට සිදුවූ…) එකම අවස්ථාව හෙවත් ඉඩ ප්‍රස්ථාව ලෙස සැලකියහැක්කේ ‘උතුරු පළාත් සභාව‘ යි… එහෙත් උතුරු පළාත් සභාවට දිවුරුම්දීමේ සිට කොන්දේසි ඉදිරිපත් කළ මධ්‍යම ආණ්ඩුව ඉන් පසුව ආර්ථික සංවර්ධන අමාත්‍ය, ජනපති සොයුරු බැසිල් රාජපක්ෂ ලවා මේ වන විටත් ‘තග‘ දමමින් සිටින්නේ ‘‘උතුරේ සංවර්ධන කටයුතු අප කියන විදියට කරපල්ලා…‘‘ යනුවෙනි…
එය මධ්‍යම ආණ්ඩුවට/බැසිල් රාජපක්ෂට අනුව ‘උතුරු වසන්තය‘ නම් වේ…
මේ අතර ආණ්ඩුවේ ආශිර්වාදය ලබන බොදු බල සේනා වැනි සිංහල ජාතික/ බෞද්ධ ආගමික වර්ගයේ සංවිධාන ම්ලේච්ඡත්වයෙන් ඉස්මතු වෙමින් අනෙකාගේ (මුස්ලිම්/ඉස්ලාම් සහ දෙමල/හින්දු) පැවැත්ම ප්‍රශ්න කරමින් අනෙකා සදහා කොන්දේසි පනවමින් සිටී…
අනෙකාට තර්ජන ගර්ජන කරන අතර තුර අනෙකා සදහා වන ඔවුන්ගේ කොන්දේසි වලට ආණ්ඩුවෙන්/පාර්ලිමේන්තුවෙන් නීති ප්‍රතිසංස්කරණ පවා ඉල්ලමින් සිටී… 13 වැනි සංශෝධනයට එරෙහිව දෙමලාටත් හලාල් වලට එරෙහිව මුස්ලිමානුවාටත් එසවෙන සිංහල බෞද්ධ ත්‍රස්තවාදී සුලුතර සංවිධානයක් නීතිය අතට ගෙන කටයුතු කරන අවස්ථා වලදී පවා ආණ්ඩුව සිටියේ නොදැක්කා සේ ය… පසුගිය වසරක් තිස්සේ නැගී ආ මෙකී අන්තවාදී සංවිධාන විසින් විශේෂයෙන්ම මෙරට සුලුතර මුස්ලිමානුවා තිගැස්සී සිටී…
මෙයාකාරයට යුද්ධ සමාප්තියේ පස් අවුරුදු ඉකුතුව සමරන මේ මොහොතේ ත් අප සිටින්නේ අනෙකාගේ (දෙමලාගේ මෙන්ම මුස්ලිමානුවාගේත්) ඉඩ ප්‍රස්ථාව/උරුමය බහුතර සිංහල බෞද්ධ අධිපති මතවාදයෙන්/ ආණ්ඩුවේ අත් දඩු වල ග්‍රහණයෙන් ‘කිසිසේත්ම මිදී නැති…‘ යැයි කිව හැකි අවාසනාවන්ත තත්වයකය…
එය රටක් වශයෙන් පුරවැසියන් වශයෙන් අද දවසේ අප දකින ඉතා භයානක පෙරනිමිත්තක් ද වෙයි…
පැහැරගැනීම්/රදවාගැනීම්/මරාදැමීම් තවදුරටත්
හමුදා මාධ්‍ය ප්‍රකාශකයා නිවේදනය කළ ආකාරයට 2014 අප්‍රේල් එකොලොස්වැනිදා ‘ගෝපි ඇතුලු කොටි නායකයින්‘ තිදෙනෙක් හමුදා මෙහෙයුමක් අතරතුර වෙඩි වැදීමෙන් මිය ගොස් තිබිණ… ඊට දින තුනකට පෙර ‘ගෝපි ඇතුලු කොටි සාමාජිකයින් තිදෙනෙක් අත් අඩංගුවට ගත් බව‘ මාධ්‍ය වෙත පවසා තිබුණේ යාපනය භාර හමුදා ආඥාපතිවරයා විසිනි…
‘ඒ කොටි ගෝපි‘ සහ ‘අර කොටි ගෝපි‘ එක්කෙනෙක්ද? දෙන්නෙක්ද? පළමු ප්‍රකාශය හරිද? දෙවන ප්‍රකාශය හරිද? එසේ නම් එම අවස්ථා සම්බන්ධයේ අවසාන අර්ථය කුමක් ද? යන්න ගැන වැඩි දුර ප්‍රශ්න කළ යුත්තේ කාගෙන් ද…? සැබැවින්ම එසේ ප්‍රශ්න කිරීමට ධෛර්යයක් නැතුවා මෙන් ම එසේ ප්‍රශ්න කළ හොත් ලැබෙන මාධ්‍ය ප්‍රකාශකලාගේ අහසටත් පොළවටත් නැති මල්ලෙ පොල් උත්තර වලින් සෑහීමට පත්වීමට ද සිදුවේ…
කෙසේ වෙතත් වෙඩි වැදීමෙන් මරණයට පත් වූවායැයි කියන ගෝපිගේ සිරුර ඔහුගේ ඥාතීන්ට භාර දුන් බවක් ද වාර්තා වූයේ නැත… එමෙන්ම ආදාහනය/භූමදානය කළ බවක් ද වාර්තා නොවීය…
පුදුමයට කාරණයක් නොවේ… මේ මෙයාකාරයේ පළමු සිදුවීම ද නොවේ…
ඉකුත් පස් වසර තිස්සේ උතුරේ මෙන්ම දකුණේ ද දෙමළ මෙන්ම විකල්ප දේශපාලන මත දැරූ සහ සිවිල් සංවිධාන වලට සම්බන්ධව කටයුතු කළ සිංහල මුස්ලිම් විශාල පිරිසක් ද මේ ආකාරයටම පැහැර ගැනීමට ලක්වූ අතර ඉන්පසු මරා දමන ලදී…
ඔවුන්ගෙන් තවත් පිරිසකගේ නම් ‘අතුරුදන්වූවන්ගේ ලැයිස්තු‘ වල සටහන් කරන ලදී…
ඒ අනුව යුද්ධයෙන් පසුව පස් වසරක් ගතවී ඇතත් තවමත් නීති විරෝධී ලෙස පැහැරගැනීම අත් අඩංගුවේ රදවාගැනීම සහ අත්අඩංගුවේදී මරාදැමීම යන මනුෂ්‍යත්වයට මෙන්ම නීතියට එරෙහි අපරාධ තවදුරටත් සිදුවෙමින් පවතින බව කිව හැක…
ජාත්‍යන්තර අපකීර්තිය
ඉකුත් මාර්තුවේදී (2014) ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් දැඩි අප්‍රසාදයට පත් වීමට සිදුවිය… ඒ යුද්ධයේදී මානුෂිකත්වයට එරෙහි අපරාධ සිදුවූ බව අනාවරණය කරමින් සහ යුද්ධයෙන් පසුව සංහිදියාව පිණිස වෑයම් නොකිරීම යන චෝදනා එල්ල කරමින් තුන් වැනි වතාවටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් වීම සහ එහිදී පැවැති ඡන්දයෙන් දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාවට පරාජය අත්වීම නිසාය… එම යෝජනාවේ ප්‍රධාන සාධකයක් ලෙස මතුවූයේ ශ්‍රී ලංකා ආණ්ඩුව තමන් විසින්ම පත්කරනු ලැබූ ‘උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ‘ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම යන කාරණාවය…
උගත් පාඩම් සහ සංහිදියා කොමිසමේ වාර්තාව මගින් සංහිදියාව සදහා යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර තිබූ අතර නීතිය සහ නීතිය යහපාලනය ප්‍රතිෂ්ඨාපනය සදහා කටයුතු කළ යුතු බව අවධාරණය කර තිබිණ…ඒ අනුව 17 වන සංශෝධනය බලාත්මක කිරීම වැනි කරුණු ද ඊට අයත් විය…
එහෙත් අවාසනාවකට උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වාර්තාව මුලුමනින්ම කුණු කුඩයට දමනු ලැබිණ… එහි අවසන් ප්‍රතිඵලය වූයේ අවදානම් සහගත සහ ලැජ්ජා සහගත ලෙස ජාත්‍යන්තර පරීක්ෂණයකට පවා ලක්වීමට යෝජනාවීමය…
පුනරුත්ථාපන මිථ්‍යාව
එක් අතකින් ආණ්ඩුවට තමන් විසින්ම කළ පුනරුත්ථාපනය විස්වාස නොවන තරමටම පුනරුත්ථාපනය කර මුදා හැරි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පසු පස හඹා යමින් සිටී… ඒ සදහා හමුදා බුද්ධි අංශය යුද්ධය පැවැති කාලයටත් වඩා ව්‍යාප්ත කරනු ලැබ තිබේ…
පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන්ගෙන් පිරිසක් ශ්‍රී ලංකා හමුදාවේ පහළ ශ්‍රේණියක් සදහා යලිත් පුහුණු කර බදවා ගනු ලැබිණි…
අනෙක් අතට එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පුනරුත්ථාපනය කළ ශ්‍රී ලංකා ආණ්ඩුව යුද්ධයෙන් පසුව සිය රජයේ හමුදාව පුනරුත්ථාපනය කළ බවක් කිසිදු අයුරකින් වාර්තා නොවීම ද විශේෂත්වයකි…
එලෙස කිසිදු පුනරුත්ථාපනයකට භාජනය නොකළ හමුදා සොල්දාදුවෝ තව දුරටත් උතුරේ ආයුද සන්නද්ධව රාජකාරියේ නියැලෙති… එමෙන්ම දකුණේ කැරලි මර්දනයට ද කැදවති…
ඒ අනුව යුද තත්වයක් යටතේ රාජකාරි කළ හමුදාවක් සිවිල් ජනතාව අතරට/කැරලි මර්දනයට යැවිමේ සුදුසු-නුසුදුසුකම ගැන ආණ්ඩුව කිසිම අවධානයක් යොමු නොකළේ යැයි කිව හැක…
හමුදාව නන්දිකඩාල් සිට රතුපස්වල/ වැලිකඩ දක්වා
ඒ අනුව පසුගියදා රතුපස්වල මහජන උද්ඝෝෂණය මැඩ පැවැත්වීමට කැදවනු ලැබූ සන්නද්ධ හමුදාව නිරායුද සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත පහක් බිලිගැනීම, වැලිකඩ බන්ධනාගාරයේ ගැටුමක් නිරාකරණයට කැදවන ලද සන්නද්ධ හමුදාව සහ විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරගත රැදවියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කිරීම වැනි බරපතල ගණයේ හමුදා-අපරාධ පවා සිදුවිය… එහෙත් තවමත් ඒවා පිළිබද පරීක්ෂණ වල අවසන් වාර්තා ප්‍රසිද්ධ වී නැත.
මේ අතර විශ්වවිද්‍යාල සිසුන්ගේ පා ගමන් ද, නගරයේ වතු ආශ්‍රිත නැවත ඉදිකිරිම් වලදී කඩා දැමීමට නියම වන නිවාස හිමිකරුවන්ගේ උද්ඝෝෂණ ද මෙල්ල කිරීමට තවදුරටත් කැදවමින් සිටින්නේ ද මෙකී ආයුද සන්නද්ධ හමුදාව ම ය…
කොළඹ අලුතින් ඉදිකරන ලද නෙළුම් පොකුණේ සහ උද්‍යාන වල උද්‍යාන පාලකයෝද සන්නද්ධ හමුදාව ය…
යුද්ධයෙන් පසුව තවදුරටත් හමුදාව පුළුල් කරමින් වෘත්තිකයන් මෙන්ම තවත් බොහෝ තරුණ තරුණියන් හමුදාවේ නොයෙකුත් තනතුරුවලට බදවාගැනීම් සිදු කරන අතර තව තවත් හමුදාව මෙසේ පුළුල් කිරීම පිළිබද ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි යන්න ද පැහැදිලි නැත…
මෙයාකාරයට අවුරුදු පහක් තිස්සේ තවත්, තව – තවත් මේ රට මිලිටරිකරණය වෙමින් පවතින්නේ යැයි කිව හැක… එහි අනිටු පළ දැනටමත් උතුරේ මෙන්ම දකුණේ ජනතාව ද අත් විදිමින් සිටී…
උතුරේ තවමත් හමුදාව
පසුගිය දිනෙක යාපනය ප්‍රදේශයේ දින කිහිපයක් ගත කළ ලියුම්කාරියගේ අද්දැකීම වූයේ 2009 ට සාපේක්ෂව නිල ඇදුමින්, එමෙන්ම ආයුද සන්නද්ධව සිටින හමුදා සොල්දාදුවන්ගේ ගහණය අඩු බවකි… එහෙත් ඒ පිළිබදව වැඩිදුර සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ හමුදාව සිවිල් පිට සිටින බවකි… ඔවුන් ඔත්තු කරුවන් විය හැකි අතර සමහරවිට සිවිල් ඇදුමින් වුවත් ආයුද සන්නද්ධව සිටිනවා විය හැකි ය…
මේ අතර උතුරින් හමුදාව ඉවත් කිරීම පිළිබදව ඉදිරිපත් වන සිවිල් සහ දේශපාලන ක්‍රියාකාරිකයින්ගේ දැඩි ඉල්ලීම් හමුවේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පවසන්නේ කොටි පිළිබදව පවතින සැක නිසා උතුරින් හමුදාව ඉවත් කරගැනීමට නොහැකි බවකි…
ඒ අනුව හමුදාවේ සහ ආණ්ඩුවේ නොසන්සිදෙන සැකය නිසා යුද්ධයෙන් පස් වසරක් ගතවී ඇතත් උතුරේ දෙමළ ජනතාව තුල පවත්නා හමුදා සහ ආයුද භීතිය සන්සිදවා නැති බව කිව හැකිය…
නැවත පදිංචිකිරීමේ උභතෝකෝටිකය
ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන අනුව නැවත පදිංචිකිරීම් අවසාන අදියරේ පවතී… එහෙත් හමුදාව විසින් අත් පත් කරගත් ඉඩම් සහ ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති වලට යටත් වන ඉඩම් පිළිබද උතුරේ දෙමළ ජනතාව සිටින්නේ නොසතුටිනි… මානව හිමිකම් කොමිසමේ අට්ටි ගැහෙන ඔවුන්ගේ දුක්ගැනවිලි වලට කිසිදු යහපත් ප්‍රතිචාරයක් මේ වෙන තුරුත් ලැබී නැත… කාලයක් ජීවත් වූ නිවස, ඉඩම නැවත ලබාගැනීම ඔවුනට තවමත් සැබෑ නොවුණ සිහිනයක් පමණක්ම වී ඇත…
මේ ආකාරයට නැවත පදිංචි කිරීම් අවසාන අදියරේ පවතින බවට උදම් ඇනීමට තරම් ධෛර්යයක් ආණ්ඩුවට ලැබුණේ කෙසේ දැයි නොදනිමු… එහෙත් ආණ්ඩුව නැවත පදිංචි කිරීම් සාර්ථකව නිමා කරමින් සිටින බව කියයි…
ක්‍රමයෙන් අඩුවෙමින් පවතින යුද ජයග්‍රහණයේ දිස්නය
අවුරුදු පහකට කලින් මෙවැනිම මැයි මාසයක යුද ජයග්‍රහණය සමරමින් පාරේ තැන තැන කිරිබත් කෑ, රතිඤ්ඤා පත්තු කළ දකුණේ ජනතාව පසුගිය ඡන්ද වලදී පෙන්නුම් කරනු ලැබුවේ ‘යුද ජයග්‍රහණයේ දිස්නය අඩුවෙමින් පවතින‘ බවකි… ඒ අනුව යුද ජයග්‍රහණය ගෙන දුන් ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය අඩු වී ඇති බව කිව හැක…
සාපේක්ෂව රණවිරුවාගේ තත්වය ද එලෙසම පහත වැටී ඇත… රතුපස්වල ආදී සිදුවීම් වලින් පසුව ‘රණවිරුවා‘ ගේ තත්වය ‘ආණ්ඩුවේ මර්දන යන්ත්‍රණයේ කොටස්කරුවෙකු වන හමුදා සොල්දාදුවා‘ තෙක් පහත වැටී ඇති බව පෙනේ…
කොටියාට එරෙහිව පත්තු කළ වෙඩි දකුණේ සිංහල නිරායුද වැසියාට එරෙහිව ද පත්තු වන්නට පටන් ගෙන තිබේ…
පස් අවුරුද්දකට පෙර සහ පස් ඉන්පසු ව අවුරුදු දෙක තුනක් යන තුරු ත් ආණ්ඩුව, හමුදාව සහ ජනාධිපතිවරයා අප්‍රසාදයට පත්වී තිබුණේ සුලු ජාතීන් සහ ජාත්‍යන්තරය වෙතින් පමණි… එහෙත් මේ වන විට දකුණින් ද ක්‍රමක්‍රමයෙන් රතු එලි පත්තුවෙමින් පවතින බව කිව හැක… ඒ අනුව යුද්ධය අවසන් කර පස් අවුරුද්දක් යන විට ආණ්ඩුවත් හමුදාවත් ජනාධිපතිවරයාත් සුලුජාතීන්, ජාත්‍යන්තරය සහ දකුණ යන තුන් කොණින්ම පරාජයට පත්ව ඇති බව ද කිව හැක…
දේශපාලන විසදුමක් නොදී යුද්ධයෙන් සමතලා කළ දෙමළාගේ ප්‍රශ්නය
යුද්ධයෙන් අවුරුදු පහකට පසුවත් දෙමලුන් වීම නිසා දෙමලුන් අත්විදින දේශපාලන ප්‍රශ්නාවලිය එතැනම පල්වෙමින් පවතින බව කිව හැක… උතුරු පළාත් සභාව වනාහි ඔවුනට දුන් එක ම ‘වරකා මදුල ලෙස සැලකිය හැකි අතර උගත්පාඩම් වාර්තාවේ සිට, පාර්ලිමේන්තු කාරක සභාවේ සිට, 13 වැනි ව්‍යවස්ථාවේ සිට ක්‍රියාවලි සියල්ල අකර්මණ්‍යව ඇත…
අවුරුදු පහකට පෙර යුද්ධය අවසන් කෙරිණ… එල්.ටී.ටී.ඊ.ය සමූල ඝාතනය කෙරිණි… දෑත් පිසදාගත් ආණ්ඩුව දැන් බලා සිටින්නේ දෙමලා නැවතත් ආයුද අතට ගන්නා තුරු ද…?
මතුවටත් හමුවිය හැකි ගෝපි ලා එකා බැගින් අල්ලා මරා දැමීමේ හමුදා මෙහෙයුමක් හැර දෙමලාගේ ප්‍රශ්නයට මේ ආණ්ඩුවට වෙන කිසිම උත්තරයක් ඇති බවක් පෙනෙන්නට නැත…
සුරේඛා සමරසේන | Surekha Samarasena
##
යුද්ධයෙන් වසර 5කට පසු, විකල්ප වෙබ් අඩවියේ, විශේෂ සංස්කරණය තුළ පළවන, ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ ලංකාවේ දේශපාලන සහ සමාජ පරිසරය පිළිබදව ආදාල ලේඛක, ලේඛිකාවන්ගේ විග්‍රහයන් ද ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ විශේෂ සංස්කරණය පිළිබදව විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක වරයාගේ සටහනට ද පිවිසෙන්න.