ඉනි අවන් ගැන ලියන්න හිතුවෙ, ප්‍රංශෙ මං ඉන්න පළාතෙ හද්දා පිටිසර නගරෙක ඒක පෙන්නපු හින්දා මට ඒක පුළුල් තිරයෙම බලන්න ලැබුණ දවසෙ රෑ. ඒත් දවසින් දවස ලියන එක අතෑරුණා . එදා ඉනි අවන් ගැනත් ලංකාවෙ දේශපානය ගැනත් ප්‍රංශ ප්‍රේක්ෂාගාරයට කතා කළේ මම.
නමුත් මේ ලියන්නෙ එදා සිද්ධ වුණු සංවාදෙ ගැනත් එදා රෑ මං ලියන්න හිතන් හිටපු දේත් නෙවෙයි. වෙනම මොහොතක අන්තර්ජාලයෙ දිගහැරුණු වෙනත් ලියවිලි දෙකක් අරභයා ආයෙ ඉනි අවන් කියව ගත්තම මේ ගැන ලියන්නම ඕනෙ කියලා මගේ ඔලුව ඇතුළෙ විදුලි කොටපු අදහස. පළවැනි සටහන දැක්කෙ ලංකා හෙරල්ඩ් වෙබ් අඩවියෙ. මෙන්න ඒ දැකපු නිව්ස් එකේ හෙඩිම.
‘‘මත්ද්‍රව්‍ය එවා උතුරේ තරුණයින් වනසනවා -මහ ඇමති ‘‘
උතුරේ මහ ඇමති විග්නෙස්වරන් පෙබරවාරි 2වැනිදා මන්නිප්පායි වලතිබුණු රැස්වීමක තමයි මෙහෙම කියල තිබුණේ. මෙන්න ප්‍රවෘත්තියේ මුල් ඡෙදය.
උතුරේ තරුණ පරපුරේ හැගීම්වලින් තමන්ට බලපෑමක් වේ යැයි සිතන ඇතැම් අය, උතුරේ තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කිරීමට ක්‍රියා කරමින් සිටින බවට උතුරු පළාතේ මහ ඇමති විග්නේෂ්වරන් මහතා චෝදනා කරයි. උතුරු පළාතට නුපුරුදු මෙම මත්ද්‍රව්‍ය මෑතක සිට වේගයෙන් ප්‍රචලිත කරමින් පවතින බවත් තරුණ තරුණියන් ඒවාට ගොදුරු වන බවත් ඔහු පැවසීය.
දෙවැනි ලියවිල්ල පළවුණේ ලංකා නිව්ස් වෙබ් අඩවියෙ. ඒකෙ හෙඩිම මේක.
අනුරාධපුරෙන් උඩහා කුඩු තිබ්බාට කමක් නෑ – ගෝඨා
ආරක්ෂක කවුන්සිලයෙ රැස්වීමකදි ආරක්ෂක ලේකම්වරයා මේක කියල තියනව කියලයි මේ වාර්ථාවෙ දැක්වෙන්නෙ. මෙහෙමයි පළමු ඡේදය.
‘‘අනුරාධපුරෙන් උඩහා වව්නියාව, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, යාපනය පැතිවල පැතිරිලා තියෙන හෙරොයින් ගැන හිතන්න අවශ්‍ය නෑ. ඒක උපක්‍රමයක්. ඒ පැතිවල රේඩ් කරන්න අවශ්‍ය නෑ. ඒව තියෙන්න අරින්න. එතකොට වෙන ප්‍රශ්න අඩුයි‘‘ යනුවෙන් ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ පසුගියදා පැවති ආරක්ෂක කවුන්සිලයේදී ප්‍රකාශ කොට ඇත. ආරක්ෂක ලේකම්වරයාගේ මෙම ප්‍රකාශයත් සමග ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් එකිනෙකා මුහුණට මුහුණ බලාගෙන ඇත.
දැන් මූණට මූණ බල බල ඉන්න දෙයක් නෑ. වෙන මුකුත් නැතිව කෙලින්ම ඉනි අවන් ගැන කතා කරන්න පුළුවන්. ඉනි අවන් කියල හඳයා ගහන්නෙ කලාත්මක ගේමක්. ඒ නිර්මාණාත්මක ගේමට මම කැමතියි. කලාකරුවෙක් කියන්නෙ එහෙම කෙනෙක්ට තමයි. ඔහු ඉස්සරහට ඇවිත් තමන් කරන්නෙ මේකයි කියල නිෂ්චිතව කියන්නෑ. ඉතින් අනිත් හැමෝම කරන්නෙ තම තමන්ගෙ කලිසමේ කමිසෙ ගාණට ඉනි අවන් ව කපා ගන්න එක. ඉතින් මේ අයට, හඳගම ඉනි අවන්ට අන්දල තියෙන කලිසමේ ඉනේ සයිස් එකයි, කමිසෙ කොලර් එකේ සයිස් එකයි අමතක වෙනවා. ඒ හින්දා සමහරු ඉනි අවන්ට අන්දන කලිසම් වල ඉන ලොකුයි, කලිසම කඩන් වැටෙනවා. ඒ කියන්නෙ බහිනවා. සමහර කලිසම් හිරයි. කලව වලින් උඩට ඇද ගන්න බෑ.
අපි හොඳටම දන්නවා ‘පුන්රුත්තාපනය‘ කියන එක ලංකාවට අදාලව ගත්තම වචනයක් විතරයි කියල. ඒ වචනෙ ආයෙ හෝද හෝද මඩේ දාන්න ඕනෙ නෑ. ඇත්ත භාවිතය හා ඒ වචනය විසින් ජනනය කරන අර්ථය ඇතුළෙ තියෙන්නෙ උත්ප්‍රාසාත්මක සහසම්බන්ධයක්. එහෙම ගත්තම අපිට පැහැදිලියි පුනුරුත්තාපනය කරන විමුක්ති කොටි සාමාජිකයො ගෙදර යවනකොට අර අර්ථයට අධාල මොකක්වත් සිද්ධ වෙලා නෑ කියල. ඒ අනුව පැහැදිලියි ගෙදර යන්නෙ අල්ලගත්ත හෝ බාර වුණ කොටි සාමාජිකයම තමයි කියලා. සංහාරයක් අවසානයෙ ඉතුරු බිතුර වුණු මනුෂ්‍ය පරාණවල මනෝභාවය ගැන කතා කරන්න දෙයක් නෑ. එකක් සංවිධානාත්මක යාන්ත්‍රණයක් ඇතුළෙ තිබුණ ක්‍රමවේදයන් නෑ. සාමුහික ජීවිතය නෑ. වගකීම් නෑ. පවතින්න නම් අනුවර්ථනයක් වෙන්න බලකෙරෙනවා. නමුත් මේ සියල්ල අසසෙ ……………යුතුකම් කියන එක ඉතුරු වෙලා තියෙනවා. සමාජ යුතුකම. ඒ වෙනුවෙන් තමයි කැපවෙලා හිටියෙ. මේ සියල්ල අස්සෙ ඔන්න ඉනි අවන් එකේ කොල්ලා ගෙදර එනවා.
මේ වචන ටික ලිව්වෙ ‘ඉනි අවන්‘ ගැන ලියන්න කුඩා අවකාශයක් විවර කර ගන්න. දැන් ඒ කතා බතා ඉවරයි. කරන්න දෙයක් නෑ. ‘ඉනි අවන්‘ බලන්න ලැබුණෙ සම්මාන පෙරහැරවල් වලින් සම්මාන ගත්තට පස්සෙ. මං මේ කියන්න හදන දේ කලින් කිව්ව නම් ඔය සම්මාන දෙන කට්ටිය ෂුවර් එකටම චුට්ටක් හරි කැළඹෙනවා. නහුතයක් විද්වත්තු අදහස් පළ කරල තියෙන නිසා ඒ අයට මඟ හැරුණු එක කාරණයක් ගැන විතරයි මං කතා කරන්නෙ. ඒ තමයි හඳගමගෙ සහ විමුක්ති කොටි සාමාජිකයගෙ හෘද සාක්ෂිය කියන කාරණේ.
විමුක්ති ව්‍යාපාරෙ හැදෙන කාලෙ ඉඳන්ම තියෙන කතාවක් තමයි ‘ඩ්‍රගිස්‘ සහ ‘ස්මග්ලින්‘ වැඩේ. දෙමළ විමුක්ති සටනට දේශපාලනිකව සහ ප්‍රායෝගිකව ජීවිත පරිත්‍යාගයෙන් කැපවුණු බරපතල නායකයන්ටත් මේ ලේබල් එක ගහන්න සිංහල සමාජය උත්සහ කළා. නමුත් ඉතිහාස විසින් ඔහුව පිහිටුවන්න ඕනෙ තැන පණ පිහිටුවලම තියෙනවා. දෙමළසමාජය කියන්නෙ කරුණල, කේපීලා, ඩග්ලස් දේවානන්දල හිටපු සහා තාමත් ඉන්න සමාජයක් තමයි. නමුත් විමුක්ති කොටි ව්‍යාපාරය ඓතිහාසකව කළේ මේ තත්වය වෙනස් කරන්න උත්සහ කරපු එක. මට අනුව, විමුක්ති කොටි ව්‍යාපාරය තමයි සමානාත්මතාව ප්‍රැක්ටිස් කරපු බරපතලම දේශපාන ව්‍යාපාරෙ.
දැන් එන්නම් හඳගමට. මේ පුනුරුත්ථාපිත විමුක්ති කොටියා ගමට ආවට ජීවිතයට අධාල සහ අදාල නැති බොහෝ දේ සිද්ධ වුණාට, හඳගම මුල ඉඳන් අන්තිම වෙනකම්ම කියන දෙයක් තමයි මේ විමුක්ති කොටිය සතුව කොයි තරම් කොලිටීස් තියෙනවද කියන එක. ඒක පුනුරුත්ථාපනය කියන බොරුව ඇතුළ හැදිච්ච දේවල් නෙවෙයි, විශාල විනයක් සහිත සංවිධාන ව්‍යුහයක් කියන ඇත්ත ඇතුළෙ හැදිච්ච දෙයක්.
සිය නිවස ඉදිරිපිටටවිත් දරුවන් ඉල්ලා කෑ ගසන මිනිසාට ඔහු දෙන පිළිතුර තුළ පවා හඳගමගෙ සමස්ථ විග්‍රහය සංයුක්ත කෙරෙනවා. සමස්ථ අරගලය ගැන කේවල ප්‍රශ්න නගන්නන් වේ නම් එය ඉතිහාසයට නිග්‍රහ කරන කරුණා පන්නයේ විග්‍රහයන්. ඊට දිය යුතු පිළිතුර කෝපයක වේශයෙන් මුදා හැරියත් අර්ථ සම්පන්න යි. මේ දෙමළ තරුණයා මුදා හරින්නේ හඳගමගේ දේශපාලන ආවේගය බවයි මගේ තර්කය.
අනතුරව සිදුවන සිද්ධදාමයේ මූලික ම කරුණු මෙබඳු යි.
ඔහු ඉස්සර ප්‍රේමකළ ස්ත්‍රිය ජීවිතේ එකම මරාන්තික හැමිණිල්ලෙන් බඩට ගෙන්න ගත්තු ළමයවත් එක්කම ඔහු තමන්ගෙදෙට්ට ගේනවා.
අම්මගෙ රත්තරං බඩු උගස් තියන්න යනවා සාධාරණ ඉපැයුම් වැඩකට බහින්න.
එතන වෙන අහඹු අලකලංචියෙන් සිකුරිටි රස්සාව ලැබෙනවා. ඒත් තමන් හින්දා රස්සාවට කෙළවුණු මිනිහ ගැන අනුනම්පා කරනව. ඔහුගෙ දරුවන් එක්ක සෙල්ලම් කරනවා. ඒ බිරිඳට අනුකම්පා කරනවා. ඇතැම් විට ආදරය කරනව වෙන්නත් පුළුවන්. අවසානයේ රැවටීමට දූෂණයට ලක්වුණු මේ ගැහැණියගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් තමන්ගෙ පුනුරුත්ථාපිත ජීවිතය පරදුවට තියනවා.
මෙන්න මේ වගේ තමයි මූලික ලිස්ට් එක……
දැන් හඳගම මේ කරන්නෙ ආණඩුවෙ ප්‍රොජෙක්ට් එකක් කියල කාට හරි කියන්න පුළුවන්ද? අපි දන්නවා ඔහු දේශපාලනික කියවීමක් තිබුණු අතලොස්සක් කලාකරුවන්ගෙන් කෙනෙක් කියලා. මට මුලින්ම ‘ඉනිඅවන්‘ බලද්දි හිතට ආවෙ හඳයා මේ තමන්ගෙ ස්ථාවරය මහබැංකුවට උගස් තියලද කියල? නෑ, එහෙම දෙයක් වෙලා නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ දකුණෙ සමස්ථ සමාජෙම අර සංහාරෙ අයිතිය වටේ පෙළ ගැහන්න ජැක් ගහනකොට ඒ අයට හිතෙනවා හඳගමත් ඉන්නෙ එතනම තමයි කියලා. හේමන්ත වර්ණකුලසූරිය වගේ ජනාධිපති නිතිඥයාත් මෙන්න විචාරක පෙරහැරේ.
ඒකෙන් සිද්ධවෙන වාසි දෙකක් තියෙනවා, හඳගමට පුළුවන් වෙනවා තමන්ගේ දේශපාලන ස්ථාවරෙත් හින්ද ගන්නැතුව නිරුපද්‍රිව මේ සමාජ මැද්දටම වෙලා ඉන්න. හඳගම දන්නවා අනගතයේ ඔහු නමින් ඉතුරු වෙන්නෙ පුන්රුත්ති කතාවන්වත් තමන් දිනා ගත් සම්මානවත් වරප්‍රසාදවත් නෙවයි, තමන්ගෙ කලා භාවිතය කියල. ඒ හින්දා මුළු සමාජෙටම ස්ටක් වෙන්න ඇරල ඔහු තමන්ගෙ ප්‍රබල දේශපාලන අදහස සමාජෙට දාලා බලනවා. මෙන්න අර තක්කඩි ජාතිවාදී රොත්ත එලෝ එලෝ සම්මාන දෙනවා. මේකට විරුද්ධව ‘මම මේකයි කළේ, මට තොපේ විචාර වරදාන එපා‘ කියන්න ගියොත් බඩු මාට්ටු වෙනවා. ඒක ඇඟට ගුණ නෑ. ඒවා අහකින් පියාඹාගෙන යන මාළුත්ඇඟට වැටෙන වැඩ. අන්න හඳයා සද්ද බද්ද නැතුව ඉන්නව. කොටින්ම මේ ලියවිල්ල දැකගන්න ලැබුණත් හඳයා කරන්නෙ කට ඇද කරල හිනාවෙලා සද්ද නැතුව ඉන්න එක විතරයි.
මට අනුව, ‘ඉනික්බිති ඔහු‘ හෙවත් අනාගත ඇත්ත දෙමළ මනුස්සයා කියන්නෙ බරපතලම දේශපාලන අභියෝගෙ කියලා තමයි අවසානේ හඳගම කියන්නෙ. ඒක අවසාන වාක්‍ය ඛනඩය දක්වාම පවත්ව ගන්න හ හඳයා සමත්. ඔහු ඒක කියන්නෙ මහින්දට හෝ ගෝඨාට කියල දෙමළ තරුණව මර්ධනය කරවන්න නම් ඒක වෙනත් සංවාදයක්. නමුත් මගේ කියවීමට අනුව ඔහු පෙන්නන්නෙ එල් ටී ටී ඊය විසින් බිහි කරන ලද හෘදය සාක්ෂියක් ඇති දෙමළ මනුස්ස ආත්මයක් ගැන.
උදාහරණයක් විදිහට වෙනත් දෙමළ මනුස්සයෙක් වෙච්ච ඩග්ලස් දේවානන්ද ගත්තොත් ඔහු සහ ඔහුගේ සහචරයන් දෙමළ සමාජයට බලපාලා තියෙන්නෙ කොහොමද කියලා බබ්බු නොවන හැමෝම දන්නවා. තමන්ගෙම දෙමළ මව්බිමේ මූදු වැල්ලටත් කෙලින දෙමළ මිනිස්සු, ඒකට විරුද්ධ වෙන සාමාන්‍ය දෙමළ මිනිහවත් මරා දමමින් ඉන්න බව අපි දන්නවා. ඒ හින්දා ව්‍යුක්ත එක එක දෙමළ බිල්ලන්ට දෙමළ මිනිස්සුන්ට තියෙන සංයුක්ත ප්‍රශ්නෙ යට ගහන්න බැහැ කියලයි හඳය මෙන්ම අපිත් කියන්නෙ. දෙමළ සංහාරයට පස් වසක් ගෙවෙන මොහොතේ ‘ඉනි අවන්‘ නැවත කියවීම හරහා සමාජය හමුවෙ තියන්නෙ මෙන්න මේ යථාර්තයයි. මේ සිනමා පටයේ සිටින්නෙ පශ්චාත් නන්දිකඩාල් මිනිසෙක් නෙවෙයි. අඛන්ඩව පැවත ආ දේශපාන මිනිසාමයි.
මංජුල වෙඩිවර්ධන | Manjula Wediwardena