Image Credit:Author[Sanjula Oshadee Pieterzs]

වසර පහකට පසු යුද්ධය ගැන ලියද්දී, දශක තුනක්, ප්‍රභාකරන්, ත්‍රිවිධ හමුදා ආදී වචන නෙක හැඩින් අමුණාගත් පාර්ශවීය කතාන්දරවලින් සුපුරුදු ලෙස පාරම්බෑම අවශ්‍ය නැත. යුද්ධයේ හේතු විග්‍රහ කරනවාට වඩා පශ්චාත් යුධ සමයේ මුල් වසර පහ ඇති සැටියෙන් කියවා ගැනීම, යුද්ධයට වඩා වැඩි කලක් පශ්චාත් යුධ සමය තුළ ජීවිතය සමයං වන අපේ පරපුරේ ජන මනසට කැප ය. ගුණ ය.

එක් අතකින් යුද්ධය නිමා කිරීම ඒ මොහොතේ කළ යුතුව තිබූ දෙයක් විය හැකි ය. අනිත් අතින් එය අරමුණෙන් පිට පැන අයාලේ ගිය අරගලයක ඉරණම අවාසනාවන්ත වීමකි.යුද්ධයකට තල්ලු වුණු පරස්පර පාර්ශවීය වස්තුබීජ හෝ නිරුද්ධ වුණු ප්‍රාණ ගණන හෝ දෝශී-නිර්දෝශීකරුවන් හෝ සොයනවාට වඩා, ඉන් පසුව කැඩුණු ජීවිත ගැට ගසන පොදු ජනයා “තවම ජීවතුන් අතරදැ”යි සොයා බැලීම වටී. දෙපාර්ශවයේම බලවත් පන්තිය විසින් පොදු ජනයා වෙත දමා ගැසූ යුද්ධයෙන් පසුව ජය පරාජය කා අතර බෙදී ගියද, නිසැකවම ලාංකික පොදු ජනයා (උතුරේත් දකුණේත්) තවම පරාජිත ය.

ස්වකීයයන් අහිමි වී වසර පහක් ගතවෙද්දී, මළවුන් සිහි කිරීමේ නිදහස, උතුරට හා දකුණට ප්‍රභේද දෙකකින් හිමිවීම, මේ රට රාජපක්ෂගේ බූදලයක් බව කියාදෙන්නකි. යුද්ධය ගමරාළගේ වංගෙඩිය කරගත් ආණ්ඩුවකට, මළවුන් සිහි කිරීමේ තහංචිය, අනෙක් බොහෝ දේ කළාක් මෙන් කළ හැක. රාජපක්ෂ පාලනය තුළ, පාලකයාට අවනත වන්නේ නම් දේශප්‍රේමියෙකු හා සිහිබුද්ධියෙන් කළ වැරදවලින් නිදොස් වීමේ පරම හැකියාවන්ට නිදසුන් අපමණ ය. ( කේ.පී. නිදොස් වී ෆොන්සේකා දේශද්‍රෝහියෙකු වීම ). ඒ අර්ථයෙන්, උතුරේ ආරක්ෂාවත් … යේ යළි නැගිටීමක් ගැනත් රාජපක්ෂ පෙලෙන බිය, රට්ටු රවටන රංගනයක් බව නොකිව මනා ය.

උතුරේ ජන ජීවිත මේ පාලකයන් සිතනවාක් මෙන් කොන්ක්‍රීට් යොදා පිරියම් කළ නොහැකි ය. අඟලක් පාසා මුහුණ ප්‍රදර්ශනය කිරීමෙන්, පාලකයා කෙරෙහි භක්තියෙන් ඔද වැඩී පොදු ජනයාට සැබෑ ප්‍රශ්න අමතක වනු ඇතැයි රාජපක්ෂ දකින සිහිනය, දකුණට කෙසේ වුව, උතුරට නම් වලංගු නැති වග දුටිමි. එනයින්, කාපට් පාරවලට නොරැවටී රාජපක්ෂ පාලනයට උත්තර දීමට දෙමළ සුළු ජාතියට තිබූ හයිය, සහජීවනය යනු “අපිට ඕනෙ විදියට හිටපල්ලා” පන්නයේ සංකල්පයක් බවට තෙරුම් ගත් සිංහල මහා ජාතියේ බහුතරයකට නැති වීමේ අමුතු අරුමයක් නැත.

ඇත්ත නම්, රාජපක්ෂගේ සංවර්ධන තොවිලය තුළ උතුරේ ජීවිත ආතුර වී තිබීම ය. යුද්ධය නිමා වී වසර පහකට පසු ඔවුන් ජීවිත ගෙවන්නේ අතිශය ආරක්ෂාවක් මැද අසතුටෙනි. මහමග ගමන්මළු ලෙහා බැලීමත් නිතර ප්‍රශ්න කිරීම්වලට ලක්කිරීමත්, රාජපක්ෂවාදී නිදහස තුළ සාධාරණ විය හැකි නමුදු, දමිළ වාර්ගිකයා සැකකරුවෙකු බවට පෙරළාගෙන පහරදීම ශිෂ්ට සමාජයකට අනුමත කළ හැකිද?? යුද්ධය අවසන් වී පස් වසක් අවසන්ව තිබියදීත්, තවදුරටත් සිංහලයාට දෙමළා මඟ හැරීම තුළ, හදවතක් ඇති අයෙකුට යුද්ධයේ ජයග්‍රහනයක් කියා යමක් සැමරිය හැකිද??

තත්කාලීන ලංකාවේ ජනාධිපතිවරයා රට තුළ තාවකාලික සාමයක් ඇති කිරීමටද, ඊට කිහිප ගුණයක් වැඩියෙන් සහජීවනය නැති කිරීමටද ඇති තරම් සමත් විය. බුල්ඩෝසර් කර තනාගත් උතුරු වසන්තය තුළ පුද්ගලයාට පුද්ගලයා අහිමි කර දැමීම, හෘද සාක්ෂිය අමතක කිරීමේ රාජපක්ෂ හිතෛෂී න්‍යාය තුළ සාමාන්‍යකරණයක් වී ඇත.

මේ රටට මේ මොහොතේ අවශ්‍ය වෙනස, ක්‍රමය තුළ සිදු විය යුත්තකි. උතුර යනු දකුණේ උන්ට යා හැකි විනෝද චාරිකාවක් පමණක් බවට පත් නොකරන්නට අවංක අරමුණෙන් කරන ප්‍රතිසන්ධානයක්, වගවීමක් සිදු විය යුතු ය. යුද්ධයෙන් වසර පහකට පසුව තවමත් සෑම මිනිසෙකුම හුස්ම ගන්නා ප්‍රාණීන් බවට හැඟීමක්, බලාපොරොර්ත්තුවක් නැති අහිංසක මිනිසුන් වෙනුවෙන් ඇති වේ.

දෙමළාට දෙමළ වීම නිසා ඇති ගැටළු, ගැටළුවලට විසඳුම එකී ගැටළු අමතක කිරීම’යි අදහන දේශපාලනයේ අතුරු කෝන්තරයක් වීම, හෙටක් නැති රටක අවසානය ඉක්මන් කරගැනීමකි.

කොහොමටත්, මේ මුල් වසර පහ පමණ ය.


සංජුලා ඕෂිණී පීටර්ස්
| Sanjula Oshinie Pieterzs

##

Cover Image 800

යුද්ධයෙන් වසර 5කට පසු, විකල්ප වෙබ් අඩවියේ විශේෂ සංස්කරනය තුළ පළවන, ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ ලංකාවේ දේශපාලන සහ සමාජ පරිසරය පිළිබදව ආදාල ලේඛක, ලේඛිකාවන්ගේ විග්‍රහයන් ද ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ විශේෂ සංස්කරණය පිළිබදව විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක වරයාගේ සටහනට ද පිවිසෙන්න.