Image Credit: jdsrilanka

එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කෙරිණි. එහෙත් යුද්ධය අවසන් වී සාමය උදා වී ද යන්න සැබවින්ම ගැටළුවකි. යුද්ධය ආරම්භ වීමට පෙර සාමය පැවතී ද යන්න ද විවාදාත්මක කාරණයක් වන අතර, ‘යුද්ධය අවසන් කිරීමෙන් පසුව සාමයක් උදා වූයේය’ යන්න ද විවාදාත්මක කාරණයකි. ඔක්ස්ෆඞ් ශබ්දකෝෂයට අනුව සාමය යනු රටක හෝ කිසියම් ප‍්‍රදේශයක යුද්ධයක් හෝ ප‍්‍රචණ්ඩත්වය නොමැති කාල වකවානුවක් හෝ තත්වයක් වේ. පුළුල් ලෙස අධ්‍යයනය කර බැලූවහොත් එල්ටීටීඊය යුද්ධය ආරම්භ කිරීමට පෙර ද එවැනි සාම තත්වයක් හෝ කාල වකවානුවක් අප රට තුළ නොපැවැතියා සේ ම, එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව ද එවැනි සාමකාමී වටපිටාවක් හෝ කාල වකවානුවක් රට තුළ උදා නොවීය. එහෙත් එල්ටීටීඊය සමග පැවැති යුද්ධය අවසන් කිරීම හරහා අපි රටක් වශයෙන් යුද්ධයේ සුවිශේෂී කාල පරාසයක් අවසන් කරන අතර, ‘බෝම්බ පිපිරුණු යුද්ධයක’ සිට, ‘බෝම්බ නොපිපිරෙන යුද්ධයකට’ පා තබමු. මේ පස් වසරක සැමරුමත් සමග අප සමරන්නේ එම බෝම්බ පිපිරෙන යුද්ධයේ අවසානය සේ ම, පුරවැසියන් මර්දනයට හා ප‍්‍රචණ්ඩත්වයට දිගින් දිගටම ලක් වීම සිදු වෙන, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මෙවලම් ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව ඉතාම උපක‍්‍රමශීලි සහ සූක්ෂම පරිදි යොදා ගැනෙන යුද්ධයක ආරම්භය ද වේ.

නවක කවියකු වන සෞම්‍ය සඳරුවන් ලියනගේගේ හැටේ වත්තේ මග්දලේනා කෘතියේ පළ වූ ‘නගරාලංකාරය’ යන කවි පන්තිය මට සිහිපත් වේ.

ඉතිං දැන් මෙ‘නුවර;
බුලත් කෙළ තහනම් ය,
වර්ජන ද – ගර්ජන ද තහනම් ය.
හැම තැනම කැමරා ය,
‘නිකරුණේ ගැවසීම‘ තහනම් ය…
ප්‍රෙෂර්, දියවැඩියාව,
අනවශ්‍ය මේදය ද
ඉවත් වනතුරු හොඳින් ඇවිදින්න;
පුරවැසිය, බිය – සැකැ‘ර පැමිණෙන්න…

අලූත් ගල් එබ්බවූ
මේ පදික මං තීරු
ඔබටම ය, එ‘ගැන සැක
නො කරන්න…
දෙපස ඉදිකර තිබෙන
කටු කම්බි වැටවල් ද
‘රැකවරණ‘ පිණිසම ය;
නො පනින්න…

ඔබට හිමි තීරුවේ පමණක්ම
රිසි ලෙසින් ඇවිදින්න…

‘පශ්චාත් යුද සමයේ’ කොළඹ යුද සමයට පෙර කොළඹට වඩා බෙහෙවින් වෙනස්ය. කොළඹ නගරයේ නගර සැලසුම සුවිශේෂී වෙනස්කම් සිදු කෙරිණි. කොළඹ වාහන තදබදය අවම කිරීමත්, ආරක්ෂාවත් ඉලක්ක කර ගෙන කොළඹ මං මාවත්වල වාහන එක් පසෙකට පමණක් ගමන් කිරීම ඇරඹුණේ යුද්ධයේ අවසාන සමයේය. යුද්ධය අවසන් වී පස් වසරක් ගත වී ඇතත් එය වෙනස් වී නැත. ඒ නිසා කොළඹ රථ වාහන තදබදයේ සුවිශේෂී අඩු වීමක් ද සිදු වූ බවක් ද මට නොපෙනේ. එහෙත් වෙනදා මෙන් අයිඩෙන්ටි කාඞ් චෙක් නොවේ. මැති ඇමතිවරු ගමන් ගන්නා විට පාරේ යන වාහන පමණක් නොව, පදිකයන්ට පවා මඟ අවහිර කිරීම අද ද ඇතැම් විට සිදු වේ. එහෙත් වෙනදාට වඩා එවැනි අත්දැකීම් ප‍්‍රමාණයෙන් අඩුය. වෙනදා මෙන් නොව අද, පදික වේදිකාවල ලස්සන ගල් අතුරා ඇත. පදික වෙළඳුන් බොහෝ ස්ථානවලින් ඉවත් කර ඇත. මහජන උයන්වල වැට කඩුළු නැත, බැලූ බැල්මට ඇස් දෙකට නිදහස්ය. වාඩි වී සිටින්නට ලස්සන බංකු ඇත. හමුදා ශ‍්‍රමය යොදවා සියල්ල ක‍්‍රමවත් බවට හැර වේ. පදික වෙළඳුන් පදික වේදිකාවෙන් ඉවත් කරන්නේ හමුදා සෙබළුන් ය. මහජන උයන් අතුගා පිරිසිදු කරනවා පමණක් නොව, ඒවායේ විනය පවත්වා ගෙන යන්නේ ද හමුදාව විසිනි. ඒ බංකුවල හැක්කේ අසුන් ගන්නට පමණි, මහන්සියට හෝ විනෝදයට ඒ බංකු මත නිදා ගත නොහැකිය. එක් අයෙකුට සැකසූ බංකුවක් නම් දෙදෙනෙකු අසුන් ගැනීම ද වැරැදිය.

වර්තමානයේ මිලිටරීකරණය යනු අමුතු දෙයක් නොවේ. ඉතා සාමාන්‍ය දෙයකි. මිලිටරීකරණය සාමාන්‍යකරණය කිරීම ආගමික, සංස්කෘතික, ආර්ථික සහ මතවාදී ආකාරවලින් විවිධ ලෙසින් සිදු වේ. මිලිටරීකරණයේ ඉතා බරපතල ස්වරූපයක් වන්නේ අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමයි. විදුහල්පතිවරුන්ට හමුදා තනතුරු ප‍්‍රදානය කිරීමත්, විශ්ව විද්‍යාල සිසුනට නායකත්ව පුහුණුව මැයෙන් ලබා දෙන හමුදා විනය පුහුණුවත් මෙම ක‍්‍රියාවලියේ අත්‍යන්ත උදාහරණයන් ය. මිලිටරීකරණය ඉතා යහපත් බවත්, විශේෂයෙන් අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම, අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීම සහ නාගරික ඉදි කිරීම් සඳහා හමුදා ශ‍්‍රමය යෙදවීමේ කාර්යක්ෂම බවත් කෙනෙකුට කතා කළ හැකිය. ‘සාමය’ට, වඩා ‘තුවක්කුව’ කාර්යක්ෂම බව, එල්ටීටීඊය සමග සාම කතා බහ අසාර්ථක වීමත්, යුදමය වශයෙන් සටන් කොට පරාජය කිරීම සාර්ථක වීමත් යන ලක්ෂයෙන් පටන් ගෙන ලංකාව වසා ගෙන පැතිර යන සංස්කෘතික මතවාදයක් ලෙස හඳුනා ගත හැකිය. නවක වදයේ සෘණාත්මක ප‍්‍රතිවිපාක නැවැත්වීමට හමුදා ‘නායකත්ව පුහුණු’ ලබා දීමේ වරද කුමක් ද? ශිෂ්‍යයන් විසින් කරන උද්ඝෝෂණවලට පහර දී, ශිෂ්‍ය නායකත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කිරීම තුළින්, ශිෂ්‍යයන්ට දේශන සහ පොතපත ආශ‍්‍රිත අධ්‍යාපනයට වැඩි උනන්දුවක් දක්වා, විභාගවලින් ඉහළින් සමත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් හමුදා ශ‍්‍රමය සහ බලය ප‍්‍රජාතන්ත‍්‍රවාද විරෝධී ලෙස යොදා ගැනීමේ වරද කුමක් ද? ‘බෝම්බ පුපුරන යුද්ධය’ නැවත ඇති වීම වැළැක්වීම උදෙසා, ‘බෝම්බ නොපුපුරන’ යුද පිටියක සදාකාලික ගොදුරු බවට පත් වන්නට අද සියලූ ශ‍්‍රී ලාංකිකයන්ට සිදුව ඇති අතර, එහි ඇති බිහිසුණුම ස්වරූපය වන්නේ තමන් මෙම යුද පිටියේ ගොදුරු බව තමන්ම නොදැන සිටීමයි.

‘නිල නොවන සොල්දාදුවන්’ ලෙස මිලිටරි රෙජීමයේ නියෝජිතයන් ලෙස කටයුතු කිරීමට සිවිල් ජනතාව විවිධ බලපෑම් හරහා මෙහෙයවනු ලැබීමක් විවිධ ක‍්‍රමවලින් සිදුවේ. විදුහල්පතිට මිලිටරි පදවි ලබා දීම, මිලිටරි නායකත්ව පුහුණු ලබා දීම හරහා සිදු කෙරෙන්නේ කුමක් ද? විදුහල්පතිතුමාට මිලිටරි රෙජීමයේ නියෝජිතයකු ලෙස කටයුතු කිරීමට නැතහොත් අධ්‍යාපනයේ ‘යහපත්’ තත්වය තබා ගැනීමට, නිල නොවන මිලිටරි නායකයකු බවට පත්වීමට විදුහල්පතිතුමාට කෙරෙන ආරාධනා කිරීමයි. විශ්ව විද්‍යාල සිසුනට මිලිටරි නායකත්ව පුහුණුවක් ලබා දීම හරහා අනාගතයේ මිලිටරීකරණය සිවිල් පරිපාලනය තුළට දීර්ඝ කාලීන ලෙස කා වැද්දවීමක් සිදු නොවන්නේද?

මෙම මිලිටරීකරණය බෞද්ධාගම වැනි අවිහිංසාව පදනම් කර ගත් ආගමික සංස්ථාවක් තුළට ප‍්‍රවේශ වීම මෙවැනි මිලිටරීකරණ සංස්කෘතියක පැවැත්ම සම්බන්ධයෙන් බරපතල අනතුරු ඇඟවීමක් කරයි. 2013 පෙබරවාරි 17 වැනි දින බොදු බල සේනා මහ ලේකම් ඥාණසාර හිමියන් මහරගම දී වචනයෙන් ප‍්‍රකාශ කරන්නේ මෙයයි. ”

අද මේ මහරගම සමුළුවෙන් පස්සෙ උඹලා හැමඑකෙක්ම මේ වැඩිහිටියෝ, මේ තරුණයෝ, බාලයෝ, හැම එකෙක්ම, මේ හාමුදුරුවො ඇතුළුව, අද ඉදලා මේ රටේ නිල නොවන පොලිස්කාරයෙක් වෙන්න ඕනා. අපේ ඊළග පරම්පරාවට මේ රට ඉතුරු කරන්න. මේ තියෙන පොලීසි හා මේ රටේ, ලෝකේ තියෙන මහ ලොකු කොහේවත් නැති ප‍්‍රජාතන්ත‍්‍රවාද මඟුල් එක්ක මේ ජාතිය හැමදාම වැනසෙනවා

බෞද්ධ ආගමික ප‍්‍රජාව විසින් මිලිටරි රෙජීමයක් ලෙස කටයුතු කළ යුතුවා පමණක් නොව, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වටිනාකම් ක‍්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහා පිළිගත් ආයතනවල පැවැත්ම ප‍්‍රතික්ෂේප කිරීමක් ද ඉහත ප‍්‍රකාශය හරහා සිදු වේ. යුද්ධයට මිලිටරිමය ලෙස විසඳුමක් ගෙන ආ යුතු බවට ගෙන ආ යෝජනාව එදා සාධාරණීකරණය කරනු ලැබුවේ රට, ජාතිය, ආගම (බෞද්ධාගම) වෙනුවෙනි. ඒ කරනු ලබනු සාධාරණීකරණය ඉන් එහාට ගොස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආයතන ප‍්‍රතික්ෂේප කරමින් ආගම මිලිටරි ආයතනයක් ලෙස කටයුතු කළ යුතු බව වාවික වශයෙන් ප‍්‍රකාශ කරනු ලැබීම අන්තවාදයක් ලෙස බොහෝ දෙනෙකු හඳුන්වනු ලැබූව ද, අද එය එසේ වාචික වශයෙන් ප‍්‍රකාශ නොකළ ද, රජය ඇතුළු ආයතන ගණනාවක් විසින් නොනිල වශයෙන් ක‍්‍රියාත්මක කරනු ලබන්නේ එයම නොවේද?

රාජපක්ෂ රෙජීමයේ වුවමනා එපාකම් ඉෂ්ට කෙරෙන තාක් කල්, ‘ඔබට හිමි තීරුවේ පමණක්ම රිසි ලෙසින් ඇවිදින්න…’ යන ප‍්‍රකාශය කවරෙකුට වුව වලංගු වේ. එහෙත් එසේ නොවන කල…? රෙජීමය විවේචනය කරමින් කටයුතු කළ ජනමාධ්‍යවේදීන්, මානව හිමිකම් ක‍්‍රියාකාරීන් පමණක් නොව රෙජීමයට යම් යම් අයුරින් සහයෝගය දැක්වූ පාර්ශ්ව පවා විවිධාකාර තර්ජනවලට අදටත් ලක් වෙමින් පවතින බව රහසක් නොවේ.

ආයුබෝ වේවා මහ රජාණෙනි…//
සිව් මහ බඹුන් දුන් විවරණින්,
අපටත් රජෙක් පහලව ඇතේ
ඒ මහ රජුන් පෑ පෙළහරින්
මේ දෙරණ එක් සේසත් කළේ…

රාජ්‍ය මාධ්‍යවල අති විශාල ප‍්‍රචාරණයක් ලැබූ මෙම ගීතය, රාජපක්ෂගේ ඡන්ද කටයුතු සඳහාද සුවිශාල මෙහෙයක් ඉටු කළේය. එහි කෘතගුණයක් සැලකීමට මෙන් මෙම ගීතය ගායනා කරන සහේලි ගමගේ ගායිකාවගේ නමින් මහරගම ප‍්‍රදේශයේ මාවතක් නම් කිරීම ද සිදු කෙරුණි. එහෙත් රෙජීමයට ප‍්‍රශස්ති ගායනා නොකළ කලාකරුවන්ගේ තත්වය කුමක් ද? සහ කලාකෘතියක් වශයෙන් ඉහත ගීතයේ ඇති වටිනාකම කුමක්ද? යන්න අප විසින් පැහැදිලිව ප‍්‍රශ්න කළ යුතු වන්නෙමු.

‘පශ්චාත් යුද සමයේ’ එසේත් නැත්නම් මෙම ‘නව යුද සමයේ’ මතුවන තවත් ප‍්‍රධාන ‘නව’ සංකල්ප දෙකක් වන්නේ ‘දේශද්‍රෝහීත්වය’ සහ ‘දේශපේ‍්‍රමීයත්වය’ යි. මෙම වචන දෙකට ඉතිහාසයේ පැවතුණු තේරුම්වලට වෙනස් තේරුම් අද හඳුනාගත හැකිය. රාජපක්ෂ රෙජීමයට දක්වන පක්ෂපාතීත්වය අනුව මෙම සංකල්ප දෙකට නව අරුත් ගැන්වේ. දෙවනුව සිංහල, බෞද්ධ ප‍්‍රජාවගේ අවශ්‍යතා අනුව මෙම සංකල්ප දෙක අර්ථ ගැන්වේ. ‘දමිළ’ හෝ ‘මුස්ලිම්’ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කිරීම, රාජපක්ෂ රෙජීමය විවේචනය කෙරෙන තොරතුරු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම, මානව හිමිකම් ගැන කතා කිරීම ආදී කාරණා ගණනාවක් මෙම ‘දේශද්‍රෝහීත්වය’ යන ලේබලය යටතේ අද අරුත් ගැන් වේ. මෙයට ප‍්‍රබල උදාහරණයක් වන්නේ යුද ජයග‍්‍රහණයත් සමග රාජපක්ෂ රෙජීමය ප‍්‍රමුඛ රාජ්‍ය මාධ්‍ය විසින් හමුදාපති සරත් ෆොන්සේකා ‘ප‍්‍රබල දේශපේ‍්‍රමියකු’ ලෙස හැඳින්වීමත්, ඔහු ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමත් සමග, ‘ජාති ද්‍රෝහියෙක්’ සහ ‘අපරාධකරුවෙක්’ බවට පත්වීමත් ය. යුද්ධය දිනවීමේ දී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ සරත් ෆොන්සේකා ජාති ද්‍රෝහියෙක් බවට පත් වෙද්දී, ළමුන් යුද සෙබළුන් ලෙස බඳවා ගැනීම ඇතුළුව යුද අපරාධ චෝදනා ගණනාවකට සැකකරුවකු වන කරුණා අම්මාන් දේශපේ‍්‍රමියකු වන්නේත් මෙම නව අර්ථකතනයේ ප‍්‍රතිඵලයන් ලෙස ය.

අවසන් වූ යුද්ධයෙන් වර්තමානය වෙනස් වන්නේ කෙසේද? හමුදාවෙන් සිවිල් ජනතාව මරා නොදැමෙන යුගයකට අප පිවිස සිටිමු ද? මානව හිමිකම් ක‍්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන්, උද්ඝෝෂකයන්, ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් ගණනාවකගේ මරණයන් සහ ඒ අය මුහුණ පෑ විවිධ තර්ජන සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා නිල නොවන වශයෙන් මෙන්ම නිල වශයෙන් ද, සම්බන්ධ වන අවස්ථා ගණනාවකටම උදාහරණ ඇත. යුද්ධය පැවැතුණු කාලයට වඩා දැන් අදහස් ප‍්‍රකාශනයේ නිදහසක් තිබේ ද? ජනමාධ්‍යවේදීහු ගණනාවක්ම අත්අඩංගුවට ගෙන හෝ, ‘නාඳුනන තුවක්කුකරුවන්’ විසින් වෙඩි තැබීමට හෝ පහර දීමට ලක්ව, එසේත් නැත්නම් මරණ තර්ජනවලට ලක්ව මෙරටින් පලා යාමට ලක්ව සිටිති. එවැනි කාරණා සම්බන්ධ සාධාරණ විනිශ්චයක් ලබා දීමට අධිකරණයට ඇති නොහැකියාව පැහැදිලිව පෙනෙන අතර අධිකරණයට අධිකරණය ආරක්ෂා කර ගත නොහැකි බව අගවිනිසුරුතුමියට අත් වූ ඉරණමින් පැහැදිලිව පෙනේ. පශ්චාත් යුද සමය යනු යුද්ධයේම ද්විතියක අවස්ථාවක් අප හඳුනා ගත යුත්තේ මෙවැනි පසුබිමකය.

දමිත් චන්දිමාල් | Damith Chandimal

##

Cover Image 800

යුද්ධයෙන් වසර 5කට පසු, විකල්ප වෙබ් අඩවියේ විශේෂ සංස්කරණය තුළ පළවන, ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ ලංකාවේ දේශපාලන සහ සමාජ පරිසරය පිළිබදව ආදාල ලේඛක, ලේඛිකාවන්ගේ විග්‍රහයන් ද ‘යුද්ධයෙන් වසර 5කට පසු…‘ විශේෂ සංස්කරණය පිළිබදව විකල්ප වෙබ් අඩවියේ සංස්කාරකවරයාගේ සටහනට ද පිවිසෙන්න.