මීට වසර 13 කට පෙර එනම් 2001 පෙබරවාරී 23 වැනිදින එවකට ඉන්දීය අගමැතිවරයා වූ අතල් බිහාරී වජ්පායි හමුවීමට මෙරට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග නව දිල්ලියට ගියාය. එවකට විදේශ කටයුතු ඇමතිවරයා වූ ලක්ෂමන් කදිර්ගාමර් මහතාද අදාළ සංචාරය සඳහා ඇය සමඟ සහභාගී වූ අතර දෙපාර්ෂවය අතර පැවති සාකච්ඡාව සාර්ථක එකක් විය. වජ්පායි පරිපාලනය සහ චනද්‍රිකා පරිපාලනය අතර සැලකිය යුතු මට්ටමේ ධනාත්මක සම්බන්ධයක් තිබුණි. ඇතැම් විට තමිල් නාඩුවේ මහා ඇමතිවරයා වශයෙන් කටයුතු කළ කරුණානිධි ඇතැම් අවස්ථාවලදී කෝප ගැන්වීමට තරම් අගමැති වජ්පායි ලංකාව කෙරෙහි සහ ලංකා ආණ්ඩුව කෙරෙහි සුභාවදී සැලකිල්ලක් දැක් විය.
ජාතික වශයෙන් පසුව නිර්දය ලෙස විවේචනයට ලක් කරනු ලැබූ නිවේදනයක් නිකුත් කරමින් වරක් කරුණානිධි, අගමැති වජ්පායි හට ලංකාවේ ඇති ගැටලුවට එකම විසඳුම උතුරු නැගෙනහිර පළාත් මුලික කොට ගනිමින් වෙනම රටක් ස්ථාපිත කිරීම යැයි පැවසීය. චෙකොස්ලෝවැකියාව වෙන් වූ ආකාරයෙන් කිසිඳු බෝම්බයක් හෝ නොහෙළා එය ඇති කළ හැකි බව හෙතම සඳහන් කළේය. “ඔබත් එක්ක එකට ජීවත් වෙන්න වුවමනාවක් නොමැති බිරිඳ සමඟ ඔබට කොපමණ කාලයක් එකට ඉන්න පුලුවන්ද?’, කරුණානිධි, අගමැති වජ්පායින්ගෙන් ඇසුවේ එලෙසය.
නමුත්, තමිල් නාඩුවේ හැසිරීම වඩාත් නිවැරදිව තේරුම් ගත් හෙතම ලංකා ආණ්ඩුව සමඟ වැදගත් ද්විපාර්ශවීය සම්බන්ධයක් පත්වාගෙන ගියේය. ජී. සී. සැෂේනා යටතේ අගමැති වජ්පායිගේ මඟපෙන්වීමෙන් රෝ සංවිධානයද ක්‍රමෝපායිකව සංවිධානය වෙමින් තිබුණි. එහි අලුතෙන් ස්ථාපිත කරනු ලැබූ වෙනම ඒකක සහ ඒවාට පැවරුණු අතිශය තීරණාත්මක කටයුතු තිබුණි.
වජ්පායි එකළ අගමැතිවරයා ලෙස බලයට පත් වූයේ සංධාන ආණ්ඩුවකින්ය. නමුත් මෙවර තත්වය වඩාත් වෙනස්ය. නමුත් එය වෙනස් වූ පමණින් කිසිවෙකුට ගැටලුව විසඳීම සඳහා ඉන්දියාව පසුගිය කාලය තුළ ගත් ස්ථාවරය වෙනස් වන්නේ නැත. වජ්පායි ආණ්ඩුවට ලංකාවේ පවතින ගැටලුව පැහැදිලි කිරීමෙහිලා වඩාත් ප්රමුඛ කාර්ය භාරයක් ඉටුකරනු ලැබුවේ ඇමති කදිර්ගාමර්ය. එය අතිශය සාර්ථක විය. චන්ද්‍රිකා, කදිර්ගාමර් මෙන්ම කොටි සංවිධානයට එරෙහි දේශපලාන කණ්ඩායම් භාවිතා කොට ජාත්‍යන්තර වශයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව අමුතුවෙන් කිවය යුතු කාරණයක් නොවේ.
එකළ චන්ද්‍රිකා කළ කටයුත්ත තමන්ට කළ හැකි යැයි ජනාධිපති රාජපක්ෂ කල්පනා කළේය. නමුත්, තම කැබිනට් මණ්ඩලයේ ඔහුගේ සිහිනය සැබෑ කිරීම සඳහා කෞශල්‍යක් ඇති පුද්ගලයෙකු නැත. රාජපක්ෂ ඩග්ලස් දේවානන්ද, මං මොහාන් සිං පරිපාලනය රැවටීම සඳහා භාවිතා කිරීමට යන්ත දැරූවද ඉන් කිසිඳු සුගතියක් අත් වූයේ නැත. මන්ද ඔහු ගැන ඉන්දියාව රාජපක්ෂට වඩා හොඳින් දැන සිටියේය. එසේම කරුණා හෝ කේ. පී. වැනි අයවලුන්ද ඔහුට භාවිතා කළ නොහැකිය. මේ නිසා ඔහු උතුරේ මහ ඇමතිවරයාට ආරාධනය කළේය. නමුත් මහ ඇමතිවරයා හමුවේ රාජපක්ෂට, චන්ද්‍රිකා වීමට නොහැකි විය.
අනෙකා රැවටීම සඳහා තමන් වටා සිටින කිසිවෙකු හෝ භාවිතා කිරීම දේශපාලනයේ සාමන්‍ය පුරුද්දකි. නමුත් ලංකාව මුහුණ දී සිටින බරපතළ ගැටලුව එවැනි රැවටිලි වලින් වසා දැමිය නොහැකිය. මේ වන විට යුධ අපරාධ පිළිබඳ චෝදනාව බරපතළ එකකි. එය දෙමළ ජනතාවගේ ගැටලුවක් පමණක් නොව. මෑත ඉතිහාසය තුළ රටක අභ්‍යන්තර ගැටලුවකින් එතරම් විශාල ජනකොටසක් මරා දැමූ එක් ප්‍රධාන රටක් වන්නේ ලංකාවය. මෙය මේ වනවිට ජාත්‍යන්තරව විහිදී ගිය කාරණයක් වන අතර ඉන් පලා යෑමට ආණ්ඩුවට නොහැකිය. රාජපක්ෂලා රැක ගැනීම සඳහා එක්කෝ ආණ්ඩුව තුළින්ම පාවාදෙන්නෙක් තනාගත යුතුය. නොමැතිනම් වෙනත් ක්‍රියාමාර්ගයකට යා යුත්තේය. එම වෙනත් මඟ කුමක්ද යන්න රාජපක්ෂට, අගමැති මෝදී නිවැරදිව කියවීමට හැකි වුවහොත් අවබෝධ වනු ඇත. නමුත් අනෙකා රවටා තමන්ගේ පෞද්ගලික අභිලාශයන් පමණක් දේශීය දේශපාලනය තුළ සිදුකරගත් ජනාධිපතිවරයාට එය අවබෝධ කරගැනීමට හැකි වේයැයි කිව නොහැකිය.
ලංකාවේ දේශපාලන ප්‍රශ්නයට වඩා මෝදීට අවධානය යොමු කළ යුතු අභ්‍යන්තර ගැටලුවක් තිබේ. එය ධීවරයින්ගේ ගැටලුවේ සිට අභ්‍යන්තර ආරක්ෂාව සහ දේශසීමා හී පවතින ගැටලූ දක්වා විහිදී ඇත. කෙසේ වෙතත්, අගමැති මෝදී හමුවන ජනාධිපති රාජපක්ෂ බලාපොරොත්තු රැසක් තබාගෙන ඔහු තම එකම ගැලවුම්කරුවා යැයි සිතා කටයුතු කරනු ඇතැයි විස්වාශ කළ නොහැකිය. නමුත් රාජපක්ෂ ජනාධිපතිවරයා යම් කිසි සහනයක් ඔහුගෙන් බලාපොරොත්තු වනු ඇත. ධීවරයින් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඔහුට පෞද්ගලික පැසසුම් හිමිවනු ඇත. ඉන් පසු මාතෘකාව වනු ඇත්තේ යුධ අපරාධ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සහ ඒ සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිත පරිකෂණයයි. දහතුන ප්ලස් හෝ මයින්ස් ජනාධිපති, නව අගමැතිවරයාගේ අවධානය යොමු කළහොත් හැර ඔහු ඒ සඳහා කතාකිරීමට කලබල නොවනු ඇත. මේ නිසා මෝදීගේ දේශපාලන පතිවත පරික්ෂා කිරීමට පෙර රාජපක්ෂට තම තොත්තුව ගැන අතිශය ක්‍රමෝපායික විය යුතුව ඇත. රාජපක්ෂට අනුව ඉන්දියාව වූ කලී ලංකාව නමැති බාල සහෝදරීගේ ලොකු අයියා වේ. බොහොමයක් කාරණා අනුව, රාජපක්ෂ කෛරාටක නායකයෙක් ලෙස මං මෝහන් සිං පරිපාලනය පසුකාලීනව වඩාත් නිවැරදිව අවබෝධ කරගෙන සිටියේය. එම නරක ප්‍රතිරූපය ආණ්ඩු වෙනස් වූ පමණින් කණපිට හැරෙන්නේ නැත.
රාජපක්ෂ සමඟ අගමැති මෝදීගේ පදවි ප්‍රාප්තිය සැමරීම සඳහා දකුණු ආසියානු නායකයින්ට අමතරව මුරුසි අගමැතිවරයාද පැමිණීමට නියමිතය. මෝදී මුරුසි නායකයාට තම ආරාධනය පිළිගැනීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපකදීම ස්තූති කළේය. මුරුසි නායකයාට රාජපක්ෂ වූ කලී නයාට අඳුකොළ මෙනි. ඔහු කොළඹ පැවති චෝගම් වර්ජනය කළේය. එසේම රාජපක්ෂට එරෙහිව ඇති චෝදනා සසඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම කෙරෙහි දැඩි බලපෑමක් කළ නායකයෙකි. මොදීගේ මෙම තෝරාගැනීම හුදෙක් සැමරීමට පමණක් නොව එය අත්හදා බැලීමක්ද වේ.
මෙම සන්දර්භය හමුවේ එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් කොෆි අනන් ලංකාවේ යුධ අපාරාධ සිදුවීම පිළිබඳ පරීක්ෂණයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට ඇති උත්සාහය වැනි දෑ, මෝදී පරිපාලනයට තම විදෙස් ප්‍රතිපත්තිය සකස් කිරීම්දී ඉතා තීරණාත්මකව බලපානු ඇත. එසේම අමෙරිකා එකසත් ජනපදයේ, දකුණු ආසියාවේ කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් නිශා බිශ්වා ලංකාවේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් තම මතය ඍජුව මෙරට සංචාරයේදී ඉදිරිපත් කළාය. ඇය, මෝදී තම දිවුරුම් දීමේ උළෙලට දකුණු ආසියානු නායකයින්ට කළ ආරාධනය තීරණාත්මක කාරණයක් ලෙස දකින්නීය.
තවත් ස්වල්ප වේලාවකි. ඒ ඉන්දියාවේ 14 වැනි අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝදී දිවුරුම් දීමටය. නිදහසින් පසු ඉන්දියාවේ දේශපාලනය තුළ ආකර්ශනීය වෙනසක් සිදුකළ පසුගිය මහ මැතිවරණයේදී මෝදී ජයග්‍රහණය කිරීම කලාපයේ දේශපාලනය තුළ නව කියවීමක් ලබා දුන් සාධකයක් බවට පත් විය. දිවුරුම් දීම ලෝකයේම අවධානය දිනා ඇත්තේ මේ නිසාය. මැතිවරණයෙන් ජයගත් භාරතීය ජනතා පක්ෂය හෙටින් පසු පිහිටුවන ආණ්ඩුව ලංකාව කෙරෙහි බලපාන ආකාරය තීරණාත්මකය. මෝදී හමුවීමෙන් පසු රාජපක්ෂ හෙළන පළමු සුසුමෙන් කියනු ඇත්තේ වෙනස් වී ඇත්තේ මිනිසුන් සහ ඔවුන්ගේ සිනහවේ දිග පළල පමණක් බවයි. ඇත්තට මුහුණ නොදී, ඇත්ත විසින් උගන්වන නීරස පාඩම්වලින් පැනයාම සඳහා මැජික් බලාපොරොත්තු විය නොහැකිය. තම බලය භාවිත කළ කාලය තුළදී රටේ, රාජ්‍ය අණට යටත්ව හිංසාවට පත් වූ සහ මරණයට පත් වූ සියලුම දෙනා ගැන පූර්ණ වගකීමක් රටේ නායකයාට පැවරේ. එම වගකීම් ඉටුකිරීම ඔහුට කිසි ලෙසකින් පැහැර හැරිය නොහැකිය.
නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa