ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් පිළිබඳ යෝජිත නීතිය දිනෙන් දිනම ජාවාරම්කරුවන් හරහා ප‍්‍රමාද කෙරෙන, බාල කෙරෙන සහ විකෘති කෙරෙන අතරේ, රුපියල් මිලියන 500 කට අධික වටිනාකමකින් යුත් කල් ඉකුත් වූ ඖෂධ සහ රූපලාවණ්‍ය ආලේප තොගයක් පිළිබඳ කම්පා කරවන සුළු කතාවක් ඊයේ වාර්තා විය.

පාරිභෝගික කටයුතු අධිකාරියට අනුව එහි නිලධාරීන් පිරිසක් පසුගිය අඟහරුවාදා, පෞද්ගලික ඖෂධ සමාගමක් විසින් පවත්වාගෙන ගිය ගබඩාවක් වටලා තිබේ. එම වැටලීමේ දී සොයා ගත් තොරතුරු, අපේ සමාජයට නින්දාවකි. සමාජය රෝගී කරවන්නකි. පිළිකාවක් සේ රටේ ලියලමින් තිබෙන දූෂණය පිළිබඳ අනතුරු සංඥාවකි.

මේ වැටලීමේ දී ප‍්‍රතිජීවක පෙති විසිලක්ෂයක් ඇතුළු රූපලාවණ්‍ය ආලේප, ළමයින්ගේ කැස්සට දෙන සිරප් වර්ග සහ විවිධ ලෙඩරෝග සඳහා දෙන තවත් පෙති වර්ග දසලක්ෂයක් ද, සිරුරේ බර වැඩි කැරෙන ප්‍රෝටීන් අධික කැප්සියුල් වර්ග තොගයක් ද සොයාගෙන තිබේ. බලධාරීන් විශ්වාස කරන අන්දමට මේ ඖෂධ වර්ග කල් ඉකුත් වී ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ ය. හිතක් පපුවක් නැති මේ ව්‍යාපාරික තක්කඩින් කරන්නේ, 2015 කල් ඉකුත් වීමක් සහිත දින දරණ ලේබල් අළුතෙන් ඒවාට ඇලවීමයි. මේ අමානුෂික ජාවාරම කොතෙක් කල් කරගෙන ගොස් තිබේ ද කියාවත්, මිනිස් පාවිච්චියට අහිතකර හෝ නොසුදුසු කල් ඉකුත් වූ එවැනි ඖෂධ සහ විලේපන වර්ග කී ලක්ෂයක් රටේ සිය ගණනක් ඖෂධාගාරවලට යවා තිබේ ද කියාවත් අපි නොදනිමු. වර්ග අඩි 200 ක භූමි භාගයක පිහිටා ඇති මේ ඖෂධ සමාගමට එරෙහිව දැඩි පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය කියයි. එය එසේම සිදුවෙතැ යි අපි අපේක්ෂා කරන අතර, බලගතු දේශපාලඥයන්ට හෝ නිලධාරීන්ට ඒ සහගහන අපරාධය යට ගැසීමට ඉඩක් නොතැබෙතැ යි ද ඉත සිතින් පතමු. මෙය විශාල සොයා ගැනීමකි. එහෙත්, මෙවැනි ජාවාරම් පවත්වාගෙන යන්නා වූ ද, බාල සහ හොර බෙහෙත් අපේ ළමයින් ද ඇතුළු දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට අලෙවි කරන්නා වූ ද තවත් තිප්පොලවල් කොපමණ තිබේ දැ යි අපි නොදනිමු.

මේ වටලෑම සහ සොයා ගැනීම අගය කරන අතරේ සහ ඒ ගැන ස්තුතිවන්ත වන අතරේ, මෙය ඖෂධ වර්ග නියම කිරීමේ, ආනයනය කිරීමේ සහ විකිණීමේ දී ක‍්‍රියාත්මක වන වඩාත් භයානක මහා ව්‍යාධියක රෝග ලක්ෂණයක් පමණක් වන බවත් කිව යුතුය. දැනට ඖෂධ වර්ග 15,000 ක් ආනයනය කිරීම සඳහා ලියාපදිංචි කෙරේ. ඒ සා වාර්තාගත විශාල ප‍්‍රමාණයක් ආනයන කිරීම නිසා, ඒවායේ තත්ත්ව පරීක්ෂාවක් නිසියාකාරයෙන් කිරීමට හෝ අලෙවි කිරීම් පිළිබඳ පසුවිපරමක් කිරීමට හෝ අවස්ථාවක් නොලැබේ.

එම ව්‍යාධියට පිළියමක්, ලෝකයේ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ එදා දැවැන්තයෙකු වූ සේනක බිබිලේ මීට වසර 40 කට කලින් යෝජනා කෙළේය. එහෙත් මහාචාර්ය බිබිලේගේ ඒ ‘අත්‍යාවශ්‍ය ඖෂධ සංකල්පය’ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය අණපනත් ඇති කර ගැනීම, ප‍්‍රකෝටි ගණනින් ලාභ උපයන බහුජාතික ඖෂධ සමාගම් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ද, ඊටත් වඩා ඇතැම් වෛද්‍ය විශේෂඥයන් ද මැදිහත් වී එදා සිටම වළක්වන ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පවා පිළිගෙන ඇති, බංග්ලාදේශය ඇතුළු රටවල් ගණනාවක් සාර්ථකව ක‍්‍රියාත්මක කර ඇති එම බිබිලේ ප‍්‍රතිපත්තියට අනුව, ආණ්ඩුව මගින් ආනයනය කරන ඖෂධ ප‍්‍රමාණය 1000 කට සීමා කළ යුතුය. එසේ කළහොත්, විවිධ නම් යටතේ මේ රටට ගෙන්වන අත්‍යාවශ්‍ය නොවන ඖෂධ වර්ග සඳහා නාස්ති කෙරෙන ඩොලර් මිලියන ගණනක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත. එසේ කිරීමෙන්, එසේ ගෙන්වන ඖෂධ වර්ගවල ප‍්‍රමිති පාලනයක් පවත්වා ගැනීම ද පහසු කරවන්නේය.

ඖෂධ වර්ග ආනයනය රාජ්‍ය ඒකාධිකාරයක් විය යුතු බවට ද මහාචාර්ය බිබිලේ යෝජනා කෙළේය. මන්ද යත්, මෙය බොහෝ විට ජීවිතය හා මරණය අතර ප‍්‍රශ්නයක් වන බැවිනි. එහෙත් අද රාජ්‍ය ඖෂධ සංස්ථාව කරන්නේ, විශේෂයෙන් රජයේ රෝහල්වලට අවශ්‍ය කරන ඖෂධ යම් ප‍්‍රතිශතයක් ගෙන්වීමට සිමා වීම පමණි.

ලැබුණු තවත් ඔත්තුවක් අනුව, ඖෂධ නියාමන අධිකාරිය මගින් පසුගිය අඟහරුවාදා, අතුරුගිරිය රෝහලේ සේවය කරන එක් ඖෂධවේදිනියකගේ නිවසක් වටලන ලදි. එහි දී ද, ලක්ෂ ගණනක් වටිනා තවත් ඖෂධ වර්ග සහ උපකරණ තොගයක් අල්ලා ගැනීමට හැකි විය. එම අපරාධයට විගඩමක ස්වරූපයක් ද අත්කර දෙමින් අදාළ ඖෂධවේදිනිය කීවේ, තමා සමග තරහට තම සැමියා එම ඔත්තුව සපයා ඇති බවයි. ඔවුන්ගේ පවුල් කෝන්තර මොනවා විය හැකි වෙතත්, ඔවුන් කර ඇත්තේ අහිංසක ලෙඩුන් සඳහා ඇති ඖෂධ සහ ප‍්‍රතිකාර සොරකම් කර ගැනීමයි. මේ ඖෂධ ප‍්‍රශ්නය, විඳවන රෝගීන් ද ඇතුළුව මනුෂ්‍යත්වයට එරෙහිව කරන අපරාධයක් බවට මේ වන විට පත්ව ඇත. එම පිළිකාව මුලිනුපුටා දැමීමට ආණ්ඩුව වහා ක‍්‍රියාත්මක විය යුතුව ඇත.

##
2014 මැයි 29 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ The Pills We Take Could Kill Us නමින් පළවූ කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්