උතුරේ දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් සිටිති යි කියන උතුරු පළාත් සභාවේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා එම දෙමළ ජනතාවගේම එක් මූලික අයිතියක්-තොරතුරු දැන ගැනීමේ අයිතිය-ඔවුන්ගෙන් පැහැර ගැනීමට චක‍්‍රලේඛයක් නිකුත් කොට ඇති බව අසන්නට ලැබීම කෙනෙකු පුදුමයට පත්කරවන සුළු ය. යාපනේ මාධ්‍ය වෙත ඔහු නිකුත් කොට ඇති මේ චක‍්‍රලේඛය මගින් තමාව තමාගේ කාර්යාලයේ දී හෝ නිවසේ දී සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස දන්වා තිබුණි.
තමාට යම් ප‍්‍රසිද්ධියක් අවශ්‍ය වේ නම් ඒ ගැන තමන් කල් තියා දන්වනු ඇති බවත් ඔහු මාධ්‍යට කියා ඇත. එසේම, විදේශීය හෝ දේශීය වැදගතුන් සමග කෙරෙන තමාගේ හමුවීම් මාධ්‍ය මගින් ආවරණය කළ යුතු නැති බවත්, තමා සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීමට උත්සාහ නොකළ යුතු බවත් තවදුරටත් ඔහු මාධ්‍යට දැනුම් දී ඇත.
එවැනි තහනමක් හිටිහැටියේම ප‍්‍රකාශයට පත්කිරීමට ඔහුට හේතු වුණේ කවර හේතුවක් දැ යි සිතා ගැනීම අසීරු ය. රටේ වෙනත් තැන්වල සිදුවන්නා සේ යම් දූෂණයක් හෝ ජාවාරමක් වසා ගැනීමට ඇති අවශ්‍යතාවක් නිසා ද? නැත්නම්, තමන්ගේ නැගීමට පාවිච්චි කළ මාධ්‍ය දැන් තමන්ට වධයක් යැයි බොහෝ අයට සිතෙන්නා සේ ඔහුට ද හැඟී ගොස් ඇති නිසා ද? නොඑසේ නම් හුදු උද්ධච්ච කමට ද?
කෙසේ වෙතත්, ගෞරවයට පාත‍්‍ර හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා මාධ්‍ය කෙරෙහි තමන් තුළ ඇති මේ පදනමක් නැති අපුල, විවෘතව සහ ප‍්‍රසිද්ධියේ කීමට තරම් අවංක වී ඇති බවක් පෙනෙන්ට තිබේ. උතුරේ මෙන්ම දකුණේ ද වෙනත් දේශපාලඥයන් සහ ඉහළ නිලධාරීන් කරන්නේ, ඔවුන්ගේ ලේකම්වරුන් ලවා අතේ පැලවෙන බොරු කීමෙන් මාධ්‍යකරුවන්ව මගහැරීමයි. හාම්පුතා රැස්වීමක සිටින බව, කාර්යාලයේ නැති බව හෝ විදේශගත වී ඇති බවක් පවසන එවැනි ලේකම්වරු පසුව අමතන බවට පොරොන්දු වෙත්. එසේ වෙතත්, මහ ඇමතිවරයා දැන් අමතක කරමින් සිටින බව පෙනෙන්නේ, තමන්ගේ දැවෙන ප‍්‍රශ්න විසඳා ගැනීම අරභයා හෝ දහඩිය මහන්සියෙන් හරිහම්බ කරගෙන තමන් ගෙවූ බදු මුදල් තමන්ගේ ප‍්‍රධාන නියෝජිතයා වැය කිරීමට යන්නේ කෙලෙසින් ද යන්න හෝ දැන ගැනීමට ඡන්දදායකයාට ඇති අයිතිය මේ චක‍්‍රලේඛය හරහා තමන් වාරණය කරන බවයි.
විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කරද්දී ඔහු සතුව තිබූ අවංක භාවය සහ සුපිළිපන් භාවය ගැන කීර්තියක් උසුළන විග්නේෂ්වරන් මහතාට, තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතියේ වැදගත්කම අමුතුවෙන් කියා දිය යුතු නැත. යුද්ධ කාලය තුළ දෙමළ නායකයන් කළ එක් විවේචනයක් වූයේ ද, යුද්ධයට අදාළ ක්ෂේත‍්‍රයේ තොරතුරු ජනතාවට දීමෙන් ආණ්ඩුව එදා වැළැකී සිටින්නේය යන කාරණයයි. එය ඔවුන් හැඳින්නුවේ ‘සාක්ෂිකරුවන් නැති යුද්ධයක්’ වශයෙනි.
විග්නේෂ්වරන් මහතා තරග කොට ජයග‍්‍රහණය කළ උතුරු පළාත් සභාවේ බලය දරණ ‘දෙමළ ජාතික සන්ධානය’, තවත් විපක්ෂ කණ්ඩායම් ගණනාවක් සමග බොහෝ කාලයක් තිස්සේ, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පනතක් වශයෙන් සම්මත කර ගැනීමට වෙර දරණ පක්ෂයකි. මෑත කාලයේ දී එක්සත් ජාතික පක්ෂය එවැනි පනතක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීමට දෙවරක්ම උත්සාහ කෙළේය. ඒ අවස්ථා දෙකේ දීම, විග්නේෂ්වරන් මහතාගේ පක්ෂය වන ‘දෙමළ ජාතික සන්ධානය’ ඊට පූර්ණ සහයෝගය දුන්නේය. ඒ අවස්ථා දෙකේදීම එය ව්‍යර්ථ කෙළේ ආණ්ඩුවයි.
වරක්, එක්සත් ජාතික පක්ෂයේ එවක සිටි නියෝජ්‍ය නායකයන් දෙන්නාගෙන් කෙනෙකු වූ කරූ ජයසූරිය මහතා එම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ, තමන් විසින්ම එවැනි පනතක් ගෙන එන්නෙමැ යි ආණ්ඩුව දුන් ප‍්‍රතිඥාව ඉදිරියේ කරූ ජයසූරිය මහතා තමන්ගේ යෝජනාව ඉල්ලා අස්කර ගත්තේය. එහෙත් ආණ්ඩුව පසුව එම පොරොන්දුව ප‍්‍රකාරව කටයුතු කෙළේ නැත. අනතුරුව කරූ ජයසූරිය මහතා විසින්ම නැවත වරක් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඡන්ද විමසීමක් හරහා එය පරාජයට පත්කරන ලදි. එහි දී විග්නේෂ්වරන් මහතාගේ පක්ෂය කරූ ජයසූරිය මහතාගේ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ බව මෙහි දී මතක කර දිය යුතුව තිබේ.
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවක් මුලින්ම සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වැනි සැසිවාරයේ දී එහි සාමාජික රටවලට ලිපියක් ලියමින්, ‘දෙමළ ජාතික සන්ධානයේ’ නායක ආර්. සම්බන්ධන් මහතා, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ අතරින් ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ නිර්දේශය ගැන සිය ප‍්‍රසාදය පළ කොට තිබුණි.
ඒ සියල්ලටමත් වඩා කැපී පෙනුණු කාරණය වුණේ, මහඇමතිවරයා මේ අනවශ්‍ය චක‍්‍රලේඛය නිකුත් කිරීමට සති තුනකට පෙර යෙදුණු ‘ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනයේ’ දී ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ සහතික කෙරෙන පනතක් ගෙන එන්නැ යි ආණ්ඩුවට බල කෙරෙන අත්සන් ව්‍යපාරයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අභියස දියත් කළ අවස්ථාවේ, ‘දෙමළ ජාතික සන්ධානයත්’ එම විරෝධතා ව්‍යාපාරයට අනිත් විපක්ෂ කණ්ඩායම් සමග එක්ව සිටීමයි. ‘දෙමළ ජාතික සන්ධානයේ’ එක් නායකයෙකු වන එම්.ඒ. සුමන්දිරන් මහතා ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ ඉල්ලා එසේ කොළඹ උද්ඝෝෂණ කරන අතරේ එම පක්ෂයේම තවත් නායකයෙකු යාපනේ මාධ්‍ය නිදහසට බාධා කිරීම කණගාටුවට කරුණකි.
|2014 ජුනි 04 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ Right To Information නමින් පළවූ කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්