බෞද්ධකම යනු කුමක් ද යන්න ප්‍රශ්න කළ යුතු යුගයකට අපි පැමිණ සිටින්නෙමු. සංඝයා වහන්සේලා යන්නෙන් හැඳින්වෙන්නේ කවුරුන් ද යන්න ප්‍රශ්න කළ යුතු යුගයකට අපි පැමිණ සිටින්නෙමු. හුදෙක් උප්පැන්න සහතිකයේ නම තිබූ පමණින් කෙනෙක් බෞද්ධ වන්නේ ද? සිවුරක් පොරවා ගත් පමණින්, ධර්ම දේශනා කළ හැකි වූ හෙයින්, ධර්ම කරුණු යම් පමණකට දැන ගත් පමණින්, උපසම්පදාව ලද පමණින් කෙනෙක් බෞද්ධ භික්ෂුවක් වන්නේ ද? වෛරයේ සහ ද්වේශයේ මෝහයෙන් මුලා වූ මේ මිථ්‍යා දෘෂ්ටිකයන් තමන් ‘බෞද්ධ’ යැයි හඳුන්වා ගත් පමණින් බෞද්ධ වන්නේද? ‘උපසම්පදාව’ චාරිත්‍රයක් ලෙස ලද්දේ වුවද, ධර්ම කරුණු ගිරවකු සේ දැන ගත්තේ වුව ද, ඒ කිසිවක් පිළිපදින්නට නොහැකිව මෝහයේ මාවතේ ගමන් කරමින්, මිනී මරන්නට මිනිසුන් උසි ගන්වන මේ අසරණ සංසාර සත්ත්වයෝ ‘බෞද්ධ භික්ෂූන්’ ලෙස පැවිදි වූ පමණින් බෞද්ධ වන්නේ නැත.

පසුගිය දා අලුත්ගම දී ඥානසාර හිමියන් පැවැත් වූ බණ දේශනාවත්, ඉන් අනතුරුව අලුත්ගම සහ දර්ගා නගරය ආශ්‍රිතව පැතිර යන පින්කම්(පව්කම්) මාලාවත් සම්බන්ධ සිද්ධි දාමය ධර්ම සාකච්ඡාවකට ගෙන ආ යුතු බවත් මා විශ්වාස කරමි.

මේ රටේ තාම තියෙන්නෙ සිංහල පොලීසියක්. තාම තියෙන්නේ සිංහල හමුදාවක්. අදින් පස්සෙ එක මරක්කලයෙක් හරි, වෙනත් මොන පරයෙක් හරි එක සිංහලයෙකුට, අවම තරමින් සිවුරකට නෙමෙයි එක සිංහලයෙකුට අත තිබ්බොත් මේ හැම එකාලගෙම අවසානය බව…(මතක තියා ගනිල්ලා)

ගිරිය පුප්පා ගෙන, අත පය විසි කරමින්, රහමෙර පෙවූ නාලාගිරි ඇතු ගෝර නාද දෙන්නා සේ කෑ ගසමින්, ඥානසාර හිමියන් අලුත් ගම දී මෙසේ බණ දෙසද්දී සාදු කාර දෙනු වෙනුවට ඔල්වරසන් දෙමින් ප්‍රීති ඝෝෂා නගන උපාසක, උපාසිකාවන්ට දහම් පාසල් යන පොඩිම දරුවා පවා දන්නා ගාථාවක් මතක් කර දිය යුතුය.

නහී වෙරෙනි වේරානි- සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ච සම්මන්ති- එස ධම්මො සනත්තනො
මේ ලෝකයේ කිසි කලෙකත් වෛර කිරීමෙන් වෛරයෝ නොසන්සිඳෙත්. මෙය පෙර සිට පැවතෙන ධර්මයකි, නැතහොත් සැමදා පවත්නා ස්වභාවයකි.

‍බුදුන් වහන්සේ කිසි දිනක වෛර කරන්නට ඉගැන්වූයේ නැත. තමනට වෛර කරන්නවුනට පවා මෛත්‍රී කරන්නට ඉගැන්වූහ. ‘එක සිංහලයෙකුට අත තැබුවොත්’ මිනී මරන්නට උසි ගන්වන මේ ඥානසාර නම් සංසාර සත්ත්වයා සහ ඔහුගේ අනුගාමික ‘උපාසක, උපාසිකාවන්’ සිටින්නේ මෝහයෙන් සහ මුලාවෙන් අන්ධවය. ක්‍රෝධයෙන් සහ වෛරයෙන් පිරුණු මේ සත්ත්වයන්ට බොදු මඟ යන්නට නොහැකිය. නිවන් මඟ යන්නට නොව, ඒ අසලකින් හෝ යන්නට නොහැකි වූ මේ අසරණ සත්ත්වයෝ බෞද්ධයෝද? ඥානසාර නම් අසරණය, නුඹ සිටින්නේ මුලාවෙන් හා මෝහයෙන් අන්ධවය.

මුගලන් හිමියන්ට සොරුන් පහර දී අපවත් කරනු ලැබූ අවස්ථාවේ, බුදු රජාණන් වහන්සේ කණ්ඩායම් යවා සොරුන්ට පහර දුන්නේ නැත. එහෙත් දේවදත්ත තෙරුන් දුනුවායෝ යොදවා, ගල් පෙරළා බුදුන් පරිනිර්වාණය කරන්නට තැත් දැරූහ. එහෙත් දේවදත්ත යනු බෞද්ධයන්ට අනුව සතුරෙකු නොව, මුලාවේ වැටුණු අසරණයෙකි. ‘අහෝ! දෙව්දත් නොදිටි මොක්පුර’ යනුවෙන් පසුකාලීනව වෑත්තෑවේ හිමියෝ ලිව්වේ ඒ නිසාය.

‘යො ධම්මං පස්සති, සො මං පස්සති’ (යමෙක් ධර්මය දකී ද හේ මා දකී) යනුවෙන් බුදුන් දේශනා කළේය. ධර්මය දකින්නට නොහැකි ඥානසාර සහ ඔහුගේ සැදැහැවත් උපාසක උපාසිකාවෝ බුදුහු නොදකිති. එබැවින් ඔවුහු අන්ධය. අසරණව මුලාවේ වැටී සිටිති.

දණ්ඩකින් සර්පයකුට පහර දෙමින් සිටි ළමුන් කණ්ඩායමක් අරබයා බුදුන් පහත දැක්වෙන ගාථාව දේශනා කළේය. සර්පයා යනු අහිංසක සතෙකු නොවන බවත්, ඌ මරා දැමීමෙන් අපි ආරක්ෂා වෙන බවත් කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් ප්‍රාණඝාතයට අනුබල දෙන්නා සහ ප්‍රාණඝාතය කරන්නා යන දෙදෙනාම බෞද්ධයෝ නොවෙති. ඔවුහු අබෞද්ධයෝ සහ මිථ්‍යා දෘෂ්ටික පාපතරයෝම වෙති. ඥානසාර යනු මිථ්‍යා දෘෂ්ටිකයෙකි, පාපතරයෙකි. ඔහුගේ හිංසාවාදී බණ පිළිපදින උපාසක උපාසිකාවෝ ද එලෙසම ය.

aaa
ඥානසාරගේ උපාසක උපාසිකාවන් දඬු මුගුරු රැගෙන (පිංතූරය උපුටා ගැනීම – බීබීසි)


“සබ්බෙ තසන්ති දණ්ඩස්ස
සබ්බෙ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
න හන්‍යෙය, න ඝාතයෙ”
සියලු දෙන පහර දෙන පොල්ලට හෝ දඬුවමට තැති ගනිත්. සියලු දෙන මරණයට භය වෙත්. තමාත් ඒ දෙකට බය වන බව සලකා අනුන්ට දඬු ආදියෙන් හිංසා නොකරන්නේය. අනුන් නොනසන්නේය. (ධම්මපදය, දණ්ඩ වග්ගය)

කෙනෙකුට මෙසේ තර්ක කළ හැකිය. මේ අපරාධ සිදු කළේ ‘ඥානසාර’ නම් භික්ෂුව විසින් නොවේ. ඔහු ඒ ගැන දැන සිටියේවත් නැත. ඔහු එම අපරාධ වන ස්ථානයෙන් වහාම පිටත්ව ගියේය.

නටන්න එන්න එපා. නැටුවොත් දෙවැනි පියවර බේරුවල, අළුත්ගම, යනාදී වශයෙන් මේ තියෙන කඩසාප්පුවලට අබ සරණං.”

කඩසාප්පුවලට ප්‍රහාර එල්ල වීමට හෝරාවකට පමණ පෙර ඥානසාර නම් අසරණ භික්ෂු සත්ත්වයා විසින් මෙසේ බණ දෙසන ලදී. කර්මය යනු ක්‍රියාව නොව කර්මය කිරීමේ සිතුවිල්ලයි. පලි ගැනීමේ සිතුවිල්ලයි. මේ සිතුවිල්ල ජනිත කරවන්නේ ඥානසාරය. ඥානසාර, නුඹටත් නුඹේ කතාවට අත්පුඩි ගැසූ නුඹේ අනුගාමිකයන්ටත් මේ පවින් නිදහස් විය නොහැක. මිනිසුන් මැරෙනු බලා සිංහල ජාතිය ගැන උද්දාමයෙන් කෑ ගැසූ අසරණ සත්ත්වයනි, ඒ පව් නුඹලා පසුපස ද එලෙසම ලුහු බඳිනු ඇත. උපදින, උපදින ආත්මයක් පාසා කර්මය ගොනු පසුපස ලුහුබැඳ එන රියසක මෙන් නුඹලා පසුපස ලුහු බඳිනු ඇත.

මනොපුබ්බංගමා ධම්මා- මනොසෙට්ඨා මනොමයා- මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා- තතො නං දුක්ඛමන්වෙති – චක්කංව වහතො පදං

කුශලාකුශල ධර්මයෝ සිත පෙරටු ගෙන ඇත්තෝය, සිත ප්‍රධාන කොට ඇත්තෝය. සිතින්ම උපන්නාහුය. ඉදින් යමෙක් දූෂ්‍ය වූ සිතින් ක්‍රියා කෙරේ නම්, නපුරු වචන කියා නම් ඒ කරණකොට දුක ඔහු පසු පස්සේ ගමන් කරයි. (කුමක් මෙන්ද?) කරත්තේ බැඳි ගොනාගේ පය අනුව යන රෝදය මෙනි.

ඥානසාර යනු බෞද්ධයෙකු නොවේ. ඒ ගැන තර්ක කරන්නට දෙයක් නැත. එහෙත් ඥානසාර නම් මේ බොරුකාරයාට මුලා කර හැකි තරමටම ලංකාවේ මිනිසුන්ගේ බෞද්ධකම අනාථ වී තිබේ ද? යන ප්‍රශ්නය මට නැගේ. බෞද්ධකම යනු උප්පැන්න සහතිකයෙන් ලැබෙන දෙයක් බවට, පරම්පරාවෙන් ලැබෙන දෙයක් බවට යන මිථ්‍යාව විසින් අද බෞද්ධ ජනතාව මුලා කර ඇති අතර, කිසිදු හිරිකිතයකින් තොරව බුදුන් යොදා ගෙන මිනී මරන්නට ඉඩ දෙන පුණ්‍ය (පාප) භූමියක අපි ජීවත් වෙමු.

බෞද්ධයන්, සහ බෞද්ධ භික්ෂූන් බවට හැඳින්වෙන බොහොමයක් පුද්ගලයන් අබෞද්ධයන් වන අතර ඒ කිසිවෙක් බුදුන් සරණ, දහම් සරණ ගොස් නැත. බුදු හාමුදුරුවන්ගේ යැයි සැලකෙන පිළිමවලට වඳින, බෝධියක් ලෙස සලකන ගස්වලට වඳින, තමන් තේරුම් නොගන්නා ගාථා ඛණ්ඩ පවසන මේ මිථ්‍යාදෘෂ්ටිකයෝ බුදුන් දෙසූ ධර්මයට පිටුපා වෛරය පතුරුවන අතර අතීතයේ ගස් ගල්වලට වැඳි ගෝත්‍රිකයන්ගෙන් කිසිසේත්ම වෙනස් නොවෙති. බෞද්ධ ඉගැන්වීම් අද ජනප්‍රිය ආගම යන සංකල්පය තුළ වැළලී ගොස් ඇති අතර, බුද්ධ ධර්මය තුළ ඇති වටිනාකම් යළි ගොඩ ගැනීම අපේ කාලයේ වගකීමක් වන්නේය.

මෙතකින් නූතන දේවදත්ත වස්තුව හමාර කරමි. ඥානසාර නම් භික්ෂු සත්ත්වයාට ද, ඔහුගේ ගෝල බාල උපාසක, උපාසිකා සත්ත්වයන්ට ද, මේ ලිපිය කියැවූ, නොකියවූ සැම දෙනාටම ද සම්මා දිට්ඨිය පහළ වේවා!

දමිත් චන්දිමාල් | Damith Chandimal