Image Credit: dailynews.lk/Picture by Sudath Silva
රාජපක්ෂ මේ රට ගිනි තබමින් සිටින්නේ මීළඟ මැතිවරණය කෙසේ හෝ ජය ගැනීමටය. මෙය පාපයකි. පව් වලංගු වන්නේද නොවන්නේද යන්න රාජපක්ෂට අයිති නැති කාරණයකි. මන්ද ඒ හා සමානවම “පිං” ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සිදු කළෝය. සෑම විද්‍යුත් නාලිකාවකම පාහේ එම පිං සජීව විකාශනය කරනු ලැබූවේය. එසේම සෑම විටම රාජපක්ෂ තමන්ගේ සතුරා මට්ටු කිරීම සඳහා යොදා ගනු ලබන්නේ තෙවන හෝ සිව්වන පර්ශවයකි. එමඟින් සිද්ධියේ නිර්මාතෘ සහ මුල් අතරමැදියා ලෙස ශුද්ධ ලාභය ඔහුට උපයා ගත හැකිය. මෙය ක්‍රමෝපායික වශයෙන් සහේතුකය. රටේ දියුණුව වෙනුවෙන් අකැපය. කෙසේ වෙතත් පිං ඉපයීමේ බල මහිමයෙන් ඔහු සහ අනෙකුත් රාජපක්ෂලා අතිශය සාර්ථක දේශපාලනඥයකු බවට පත් කළේය.
කොටින්ම කිවහොත් කොටි සංවිධානයේ කේ. පී. තම ශාන්තීය ලබා ගත්තේ ආරක්ෂක ලේකම් නන්දසේන රාජපක්ෂ මහතාගේ මිදුලේ තබා ඇති බුදු පිළිමයෙන් බව ඔහු කිව්වේය. එසේම රටේ ජනතාව කිලෝමීටර් ගණන් පෝළිමේ තමා ගෞතම බුදුන්ගේ යැයි සැලකෙන ධාතුන් වහන්සේලා පෙන්වීම සඳහා රාජපක්ෂලාගේ කරමත තබා රටවටේ රැගෙන ගියහ. වෙන කිසිවෙකුට ඊට අත තැබීමටවත් ඉඩ නොදෙන තරමට එහි සම්පූර්ණ පිං ගොඩම රාජපක්ෂ පවුල උරා ගත්තේය. මේ නිසා ඔවුහු “පිං” රැස් කරගත්තෝ වෙති. මෙලොව ජීවිතයේ මෙන්ම පරලොව ජීවිතයේ තිර පැවැත්ම සඳහා ඒ පිං හේතු වන බව රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඉදිරිපිට බණ දේශනා කළ සියලුම බෞද්ධ ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කළෝය.
එම රැස් කරගත් පිං ගොඩ මඟින් රටේ දේශපාලන පක්ෂ ලෙස නම් කරනු ලබන ප්‍රජාවන් වල පැවැත්මට තර්ජනයක් එල්ල කොට ඒවා නොවැදගත් බවට පත් කිරීමට උත්සහ කළේය. එසේම රාජ්‍යක පැවතිය යුතු මුලික ආයතන සර්ව සම්පූර්ණයෙන්ම තම පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් භාවිත කිරීමට උත්සහ කළේය. එය හැකි උපරිමයෙන් කළේය.
රටේ අවාසනාවට නායකයින් බිහි වූ කළ මෙවැනි ශාපවලට එම රට නතු වේ. මෙය අවාසනාවකි. එසේම එය බොහෝ දෙනෙකුට අවබෝධ වන සහ අමුතුවෙන් තේරුම් කළ යුතු කාරණයක්ද නොවේ.
නමුත් රටේ පවතින සැබෑ ගැටලුව තේරුම් ගැනීම වැදගත් වේ. රට අරාජික වී ඇති අතර එය මංකොල්ලකාරයින්ගේ වෙළඳපොළක් ලෙස නීච අයුරින් භාවිතා කිරීමට හැකි වී ඇත.
එක් කෲර පාලකයෙක් නික්ම ගිය සැනින් තවත් එවැනිම අයෙකු පත්කරගෙන දුක් විඳීම සඳහා ඇති නැඹුරුව කුමක්ද? මෙය සැබවින්ම ඉතා පරෙස්සමින් ලිහා බැලිය යුතු කාරණයක් වේ. එමඟින් එක හොරෙක් වෙනුවට තවත් හොරෙක් හෝ හොර කමට නැඹුරු වූ වරිගයක් බිහි නොකිරීමේ සැබෑ වැඩපිළිවෙලකට තල්ලු විය හැකිය.
රටක මුලික ගැටලුව ඇති වීම සඳහා මුඛ්‍ය වන හේතු කාරණය වූ කලී එම රට රැකගෙන සිටින රහස් නොවේ. එනම් අඩක් නිවැරදි සහ අඩක් සම්පූර්ණයෙන්ම වැරදි වූ දෑ එකතුවක් හෙවත් විකෘති කරනු ලැබූ දෙයක් සත්‍ය ලෙස ජනතාවට එන්නත් කරවීමය. රැවටිලිවලට හසු වීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන විට එම ජාතියේ පරම්පරාව රැවටිලිකාර පරම්පරාවක් බවට පත් වේ. එම රැවටිලිකාර පරම්පරාව මඟින් ජනිත කරනු ලබන්නේ රැවටිලිකාර ජාතියකි. එම නිසා එකිනෙකා රවටා ගැනීම පමණක් නොව තමන් විසින් තමන්ව රවටා ගැනීම සඳහා එකිනෙකා නිරායාසයෙන්ම තල්ලු වේ. මන්ද මෙම තත්වය ඉතාම කෙටි කාලයක් තුළ සංස්කෘතිකගත කාරණයක් බවට පත් වේ. එවැනි වටපිටාවක බිහිවන්නේ රෝගී ජාතියකි.
බෞද්ධ ධර්මය විකෘති කොට තම අසාවන් මුදුන් පමුණුවා ගැනීමේ සිට දේශපාලනයට පිවිසිය හොත් අනෙක් කිසිවෙකුට වඩා තමන්ට පුළුවන් බව උදම් අනන නන්දසේන රාජපක්ෂ මහතා දක්වා වූ සියලු සිදුවීම වලින් මෙම රෝගී තත්වය පැහැදිලිව හඳුනා ගත හැකිය. සැබවින්ම ඔහු කියන්නේ තම ජනාධිපති සහෝදරයාටත් වඩා තමන් දක්ෂ බව විය හැකිය.
මෙවැනි තත්වයකට තල්ලු වීම සඳහා වන මුලික හේතු හඳුනා ගත යුතුව ඇත. මෙය අතිශය තීරණාත්මක සහ වැදගත් කාරණයක් බව මගේ හැඟීමය. මෙය ශිෂ්ඨාචාරය සම්බන්ධයෙන් වන මුලික ගැටලුවකි. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු මුහුණ දී සිටින මෙම ප්‍රශ්නයෙහි ඇති අනුවේදනීය යථාර්තය වන්නේ එය ප්‍රශ්ණයක් ලෙස නොගෙන අයිතියක් ලෙස ගැනීමය. එමඟින් අනෙකාව යටපත් කිරීමය.
ප්‍රශ්නයක් ඇති වූ කළ එය විසඳීමට උත්සහ නොකිරීමෙන් එය රෝගයක් බවට පත් වේ. එම රෝගයට ප්‍රතිකාර නොකිරීමෙන් වසංගතයක් බවට පත් වේ. සිංහල ජාතියේ අයිතීන් ගැන කතා කරන බොහෝ දෙනෙකු තම පෞද්ගලික ආසාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ප්‍රසිද්ධ වෙදීකාවේ කාලය සහ සම්පත් මංකොල්ල කන රෝගීන්ය. මේ නිසා රට තව දුරටත් අඝාදයට පත්වීම සිදු විය.
රටේ මුලික සංස්කෘතික ගත ගැටලුව නාභිගත වී ඇත්තේ, ඉතිහාසය වර්තමානය ලෙස ගැනීමෙනි. එමඟින් වර්තමානය අහිමි කොට ඉතිහාසය ගැන අන්ධ භක්තියක් ඇතිකොට එය හැදිච්ච කම ලෙස අර්ථගන්වා ඇත. ඉතිහාසය ලෙස රචනා කොට ඇති මහත් බලපෑමට ලක් කරනු ලැබූ ලියවිල්ල පිළිගැනීමට සහ එය අනුගමනය කිරීමට නිරායාසයෙන්ම තල්ලු කොට ඇත. ඒ පිළිබඳව සිදුවන විවේචනාත්මක රචනා බොහොමයක් දේශීය භාසාවෙන් වියුක්ත කොට ඇත. එක්කෝ සඟවා හෝ ගිනිබත් කොට ඇත.
එසේම රටේ කෞශල්‍යයෙන් පිරි ප්‍රජාව ගූඪ දේශපාලන වුවමනා එපාකම් වලට තල්ලු කොට ඔවුන්ගේ වටිනා කාලය සොරාගෙන ඇත. එමඟින් පසුතැවීම, නොඉවසීම සහ වෛරය ඉතාකෙටි කාලයක් තුළ පුරුදු බවට පත් වේ. එහි ප්‍රතිඵලය ලෙස බුද්ධිය හීන වී යන්නේය. එමඟින් කෲර පාලකයාට රිසි සේ ඔහු වටා සිටින පිරිස මට්ටු කිරීම සඳහා අනගි අවස්ථාවක් ලබා දෙනු ලබයි.
රාජපක්ෂගේ පිං රටේ පව් බවට පත් වී ඇත්තේ එලෙසය. මෙය තව දුරටත් මෙලෙසම යන්නට දෙන්නේද, නොඑසේනම් ගැලවුම්කාරයකු මෙන් වෙස්වලාගෙන එන තවත් අයෙකුට පෙර පරිදිම රැවටෙන්නේද? එසේත් නොවේ නම් සැබෑ නිදහස හිමි ජාතියක් බවට පත්වන්නේද යන්න අප හමුවේ පවතින මුලික අභියෝගය වේ. මෙය අතිශය බැරෑරුම් කාරණයකි.
නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa