“කැමැත්ත නිෂ්පාදනය” කිරීම ප්රජාතන්ත්රවාදයේ අලුත් භාවිතය බව, වෝල්ටර් ලිප්මාන් මීට වසර ගණනාවකට පෙර ඉදිරිපත් කළ අදහස වෙනදාටත් වඩා ලංකාවේ වත්මන් දේශපාලන ප්‍රවණතාවය තුළ වඩාත් තීරණාත්මක අයුරින් සෙල්ලම් කරණ ආකාරය දක්නට ලැබේ. ලිප්මාන් තම රචනා න්‍යායන් මත ගොඩ නොනැගු නමුත් ඒවාට අමෙරිකානු දේශපාලනය තුළ වඩාත් ආකර්ශනීය අවකාශයක් ලැබුණි. ඔහු කියන “කැමැත්ත නිෂ්පාදනය” කිරීම නමැති අදහසට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ.
එය පළමු ලෝක යුද්ධය ආරම්භක අවධියේ පටන් අමෙරිකානු දේශපාලනය තුළ වඩාත් ගැඹුරින් ක්‍රියාත්මක වූ මෙහෙයුමකි. මහජන තෙරතුරු කමිටුව නමින් වූඩ්රෝ විල්සන් 1917 දී ඇති කරනු ලැබූ ආයතනයේ මූලික අභිප්‍රාය වූයේ බොරු ප්‍රචාර කරමින් පළමු ලෝක යුද්ධය සඳහා අමෙරිකානු මැදිහත් වීමකට අවශ්‍ය මහජන මතය සකස් කිරීමය. එය පාලනය කරීම සඳහා ජනාධිපති විල්සන් විසින් පත් කරනු ලැබුවේ ජෝර්ජ් ක්‍රීල් නමැති අයෙකි. ඔහුගේ මෙහෙයුම අශීලාචාර ක්රමෝපායන් මත පදනම් විය.
නමුත් එහි කටයුතු කළ එඩ්වර්ඩ් බෙනීස් අදාළ ආයතනයට අවශ්‍ය උපක්‍රම වෙනස් ආකාරයකින් තේරුම් ගැනීමට උත්සහ කළේය. ඔහුගේ මුලික උපාය අමෙරිකානු ජනතාවගේ මනෝභාවය තේරුම් ගැනීම සහ ජනතාවගේ මානසික තත්වයට ඔරොත්තු දෙන අන්දමින් විරූප කරනු ලැබූ අදහස් ලබා දීමය. එය අතිශය සාර්ථක වූ උපායක් වූවා පමණක් නොව “ලෝකය ආරක්ෂිත ස්ථානයක් කිරීම සඳහා ප්රජාතන්ත්රවාදය” නමැති මූල උපාය එමඟින් බිහි විය. මෙය වසර ගණනාවක් තිස්සේ තම දේශීය දේශපාලනය තුළ පමණක් නොව විදෙස් ප්‍රතිපත්තිය තුළද වඩාත් තීරණාත්මක ප්‍රතිඵල අත්කරගැනීමට හේතු විය.
එසේම ලංකාවේ වත්මන් දේශපාලනය තුළද මෙය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වේ. පෙර සඳහන් කළ ආකාරයට, “කැමැත්ත නිෂ්පාදනය” කිරීම වූ කලී මෙහෙයුමකි. එම මෙහෙයුම රඳා පවතින්නේ බලය සඳහා පොරකන කල්ලිය සතු කෞශල්‍ය මතය. එනම් එම කල්ලියට තම මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා භාවිත කිරීමට සිදුවන ප්‍රචාරණ කටයුතු වල ඇති සාර්ථකභාවය මතය. මෙය ප්‍රභල අභියෝගයක් බවට පත් වන්නේ ආණ්ඩු පක්ෂයට වඩා ආණ්ඩුව පෙරළීමට කටයුතු කරණ විපක්ෂයටය.
සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය විසින් පසුගිය දා කොළඹ, නව නගර ශාලාවේ තම පළමු සම්මන්ත්‍රණයක් පැවැත් වීය. මාධ්‍ය වාර්තා වලට අනුව ඊට විශාල ජන සහභාගීත්වයක් තිබුණි. මෙවැනි සංධාන රටේ දේශපාලනයේ අලුත් දෑ නොවන නමුත් මෙවර සංධානය නව මාදිලියක් ගත්බව බොහෝ මාධ්‍ය වාර්තාකර තිබුණි. එම සම්මන්ත්‍රණයට රටේ ප්‍රකට මාතෘකා මුලික වූ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත ස්ථාපිත කිරීම ආදී කාරණා මූලික තේමා පාඨ බවට පත් විය.
කිසිඳු විවාදයක් නොමැතිව පිළිගත හැකි සහ පුළුල් ජන කැමැත්තක් අති කළ යුතු කාරණා ඊට ඇතුලත් වූ බව සැබෑය. නමුත් එම පාඨ අදාළ සංධානය වටා ඒකරාශී වී ඇති සුළුතරයෙන් ඔබ්බට ගෙන ගොස් එය මීළඟ මැතිවරණයේ “කැමත්ත නිෂ්පාදනය” කරණ මුලික කාරණය බවට පත් කර ගන්නේ කෙසේද? මෙය අදාළ සංධානය මුහුණ දෙන පළමු, ප්රභළ මෙන්ම අතිශය තීරණාත්මක අභියෝගය වේ. ඒ සඳහා ඊට ක්‍රමෝපායික වැඩපිළිවෙලක් නොතිබුණ හොත් ඉන් පෙරට වඩා වැඩි වාසියක් ආණ්ඩුවට අත් වීම වළක්වනු නොහැකිය.
ආණ්ඩුව මුලික වශයෙන් උපායන් දෙකක පිහිටා කටයුතු කරනු ලබයි. පළමුවැන්න පොදු මහජනතාව පෘතුල වශයෙන් වෙනස් කළ හැකි නව දේශපාලන පාඨ සහ පුද්ගලයින් බිහිවීම වැළක්වීමය. දෙවැන්න ආණ්ඩු විරෝධී බල කඳවුර මුල්‍යමය වශයෙන් දුර්වල කිරීමය. එය කිරීම සඳහා ආණ්ඩුව මිලිටරිය මෙන්ම රාජ්‍ය බලය වඩාත් දරුණු ලෙස භාවිතා කරනු ලබයි.
මෙම කාරණා දෙකට මුහුණ දීම සඳහා අදාළ සංධානය දක්වන කුසලතාවය ගැන තවමත් පැහැදිලි චිත්‍රයක් නැත. එසේම මුලික සටන් පාඨ වලින් ඔබ්බට ගිය පුළුල් දේශපාලන එකඟතාවයක් ඇතිබව තවමත් අදාළ සංධානය අභ්‍යන්තරයෙන් පෙන්වා නැත. මුහුණුවල වෙනසක් මිස න්‍යායික වෙනසක් පේනතෙක් මානයකවත් නැත. මෙම තත්වය හමුවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සහ 17 වන ව්‍යවස්ථා සංශෝධනය බල ගැන්වීම හුදු සටන් පාඨ පමණක් බවට පත් වීමේ බරපතළ අවදානමක් අදාළ සංධානය විසින් පෙන්වමින් තිබේ. මෙය අවදානමක් බවට පත් වන්නේ අදාළ සටන් පාඨ තම දෑතට ගෙන යළිත් තමන්ගේ අසාවට උචිත “කැමැත්ත නිර්මාණය” කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකි හෙයිනි. ඊට ඔහුට අවශ්‍ය වන්නේ මැතිවරණයට පෙර ගත වන පැය කිහිපය පමණි. පාලක ආණ්ඩුවක් වෙනස් කිරීමේදී මුහුණ දෙන ප්‍රභල අභියෝගය වන්නේ පාලක ආණ්ඩුවට අදාළ විපක්ෂ කණ්ඩායම සතු දේශපාලන උපායන් හෑල්ලුවට ලක්කිරීමට ඉඩ නොදීම කරණ කොට ගෙනය.
මතුපිටින් දක්වා ඇති එකමුතුව දෙස බැලීමේදී ඉතා පරෙස්සමින් විමසා බැලිය යුතු බරපතළ අභියෝගකාරී තත්වයකට මුහුණ දීමට නව සංධානයට හැකි යැයි කිව හැකි නමුත් එහි දේශපාලනය තනි තනිව සටන් වදින කණ්ඩායම් වලින් ඔබ්බට තවමත් ගමන් කොට නැත. සිදුවිය යුත්තේ රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කළ හැකි දේශපාලන උපායන් සකස් කිරීම මිස ඔහුට විපක්ෂයේ දේශපාලන අදහස් සහ යෝජනා ඉතා කෙටි කාලයකින් මංකොල්ල කෑමට හෝ මර්ධනය කිරීමට හැකි තත්වයක් නිර්මාණය කිරීම නොවේ.
අදාළ සංධානය මුහුණ දී ඇත්තේ, ව්‍යුහය තේරුම් ගැනීම සහ එය වෙනස් කිරීම සඳහා නව උපායන් සකස් කිරීම පිළිබඳව වන ගැටලුවකට මිස මතුපිට පාවෙමින් පවතින අඥාන විරෝධයට තම සහභාගීත්වය දැක්වීම පිළිබඳ ගැටලුවකට නොවේ.
සැබවින්ම උදා වී ඇත්තේ රාජපක්ෂට නිදි නැති රාත්‍රියන් නොව, අදාළ සංධානයට නිදිවරා කටයුතු කළ යුතු කාලයකි.
ගතවන කිසිඳු තත්පරයක් යළිත් නොයේ. සෑම මොහොතකම වැදගත්වන්නේ සතුරාගේ උපායන් හඳුනා ගැනීම, සතුරාගේ බලය තේරුම් ගනිමින් ඊට උචිත උපායන් සකස් කිරීම, මිතුරන් හඳුනා ගෙන ඒකරාශී කිරීම සහ මිතුරු වේශයෙන් ලංවන සතුරන් හඳුනාගැනීම ආදී මුලික කාරණාය. රාජපක්ෂ පරාජය කිරීම මතුපිටින් පෙන්වන සටන් පාඨ වලට කළ නොහැකි බව ඔහු විසින් පසුගිය වසර කිහිපය පුරාම පෙන්වා ඇත. එසේ නම් ඔහු පරාජය කළ හැක්කේ කෙසේද? සැබෑ අභියෝගය එයයි.
නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa