බාබර් සාප්පුවක් තුළදී තරුණියක සමුහ දූෂණය කළ බව කියන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අද (28) අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය පවසන බව අද දෙරණ වාර්තා කරයි. එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම තරැණියගේ ‘පෙම්වතා‘ ඇතුලු 6 දෙනකු අතින් ඇයව සමූහ දූෂනයට ලක්ව ඇති බවය. (එම ප්‍රවෘත්තිය වැඩිදුරට කියවීමට අවශ්‍ය නම් බලන්න) මෙම ප්‍රවෘත්තියේ ශීර්ෂය ලෙස සටහන් කර ඇත්තේ ‘පෙම්වතා ඇතුළු 6 දෙනෙක් තරුණියක දූෂ්‍ය කරලා – 4 දෙනෙක් අත්අඩංගුවේ‘ යන ශිර්ෂයකින් යුතුවය.
පසුගිය කාලය පුරා මෙවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වුවත්, මාධ්‍ය මගින් එම වාර්තා කිරීම් සිදු කර ඇත්තේ එක්කෝ සත්‍ය සැගවෙන ආකාරයට නැතිනම් එහි බියකරැ තත්ත්වය වසන් කරමින්ය. යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයේ සමූහ දූෂණයට ලක්වූ 11 හැවිරිදි දැරිය සම්බන්ධයෙන් දකුණේ මාධ්‍ය වාර්තා කර තිබුණේ සැකකරැවන් ‘ඇප මත මුදා හරින ලදි‘ වැනි දේවල් පමණය. එහි සිදු වූ අපුල දනවන මෙන්ම සිදුකරන ලද බලහත්කාරී ව්‍යසනය පිළිබදව කිසිදු සිදුවීමක් ජනතාව හමුවේ තබන්නට මාධ්‍ය කටයුතු නොකිරීමට පරෙස්සම් විය. ඒ උතුරේ සිදුවන දේවල් නිසා ද විය හැකිය.
දැන්, මෙම සිදු වීමත් වාර්තා කර තිබෙන ආකාරය බලන්න. ‘‘පෙම්වතා ඇතුළු 6 දෙනෙක් තරුණියක දූෂනය කරලා‘, සාමාන්‍ය මිනිස් හැගීමක්, සාමන්‍ය බුද්ධියක් තිබෙන ඕනෑම අයෙකුට තම පෙම්වතියව තවත් පිරිසකට සමූහ දූෂණයට ලක් කිරීමට ඉඩ දෙන්නේ නම් ඔහු එක්කෝ රෝගියෙකි, නැතිනම් පිස්සෙකි. එසේත් නැතිනම් උමතු කාමරාක්ෂයෙකි. නමුත් මේ සිදුවීම පිළිබදව ප්‍රවෘත්තිය තුල තවදුරටත් මෙම රෝගියා, පිස්සා හෝ කාමරාක්ෂයා ‘පෙම්වතෙකු‘ බවට පත් කර තිබෙන්නේ නොවේද? මෙය නූතන ලෝකයේ දියුණු මාධ්‍ය භාවිතාවක් සිදුකරමින් සිටින පරිසරයක මෙවැනි සරල අන්දමින් මෙවැනි දෑ, මෙළෙස වාර්තා කිරීම සමාජයට කෙසේ බලපාන්නේද?. එසේම යම් ලෙසකට සමාජයට දෙනු ලබන වැරදි අර්තකතනයක් නොවේද?. දුෂකයෙක්, තව දුරටත් මාධ්‍ය තුළ ‘පෙම්වතෙක්‘ කිරීමට තරම් අද ඇතැම් මාධ්‍ය නොහිතා හෝ කටයුතු කරමින් තිබීම ඛේදජනකය. එසේම, ‘පෙම්වතෙක්‘, ‘රූමත් කාන්තාවක්‘, ‘දෙමළ කාන්තාවක්‘, ‘මුස්ලිම් කාන්තාවක්‘ වැනි විශේෂන පද යොදමින් ‘අපරාධයන්‘, ‘ලිංගික හිංසනයන්‘, ස්ත්‍රී දූෂණයන් වාර්තා කරන ප්‍රවණතාවයක් අද ද දක්නට තිබේ. මේවා කොතරම් දුරට මාධ්‍ය ආචාරධර්ම සමග ගැලපෙනවාද යන්න කල්පනා කිරීමට ගන්නා කිසිදු උත්සහයක්වත් පෙනෙන්නට නැත. තවද, අද මාධ්‍ය කර්මාන්තයක් බැවින් කිසිදු ආචාරධර්මයන්, සමාජයක තිබිය යුතු ත්ත්වයන් නොසලකා අවශ්‍ය නම් මෙවැනි දෑ විකුණා ගනිමින් විනෝද වීම ඕනෑම අයෙකුට කළ හැකිය. නමුත් එය ඉතාම බියකුරැ බව සටහන් කල යුතුමය. එය ජන සමාජයක තිබිය යුතු උසස් ගුණාංගයන්, උසස් සංස්කෘතික ලක්ෂණයන්වලට එල්ල කරන බරපතල තර්ජනයකි.
මෙවැනිම වාර්තා කරණයක් ලංකාවේ වෙබ් අඩවියක් විසින් පසුගිය ජූනි 12වනදා වාර්තා කර තිබුණේ ය. ඒ ඉන්දියාවේ පොලීසියක් තුළදී පොළිස් නිළධාරීන් විසින් සමූහ දූෂණයට ලක්වන කාන්තාවක් සම්බන්ධයෙනි. එහි දී ලංකාවේ වෙබ් අඩවිය සිය ශීර්ෂය ලෙස ගෙන තිබුනේ ‘එක කාන්තාවක් සමඟ මුළු පොලිසියම රති කෙළියේ.. ‘ යන්නය. සමූහ දූෂණයට ලක් වීම මෙම වෙබ් අඩවියට අනුව ‘රතී කෙලියකි‘. මෙයින් වැටහෙන්නේ දුෂකයින් සේම දූෂණයේ ගද විකුණාගැනීමට ඇතැම් මාධ්‍යන් දරන උත්සහයේ ලැජ්ජා සහගත බව නොවේද?
මෙවැනි පුවත් වාර්තා කිරිම ඉතාමත් පරෙස්සමින් කළ යුතු සේම, සිදු කල යුත්තේ මෙවැනි දූෂකයින් ‘පොරවල්‘ කරනවා වැනි තත්ත්වයකට වඩා ඔවුන්ව සමාජයෙන් බැහැර කළ යුතු දූෂීතයින් බව සිය මාධ්‍ය භාවිතය තුළින් වත් හෙලිදරවු කිරීම නොවේද? එසේ නොමැතිව දුෂණය කරපු ‘එකා‘ තව දුරටත් ‘පෙම්වතෙකු‘ කිරීම තුළ මතු වන්නේ ප්‍රේමය පිළිබදව මාධ්‍ය හසුරැවන්නන් තුළ වන දුප්පත් කමේ මහතද? එසේත් නැති නම් අද ලාංකීය සමාජය තුළ තිබෙන සමස්ථ සංස්කෘතික දූගී භාවයේම දිගුවක් ද?
කෙසේ නමුත් මෙවැනි දේ තුළ ඇසිය යුතු වන්නේ ‘මුන් පෙම්වතුන්ද?‘ කියා නොවේ ද?