Image: Vikalpa File
ජාතිය, ශ්‍රද්ධාවේ අල්තාරය අභියස – විශ්වමිත්ර 1984
සමාජය ජරාවාස වීමේ සියලූ සංඥා ප්රාදුර්භූතව තිබේ: අසාධ්‍ය තත්වයක රෝග ලක්ෂණ බියකරු ලෙසින් රටේ දේශපාලන දේහය වසාගෙන තිබේ. එහෙත් කිසි වෛද්‍යවරයෙකු, ශල්‍ය වෛද්‍යවරයෙකු, මනෝ චිකිත්සකයෙකු හෝ වෙනත් වෛද්‍ය වෘත්තිකයෙකුවත්, සමාජ විද්‍යාඥයෙකුවත් රෝග නිධානය සොයාගෙන නැත. සෑම රෝග ලක්ෂණයකින්ම කියැවෙන්නේ, පැතිරෙමින් පවතින පිලිකා ව්‍යාධියකි. එහෙත් කිසි විශේෂඥයෙකුගේ අධ්‍යයනයට එය හසුව නැත.
මේ ගැන බොහෝ සෙයින් ලියා ඇතත්, කියා ඇතත්, ඇති වන ප්රවණතාවයේ අඩු වීමක් පෙනෙන්ට නැත. ආර්ථික සහ දේශපාලනික තලයේ පමණක් නොව, ඊටත් වඩා සදාචාරමය වශයෙන් සහ සමාජයීය වශයෙන් පරිහානිදායී වන වැරදි දිසාවක රට ගමන් කරමින් සිටී. ඉතාලි ජාතික මහා කිවිවර දාන්තේගේ ‘අවීචිය’ තුළ මුළු ශ්‍රී ලංකාවම සිර වී ඇති සෙයකි.
හිරිකිතක් නැති දූෂණය, දේශපාලනික තන්ත්රයේ සෑම මුල්ලකම ඔඩුදුවන ඥාති සංග්‍රහය, සකල සීමා ඉක්මවන අපරාධ වර්ධනය, විවිධ ප්‍රජාවන් සහ විවිධ ආගමිකයන් අතර ඇවිලෙන වාර්ගික සහ ආගමික වෛරය යන සියල්ල මගින් පෙන්නුම් කරන්නේ, සමාජ අවුලක සහ සදාචාර පරිහානියක කතාවකි.
නැවතත් දාන්තේව උද්ධෘත කොට දක්වන්නේ නම්: ‘‘සදාචාර අර්බුදයක සමාජයක් එරී ඇති වකවානුවක මධ්‍යස්ථව සිටින්නන් සඳහා අවීචියේ අඳුරුම තැන් වෙන් කොට තිබේ.’’
මගේ කෝපය ඒ නිසාම ය. කෝපයට පත්වීම මිනිස් අනුවණ කමකි. එහෙත් මුලින්ම 1971 නැගිටීමේදීත්, 1983 දෙමළ සංහාරයේදීත්, ඊළඟට 87-89 ජනතා විමුක්ති පෙරමුණු ඝාතනවලදී සහ උතුරේ ත්රස්තවාදීන්ට එරෙහි තිස් අවුරුදු යුද්ධයේදීත්, මිනිසාට එරෙහිව මිනිසාත්, දේශපාලඥයාට එරෙහිව දේශපාලඥයාත්, විද්‍යාර්ථියාට එරෙහිව විද්යාර්ථියාත් දැක්වූ ක්රෑරත්වය ඇස්පනා පිට දැක ඇති මගේ ඒ කෝපය ගැන පාඨකයෝ සමාවුව මැනව.
මිනිස් පවුලේ කිසි සාමාජිකයෙකුට එරෙහිව කෝපයට පත්වීම යුක්ති සහගත නොවෙතත්, සදාචාර ප්‍රහේලිකාවකට කෙනෙකු නොදැනුවත්වම මුහුණදෙන්නේය. මන්ද යත්, දාන්තේ කීවා සේ, මොන යම් හෝ පැත්තක් ගැනීමට කෙනෙකු මැළි විය යුතු නැති බැවිනි. මන්ද යත්, පැත්තක් නොගෙන, සිදුවන දේවල් දෙස ඇස් කන් පියාගෙන සිටීම මාරක පාපයක් වන බැවිනි.
මිනිස් ස්වභාවයේ අඳුරු පැත්ත ප්‍රකාශයට පත්වූ මෑතම සිද්ධිය අළුත්ගම කෝලාහලයයි. භ්රාන්තියේ ආවේග ඒ මගින් ඉස්මත්තට ගැනුණු අතර, ඒ ක්‍රියාවලිය තුළ පව්කාරයන්ව සහ අපරාධකාරයන්ව බිහි කෙරුණි. එය මීට වඩා අවිහිංසක භාෂාවකින් පැවසීම ඊටත් වඩා පාපයකි. මේ නිර්දය මාංශ භක්ෂකයෝ, කළ පව් වසා ගැනීම සඳහා දේශානුරාගය සහ භක්තිය පිළිබඳ තමන්ගේම වන සටන්පාඨ නිපදවා ගත්හ. කුහකත්වයේ සහ කෛරාටිකමේ ඝෝර කටුසටහනක් සේ, භූමිය ජාතිය සහ ආගම එහි දී ඇද ගැනුණි. රටේ සිදුවෙමින් පවතින දේවල්, විශේෂයෙන් විවිධ ජාතීන් සහ විවිධ භක්තිකයන් අතර වාර්ගික සහ ආගමික ක්ෂේත්රය තුළ සිදුවෙමින් පවතින දේවල්, නැවත නැවතත් කිසි සැකයකින් තොරව පෙන්නුම් කොට ඇත්තේ, ව්‍යාජ සාරධර්ම සහ පුම්බන ලද ශික්ෂාවන් පිළිබඳ හොර නිරූපණයන් බවයි. අක්මුල් නැති, සංවිධානගත පුද්ගල කණ්ඩායමකට යම් නිශ්චිත අනන්‍යතාවක් සහ වැදගත්කමක් ආරෝපණය කරනු වස්, රට ජාතිය සහ ආගමෙන් එක දිගටම සැපයෙන්නේ නොමිණිය හැකි වටිනාකමකි. එය වෙනත් මාර්ග හරහා ඉටු කරගත නොහේ. එවැනි දේශපාලනික වේදිකාවලින් වැදෑරෙන ධර්ම දේශනා පුහුදුන් දනෝ හිස මුදුනින් ගනිති.
ගත වූ දෙදහස් පන්සිය වසර තුළ උත්කෘෂ්ටත්වයේ ශාන්ත භාවයත් යෝධ චෛතසික සාමයත් අත්කර දුන් ආගමේ අමිල සාරධර්ම සහ සදාතන සත්‍යයන් ගැන දේශනා කරන ඇතැමුන්ගේ සැබෑ ජීවිත, බිරියන්ට අමානුෂිකව සළකන සහ නින්දනීය ජීවන ශෛලීන්ට නතුව ඇති බව කියැවේ. දෙවියන් පිළිබඳ සංකල්පය, විකිණීමට ඉතා පහසු භාණ්ඩයක් බව ඇතැම් ප්‍රාඥයන් පෙන්වා දී ඇත. එසේ වන්නේ, දෙවියන් කෙරෙහි විශ්වාසයේ ඇති ගුණත්, අවිශ්වාස කිරීමේ අගුණත් විශේෂඥයන් විසින් විග්රහ කරනු ලැබීම නිසා ය.
අනිත් අතට, ආගමික හිංසනයේ සහ වාර්ගික උන්මාදයේ රංගනය වූ කලී, දුර්වල විපක්ෂයක ඇති වාසිය පාවිච්චියට ගනිමින් පුද්ගල ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අටවන උගුලක් බව පාරිභෝගික ජනතාව අවබෝධ කරගත් විට, මේ භාණ්ඩය විකුණන්නාගේ අව්‍යාජත්වය අභියෝග කරන නිසි ප්‍රශ්න ඇසීමට පාර්භෝගිකයාට හැකි වනු ඇත. බොහෝ කාලයක් තිස්සේ වැසී තිබූ ඇස් ඒ මගින් විවර කර ගැනීමට අවස්ථාව පෑදෙනු ඇත.
ප්රශ්නය වන්නේ, ඒ දවස කවදා උදාවන්නේ ද යන්නයි. නායකයන්වත්, අනුගාමිකයන්වත් ඒ ගැන උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. ඒ දෙපාර්ශ්වයම ප්රශ්නයේ දැවැන්ත භාවය වටහාගෙන නැත. එක පැත්තකින්, නොදැනුම නිසා ය. තවත් පැත්තකින්, ඒ ගැන ඇති නොසැළකිල්ල නිසා ය.
ස්වකීය අභ්‍යන්තර සාමයේ පිපාසය නිවා ගැනීම සඳහා යෝධ ස්ථූප ගොඩනැගීමට අති විශාල කාලයක් සහ ශ්‍රමයක් කැප කළ සහ නිරාහාර කුඹුරු යායවල් සශ්‍රීක කිරීම සඳහා යෝධ වැව් තැනූ සාඩම්බර ජාතියක්, ඇදහිලි සහ ආධානග්රාහී ලබ්ධීන්හි පැටලී සිටිති. අපේ ජනතාවගෙන් බහුතරයක් කල් නොයවා මේ නාටකය තේරුම් නොගතහොත්, ආගමික වෙළඳුන් සහ හොර වෙද්දුන්ගේ ගොදුරු බවට පත්වෙනු නියති.
වැළපෙන ජාතියක්, ආගමික ශ්‍රද්ධාවේ සහ වාර්ගික ස්වෝත්තමවාදයේ අල්තාරය අභියස අද සිටින්නේ, අසරණ ළමුන් මෙනි. නායකයන් එහි දී අහක බලාගෙන සිටිනවා පමණක් නොව, තමන්ගේ වාසිය සඳහා හිතාමතාම එම ජනතාව නොමගට යැවීමට ද කටයුතු කරනු ඇත.
වර්තමාන පාලන තන්ත්රය විසින් අත්පත් කරගෙන ඇති සියලූ පදක්කම් – ඥාති සංග්‍රහය, දූෂණය, අකාර්යක්ෂමතාව සහ බලයේ උඩඟුව- සියල්ලන්ගේ ඇස්පනාපිට අද පෙනෙන්ට තිබේ. ඒවා ජනතාවගෙන් සඟවාලීමේ අවශ්‍යතාවක් පාලකයන්ට ඇත්තේ ද නැත. එහෙත් අප කරන්නේ අහක බලාගෙන සිටීමයි.
දැකීම ප්‍රතික්ෂේප කරන්නා තරම් පොට්ටයෙකු තවත් නැත.
* 2014 ජුලි 23 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ ‘රෙයා ගාඞ්’ කොලමේ Nation at the Altar of Faith නමින් පළවූ ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙන්