‘‘ත‍්‍රස්තවාදියෝ එකිනෙකාට සම වෙති: රාජ්‍ය ත‍්‍රස්තවාදීන්, ආණ්ඩුවේ වැදගත් මහත්වරු සහ පුද්ගලික ත‍්‍රස්තවාදීන්… දෙවියන් වහන්සේ, අල්ලා හෝ යෙහෝවා වේවා, විවිධ දෙවිවරුන්ගේ නාමයෙන් කටයුතු කරන පිස්සන්.. හැම ත‍්‍රස්තවාදියෙකුම මිනිස් ජීවිතයට ගර්හා කරන බවත්, හැම ත‍්‍රස්තවාදියෙකුම එකිනෙකාගෙන් පෝෂණය වන බවත්, තව කොච්චර කාලයක් නම් අපි නොතකා සිටිමු ද?’’
එදුවාර්දෝ ගැලියානෝ (‘‘හව් මච් ලෝංග?’’)
ඊශ‍්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සැර මදි යැයි කෑගහන සියොන්වාදී සීමාන්තිකයන්ට දැන් අළුත් ආදර්ශයක් ලැබී තිබේ: ශ‍්‍රී ලංකාව. ‘‘හමුදා බලය තිරසාරව පාවිච්චි කොට’’ ගාසා තීරයේ හමාස් සංවිධානයට ‘හොඳ සබ්බුවක් දීමට’’ ලංකාවෙන් ආදර්ශයක් ගන්නැයි සියොන්වාදීහූ ඊශ‍්‍රායල් අගමැතිවරයාට බල කරති.
ඊශ‍්‍රායලය පිහිටුවා ගත් දා සිට කරන ලද සෑම යුද්ධයකින්ම ඊශ‍්‍රායලය ජයගෙන තිබේ. එහෙත් පලස්තීන ප‍්‍රශ්නය නොවිසඳී පවතී. පලස්තීන ප‍්‍රශ්නය, ‘‘අපේ ජීවිත, අපේ අපේක්ෂා සහ අපේ මිනිසත් බව තලා පෙලා විනාශ කරන ගැටුම්කාරී ඇඹරුම් ගලක්’’ වී ඇති බව, ඊශ‍්‍රායල් ජාතික ලෝක ප‍්‍රකට ලේඛක ඬේවිඞ් ග්‍රොස්මාන් ගිය මාසයේ බලවත් සිත් තැවුලින් යුතුව පෙන්වා දුන්නේය.
පාඩම හොඳටම පැහැදිළි ය: හමුදා ජයග‍්‍රහණයන් කොහොමත් කළ හැකිය. එහෙත් හමුදා විසඳුම් කොහෙත්ම දිය නොහැකිය. ගෝලීය හමුදාකරණ සූචිය තුළ ඉහළින්ම සිටින්නේ ඊශ‍්‍රායලයයි. ‘ත‍්‍රස්තවාදීන්’ වශයෙන් ඔවුන් සළකන අයවළුන්ට, ‘බිංදුවක ඉවසීමක්වත් නොදැක්වීම’ ඔවුන්ගේ ප‍්‍රතිපත්තියයි. ඔවුන්ට ඒ කාර්යයේදී හැම දාමත් නොවක්ව අනුග‍්‍රහය දක්වන රටක් තිබේ. ඒ ඇමරිකාවයි. එසේ තිබියදීත්, සාමය සහ සාමාන්‍ය ජීවිතය, හැම දාමත් ඊශ‍්‍රායලයට මගහැරෙයි. පලස්තීන ප‍්‍රශ්නය නොවිසඳී පවතින තාක් කල්, ඊශ‍්‍රායලය අත්කරගන්නා ඕනෑම හමුදා ජයග‍්‍රහණයක්, දේශපාලනික පරාජයක්ම වනු ඇත.
ඊශ‍්‍රායලේ ඒ උපායමාර්ගික අසාර්ථකත්වයෙන් පාඩමක් උගෙන, අපේ යුද්ධාවසානයෙන් පසු වෙනත් මාවතක යන්නට රාජපක්ෂලාට පුලූවන් කම තිබුණි. එහෙත් ඔවුන් එසේ කෙළේ නැත. මන්ද යත්, දෘෂ්ටිවාදී විශ්වාසයන් සහ අවස්ථාවාදී දේශපාලනික අවශ්‍යතා නිසා ය. ඉතිං, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූලඝාතනය කොට වසර පහකුත් ගෙවී තිබියදී ලංකාව තවමත් සිටින්නේ, සැකය, වෛරය සහ කෝන්තරවල පැටලූණු, අළුත් ගැටුම්වල බීජ පහසුවෙන් රෝපණය කළ හැකි, විස සහිත රටක් වශයෙනි.
ශ‍්‍රී ලංකාව සහ ඊශ‍්‍රායලය යන රටවල් දෙකටම එකිනෙකාගෙන් උගත හැකි බව සැබෑව: ඒ, යුද්ධ නොකළ යුත්තේ කෙසේද සහ සාමය ගොඩනොනැගිය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙනි.
පාලක සහෝදරවරු, ඔවුන්ගේ ඉහත සඳහන් සියොන්වාදී ලෝලීන් සේම, වාර්ගික ප‍්‍රශ්නයක් ඇති බව නොපිළිගනිති. ඔවුන් ලංකාව සළකන්නේ, සුළුජාතීන් කර බාගෙන ජීවත් විය යුතු, සිංහල=බෞද්ධ ශුද්ධ වූ දේශයක් වශයෙනි. එනයින්ම, සුළුජාතික දුක්ගැනවිලි ඔවුන් සලකන්නේ, සතුරු වූත්, අවජාතක වූත් මැසිවිල්ලක් වශයෙනි. ඕනෑම සුළුජාතික ‘ප‍්‍රශ්නයක්’, ජාතික ආරක්ෂාවට බලපාන කාරණයක් වශයෙන් ගන්නා ඔවුහූ, දරදඬු නීතිරීති සහ පොලිස්/මිලිටරි ක‍්‍රියාවන් හරහා ඒවා විසඳිය යුතුව ඇතැ යි විශ්වාස කරති. අංගෙඡ්දනයට ලක්ව හෝ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය තවමත් තිබේ. ඒ, දේශපාලන විසඳුමක් ගැන රාජපක්ෂලා තුළ ඇති විශ්වාසයක් නිසා නොව, ඕනෑවට වඩා ඉන්දියාව තරහා කර ගැනීමට උවමනාවක් තවම ඔවුන් තුළ නැති බැවිනි. විවිධ ‘දේශීය විසඳුම්’ සඳහා ඔවුන් ගත් ප‍්‍රයත්නයන්, හුදෙක් සැබෑව වසංගන ව්‍යාජයන් ය. රැුවටීම් ය.
ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුබද්ධ ‘සංකීර්ණ ක‍්‍රියාන්විතයන් පිළිබඳ මධ්‍යස්ථානය’ පළ කරන ‘ප‍්‍රිසම්’ නැමැති සඟරාවට ලිපියක් ලියමින්, ගෝඨාභය රාජපක්ෂ මේ ලෝක දැක්ම යළි තහවුරු කෙළේය. වඩාත් කපටි නුවණින් යුත් අනිත් සහෝදරයන් සැලසුම් කරන වෙනස්කම් ගැන පූර්ව නිමිති අපට බොහෝ විට ගෙන එන්නේ ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඇමරිකාවේ නිල පාඨක සමාජයකට ලියූ ඔහුගේ එකී වචන, රාජපක්ෂලාගේ තුන්වැනි පාලන සමයකුත් ඇති වුණොත් ලංකාවට විය හැකි වින්නැහිය තේරුම් ගැනීම සඳහා අපට වැදගත් වන්නේය.
ගෝඨාභය ධර්මතාව
‘‘ශ‍්‍රී ලංකාව තම ඉතිහාසයෙන් පාඩම් උගෙන, ඉතිහාසය නැවත රඟදැක්වීමට ඉඩ නොතැබිය යුතු’’ යැයි, ගෝඨාභය රාජපක්ෂ කියයි. එය නම් සැබෑවක්මයි. එහෙත් සියල්ල රඳා පවතින්නේ, අතීතය යන්න වටහාගන්නේ කෙසේද යන්න මතයි. රාජපක්ෂ=කතාව තුළ, එම අතීතයේ ‘සිංහල පමණයි’ යනුවෙන් දෙයක් තිබී නැත. අධ්‍යාපනික ප‍්‍රමිතිකරණය හෝ වෙනත් සිංහල ස්වෝත්තමවාදී සීමාන්තික දේවල් සිදුව නැත. ඊලාම් යුද්ධයට දේශපාලනික අක්මුල් නැත. දෙමළ බෙදුම්වාදය යනු, හුදෙක් වෙන්වීම සඳහා වන දෙමළ ආශාවක ප‍්‍රතිඵලයක් පමණි.
අතීතය පිළිබඳ ඇති කරගන්නා වැටහීම එවැන්නක් වන විට, අනාගතය ගොඩනැගිය හැක්කේ, එක අච්චුවක් තුළම පමණි: තිබෙන නීතිරීති තවත් දැඩි කිරීම, හමුදාකරණය තවත් වැඩි කිරීම සහ වැඩි මාත‍්‍රාවෙන් මර්දනය දියත් කිරීම ඒ වට්ටෝරුවයි.
(පහත පළවන්නේ, එම ලිපියේ අඩංගු ඇතැම් අනු-කොටස් ය)
‘‘ත‍්‍රස්තවාදය නැවත හිස එසවීමේ අවකාශය’’
සැබෑ එල්ලය- දෙමළ ජාතික සන්ධානය සහ වෙනත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෙමළ ජාතිකයන්.
‘‘එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර ජාලයෙන් සහ විදේශයන්හි ජීවත් වන එල්.ටී.ටී.ඊ. හිතවාදී කොටස්වලින් මුදල් ආධාර ලබන කණ්ඩායම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහය තුළ පවා සිටී. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුණුවරක් ඔවුන් පෙන්වුවද, ඔවුන්ගේ ක‍්‍රියාවන් සහ ප‍්‍රකාශයන්ගෙන් පැහැදිළි වන්නේ, අන්තවාදී බෙදුම්වාදී දෘෂ්ටිවාදය තවම තුරන්ව නැති බවයි. ඔවුන්ගේ අවසාන අරමුණ, ලංකාව බෙදා වෙන් කිරීමයි. ඔවුන්ගේ ක‍්‍රියාවන් සහ ප‍්‍රකාශයන්හි ප‍්‍රතිඵලයක් වශයෙන්, ඇතැම් රැුඩිකල් කොටස් බෙදුම්වාදයේ නාමයෙන් නැවත ආයුධ අතට ගැනීමේ සැබෑ ශක්‍යතාවක් තිබේ. මෙය, වඩාත් බරසාරව අප විසින් සැලකිල්ලට ගත යුතු, ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රධාන තර්ජනයකි.’’
ගෝඨාභය මහතාගේ කේවට්ටයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න, යුද්ධය අවසන් වීමෙන් පසු දෙමළ ජාතික සන්ධානයට දේශපාලනයේ යෙදීමට ඉඩ හැරීම ගැන මෑතකදී ආණ්ඩුව විවේචනය කොට තිබීම හුදු අහම්බයක් විය නොහැක. ඊළඟ මැතිවරණයෙන් පසු ඒ ‘වරද’ හරි ගස්සා ගැනීමට පුලූවන් වේවි. ඒ, ත‍්‍රස්තවාදී චෝදනා මත දෙමළ ජාතික සන්ධානය තහනම් කිරීමෙනි.
‘වෙනත් අන්තවාදී කල්ලිවල නැගීම’
සැබෑ එල්ලය- ජනතා විමුක්ති පෙරමුණ/දකුණේ විරෝධය
‘‘මොවුන් වනාහී, මීට පෙර ඇති වූ කැරලිවලින් ඉතිරි වූ සුන්බුන් ය. ඔවුන්ගේ වාම අන්තවාදී අරමුණු සඳහා නැවත වරක් ජනතාව පෙළගැස්වීමට ඇතැමෙක් බලති. මේ කණ්ඩායම්වලින් සමහරක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අනුබද්ධිත ඒජන්තයන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට පටන්ගෙන ඇති බවට තොරතුරු තිබේ. ඔවුන්ගේ ඇතැම් ක‍්‍රියාවන් අතර, ශිෂ්‍යන්ව රැුඩිකල්වාදයට තල්ලූ කිරීම සහ විවිධ විරෝධතා මාර්ගයෙන් ඔවුන්ව වීදි බැස්සවීම ආදිය පෙනෙන්ට තිබේ.’’
ඊළඟ මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව, දේශපාලනික, වෘත්තීය සමිති සහ ශිෂ්‍ය ක‍්‍රියාකාරකම් මැඩලන මර්දන රැුල්ලක් රාජපක්ෂලා දියත් කරනු ඇත. එක්සත් ජාතික පක්ෂයේ වඩාත් සක‍්‍රීය අයවළුන් පවා ඊට ගොදුරු විය හැකිය. දේශපාලනය කිරීමට අවසරයක් ලැබෙනු ඇත්තේ, රාජපක්ෂවාදි විපක්ෂයකට පමණි.
‘වර්ගාන්තර ගැටුම් සහ ජාතිවාදී ප‍්‍රචණ්ඩත්වය උග‍්‍ර වීම’
සැබෑ එල්ලය- මුස්ලිම් ජනතාව
‘‘සිංහල සහ දෙමළ ප‍්‍රජාවන් පමණක් නොව, මුස්ලිම් ප‍්‍රජාව ද, යුද්ධ කාලයේ එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදයෙන් බැටකෑහ. ඒ කාලය තුළ, එල්.ටී.ටී.ඊ. සංවිධානයට විරුද්ධව සිය ආරක්ෂාව සපයා ගැනීමට මුස්ලිම්වරුන් සංවිධානය වූණි. මේ ස්වයං-ආරක්ෂාවෙන් බොහෝ සෙයින් එහා යන ක‍්‍රියාකාරකම්වලට, යුද්ධය අවසානයෙන් පසුව, ඇතැම් මුස්ලිම් කණ්ඩායම් යොමුවී සිටිති. ලෝක ඉස්ලාමීය ත‍්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධකම් ගොඩනගා ගැනීමට එවැනි ඇතැම් කණ්ඩායම් උත්සාහ කොට ඇති බවට තොරතුරු තිබේ… එසේම, ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව, වැඩි වැඩියෙන් ජාත්‍යන්තර මුස්ලිම් ප‍්‍රජාව සමග අනන්‍ය වෙනවා දැකීමට ආශා කරන ඇතැම් විදේශීය කණ්ඩායම් ද සිටිති. ආගමික අන්තවාදයක් පැත්තට ජගත් මුස්ලිම් ප‍්‍රජාව තල්ලූ කිරීමට කැසකවන සැප්තැම්බර් 11 සිද්ධියෙන් පසු මේ ප‍්‍රවණතාව වැඩියත්ම පෙනෙන්ට තිබේ.’’
ආර්ථික අඟහිඟකම්වලින් පෙලෙන සිංහල බහුතරය නිශ්ශබ්ද කොට තබා ගැනීමට, මුස්ලිම්-විරෝධී උමතුවක් ගොඩනැංවෙනු ඇත. ගෝඨාභය මහතා හදාවඩා ගත් රට වන ඇමරිකාව සමග මුස්ලිම්-විරෝධී පාලමක් ගොඩනගා ගැනීමට, ව්‍යාජ අයි.සී.අයි.එස්. තර්ජනයක භීතියක් පාවිච්චි කිරීමටත් පුලූවන.
‘සමාජ මාධ්‍ය ඇතුළු, සම්ප‍්‍රදායික-නොවන, තාක්ෂණමය තර්ජන’
සැබෑ එල්ලය- රාජපක්ෂ විවේචකයන් සහ රාජපක්ෂ-විරෝධී විපක්ෂයෙන් ඉතිරිව සිටින කොටස්.
‘‘අවසාන තර්ජනය වන්නේ, මූණුපොත, ට්විටර් සහ වෙනත් වෙබ් ජාල ඇතුළු සමාජ මාධ්‍යන්හි නැගීමයි.. යටි අරමුණු ඇති කොටස් විසින් ඇතැම් දෘෂ්ටිවාද අන්තර්ජාලය ඔස්සේ මුදා හැරීම මගින් මිනිසුන් සංවිධානය කිරීමටත්, ප‍්‍රශ්න ඇති කිරීමටත් බැලිය හැකිය. මෙය, පුද්ගලිකව යම් තැනක පෙනී නොසිටිමින් කළ හැකි දෙයකි. එය, ජාතික ආරක්ෂාව පිළිබඳ සම්ප‍්‍රදායික ක‍්‍රම හරහා කලමනාකරණය කර ගැනීමට අපහසු තර්ජනයකි.’’
නිගමනය:
‘‘ප‍්‍රහාරාත්මක හමුදා ක‍්‍රියාකාරීත්වයක් සඳහා හදිසි අවශ්‍යතාවක් දැනට ශ‍්‍රී ලංකාවට නැති වුවද, තිබෙන ආරක්ෂක විධිවිධාන ලිහිල් නොකිරීම අත්‍යාවශ්‍යව තිබේ.. ශ‍්‍රී ලංකාව පුරා වැදගත් ස්ථානවල හමුදාව රැුඳී සිටීම තවමත් අවශ්‍ය කෙරේ. විශේෂයෙන්, උතුර සහ නැගෙනහිර..’’
අනාගතය පිළිබඳ ඒ සා පැහැදිළි පෙරනිමිත්තක් තවත් තිබිය නොහැක. ජනාධිපතිවරණයක ජයග‍්‍රහණයකින් පසු, ජාතික ආරක්ෂාව සැලසීමේ මුවාවෙන්, පවුල් පාලනයට සහ වංශයේ අනුප‍්‍රාප්තියට ඇති සකල තර්ජන දියාරු කිරීමේ අතිශය දයා විරහිත ක‍්‍රියාන්විතයක් රාජපක්ෂලා එළිදක්වනු ඇත. දේශපේ‍්‍රමය වශයෙන් වෙස් ගන්වා කරලියට දැමෙන සැකය, අසහනය සහ වෛරය පෙරටු කොටගත් ශ‍්‍රී ලංකාව, පුද්ගලිකවත්, දේශපාලනිකවත්, වාර්ගික-ආගමිකව සහ පංතිමයවත්, තමන් සමගම නිරතුරුව යුද වැදෙන සමාජයක් බවට පත්වෙනු ඇත.
තිසරණී ගුණසේකර
* 2014 අගෝස්තු 21 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Rajapaksa Security: Lankan Insecurity නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්