මීට සතියකට පමණ පෙර ලංකීය ඡායාරූප කලා ඉතිහාසයේ නිර්භීත විශිෂ්ට ඡායාරූප කලාකරුවෙකු වූ මීගමුවේ වෛද්‍ය එම්. එස්. එන් වීරකෝන් මහතා යාන්තම් දහ දොළොස් දෙනෙකු තරමේ ඡායාරූප ශිල්පීන් සහභාගී වූ අවමගුල් පෙරහැරකින් අවසන් ගමන් ගිය බව අසන්නට ලැබුණි.
හැම හන්දියක් හන්දියක් ගානේ එක බැගින් නොව එක හන්දියක දෙක තුන බැගින් ඡායාරූප ශාලා තිබෙන විකෘති වෙළඳපොල ධනවාදයේ තෝතැන්නක් බවට පත් වූ ලංකාව තුළ කලාකරුවන් හා කලා වෙළඳුන් අතර වෙනස එකී මළගම තුළ වෛද්‍ය වීරකෝන්ගේ ප‍්‍රබල ඡායාරූපයක පරිදිම සටහන් වූයේ යැයි මම සිතමි.
නිරුවත කලාත්ම ප‍්‍රකාශනයක් සේ ඡායාරූප කලාව තුළ සිත්තම් කළ මේ පුරෝගාමී ලාංකීක කලාකරුවා තම ඩිස්පැන්සරිය තුළ ඡායාරූප කලා ඩිස්පැන්සරියක්ද නොමිලේ පවත්වාගත් බව දන්නෝ දනිති. ඕනෑම ඡායාරූප ශිල්පියෙකුට තම ඡායාරූපක් එහි ලෙඩ දුක්, ගුණ දොස් විචාරන්නට දෙපැයක කාලයක් එතුමා වෙන් කර තිබුණි.
ඡායාරූප පමණක් නොව මිනිසුන්ද, දේවල්, ද්‍රව්‍ය, බඩු භාණ්ඩ බවට පත් කර ගත් සේරිවාණිජ පරපුරට දොස්තර වීරකෝන්ලා අමතකවයාම පුදුමයක් නොවේ.
අද අපි එකතු වී සිටින්නේ දොස්තර වීරකෝන්ලාගේ පරපුරට අයත් වූ නිශ්චල ඡායාරූපය නොව චලන චිත‍්‍රයේ හෙවත් සිනමාවේ මෙන්ම රූපවාහිනියේද පෙළහර පෑ මීගමුවට ඥාතිකම් කියන විශිෂ්ට සිනමාකරුවෙකුගේ වෙනස් ආකාරයක සමුගැන්මකට සුභ පතන්නයි.
ඡායාරූපශාලා සියගණනින් වැඩි වුවද 70 දශකයේ අග තිබූ සිනමාශාලා 360, 140 දක්වා අඩුවී ඉනුත් හොද සිනමාශාලා අතේ ඇඟිලි ගානට අඩු වූ සිනමා කර්මාන්තයක් තිබෙන රටක බොහෝ විට සිනමාවේ තිරය පිටුපස කාර්යයට උර දුන් ජයමාන්නයන්ව අගයන්නට මේ ටික දෙනා සිටීමද සතුටකි.
මා ඇන්ඩෲ ජයමාන්නයන් දොස්තර වීරකෝන්ගේ පරපුරට අයත් යැයි කීවේ කලා වෙළඳාම වෙනුවට කලා නිර්මාණය, තමා පොරවීම වෙනුවට අනෙකාට අතදීම, හීනව ගැතිකම්පානු වෙනුවට අදීනව නොගැතිව පෙනී සිටීම තමා අනුදත් කලාව තුළ එඩිතරව ක‍්‍රියා කිරීම, තමා අතපෙවූ කලාවට අවංකවීම ජීවිත වටිනාකම් සේ සැලකූ පරම්පරාවට ඔහු අයිති බව කියන්නයි.
අනෙක් අතට ජයමාන්නයන් නමින්ම අයත් වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස්, ටයිටස් තොටවත්ත වැනි බටහිර ආභාෂය ඇති එහෙත් ගැති නැති දූපත්වාසී මානසිකත්වයෙන් ඔබ්බට ගිය නිදහස් මනසක් සහිත කණ්ඩායමටය.
ඇන්ඩෲ යන ඉංග‍්‍රීසි නමේ සිංහල අරුත වන්නේ වික‍්‍රමවත් නැතිනම් වික‍්‍රමාන්විත යන්නයි. ඇන්ඩෲ ජයමාන්නයන් ඇදහූ ක‍්‍රිස්තියානියේ කිතුතුමන්ගේ නිර්භීත ශ‍්‍රාවකයෙකුට ද ඒ නම විය. මා ඇන්ඩෲ ජයමාන්නයන් දකින්නේ තම අරුතට ගැලපෙන පරිදිම තම විෂය ක්ෂේත‍්‍රය තුළ වික‍්‍රමයක් සිදු කළ වික‍්‍රමවත් මිනිසෙකු ලෙසය.
තාක්ෂණය ඉතා අඩු, ප‍්‍රාග් ධනය ඉතා අඩු කාල වකවානුවක ඇන්ඩෲ ජයමාන්නයන් ඔහුගේ පරපුර සමඟ කළ වික‍්‍රමාන්විත ක‍්‍රියා, සිංහල සිනමා ඉතිහාසයේ එක් පරිච්ඡේදයක සටහන් විය යුතුමය. එහෙත් ඉතිහාසය පුරාම සිදුවූවා සේ රජුන් මැති ඇමතියන්ගේ වන්දිභට්ටයින් විසින් සිංහල සිනමාවේ මහා වංශය ලියන විට අධ්‍යක්ෂකවරු, නළු නිලියන් මැති ඇමතිවරු ප‍්‍රමුඛ වී පස්සෙන් වැටී ප‍්‍රශස්ති නොගැයූ ජයමාන්නයන් වැන්නවුන්ට අදාල පරිච්ඡේද නොලියවෙන්නට ඉඩ කඩ ඇත.
ඒ නිසා කෘතඥතාව හොද ගුණධර්මයක් නොව සියලූ හොඳ ගුණධර්මයන්හි මූලාරම්භය යන සත්‍යය පසක් කරමින් අද මේ උත්සවය සංවිධානය කිරීමටද මුල් වූ ධර්මසිරි බණ්ඩාරණායකයන් වැන්නවුන් විසින් අවංකයන්ගේ සිනමා වංශය ලිවිය යුතු යැයි මම සිතමි. අද පැවැත්වෙන මේ සරල චාම් උත්සවය ඇගයුම එවන් උත්සාහයක් ලෙස අගයමි.
රුසියානු මහා ගත්කතුවරයෙකුගේ බිරිඳ ගැන ලියැවුණු පොතක් සිංහලට පරිවර්ථනය වී තිබුණේ ‘‘මහා පුරුෂයෙකුට බිරිඳක්ව” යනුවෙනි. එසේ නොකියා ඒ කතාව ‘‘මහා ස්ත‍්‍රීයකගේ කතාවකි” යනුවෙන් හඳුන්වන්නට බැරිදැයි එය කියවන විට මට සිතුණි. මහා පුරුෂයෙකුගේ සෙවනැල්ලට මහා ස්ත‍්‍රීයක් වැසී ගියා සේ ලංකාව තුළ මහා සිනමාකරුවන්ගේ සෙවනැල්ලට ඇන්ඩෲ ජයමාන්නයන් නැමැති සිනමා පෞරුෂය ද වැසී ගියා දැයි මට සිතේ. නමුත් මා තිරසරව පවසා සිටින්නේ ඇන්ඩෲ ජයමාන්න සිනමාවේ මහා පුරුෂයෙකු බවයි. මහා පෞරුෂයක් බවයි.
සැලෝලයිට් පටිය තුළ බයිස්කෝප් වෙනුවට සිනමාව සිත්තම් කිරීමට පුරෝගාමී වූවන් අතර ජයමාන්නයන්ද දැවැන්තයෙකි. අධ්‍යක්ෂකවරයාගේ මාධ්‍ය වූ සිනමාවේදී කැමරා අධ්‍යක්ෂකවරයා, කාර්මික ශිල්පියා එතරම් මතු වී නොපෙනුනත් ඔහුට සිනමාවේදියා යැයි ව්‍යවහාරයේ නොවුනත් මා සිතන්නේ ජයමාන්නයන් සිනමාවේදියෙකු බවයි.
ඇන්ඩෲ ජයමාන්නයන් සතු සිනමා දැනුමෙන්, පරිචයෙන්, ප‍්‍රතිභාවෙන්, අංශුමාත‍්‍රයක්වත් නැති සේරිවාණිජ කලා භෂ්ටයන් මහා සිනමාකරුවන් සේ ප‍්‍රතිරූප සාදා ගන්නා විපරිත වාණිජ ලෝකය තුළ දේශපාලන වන්දිභට්ටයින් හා දේශපාලන තෙල් බෙහෙත්කරුවන් වූ කලා විහීන කලාකරුවන් නොවන කුලීකරුවන් සම්මානයට, උපහාරයට, පිනාචාර්ය පදවියෙන් පිදුම් ලැබීමට ලක් වන දේශපාලන ලෝකය තුළ ජයමාන්නයන්ට එවැනි ගෞරව නාමයක් නොලැබීම, එවැනි දේශපාලන උපහාරයක් නොලැබීම ඔහුට ගෞරවයක් සේ සැලකිය හැකිය.
රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙන මේ ඇගයුම් උළෙලේදී ජයමාන්නයන්ගේ වැදගත් කාරණය ලෙස මා දකින දේ කියන්නට සුදුසුම උපමාව වන්නේ වින්ගීස් ආයිත්මාතව් නම් රුසියානු ගත්කරුගේ ගුරු ගීතයේ දුයිෂෙන් චරිතයයි.
ජයමාන්නයෝ මෙරට සිනමා ඉගැන්වීමේ මහා ඇඳුරාණන් කෙනෙකි. රාජ ගුරු කෙනෙකි. ඔහු විධිමත් ශාස්ත‍්‍රාලීය අධ්‍යාපනයකින් සිනමාව පිළිබඳ උපාධි හදාරා නොතිබුණද සිනමාව පිළිබඳ ඔහු උපයාගත් දැනුම නිර්ලෝභීව බෙදා දුන් දුයිෂෙන් ගුරුතුමා විය.
සිනමා පාසලක් නොමැති යුගයක ලාංකීය සිනමාවේ දුයිෂෙන් පාසල සේ සැලකිය හැකි OCIC සිනමා පාඨමාලාවේ මහැදුරු ඔහු විය. ඔහුගේ ගෝලයෝ සත් සමුදුර තරණය කර විසල් ජයග‍්‍රහණ ලබන විටද ඔහු අද දක්වා අලූත් පරපුරකට සිනමා දැනුම බෙදා දෙන පරණ පුරුදු මිනිසාමය.
අප පවත්වන මේ කතාව සභාව හඳුන්වා දීමේදී ජයමාන්නයන් හා පල්ලිය අතර සබඳතාවයන් ජයමාන්නයන්ගේ ක‍්‍රිස්තු අනුගාමිකත්වයත් ගැන යමක් කීමටද ආරාධනයක් විය. අප දකින්නේ කිතු තුමා කී වෛද්‍යවරයෙකු අවශ්‍ය වන්නේ රෝගීන්ටය යන වදන තුළ පිහිටා ඔහු සිනමාව ගැන මෙලෝ හසරක් නොදන්නා අයට ඇතැම් විට සා.පෙළ උ.පෙළත් අසමත් අයටද සිනමා දැනුම කිසිදු ගුරු මුෂ්ටියක් තබා නොගෙනම බෙදා දුන් මිනිසෙකි. යහපත් එඬේරෙකි. මෙහෙ වරෙන්, මේක කරපන්, මොකක්ද මේ කෙරුවේ. මේකද උඹට ඉගැන්නුවේ වැනි සැර වචන කුණු බැනුමක් සේ පෙනුනද ඒ තුළින් ඔහු ඉගැන්වීමට තිබූ කැපවීම ප‍්‍රකාශ කළේය.
ඔහු සිනමා ක්ෂේත‍්‍රය තුළ බිය නැති පර්යේෂකයෙකු විය. තමා කැප වූ කාර්යය අකුරටම ඉටු කිරීමට උත්සහ කළ මිනිසෙකු විය. ඒ නිසාම ඔහු තමාගේ ක්ෂේත‍්‍රයට මෙන්ම උපන් බිමටද ණය නැති මිනිසෙකි.
ගැත්තන් හීලෑ වුවන්, වසල වෙළෙන්දන් එහෙත් නොමැතිනම් මුනිවත රකින්නන් පමණක් ඉල්ලා සිටින අදීන මිනිසුන්, සන්සුන් නොගැති ජීවිත පතන මිනිසුන් පලවා හරින ආශ්චර්යමත් මව් බිමක් හමුවේ තම දුවා දරුවන් සිටින විදේශයකට තම ජීවිතයේ එළඹෙන සන්ධ්‍යා සමය ගතකිරීමට යාමට සූදානම් වන මේ මොහොතේ ඔහු අගයන, ඔහුට සමුදෙන මේ හමුව තුළ අපට කිව හැක්කේ ඔබ මේ බිමට ණය නැති මිනිසෙකු බවයි. ඔබේ හැරයාම මව්බිමට මිස ඔබට දුකක් නොවිය යුතු බවයි.
කවුරුන් ඉදිරියේ වුව නොබියව නොපැකිලව සිනමාව ගැන කතා කළ හැකි ප‍්‍රත්‍යක්ෂ දැනුමක් ඔහු සතු විය. ඔහු ඉතාම ආධුනියන්ට වුවද දැනුම දීමට කැප වූ නොනස්නා තාරුණ්‍යයෙන් හා නොපසුබට වීර්යයෙන් යුතුව තමා සතු සිනමා ඥානය අන් අය හා බෙදා ගැනීමට නොසන්සිඳෙන ආශාවක් ඔහු සතු විය.
මේ කරුනු ද්විත්වය ගැන අපේ අත්දැකීම් දෙකක් පවසන්නට මා කැමතිය. මා ගුරුවරයෙකු ලෙස සේවය කරන බාලිකා පාසල වෘතාන්ත සිනමා පටයක් කිරීමට සැලසුම් කළ අවස්ථාවේදී එයට එරෙහිව ආ මතවාද වලට පිලිතුරු දිය හැකි පිළිගත් චරිතයක් මා විසින් සොයද්දි පෝරුතොට පියතුමා නිර්දේශ කළේ ජයමාන්නයන්වය. ජයමාන්නයෝ පාප්තුමන්ලාව පවා උපුටා දක්වමින් අදහස් දැක් වූ පසු සියලූ විරුද්ධ මතවාද නිහඬ විය. දැරියන් දුටු සිනමා සිහිනය සැබෑ වන්නට ඒ ප‍්‍රබල ප‍්‍රත්‍යක්ෂ අදහස් මුල් විය.
දෙවැන්න නම් අප මීට මාස කිහිපයකට පෙර ඉතාමත් ආධුනික පිරිසකට සංවිධානය කළ සිනමා පාඨමාලාව ජයමාන්නයන් මෙහෙයවූ ආකාරයයි. ඔහු පුරා තෙදිනක් පාන්දර තුන හතර වන තුරු අවදිව මේ ආධුනිකයන් සමඟ ගනුදෙනු කළ ආකාරය ඒ තරුණ පිරිසට අභියෝගයක් විය. ජයමාන්නයන් අප දකින්නේ සනත් කුමාර කෙනෙකු ලෙසිනි. එනම් සනාතන හෙවත් සදාතනික තරුණයෙකු ලෙසයි. තවමත් ඔහුට තරුණයන් සමඟ තරුණයෙකු ලෙස වැඩ කළ හැකිය. ඔහුගේ දැනුමද සැමදා තරුණය.
ජයමාන්නයන් මෙන්ම වැඩකිරීමෙන් උකහාගත් දැනුමෙන් පෝෂිත පෝරුතොට පියතුමා ඔහුගෙන් වැඩ ගත්තේය. පෝරුතොට පියතුමා OCIC පාඨමාලාවේ භාරකාර නිර්මාතෘ වෙද්දී ඔහු එහි දිසාපාමොක් ආචාර්යවරයා විය. එහෙත් අවාසනාවක් වන්නේ පෝරුතොට පියතුමාගෙන් පසු ඔහුගෙන් ඒ තරම් වැඩක් ගන්නට නොහැකි වීමයි.
ඉතින් ජයමාන්නයෙනි මෙරට සිනමාවට දර දිය ඇද්ද බොහෝ විට පෙර හැරේ නොගිය අද ද පළමු පේලියේ නොව තුන්වෙනි පේලියේ වාඩි වී සිටින ඔබ, කොට ඇද්ද මහා සිනමා හස්තිරාජයෙකි. මා පෙර කී ලෙස මදක් වසා දැමුණු චරිතයක් සේ පෙනී ගියද ලාංකීය සිනමා ඉතිහාසයේ වසා දැමිය නොහැකි පෞරුෂයකි. ඔබ….
වැඩ කිරීම පිලිබඳ ඔබ පෙන්වූ සනාතන තාරුණ්‍යයේ අභියෝගය බාරගන්නට අපි සියල්ලන්ට හැකි වේවායි පතමු. ඔබ අපට අභියෝගයකි.
2012 වසරේදී පැවති ඇන්ඩෲ ජයමාන්න ශූරීන්ගේ පනස් වසරක සිනමා දිවිය ඇගයුම් උළෙලේදී කිතුසර සංස්කාරක මහින්ද නාමල් සොහොයුරා කළ දේශනය ඇසුරිනි.