එක්ව සටන් වැදුනු සඟයෙකු මෙන්ම ආදරණීය මිතුරෙකු වූ සරත් ජස්ටින් සොයුරාගේ නික්ම යාම පිළිබඳ පණිවිඩය මා වෙත පැමිණුනේ වේදනාවක් ඇති කරමිනි. මගේ පැරණි මිතුරන්ගේ මිතුරියන්ගේ ස්වභාවික නික්ම යාම් දැන් දැන් දිනෙන් දින සිදු වෙමින් පවතී. ඒත් එම මිතුරන්ගෙන් අවසන් සමුගැනීම ද අපට අහිමි කර ඇති බව දැනෙන විට එක්තරා අසරණ බවකින් මා වෙලා ගනු ලැබීය.
සෑම සමාජයකම මිනිසුන් තමන්ගේ හිතවතුන් හිතවතියන් ඥාතීන්ගේ වියෝවකදී ඔවුන්ගෙන් අවසන් වරට සමුගැනීම ශිෂ්ඨ සම්පන්න සමාජයකට හිමිකම් කියයි. ඒ ඒ සමාජයන්හි සමාජ චාරිත්‍ර අනුව මේ සමුගැනීම් විවිධ ස්වරූප ගත්තා වුවද සෑම සමාජයකටම පොදු ලක්ෂණය වන්නේ සමුගැනීමයි. ඒත් ලංකාව වැනි හතර අතට වල් බිහිවී ඇති දේශපාලන සමාජයක් තුල තම සහෘදයන්ගෙන් සමුගැනීමට ඇති ඒ අයිතිය අහිමි කළ වුන් කොපමණ සිටීද?
සරත් ජස්ටින් සොයුරාව මා මුලින්ම හදුනාගත්තේ 1969 අග දිනක හෝ නැතිනම් හැත්තෑවෙ මුල දිනකදීය. ඒ වන විට අත්අඩංගුවට ගෙන සිටි රෝහණ විජේවීර සහ ගටසිරා නුවරඑළිය උසාවියට ඉදිරිපත් කරනු ලැබූ අතර එම නඩු විභාගයට සහභාගි වීම සඳහා අප නානුඔය දක්වා දුම්රියෙන් ගමන් කළෙමු. ඒ වන විට සරත් ජස්ටින් සොයුරා ධීවර අමාත්‍යංශයේ වැඩ කරමින් සිටි අතර මීගමුවේ අප සංවිධානයේ සාමාජිකයෙකු ගැන විස්තර දැන ගැනීම සඳහා කෑගල්ලේ සරත් විජේසිංහ සොයුරා විසින් මට සරත් ජස්ටින් සොයුරාව නානුඔය බලා යන දුම්රිය තුලදී හදුන්වා දෙනු ලැබීය. එදා සිට අද දක්වා අප අතර සබඳකම නොකඩවාම පැවතුණි. හැමන්හිල් දූපත් හිරගෙය තුල මෙන්ම බෝගම්බර හිරගෙය තුලද අපි එකට සිටියෙමු. අපේම දේශපාලන ක්රියාදාමයේ වැරදි ගැන, ඒවා නිවැරදි කර ගන්නා ආකාරය ගැන එක්ව සාකච්ඡා කළෙමු. තීක්ෂණ බුද්ධියකට හිමිකම් කියූ සරත් ජස්ටින් සොයුරාගෙන් අපි එදාද බොහෝ දේ උගත්තෙමු. අපේම සංවිධානයේ දේශපාලන වැරදි ගැන අදහස් ඉදිරිපත් කිරීම තුලින් අපට එදා සිරගෙය තුලදී අපේම සොයුරන්ගේ ප්රචන්ඩ ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවුනෙමු. නමුත් නිවැරදි දේශපාලනයක් සඳහා වූ අපේ උවමනාව මේ කිසිවෙකුට සරත්ගෙන් හෝ අපෙන් උදුරාගත නොහැකි විය.
77 න් පසු හිරගෙවල් වලින් එළියට ආ අපි එක්ව සහ වෙන්ව නමුත් එකම අරමුණක සිට දේශපාලන සමාජ ක්‍රියාවන්හි යෙදුනෙමු. 77 න් පසු මා රහසිගතව ජීවත් වූ කාලයේ කොළඹ පැමිණි සෑම දිනකම මා රාත්‍රිය ගත කලේ සරත්ලාගේ මොරටුවේ නිවසේය. අපට පමණක් නොව මදුරුවන්ටද නවාතැනක් වූ මොරටු නිවසේ නිදි නැති රාත්‍රීන් පුරා අපි දේශපාලන සාකච්ඡාවල යෙදුනේ මදුරු කරදරය නිසා පමණක් නොව විවිධ සමාජ දේශපාලන තල තුල වැඩකළ බොහෝ සොයුරන්ගේ නවාතැන වූ ඔවුන්ගේ නිවස තුලදී මුණ ගැසුණු විවිධ මතධාරීන්ට තම මත ගැන තර්ක විතර්කයනට එතැන හොඳ තෝතැන්නක් වී තිබූ බැවිනි.
සරත්ගේ මල්ලී වන පැට්රික් සමග අපි එක පෙරමුණක සිටි අතර සරත්ගේ අයියා වූ විමල් මේ වන විට ගුරු සංගමයේ ප්‍රධාන ක්රියාධරයෙකුව සිටි අතර මානව හිමිකම් පිළිබඳ ලාංකීය සමාජ දේශපාලනයේ ආරම්භකයෙකුද ලෙස වැඩ කරමින් සිටියේය. 71 ප්‍රථමවත් අපේ දේශපාලන මතයට එකග නොවූ විමල් ගිනිපුපුර කණ්ඩායම සමග වැඩකළ අතර අප අලුතින් කරමින් සිටි වැඩ ගැනද ඔහුගේ තියුණු විවේචන සහ උපහාසයන් ද මේ රාත්‍රීවල අපට විද ගැනීමට සිදුවිය. විමල්ගේ දේශපාලනයටත් පැට්රික්ගේ දේශපාලනයටත් අතරමැද මතයක සරත් ජස්ටින් සොයුරා සිටි අතර මොරටුවේ ගෙදර සාකච්චාවන් මේ මතවාදයන්වල තර්කයන්ගෙන් පිරි රාත්රීවලින් ගහන එකක් විය.
මා රටින් පිටවූවායින් පසුව ලංකාවට පැමිණි වතාවලදීත් එමෙන්ම පිටරටවලදීත් වරින් වර අප මුණගැසුණෙමු. එදා 71 දී අප හදුනාගත් දා කතාකලේ ලංකා සමාජය එහි අසාධාරණය නැතිකර යහපත් සමාජයක් ගොඩ නැගීම ගැනයි. මා අවසන් වරට ඔහු මුණ ගැසුනේ දැනට වසර 3 කට ඉහත බර්ලින් නගරයේදීය. ඒ ඔහු විකල්ප ලෝක ආර්ථිකයක් ගැන පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක දේශකයෙකු වශයෙන් බර්ලිනයට පැමිණි අවස්ථාවේදීය. සම්මන්ත්‍රණයෙන් පසු අප එක්වී කතාකලේ යුද්ධයෙන් පසු ලංකාවේ සමාජය තුල ඇති දේශපාලනය වෙනුවට යහපත් සමාජ දේශපාලනයක් ඇති කර ගන්නා ආකාරය ගැනයි.
ලංකා දේශපාලනය වෙනස් වී ඇත්තේ අයහපත් අතටයි. හැට ගණන්වල තිබූ සමාජ සංයමයද අද වන විට සමාජයෙන් තුරන් වී ඇති අතර දේශපාලනය, අධිකරණය, යහපාලනය ආදී සෑම තැනකින්ම පිරිහී ගොස් නන්නත්තාර මට්ටමකට ඒවා පත්කර ඇත. එදා යහපත් සමාජයක් ගොඩ නැගීම ගැන අප සමග හැටේ අග භාගයේ සහ හැත්තෑ ගණන්වල කතාකලවුන්ම අද බලය අනිසි ලෙස පරිහරණය කරමින් සමාජ සංස්ථාවම කෙලෙසමින් පවතී.
සරත් සොයුරා නික්ම ගොස් ඇත. ඔහු නික්ම යන විට රට තුල පවතින්නේ එදා ආරම්භ කළ තැනටත් වඩා පිරිහී ගිය දේශපාලන වාතාවරණයකි. සරත් සොයුරා යහපත්සමාජයක් ගොඩ නගා ගැනීමේ අරමුණ සඳහා තම ජීවිතයම කැප කරනු ලැබීය.
සරත්ගේ නික්ම යාම ඇති කළ සාංකාවක් වැනි හැඟීම මට මීට හරියටම වසරකට ඉහත සුනිලාගේ නික්ම යාම සමග මේ ආකාරයෙන්ම දැනුනි. මේ අයුරින් සරත්, සුනිලා ඇතුළු තවත් අපේ පැරණි සොයුරු සොයුරියන් ජීවතයෙන් සමුගනිමින් සිටී. නමුත් ඔවුන්ගෙන් අවසන් වරට සමුගැනීමේ හැකියාවක් මට මෙන්ම තවත් බොහෝ දෙනෙකුට නොලැබුණි. මා වැනි තවත් දහස්ගණනකට මේ මානුෂික අයිතිය අහිමි කර ඇත. තම සහෘදයන්ගෙන් සමුගැනීමේ අයිතිය අහිමි වූ ඔවුන් තම වේදනාවන් ඉකිලන හදවත් තුල හිරකරගෙන තෙත්ව ගිය දෑස් තුල සමනය කර ගැනීමට වෙර දරයි. දේශපාලන මතයක් දැරීම හේතුවෙන් මෙසේ සිදුවීම කෙතරම් ඛේදවාචකයක්ද?
1982 මගේ පියාගේ වියෝව පිළිබඳ පණිවිඩය මා වෙත පැමිණි මොහොතේ මා ඉකි ගසා හැඩූ අතර 2010 මගේ මවගේ මරණයත් මගේ අයියාගේ මරණයත් පිළිබඳ පණිවිඩය මා වෙත ලැබෙන විට වේදනාව ඉවසන්නට පුරුදු වී සිටියෙමි.
මේ ආකාරයෙන් තව කොපමණ දෙනෙකු තම වේදනාවන් ඉවසා ගෙන තමන්ට අහිමිකර කර ඇති සමුගැනීමේ අයිතිය ගැන වේදනා විදිනවා ඇත්ද? යම් කිසි රටක් තම මියගිය සහෘදයාගෙන් සමුගැනීමට ඇති අයිතිය මිනිසුන් කොටසකට අහිමි කර ඇත්නම් එම සමාජය තුලින් කියා පාන්නේ ඒ සමාජය ශිෂ්ඨ සම්පන්න බවින් ඈත්වී ඇති බවයි. ලාංකිකයන් දහස් ගණනකට මේ අයිතිය අහිමි කර ඇත. එසේ නම් එතුලින් පෙනෙන්නේ ලංකා සමාජය තම ශිෂ්ඨභාවය අහිමිකර ගෙන ඇති බව නොවේද?
රංජිත් හේනායක | Ranjith Henayake