පළමුව, රටක් හමුදාකරණයට ලක්වීම යන්න, දොළොස්පැයේ අවිගත් සෙබළු දකින්නට සිටීම යන්නෙන් ඔබ්බට ගිය දෙයක් බව සිහි තබා ගත යුතු ය. L.T.T.E. සංවිධානය යුධමය වශයෙන් පරාජය කර පස් වසක් ඉක්ම යද්දී , විදුහල්පතිවරුන්ට හමුදා පදවි ලබා දීමේ සිට පරිපාලන තනතුරු සඳහා හමුදා නිළධාරීන් පත් කිරීම දක්වාද මතු නොවී, ශ්‍රී ලංකාව හමුදා රාජ්‍යක් කිරීමේ රාජපක්ෂ උමතුව, වඩා භයානක ලෙස ව්‍යාප්ත වී ඇත.
එකී ව්‍යාප්තියට, අට දිසාවෙන්ම තුන්සිය හැටක කෝණයකින් රාජපක්ෂ ඉතාම නිවැරැද්දා බවට ජනයාට ඒත්තු ගැන්වීමත්, ක්‍රමය ප්‍රශ්න කරනා බාධක ඉවත් කිරීමත් කළ යුතු ය. රාජපක්ෂ, අනෙක් ආඥාදායකයින් කළාක් මෙන්, බුද්ධි විරෝධී පිළිවෙතක් අනුගමනය කරන්නේ එහෙයිනි. බුද්ධිමතා මරනවාට වඩා, බුද්ධිමතා බිහිවීම වැළැකීමේ දිගු කාලීන ඉලක්කය, උගතා – බුද්ධිමතා නොවීමේ කරුමය අලුත් වටයකින් අරාම්භ කිරීමකි.
එය රාජපක්ෂගේ මිලිටරි උමතුව තුළ කැලතී, “නායකත්ව පුහුණුව” නමින් බෞතීස්ම කරන ලද හමුදා පුහුණුවක්ව, රජයේ විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලබන්නන්ට ලබා දීමට යෙදුණි. 2014 වසරේදී එකී පුහුණුවට සහභාගී වූවෙකු ලෙස ලත් අත්දැකීම් ඇසුරෙනි, මේ සටහන ලියන්නේ.
මෙම පුහුණුවෙහි අරමුණු ලෙස පාලකයින් දක්වන “ක්ෂිතිජයට ඉහළින් ලෝකය බැබලිය හැකි උපාධිධරයෙක් බිහි කරමු” , “ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය ලෙස පවත්වා ගනිමින් ආසියාවේ ආශ්චර්ය කරමු” ආදී ළාමක විහිළු, කොහොමටත් අත් හැරිය හැක. එසේම, නායකත්ව හැකියාව හා ධනාත්මක ආකල්ප වර්ධනය යනුවෙන් දක්වන මූලික අරමුණු, ප්රජාතන්ත්රවාදය කඳුලක් නැති රටකට ප්‍රජාත්‍රන්තීය යැයි කීම තරමට විසල් මුසාවකි.
පියවි සිහිය සාමාන්‍ය තත්ත්වයෙන් ක්‍රියාත්මක වන ඕනෑම අයෙකුට මෙකී පුහුණුවේ සැබෑ අරමුණු හඳුනා ගැනීමේ අපහසුවක් නැති ය. මම මේ පුහුණුවට සහභාගී වූ මාදුරු ඔය කඳවුරේදී ආරම්භක දේශනයේ පටන් විශ්ව විද්‍යාල ක්‍රියාකාරීත්වය ගැන අයහපත් චිත්‍රයක් මැවීමට ඔවුහු උත්සහා ගත් හ. එහිදී ලබාදුන් පාඨමාලා අත්පොතෙහි ඇති ජනාධිපතිවරයාගේ පණිවිඩයෙහි මෙසේ එයි,
“විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පොඩි දේටත් ගැටුම් ඇති කරගෙන උපකුලපතිවරුන්ට පහර දීලා, දේපල හානි කරගෙන, විශ්ව විද්‍යාල දීර්ඝ කාලයක් වහගෙන මොනවද දිනාගෙන තියෙන්නේ? මගේ විශ්වාසය අනුව එසේ සිදු වුවහොත් ඔබ කෙරෙහි රටේ ජනතාව තුළ කලකිරීමක් පමණයි ඉතුරු වෙන්නෙ.”
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනියගේ පණිවිඩයෙහි මෙසේ එයි,
“දයාබර ශිෂ්‍යයිනි, ඔබලා නොමග යවමින් ඔවුන්ගේ පෞද්ගලික න්‍යාය පත්රයන් ඉටු කර ගැනීමට ඉතා සුළු පිරිසක් මාන බලමින් සිටියි”
ඔබ යන්නෙහි බහු වචනය ඔබලා යැයි වටහාගත් මේ උගත් මෝඩයින්ගෙ ප්‍රකාශවලින් එළි වන්නේ කුමක්ද? හමුදාව තුළ මෙන්, අණ දීම සහ ඒ අණට ක්‍රියාත්මක වීම, සමාජ පාලන ක්‍රියාවලිය බවට පත් කිරීම සේම, එය එසේ වීම සාමාන්‍යකරණයක් බවට ඒත්තු ගන්වා, රෙජීමයට සදාකාලික හිසරදයක් වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයා, කියන දේ කරන, දේවල් ප්‍රශ්න නොකරන නිවටයෙකු බවට පත් කර ගැනීම මෙම පුහුණුවෙහි අරමුණ බව කිව හැකි ය.
ආණ්ඩුවේ අර්ථය යනු අනර්ථයම වන නිසාටත් වඩා, ඇත්ත ඇති සැටියෙන් පෙනෙද්දී, මෙය හමුදා පුහුණුවක් නොවේ’යි තැන තැන කෙරෙන දෙඩවිලි, පුහුණුවේ යථාර්තය එතූ වාග් සැරසිලි බව ප්රත්යක්ෂ ය. ආචාර පෙළපාලි පුරුදු කිරීමේ සිට භෝජනාගාරයට යද්දීත් තම බලකායේ නම කියා කෑ ගසමින් යාම දක්වා වූ හමුදාමය ලක්ෂණ, ශිෂ්‍ය භූමිකාව සඳහා අවශ්‍ය වන්නේ කෙසේදැයි ඔවුන් කරන ලද පැහැදිලි කිරීම්, සැබවින්ම උත්ප්රාසජනක ය.
ආචාර පෙළපාලි පුහුණුව සම්බන්ධව ඔවුන්ගේ අර්ථ දැක්වීම වූයේ, ඉන් එකට වැඩ කිරීමට පුරුදු කෙරවෙන බව යි. මිලිටරිමය අර්ථයෙන් ‘එකට වැඩ කිරීම’ යනු ‘අණට එකවර ක්‍රියාත්මක වීම’ වුවත්, සමාජයීය ප්‍රවේශයෙන් එහි අරුත වන්නේ ඊට සපුරා වෙනස් දෙයක් බව මේ උන්මත්තකයින්ට වැටහෙන්නේ නැති ය. පුහුණුවේදී සුහදතාව, සහයෝගය වර්ධනය කරන බවට සපථ කරමින්, අනෙකා ගැන නොබලා හැකි ඉක්මණින් තම කටයුතු කරගත යුතු බවට උපදෙස් දෙන ලදී. ඉදින්, මම නායකයෙකු වනු තුරු බලා සිටියෙමි.
වරු ගණන් පැවැත්වූ නොඅදාළ නිස්සාර දේශන, ආණ්ඩුවේ ප්‍රචාරන කටයුතු සඳහා යොදා ගන්නා ලදී. හමුදා නිළදාරීහු සේම පැමිණි දේශකයෝද යුධ ජයග්‍රහණය ඒ මේ අත පෙරළ පෙරළා රාජපක්ෂ රෙජීමයට ආවැඩුවා පමණ ය. උදුනක් බඳු වූ දේශන ශාලාව තුළ අවැදගත් දේශනා අතර සියල්ලෝ පාහේ නිදා ගනිද්දී, නොනිදා සිටිය යුතු බවට කෙරුනු පමණ ඉක්මවා ගිය පෞද්ගලික අණ කිරීම් සේම, දේශන අවසන, සිසුන් නිදා සිටි අන්දම වීඩියෝ ගතකර පෙන්වීම ආදී ප්‍රාථමික විහිළුද හිඟ නොවී ය.
මාදුරු ඔය කඳවුරේ 80%ක් පමණ සිටියේ වාර්ගිකත්වයෙන් දෙමළ වූ සිසුන් ය. දෙමළාට දෙමළ වීම නිසා ඇති ගැටළුව සේම, සිංහල දේශයක දෙමළ කතා කරන්නා විඳින මානසික පීඩාව මා අත්දුටුවේ කඳවුර තුළදී ය. ශිෂ්‍ය මනස සැහැල්ලු කිරීමට යැයි පැවැත්වූ සිංහල ගීත පමණක් වූ වැඩසටහන්වල සිට දෙමළ කතා කරන්නාට කිසිදු අවස්ථාවක මූලිකත්වයක් හිමි නොවීම දක්වා වූ අනේක දෑ සිදුවීම, එක් අතකින් හදවතක් කියා යමක් ශේෂ වූවන්ට දරාගත නොහැක්කකි. අනෙක් අතින්, සමානාත්මතාවය යනු සමාන ඉඩප්රස්ථා හිමිවීම යන්න බව තේරුම් නොගත් මනුෂ්‍යත්වයේ නොහැකියාවකි.
සිසුන් ලියාපදිංචි කළ අවස්ථාවේ දෙමළ පමණක් කතා කළ හැකි සිසුන්ගෙන් සිංහල කතා කළ හැකිද, නොහැක්කේ ඇයි, සුළු වශයෙන් හෝ නොහැකිද ආදී වශයෙන් අසමින් සිංහලයාට දෙමළ නොතේරීම ආඩම්බරයක් වෙද්දී දෙමළාට සිංහල නොතේරීම පුදුම සහගත වරදක් වීමේ සිංහල ස්වෝත්තමවාදී ආකල්පයේ යථාර්තය ප්‍රකට කළහ.
වර්ගයෙන් සිංහල වූ සිසුන් අතරෙන් අති විශාල බහුතරයක් එකී ගැටළුවට සංවේදී නොවීමේ උරුම කරුමය සෝචනීය ය. දේශන හැරුණුකොට අනෙක් බොහෝ අවස්ථා දමිල බසට පරිවර්ථනය නොවී ය. ආචාර පෙළපාලි පුහුණුවේදී සිංහල නොතේරෙන සිසුන් ඉතා අපහසුවටත්, අවමානයටත් පත් වූහ. අවස්ථා කිහිපයකදීම, දමිළ බසට පරිවර්ථනය කරන්නැයි ඉල්ලා සිටියෙමි. ඔවුන් සිනාසෙමින්, “අමතක වෙනවනේ”යි උඩඟු වූයේ, අනෙකාගේ භාෂා අයිතිය යන්න, මහ ජාතිය විසින් ප්රදානය කෙරෙන යමක් බවට ක්‍රියාවෙන් ඔප්පු කරමිනි.
සිසුවියන් අතර ඇති වූ ජල ගැටළුවක්, වාර්ගික ගැටුමක් දක්වා දුර යෑම, පෙර කී උගතා – බුද්ධිමතා නොවීමේ එක් අවස්ථාවකි. වාර්ගිකව සිංහල වූ සිසුවියන් විසින් “උඹලා අපේ මිනිස්සු මැරුවා” ආදී දේ කියමින්, යුද්ධය යනු දෙමළා විසින් සිංහලයා විනාශ කිරීමට කරන ලද්දකියි යන සමාජ සංස්කෘතික ආකල්පය පෙන්වූහ. ගැටුම විසඳීමට මැදිහත් වූ හමුදා නිළධාරිනියෝද දෙමල කථා කරන සිසුන්ට සිංහලෙන් බැන වැදී, දෙමළුන් යනු පාලනය කළ නොහැකි ප්‍රචණ්ඩකාරී ජාතියකියි දොස් තැබූහ.
සාමුහිකව ඉදිරිපත් කිරීමට තිබුණ නාට්‍යයක පිටපත ලියවී තිබුණේ සිංහලෙන් පමණි. සිංහල නොතේරෙන මගේ මිතුරිය, දෙමළට නොහැකි නම් අඩුම තරමින් එය ඉංග්‍රීසියට හෝ පරිවර්ථනය කරන්නැයි ඉල්ලා සිටියා ය. ඉල්ලීම ප්‍රතික්ෂේප වූ අතර දෙමළ පමණක් කතා කළ හැකි සිසුන්ට ඉන් ඉවත් වීමට සිදු විය.
ස්වයං හඳුන්වා දීමේ කථනය කරන්නට තිබූ අවස්ථාවේ හරිහැටි සන්නිවේදනය නොවීමෙන් දුර්-පණිවිඩයක් ලැබී, දෙමළ කතා කරන ළමයෙකු ලිඛිතව අදාළ ඉදිරිපත් කිරීම කළේ ය. අප භාරව සිටි හමුදා නිළධාරියා පහත් අයුරින් එය උපහාසයට ලක් කරමින් එම ශිෂ්‍යයාව සභාව ඉදිරියේ අපහසුවට පත් කළේ ය. ඒ වනවිටත් ආණ්ඩුවේ නායකත්ව හැකියාව ලබා සිටි සියලු වාර්ගිකයෝ ඉල ඇදෙන තුරු සිනාසුණහ.
තදබල ලෙස හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙලුණු දෙමළ කතා කරන මිතුරියක්, තමන් උණු වතුර ඉල්ලූවත් ලබා නුදුන් බවත්, හැකි නම් එය සපයා දෙන ලෙසත්, මා සිංහලයෙකු නිසා ඔවුන් නොසලකා නොසිටින බවත් කීවා ය. දෙමළ කතා කරන්නා යුග ගණනක් තිස්සේ පරිසරය හා ගැටීමෙන් අවබෝධ කරගත් එකී පරම සත්‍ය යනු, ඔවුන් එය අවබෝධ කරගත්තා’යි උදම් ඇනිය යුත්තක් නොව, අප විසින් එකී සත්‍ය පෝෂණය කළා’යි ලැජ්ජාවට පත්විය යුතු සාපරාධයකි.
නිතර අසනීප විය නොහැකි’යි තහනමක් ඉදිරිපත් කිරීම, ආචාර පෙලපාලි පුහුණුවීම්වලට සහභාගී වීම/ නොවීම සටහන් කිරීම (සහතිකය ලබා ගැනීමට නම් 80%ක සහභාගීත්වයක් තිබිය යුතු විය.) ආදී දේ විසින් නිරායාසයෙන්ම පුහුණුව ‘අනිවාර්ය’ බවට පත්කරන ලදී. පුහුණුව සඳහා ලැබුණු කැඳවුම් ලිපියෙහි කිසිදු තැනක විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා මෙකී පුහුණුව අනිවාර්ය බවක් හෝ ප්‍රතික්ෂේප කළ නොහැකි බවක් සඳහන් නොවී තිබියදීත්, හමුදා නිළධාරීහු විසින්, අදාළ සහතිකය නොමැතිව විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගත නොහැකි බව පුන පුනා අවධාරණය කරන ලදී.
කඳවුර තුළදී සිදු වූ අකටයුතුකම්වලට එරෙහි වූයේ අතිශය සුළු පිරිසක් වීම හඳුනා ගත හැක්කේ, රාජපක්ෂගේ මිලිටරි උමතුව හිස නමා භාර ගත් උගත් පරපුරක අභාග්‍ය ලෙස ය. කොහොමත්, දෙමළ කතා කරන සිසුන් සිංහලයාට එරෙහි වීමේ ආදීනව දැන සිටින නිසාත්, විශේෂයෙන් “හමුදාව” යන්න දෙමළ කතා කරන්නාට භීතිය දනවන්නක් නිසාත්, දෙමළ කතා කරන ළමයි තිදෙනෙකු හැර වෙන කිසිවෙක් නිහඬබවින් මිදුණේ නැති ය.
L.T.T.E.ය ගැන තදබල විවේචනයක සිටින සිංහල නොතේරෙන මගේ මිතුරිය සේම මමද දේවල් ප්‍රශ්න කිරීමේ වරදට හසු වී සිටිය ද, වාර්ගිකව දෙමළ වූවෙකු එතරම් නිර්භීත වීම හමුදා නිලධාරීන් කෝප ගන්වන්නක් විය. කඳවුර තුළ දී සිදුවන දේවල් පිටට නොයා යුතු බවත්, “කෑකෝ නොගහා” සිටිය යුතු බවත්, සමහරවිට විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි විය හැකි බවත් නිලධාරියෙකු විසින් මට තර්ජනය කරන්නට යෙදුණි.
පුහුණුවේ යථාර්තයත්, ආණ්ඩුව විසින් දක්වා සමාජයට පිළිගන්නට’යි බල කරනා දෙයත් අතර වචනාර්ථයෙනුත්, ක්‍රියාවෙනුත් මහා පරතරයක් ඇත.
“වැඩසටහන කෙතරම් ජනප්‍රිය වී ඇත්ද යත්, පුහුණු කාල සීමාව තව දික්කරන ලෙස සිසුහු ඉල්ලා සිටිති.”
උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පණිවිඩයෙහි මෙසේ සඳහන් වෙද්දී සිසුන්ගේ අදහස්වල පොදු අදහස වූයේ “ඉගන ගත්තාට දඬුවම් කරනවා” යන්න වීම, ලංකාව ආසියාවේ ආශ්චර්ය යැයි පාලකයන් කියද්දී, පාලිතයින් විපරීතව මේ රටේ එවන් ආශ්චර්යක් සෙවීමට සමානැ’යි කිව හැකි ය.
සමහරවිට, ඉක්මණින් අමතක කිරීමේ මානව සහජාශාව තිර වන්නට වන්නට, පැවැත්ම සහතික විය හැක. විශ්ව විද්‍යාලයට තේරී පත් වූ වරදට දෙන දඬුවමක් බඳු වූ පුහුණුවේදී සිදු වූ සියලු මානසික ශාරීරික පීඩා, සැහැල්ලු වීමටැ’යි කියා සිත් සේ නටන්නට ඉඩ දෙන එක් සංගීත රැයකින් සිසුන්ට අමතක වී යාම, අර්බුද මතුවෙද්දී, දේශපාලුවන් විසින් ජන සමාජය විනෝදයෙන් පුරවා ජනයාට එකී අර්බුද අමතක කිරීම පහසු කරවීමේ ළදරු අවධියක් මෙනි.
දෙමළ කතා කරන්නාගේ අදහස්, රාජපක්ෂ පාලනයට කෙතරම් නොවැදගත් දැයි මනාව පෙන්නුම් කළ, කිසිදා මෙවන් දේ සිදු නොවේවා’යි දෙවියන් යැදීම හෝ කළ යුතු හිරිකිත සිදුවීමක් කඳවුරේදී සිදු විය. “විශ්ව විද්‍යාල අයදුම්කරුවන්ගේ අධ්‍යාපන හා සමාජීය මට්ටම් පිළිබඳ සමීක්ෂණය” නම් වූ රහස්‍ය යැයි දක්වන ලද පත්‍රිකාවක් සිසුන්ට ලබා දෙන ලදී. එම පත්‍රිකාව සිංහල භාෂාවෙන් පමණක් තිබීම, මේ සිංහල අපගෙ රටට, ‘දෙමළාට අදහසක් ඇති වුවද නැති ය; නැති වුවද නැති ය’ යන්නෙහි නිරුවත පෙන්වීමකි.
“රහස්‍ය” බවක් සඳහන් වුවද, පුරවා භාර දුන් පසු සිසුවාගේ ලියාපදිංචි අංක සටහන් කරගැනීම හා එම පත්‍රයෙහි අඩංගු කරුණු සිහිනුවණින් විමසා බලද්දී, සමීක්ෂණයක් යැයි නම් කළ එකී පත්‍රිකාවෙහි අරමුණ, ප්රශ්නකාරී සිසුන් හඳුනා ගැනීම බව පැහැදිලි ය. පහත දක්වන්නේ සිසුන්ගේ අදහස් විමසා තිබූ කරුණු කිහිපයකි.
*නායකත්ව පුහුණුව ගන දැන් ඔබේ අදහස. (පිළිතුරු එකකට වඩා දැක්විය හැක.)
-ඕනෑම ආකාරයක බලපෑමකට එරෙහිව නැගී සිටීමේ හැකියාව ලබා දුණි.
-මෙහිදී ලබා දුන් කායික පුහුණුව ඉතා අපහසු හා අනවශ්‍ය එකකි.
-නායකත්ව පුහුණුව අප හට බලෙන් ලබා දෙන්නා වූ අනවශ්‍ය පුහුණුවකි.
-මෙය මගේ පුද්ගලික නිදහස උල්ලංඝණය කරන්නකි.
සියල් අරුතින්, මේ බලහත්කාර පුහුණුව වහා නැවතිය යුත්තකි.
පාලකයින් මිස නායකයින් නැති රටක, නායකයා’යි තනන්නට වෙර දරන්නේ නියෝග අකුරට පිළිපදින සුනඛයෙකු වීම, රාජපක්ෂගේ සිහින ඉටු කරන්නට උවමනා දෙයක් නමුදු, එය, එදාට වඩා සැබෑ නායකයින් බිහි විය යුතු අද දවසේ, ජාතියේ පාපයක් ඵල දීමකි.
සංජුලා ඕෂිණී