Image Credit: lankadeepa
අද ප්රශ්නය එයයි. ‘පොදු අපේක්ෂකත්වය’ ගැන කතා කරන විවිධ කොටස් අතර ඇති බව පෙනෙන්නේ, පොදු අපේක්ෂාවක් නොව, පුද්ගලබද්ධ අපේක්ෂාවන් ය. එම පුද්ගලබද්ධ අපේක්ෂාවන් ‘පොදු අපේක්ෂාවේ’ නාමයෙන් සමාජගත කර ගැනීමේ පරිසරය සකස් කරගන්නා එක ක්‍රමයක් වන්නේ, ‘අවම අපේක්ෂාව’ සහ ‘උපරිම අපේක්ෂාව’ අතර සීමා ඉර හැකි තාක් බොඳ කිරීමට කටයුතු කිරීමයි.
‘අවම අපේක්ෂාව’ හෙවත් ක්ෂණික අපේක්ෂාව යනු කුමක්ද? මහින්ද රාජපක්ෂ පවුල් පාලනය පෙරලා දැමීමයි. ‘උපරිම අපේක්ෂාව‘ යනු කුමක් ද? ශිෂ්ට සම්පන්න සමාජයක් ඇති කර ගැනීමයි. ඊට අයත්වන බොහෝ දේවල් තිබේ. නීතියේ ආධිපත්‍යය, රාජ්‍ය සේවයේ නිර්-දේශපාලනීකරණය ඇතුළු සමාජ ප්රජාතන්ත්රවාදයේ සම්මත ප්රමිතීන් යළි අත්පත් කර ගැනීමේ ආයාසයේ සිට ජාතික ප්‍රශ්නයට තිරසාර දේශපාලනික විසඳුමක් සොයා ගැනීම දක්වා වන විශාල සහ පෘථුල පරාසයක එම ‘උපරිම අපේක්ෂාව’ ලඹ දෙයි. මේ දෙක, එකිනෙකින් වෙනස් නැත. ඓන්ද්‍රිය වශයෙන් ඒ දෙක එකිනෙක හා බද්ධව ඇත. එහෙත්, එසේ වූ පමණින්, ‘උපරිම අපේක්ෂාව’ සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය මුල් පියවර සහ හදිසි කොන්දේසිය වන ‘අවම අපේක්ෂාව’ හෙවත් හදිසි අවශ්‍යතාව, ‘උපරිම අපේක්ෂාවේ’ තිරසාර සහතිකයක් ඉල්ලා සිටීමෙන් බිල්ලට යැවිය යුතු නැත. ඒ ඇයි?
‘අවම අපේක්ෂාව’ වන රාජපක්ෂ පවුල් පාලනය පෙරලා දැමීම, අනිවාර්යයෙන් ‘උපරිම අපේක්ෂාව’ කරා යොමු වෙතැ යි කිව නොහැකි බව ඇත්ත. දැනට ඉදිරිපත්ව ඇති නම් අතුරින් මාදුළුවාවේ සෝභිත හිමි, රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය හෝ චන්ද්‍රිකා කුමාරණතුංග ආදීන්ගෙන් කෙනෙකු පොදු අපේක්ෂකත්වයෙන් බලයට පත්වීමෙන් පසු විවිධ හේතු මත එම ‘උපරිම අපේක්ෂාවට’ පයින් ගැසීමට ඉඩ තිබේ. එහෙත් ඊට වඩා තිරසාරත්වයකින් පැවසිය හැකි එක දෙයක් තිබේ. එනම්, රාජපක්ෂ පවුල් පාලනය පෙරලා නොදැමීම, අනිවාර්යයෙන්ම ‘උපරිම අපේක්ෂාව’ නිෂේධ කරන බවයි. ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ක්‍රමය රාජාණ්ඩු ක්‍රමයක් බවට පරිවර්තනය කළ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ මහින්ද රාජපක්ෂ දෙවැනි වරටත් පත්කර ගැනීමේ ප්රතිවිපාකයක් වශයෙනි. මේ නිසා, රාජපක්ෂ පවුල් පාලනය යනු ප්රජාතන්ත්රවාදය ආපස්සට දැක්කීමකින් මෙහා දෙයක් නොවන බව, එම පවුල් පාලනය වෙනුවෙන් තවමත් කඹුරන අයවළුන් හැරුණු කොට, මේ වන විට වෙන කිසිවෙකු තුළ සැකයක් තිබිය හැකි කාරණයක් නොවේ. එය ප්රත්යක්ෂයකි.
ඉතිං, රාජපක්ෂ පවුල් පාලනය පෙරලා දැමිය යුත්තේ ඇයිද යන ප්‍රශ්නයට දිය හැකි පිළිතුර ද, අවමය සහ උපරිමය වශයෙන් වෙන් කොට හඳුනාගත හැකිය. අවමය වන්නේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීමයි. උපරිමය වන්නේ, එසේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීම හරහා, ඉහත කී ශිෂ්ට සම්පන්න ප්රජාතන්ත්රවාදී අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ ප්රයත්නයකට තෝතැන්නක් විය හැකි පරිසරයක් නිර්මාණය කර ගැනීමයි. එම කර්තව්‍යය සාපේක්ෂ වශයෙන් දීර්ඝ කාලීනයි.
මේ මොහොතේ දේශපාලනික පරාමිතිය කැටි කොට දක්වතොත් එසේ ය.
මෙරටේ සාමාන්‍ය ජනතාවට අප සිතනවාට වඩා ඒ අවබෝධය තිබේ. ඌවෙන් ඒ පිළිබඳ ප්‍රබල ඇඟවීමක් කෙරුණි. දැනට එම අවබෝධය ඔවුන්ට නැත්නම් ඉතා සීග්‍රයෙන් එම අවබෝධය කරා ඔවුන් ළඟා වෙමින් සිටින බව වෙන කවුරු නැතත් රාජපක්ෂ ජනාධිපතිවරයා දනී. වෙන කිසි වරදක් නිසා නොව, තමාගේ පවුල් බලයට අභියෝග කිරීම හේතුවෙන් මීට කලකට පෙර තමා විසින්ම ඇමති මණ්ඩලයෙන් දොට්ට දැමූ මංගල සමරවීරගේ දෙපා ළඟට රටේ ජනාධිපතිවරයා ගියේ එබැවිනි. එයින් පෙනී යන්නේ කුමක් ද? දැන් සිදුවන ආකාරයෙන් ආණ්ඩු විරෝධය පෙළ ගැසුණොත්, තමා පරාජය විය හැකි බව, විපක්ෂය සිතනවාට වඩා තදින් මේ මොහොතේ ජනාධිපතිවරයාමත් සිතන බවයි. මංගල සමරවීර හමුවීමට ජනාධිපතිවරයා යන්නේ, ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මංගල සමරවීර හරහා නිවැරදි මාවතට ගැනීමට නොව, එක පැත්තකින් විපක්ෂ බලවේග අඩපණ කරන අතරේම, රාජපක්ෂ පවුල් බලය පිළිබඳ කලකිරී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් විපක්ෂයට එක් වීම වැළැක්වීමටත් ය. එබැවින් දැන් රාජපක්ෂ පවුලේ හදිසි දේශපාලනික ව්‍යාපෘතිය වී ඇත්තේ, ‘පොදු අපේක්ෂකත්වය’ හැකි හැම ආකාරයකින්ම ව්‍යර්ථ කිරීමයි.
එම සැලැස්මේ එක අංගයක් වන්නේ, ‘පොදු අපේක්ෂකයා’ රටේ ජනතාව ඉදිරියේ විහිළුවක් බවට පත්කිරීමයි. එම විහිළුවට, ඇතැමුන් නොදැනුවත්වත්, තවත් අය හිතාමතාමත් විවිධාකාරයෙන් සම්මාදම් වෙති. පොදු අපේක්ෂකයා වශයෙන් විග්නේෂ්වරන්ව යෝජනා කිරීමේ සිට ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ සුනේත්‍රා බණ්ඩාරනායක හෝ මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියන් යැයි කීමට තරම් එය අද දුරදිග ගොස් තිබේ.
මැති ඇමති පිරිසක් විපක්ෂයට එක් වුණොත්, තම පවුලේ පරාජයට නිසැකවම එය හේතු විය හැකි බවට අවබෝධයක් ජනාධිපතිවරයාට තිබේ. ඉතිං, එම පිරිස විපක්ෂයට එක්වීම අධෛර්යමත් කිරීමට මංගල සමරවීර සොයාගෙන ජනාධිපතිවරයා මොරටු යන විට, මංගල සමරවීරව මොන ආකාරයකින් හෝ ආණ්ඩුවේ ඔඩොක්කුවට තල්ලූ කිරීමටත්, ආණ්ඩුවෙන් විපක්ෂයට එක් වීමට නියමිත මැති ඇමතිවරුන් මීයන් සහ ගෙම්බන් යැයි හඳුන්වමින් ඔවුන්ව ඉන් අධෛර්යමත් කිරීමටත්, විපක්ෂයේ ඇතැම් නායකයන් කටයුතු කිරීමෙන් පෙනී යන්නේ, අප ඉහතින් කී ‘පොදු අපේක්ෂාව’ වෙනුවට, ඔවුන්ගේ පුද්ගලබද්ධ අපේක්ෂාවන් මේ දේශපාලනික සමීකරණයේ පොදු ගුණාකාරය බවට පත්වෙමින් ඇති බවකි.
ඊයේ(13) මුත්තයියා පිටියේ පැවති රතන හිමියන් සංවිධානය කළ ‘පිවිතුරු හෙටක්’ ජන රැලියට විශාල සෙනගක් ආහ. පසු ගිය සතියක දෙකක කාලය තුළ ප්‍රධාන විපක්ෂයේ පැවති ඉහත කී අර්බුදය මේ වන විට යම් තාක් සමනය වී ඇතැ යි යන සංඥාවක් එම රැලියේදී දකින්ට ලැබුණි. හේතුව, රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස සහ මංගල සමරවීර එම රැලියට සහභාගී වීමයි. පසු ගිය දා ආණ්ඩුවට එක්වීමට නියමිතව සිටියේ යැයි කියූ මංගල සමරවීර එහි දී ජනතාව අමතා තමන්ගේ ස්ථාවරය පැහැදිළි කරනු ඇතැ යි එහි රැස්ව සිටි ජනතාව උදක්ම බලාපොරොත්තු වූහ. එහෙත් එවැන්නක් සිදු නොවුණි. ඒ ඇයි? තමාගේ දේශපාලනය වන්නේ රටේ ජනතාව වෙනුවෙන් නැගී සිටීමට මිස පුද්ගල අපේක්ෂා වෙනුවෙන් රාජපක්ෂ පවුලේ ඔඩොක්කුවට වැටීමට නොවේ යැයි එම රැළියේදී මංගල සමරවීර කීවේ නම්, අද සියලූ මාධ්‍යයන්හි හෙඩිම සරසනු ඇත්තේ එයයි. අනිත් අතට, තම පක්ෂයේ පැවති මතභේද රටේ ජනතාවගේ නාමයෙන් දැන් විසඳාගෙන රාජපක්ෂ පවුල් පාලනය පෙරලා දැමීමේ පොදු සටනට දැන් තමන් එක පයින් සූදානම් යැයි සජිත් පේ‍්‍රමදාස කීවේ නම්, වෙනසක් අපේක්ෂාවෙන් සිටින මුළු රටටම එය මහත් සහනයක්, සැනසීමක් වනු ඇත. නැත, එසේ සිදුවිය යුතු නැත. වේදිකාව අයිති ‘පිවිතුරු හෙට’ ව්‍යාපාරයටයි. එහි වීරයා විය යුත්තේ රතන හිමියන් ය. එසේ හෙයින් උන්වහන්සේ පැයකට ආසන්න කාලයක් රසායනික පොහොරවලින් සිදුවන හානිය ගැන කතා කළහ.
විවිධාකාරයෙන් ජනතාව වල්මත් කැරැවීමේ සහ ව්‍යාකූල කැරැවීමේ දැවැන්ත මෙහෙයුම පසුපස සිටින මහින්ද රාජපක්ෂගේ සහායට මාධ්‍ය මුදලාලිලා කිහිප දෙනෙකු සිටින බව දැන් මුළු රටම දනිති. වර්තමානයේ ට්‍රෝජන් අශ්වයා වන්නේ මේ මාධ්‍ය මුදලාලිලා ය. ග්‍රීක සාහිත්‍යයේ ට්‍රෝජන් අශ්වයාව නිරූපණය කෙරෙන්නේ, සද්භාවයෙන් පිරිනැමෙන තෑග්ගක් වශයෙනි. එහෙත් ඒ යෝධ අශ්වයා තුළ සිටින්නේ එම සමාජය යටපත් කර ගැනීමට සැඟවී සිටින මහා සේනාවකි. අද ඒ ට්‍රෝජන් අශ්වයාගේ කාර්යභාරය, රාජපක්ෂ පවුල් පාලනය වෙනුවෙන්, ඉහත කී මාධ්‍ය මුදලාලිලා විසින් භාරගෙන ඇත.
ඔවුහූ සතියේ දවස් හතට ‘පොදු අපේක්ෂයන්’ හත් දෙනෙකුම අපට ඉදිරිපත් කරති. ඒ අනුව මාදුළුවාවේ සෝභිත හිමියන් පොදු අපේක්ෂකයා වන බව සඳුදා අපට දැන ගැනීමට ලැබෙයි. අඟහරුවාදාට ඒ පොදු අපේක්ෂකත්වය යන්නේ රනිල් වික්රමසිංහටයි. බදාදාට චන්ද්‍රිකා කුමාරණතුංග පොදු අපේක්ෂිකාව වන්නීය. බ්‍රහස්පතින්දා කරූ ජයසූරියගේ වාරයයි. සිකුරාදා අර්ජුන රණතුංග කරළියට එයි. සෙනසුරාදා සහ ඉරිදා සුනේත්‍රා බණ්ඩාරනායකට සහ මෛත්‍රී වික්‍රමසිංහට (රනිල් වික්‍රමසිංහගේ බිරිඳට) වෙන් කෙරේ. මේ දින හතේම අනිත් පැත්තෙන් පොදු අපේක්ෂකයා වන්නේ මහින්ද රාජපක්ෂ වන බවට, රාජ්‍ය මාධ්‍ය ආයතන වගබලා ගනී.
ජනතාව දැන් මංමුලා වෙති. විපක්ෂය ගැන සැක පහළ කරගනිති. සමස්ත විපක්ෂය විහිළුවක් වශයෙන් ගැනීමට පෙළඹෙති. මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ සැලැස්ම තුළ ඇති ප්‍රධාන ප්‍රහාරයක් වන්නේ, එම මූසල හැඟීම ජනතාව තුළ ජනිත කැරැවීමයි.
සරත් ෆොන්සේකාගේ පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු බා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 50 ක් වැය කිරීමට තරම් ‘ධනවත්’ රාජපක්ෂ පාලනය ඉදිරියේ විපක්ෂය සතුව ඇති එකම ‘ධනය’ වන්නේ, රටට අවංක වීමයි. මේ අගාධයෙන් රට ගොඩ ගැනීමේ සැබෑ හැකියාවක් ඔවුන්ට ඇතැ යි ජනතාවට හැෙඟන්නේ, ඒ අවංක භාවය හැම පැත්තකින්ම පෙනෙන්ට තිබුණොත් ය. එය, ‘අපි දැන් එකමුතුයි’ කියා අත්වැල් අල්ලාගෙන ලක්ෂ වාරයක් ජප කළත් වැඩක් නැත. මුළු රටටම එය පෙනෙන්ට තිබිය යුතුය.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda