Photograph via VOA News
පොදු අපේක්ෂකයෙකු පිළිබඳ කතිකාව කලක් තිස්සේ පැවතුන අතර ලංකාවේත් රටින් පිට ජීවත් වන ලාංකිකයින් අතරත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අගයන හැමගේමත් කලක් තිස්සේම වූ පැතුම වූයේද එයයි. ඒ අතරම ඉන් සමහර කොටස් පොදු අපේක්ෂකයෙකුගේ, එසේ නැතිනම් පොදු එකගතාවයක් මත මේ පවතින රාජ්‍ය කොල්ලකාර කල්ලිය පැරදවීමට එකට එක්වීමේ ඇති වැදගත්කම පෙන්වමින් ලියූ අතර සමහරු රටේ පවතින එවැනි බලවේගයන් ඒකරාශී කිරීමටද උද්යෝගීමත් කිරීමටද ක්‍රියාවෙන්ම සහභාගි විය. අද වන විට ඒ වුවමනාව ඉටුකරමින් පොදු අපේක්ෂකයෙකු ලෙසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම්වරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වී ඇත.
ඇත්තෙන්ම මෛත්‍රීගේ මේ ඉදිරිපත්වීම අපි අගය කරන්නෙමු. නමුත් ‘මෛත්‍රී ආවා දැන් වැඩේ කෙරේවි’ කියා බලා සිටීමෙන් පමණක් රාජපක්ෂ කල්ලිය කොල්ලකාගෙන ඇති ලංකා රාජ්‍ය නිදහස් කර ගත නොහැක. දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ සෑම තනි පුද්ගලයෙකුම තම හැකි උපරිමයෙන් මෙම බලවේග ශක්තිමත් කිරීමට ඒහා අත්වැල් බැඳ ඉදිරියට ආ යුතුය. එසේ නැතිව ලාංකිකයාට කවදත් පුරුදු ඔතෑනි ආකාරයෙන් ‘අපි ටිකක් බලමු. මොකද වෙන්නෙ කියල’, ‘ ඔය කිව්වට ඕක වෙනස් කරන්න මිනිස්සු ඡන්දෙ දෙයිද? ’ එසේ නැත්නම් ‘කවුරු ආවත් එකයි’ ආදී කල්බැලීම් නොකර ‘ඔව් දැන් ඇත්තේ අපේ වාරයයි’, ‘මේ කාලකණ්නි රැලෙන් රට නිදහස් කර ගනිමු’ කියමින් එකට එක්වීමයි. එසේ නොමැතිව අප ලාංකිකයාට සුපුරුදු ඇල් මැරුණු කල් බැලීම තුල කල් බැලුවොත් නැවත වාරයක් කෝච්චිය ගොස් තිබිය හැක. ඉන් පසු තවත් සෑහෙන කාලයක් තිස්සේ සුසුම්ලමින්, ආඩපාලි කියමින්, රහසින් සාප කරමින් සිටින්නට සිදුවනු ඇත. අඩුම තරමින් ප්‍රසිද්ධියේ සාප කිරීමටවත් ඉඩක් නොලැබෙනු ඇත.
ලෝකය වෙනස් කළයුතුවා මිස ඔහේ වෙනස්වනතුරු බලා සිටියාට එය සිදුනොවේ. විශේෂයෙන්ම රටක දේශපාලනය වෙනස් කළයුතු වන්නේ එම රටේ ජනතාවයි. එසේ නොකරන තාක්කල් ඔවුන්ව බැටළු රංචු දක්කන බැටළුපල්ලන් මෙන් දේශපාලන බලය අත්පත්කර ගත් අය විසින් දක්කනු ඇත. එනිසා දේශපාලන බලය වෙනස් කිරීමට තමන්ට ඇති අයිතිය ගැන පැහැදිලිව සිතා එය වෙනස් කිරීමට පෙල ගැසෙන බලවේගයන් සමග තමන්ද වහ වහා අත්වැල් බැඳ ගැනීම වැදගත්ය. එතුලින් ඔබ එම බලවේග ශක්තිමත් කරනවා මෙන්ම වැනෙමින් පවතින කොටස්වලට එම බලවේග සමග එක්වීමට සවියක්ද ලබා දෙනු ලබයි. අනික් අතින් ඔබේ එක්වීම එතෙක් එම ගමනේ යෙදී සිටින බලවේගයන්ගේ දිරිය වැඩි කිරීමට සවියක්ද වනු ඇත. එනිසා දැන් අපේ වාරය පැමිණ ඇත. රටේ පවතින මේ දුර්ධාන්ත පාලනය ගැන කලකිරී ඒ ගැන කතා කරමින් රහසේ බැණ වදිමින් සිටින සෑම පුද්ගලයෙකුගේම යුතුකම පෙල ගැසී ඇති මේ බලවේගයන් සමග දැන් අත්වැල් බැඳ ගැනීමයි. මෙහිදී වැදගත් වන්නේ මෙහි වෙනස් ඇති කිරීම මිස පක්ෂ කණ්ඩායම් සංවිධාන ආදියේ ස්වකීය ජයග්‍රහණයන් නොවේ.
ලංකා රාජ්‍යයේ බලය තම අතට ගෙන හිතුමතේ ඒ බලය අනිසි ලෙස තම පවුල් සහ හිතවතුන්ගේ ලාභ ප්‍රයෝජනයට යොදාගෙන සිටින රාජපක්ෂ කල්ලිය පැරද විය යුත්තේ ඇයි?
ලංකාවේ පුරවැසියා සතුව පැවති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඔවුන් විසින් සහමුලින්ම විනාශ කිරීම. විධායක ජනාධිපති බලතල ඒකාධිපති මාවතක ගෙන යමින් ආඥාදායකයෙකු බවටපත්වීම. එම ඒකාධිපති බලතල ජනාධිපති පමණක් නොව ඔහුගේ සහෝදරයින්, පුතුන් සහ ඔවුන්ගේ ආවතේව කාරයින්ද සතු කිරීම. කුඩු වෙළඳුන් හා මිණීමරුවන් සහ රස්තියාදු කාරයින් රටේ ඉහළම නිලතල හෝ ඒවා පාලනයකරන දේශපාලන බලාධිකාරීන් වලට පත්කිරීමයි. මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම වළලා දැමීම, අදහස් ඉදිරිපත් කිරීම, මරණ වරෙන්තුවක් වන තරමට තත්වයක් රට තුල ඇති කිරීම. භිය සහ අනාරක්ෂිත බවින් පෙලෙන සමාජයක් ඇති කිරීම. ප්‍රජාතන්ත්‍රවාදය මුලිනුපුටා දමමින් වැඩ වසම් අධිපති වාදයක් තම බලයට ආරූඨ කර ගැනීම. නැති රදල ආටෝපයකින් මත්වීමකට පත් පාලක කල්ලියක් බිහිකර ඔවුන් ප්‍රාදේශීය පවා පරණ රදල අධිපතීන් මෙන් හැසිරීම. ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ බිම දිගාවී වදින මැති ඇමතිවරුන් ගෙනහැර පාමින් පැරණි රජදවස රජ කෙනෙකු සහ යටත්වැසියා යන තත්වයට රටේ මානසික මට්ටම ක්‍රමක්‍රමයෙන් පහත හෙලීම. රටතුල සුළු ජනවාර්ගික කණ්ඩායම්වල අයිතීන් පාගා දැමීම. රජයට එහි දේශපාලනයට එන සෑම විවේචනයක්ම අධිරාජ්‍යවාදී උගුල්, දේශද්‍රෝහී ක්‍රියා, කොටි හිතවාදීන් ආදී අපහාසයන් තුලින් නිෂේධ කරමින් එම විවේචනය කළ අයට ජීවිත තර්ජන පවා ඇති කිරීම. ලෝකය සමග ආරවුල් ඇති කර ගැනීමෙන් ලංකාව ලෝකයේ කොන්වූ රටක් බවට පත්කිරීම. විදේශ සේවාවලට මේ පාලක කල්ලියේ හිතවතුන් වන හෙංචයියන් පත්කිරීම තුලින් ලෝකය පුරා ලංකාව විහිළුවක් බවට පත්වීම. රටතුල නීතියේ ආධිපත්‍ය සහමුලින්ම නැතිකර දමා අධිකරණය ඔවුන්ගේ අණපිලිපදින ආයතනයක තත්වයකට ගෙනඒම. රාජ්‍ය දේපළ වග විභාගයකින් තොරව පාලක පවුල සහ ඔවුන්ගේ කල්ලියට අවශ්‍ය විදිහට පරිහණය කිරීම. සියළුම රාජ්‍ය ආයතනයන් දූෂනයට යටපත් කිරීම. පොලීසිය නීතිය සහ සාමය රැකීමට ඇති ආයතනයක් වෙනුවට රාජපක්ෂ කල්ලිය රැකීමට ඇති ආයතනයක් බවට පෙරළීම. ඒකාධිපති වියරුවකින් පෙලෙන රාජපක්ෂවරු සිවිල් සේවාවන් විශාල ප්‍රමාණයක් හමුදාකරණයට හසුකිරීම. යහපාලනය මෙම කල්ලියට ආගන්තුක වචනයක් විය. මානව හිමිකම් යනු බටහිර කුමන්ත්‍රණයක් ලෙස හදුන්වමින් මානව හිමිකම් පයට පාගා දැමීම. ජාතික සංහිදියාවන් වෙනුවට ඔවුන්ගේ මැර කල්ලි ලවා කෝවිල් පල්ලි මුස්ලිම් පල්ලි ආදියට පහර දීම. මෙසේ එකින් එක ගෙන කියනවානම් කියා නිමකළ නොහැකිය. ඇත්තෙන්ම ඔවුන් පවත්වාගෙන යන්නේ අර්ධ ෆැසිස්ට්, අර්ධ වැඩවසම් රාජ්‍යයකි. එවැනි රාජ්‍යක ප්‍රජාතන්ත්‍රවාදය යනු වචනයක් පමනි.
ඉහතින් මා ඉදිරිපත් කලේ මෙම රාජපක්ෂ කල්ලිය පැරදවිය යුත්තේ ඇයි? යන්නට ඇති කාරණවන්ගෙන් කොටසකි. ඒ හා සමානව තවත් කොටසකගේ ප්‍රශ්නය වී ඇත්තේ ඉතින් මෛත්‍රීපාල ආවත් වෙනසක් වේවිද? රනිල් මහින්දට වඩා හොඳද? ආදියයි.
ලංකාවේ දේශපාලන දෙස බැලූවිට පාර්ලිමේන්තුවේ සිටින වැඩිදෙනෙකු පමණක් නොව ලංකාවේ ජනයාගේ වැඩි ප්‍රමාණයක් දේශපාලනය කරන්නේ පොදු ප්‍රතිපත්තිමය කාරණාවලට වඩා තම පුද්ගලික ලාභ මුදුන් පත්කර ගැනීමේ පරමාර්ථයෙනි. සාමාන්‍ය ජනයා රැකියාවක්, උසස්වීමක්, දරුවා පාසලට ඇතුළත් කර ගැනීමක්, ආදී මෙකී නොකී පොඩි පොඩි දේ කර ගැනීමේ පරමාර්ථයෙනි. දේශපාලඥයින්ගෙන් වැඩි දෙනෙකු විශාල මුදල් සම්භාරයක් වියදම් කර බලයට එන්නේ කුට්ටි ගණන් කෑමේ චේතනාවෙනි. ලංකා දේශපාලන මනස සැදී ඇත්තේ ඒ අයුරිනි. ඒත් මෙය වෙනස් කළ යුත්තේද රටතුල අය මිස පිට සක්වලින් ආ අය මෙය නොකරනු ඇත. පසුගිය වසර 40 ක් තුල දේශපාලනය තුල ලංකාවේ උතුරු දකුණු දෙකේම අත්වල ලේ තැවරී ඇති බව අපි දනිමු. බලයේ සිටින පක්ෂවල මැති ඇමතිවරු තම පවුල සහ ඥාතී මිත්‍රාදීන්ට අයථා ලෙස ලාභ ලැබීමට ක්‍රම සකස්කර දී හෝ එවැනි දූෂණවල කොටස්කරුවන් වී සිටී. මේ දේශපාලනය මෙතැනින් වෙනස් තැනකට ගැනීමට සිදු වන්නේද දිගු දේශපාලන වැඩිපිලිවෙලක් තුලින් පමනි. නමුත් එවැනි ගමනක ආරම්භයක් සඳහා වත් අද පවතින කල්ලියේ මේ අධිපතිවාදී බලය ඉඩක් නොදෙනු ඇත. එනිසා ඒ සඳහා ඇති මූලික උවමනාවක් වන්නේ මෙම කොල්ලකාරී කල්ලිය අතින් ඔවුන්ගේ ඒකාධිකාරයෙන් රට මුදවා ගැනීමයි. වැඩවසම් ෆැසිස්ට් වැඩ සටහන් අවසාන කිරීමට මගක් පාදා ගැනීමයි. එය කළ හැක්කේ අද රටේ පවතින බලය දූෂණය කරමින් සිටින මෙම කල්ලිය පෙරළා දැමීම තුලින් පමනි. ඉන්පසු බලයට එන අය සහමුලින්ම මෙම ප්‍රශ්න විසදාවි යැයි සිතීම විහිළුවකි. නමුත් බලයට එන අය සමහර යම් යම් ප්‍රතිසංවිධාන කරනු ඇති යැයි අපට සිතිය හැක. එසේ නොකරනවා වුවත් ඔවුන් බලයට ආ විගස ඔවුනට අද මේ කල්ලිය ස්ථාපිත කර ඇති බල ව්‍යුහය එකවර ස්ථාපිත කළ නොහැක. බලය පෙරළුවායින් පසු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් තම අයිතීන් වෙනුවෙන් පෙල ගැසී සංවාද, උද්ඝෝෂණ ඉල්ලීම් සහ බලපෑම් තුලින් දිගින් දිගටම ගෙනයන අරගලයක් තුල පමණක් අනිවාර්යෙන්ම විශාල ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ප්‍රමාණයක් සහ නිදහසක් දිනා ගැනීමට රටට හැකිවන බව සහතිකය. අද පවතින අර්ධ ෆැසිස්ට්, වැඩවසම් ව්‍යුහයට වඩා නරක බලව්‍යුහයක් රටතුල ඇත්තේ නැත. එනිසා මෙය පෙරළුවායන් පසු එන ඕනෑම බලයක් මෙයට වඩා හොඳ වනවා මිස නරක නොවේ. එනිසා අපි අලුත් බලවේගයන්ට සහාය දියයුතු වෙමු. අපද එහි කොටස් කරුවන් විය යුතුය. එමෙන්ම දීර්ඝකාලීනව ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස දිනා ගැනීම සඳහා දිගින් දිගටම දේශපාලනයේ කොටස් කරුවන් විය යුත්තෙමු.
විපක්ෂය එය නොකරනවා යැයි දොස් කීමෙන්ද වෙන කෙනෙකු එය කරන තුරු බලා සිටීමෙන්ද ප්‍රයෝජනයක් නැත. අද අප රට බලය තම අතට ගෙන එහි ක්ෂාරය උරාබොන ඒකාධිපති පාලනයට රට යටත් කරගෙන ඇති කල්ලිය සමග එකට එක්වී හොරා කන කණ්ඩායම හැරුණු විට අපි සියළු දෙනාම මෙම රටේ විපක්ෂය වන්නෙමු. එනිසා අනෙකා කර ඉවරවන තුරු බලා නොසිට අප ද සැම එකෙකුම වශයෙන් එම පොදු විපක්ෂයේ ක්‍රියාකාරී කොටස්කරුවන් විය යුත්තෙමු. මේ පැමිණ ඇත්තේ අපේ වාරයයි.
රංජිත් හේනායකආරච්චි | Ranjith Hennayakaarachchi