Image by: Amila Gamage/FB
පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වන බව ඇසීමෙන් වියරුවෙන් මෙන් කතාකරන ජනාධිපතිවරයා ‘අපේ අතේ ෆයිල් තියෙනවා. ඒ වුනාට අපි ඒ අයට මොකුත් කරන්නෑ. මම ඒවගේ නරක මිනිහෙක් නෙමෙයි’ කියනු ලබයි. ඔහු එසේ පවසන්නේ තම රජයේ කැබිනට් මණ්ඩලයේ සහ මන්ත්‍රී මණ්ඩලයේ සිටින මැති ඇමතිවරුන් පිළිබඳවයි. එතුලින් ඔහු කියා සිටින්නේ මේ අය කළ දූෂනයන්, අල්ලස් ගැනීම්, අයථා අයුරින් රාජ්‍ය දේපළ පරිහණය කිරීම් ආදී නීති විරෝධී ක්‍රියාවන්හි යෙදීම ගැන සාක්ෂි තමන් සතුව පවතින බවයි. ජනතා පරමාධිපත්‍යයක් ඇති රටක පමණක් නොව ඒකාධිපති රටක වුවත් මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන්වල යෙදුනු අයගැන සාක්ෂි ඇතිනම් ඔවුන් එම රටේ නීතිය ඉදිරියට පමුණුවන ලබති.
මා නීතිවේදියෙකු නොවුනද මා දන්නා තරමින් යම්කිසි පුරවැසියෙකු, අපරාධයක් ගැන දැනගෙන එම අපරාධය පිළිබඳ සියලු තොරතුරු තමන් සතුව පවතිද්දී එය වසන් කරන්නේ නම් ඔහු කරන්නේ නීති විරෝධී ක්‍රියාවකි. නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. අනික් අතට එසේ එළිදරව් නොකර එම වැරදි සඟවන්නේ නම් එතුලින් ගම්‍ය වන්නේ ඔහුද එම වැරදිවල කොටස්කරුවෙකු බවයි.
කෙසේ වුවත් රටේ ජනාධිපති යනු විධායකයේ ඉහළම පුද්ගලයාය. රටේ මැති ඇමතිවරු රාජ්‍ය දේපළ තම පුද්ගලික උවමනාවන් සඳහා යොදාගෙන ඇත්තේ නම් අල්ලස් හා දූෂනයන්හි යෙදී ඇත්නම් විධායකයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා කළ යුතු වන්නේ ඔවුන් නීතිය ඉදිරියට පැමිණවිමයි. නමුත් ඔහු ප්‍රසිද්ධියේ කියා සිටින්නේ එසේ වැරදි සිදුවී ඇති බවත් එම වැරදි පිළිබඳව සාක්ෂි සහිත ලිපිගොනු ඔහු සතුව පවතින බවත්ය. නමුත් ඔහු ප්‍රසිද්ධියේම පවසන්නේ ඔවුනට තමා කිසිත් නොකරන බවයි. මෙයින් ඔහු පවසන පලමු කරුණ වන්නේ අපරාධකරුවන්ට තම රජයේ ඉහළම මැති ඇමතිවරුනට රටේ නීතියට උඩින් ඕනෑම දූෂනයකට ඔහු දැනුවත්වම ඉඩහැර තිබූ බවයි. එතුලින්ම ජනාධිපතිවරයා නීතිවිරෝධී ක්‍රියාවක නිරත වී ඇත. අනික් අතින් පැහැදිලි වන්නේ ඔහු රටේ පවතින නීතිය බල්ලෙකුට මායිම් නොකරන බවයි. ඔහුට අවශ්‍යනම් පමණක් නීතිය ක්‍රියාත්මක කරන බව හෝ නැති බව ඔහුගේ කියමනේ අඩංගු කරුණයි.
මෙයින් පෙනෙන්නේ එක්කෝ ජනාධිපතිවරයාට ජනතාව, ජනතා පරමාධිපත්‍ය විහිළුවකි. එසේ නැතිනම් තම ඒකාධිපති වියරුව අභියෝගයට ලක්වීම තුලින් තම මහන්තත්වයට වැදී ඇති පහර ගැන ඇතිවූ වියරුවෙන් අගමුල අමතකව ඇති වගයි. කෙසේ වුවත් මෙයින් පැහැදිලිවන ප්‍රධාන කාරණය නම් ජනාධිපතිවරයා දැන දැනම නීතිවිරෝධී ක්‍රියාවන්හි ගැලී සිටින අතර ඔහු අපරාධයන් සඟවා තබනු ලබයි. ජනාධිපතිවරයා රටේ නීතිය තුට්ටුවකට ගණන් නොගැනීමෙන් පැහැදිලි වන්නේ රටේ නීතිය ඔහු බව ඔහු සිතා කටයුතු කරන අයුරයි. ජනතාව යනු ඔහුට සුවච කීකරු ගැත්තන් ලෙස පෙනීම මේ මහන්තත්වයට හේතුවයි. එය ඔහුගෙන් පමණක් නොව ඔහුගේ මැති ඇමති වරුන්ගේ කියුම් කෙරුම්වලින්ද පෙන්නුම් කරයි.
රට යනු තම බූදලය ලෙස ගෙන ඇති බලය අතට ගත් කල්ලිය සිතන පතන අකාරය ඔවුන්ගේ හැසිරීම් තුලින් පසුගිය වසර ගණනාවක් තිස්සේ විවිධ නාටක ලෙසින් රඟදැක්වූ අයුරු නොදන්නා අයෙකු නොමැත. ඒත් ඒ කරන කියන නරි නාටක ලක්වැසියා සාවදානව භාර ගන්නේ බලය ඇති අයට භය පක්ෂ බව ලංකා සමාජයේ සම්මත මානසික මට්ටම බැවිනි. පන්සලේදී ධාතු කරඬුවේ බලු ඇට කැබැල්ලක් තබා හිස මත තබාගෙන වැඩැම්මුවා වුවත් බිම දිගාවී සාදු සාදු කියා වදින්නාක් මෙන් බලට පත් එකා මොකා හෝ බලය තමන්ට රිසිලෙස බුක්තිවිදින විට ඔවුන් සඳුන් සුවද යැයි කියමින් අසූචි ගොඩක් පෙන්නුවත් එය ඉතා සුවදයි කියමින් භාර ගැනීමට මේ අඳ බැති සමාජය පුරුදුව ඇත. ලාංකික ජන සමාජය එතැනින් එහා ගිය තැනකට ගමන් කරවීම අත්‍යවශ්‍ය දේශපාලන ක්‍රියාවකි.
නියෝජ්‍ය ඇමති ලක්ෂමන් වසන්ත පෙරේරා ප්‍රසිද්ධියේ ජනතාවට කියා සිටින්නේ ‘මෛත්‍රී ඡන්දය ඉල්ලන්න ආවොත් ගස් වල බැඳල ගහන්න’ කියායි. මින් ගම්‍ය වන්නේ කුමක්ද? ඡන්දය ඉල්ලීම යනු ඕනෑම පුරවැසියෙකුට ඇති ප්රජාතන්ත්රවාදී අයිතියකි. පොදු අපේක්ෂකයෙකු යනු පක්ෂ ගණනාවක නියෝජිතයෙකි. ඡන්දය යනු ප්රජාතන්ත්රවාදී අයිතියයි. ඉතිං ඡන්දය ඉල්ලන්නේ බලයේ සිටින කල්ලියට එරෙහිව බැවින් ඔවුනට ගස් බැද ගහන ලෙස ඔවුන් දැනම් දෙති. ඔවුන් දැන් මේ ප්‍රසිද්ධියේම කියමින් ලෑස්ති වන්නෙද එයටයි. රටේ ජනතාව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයද ඔවුනට විහිළුවක් වී ඇති බව මෙයින් පෙන්නුම් කරයි. තම බලයෙන් උන්මත්තකවී ඇති ඔවුන් හැසිරෙන්නේ මධ්‍යතන යුගයේ රජුගේ නියෝජිත නිලමෙලා හැසිරෙන ආකාරයටයි. තමන්ගේ බලයට අභියෝග කිරීමවත් මොවුනට ඉවසීමට නොහැකි මාන්යයකින් මොවුන්ගේ හිස් විකාර වී ඇත.
මේ අතරම තවත් තැනක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රසිද්ධ රැස්වීමකදී තමන් ඉදිරි කාලයේ රැකියා ලක්ෂ දෙක හමාරක් සපයන බව පවසයි. ‘හැබැයි මේ අපි රක්ෂා දේන්නෙ අපෙන් රක්ෂා අරන් යූඑන්පී එක, ජේවීපී එක පස්සෙ යන්න නෙමෙයි. අපෙන් රක්ෂා ගත්තානම් අපිත් එක්ක ඉන්න ඕනි. රක්ෂා ගත්ත හැම කෙනෙක්ම ජනාධිපතිතුමා දිනවමු යන පෝස්ටරය හැම කෙනෙකුගේම ගෙදර ඇලවිය යුතුයි’ යනුවෙන් ඔහු පවසයි. නිමල් සිරිපාලගේ කතාව මතක් කරන්නේ රදල නිලමේ කෙනෙකු තම ප්රවේණි දාසයින්ට කතාකරන ආකාරයක් නොවේද? ‘ඒයි උඹලට කන්න ඕන නම් මේ වලව්වට ඇවිල්ලා වලව්වට සේවය කරපල්ලා. එතකොට උඹලට කන්න ලැබෙනවා. හැබැයි අපි කියන විදියට හිටපල්ලා’ කියන අයුරින් නොවේද? ඇත්තෙන්ම මේ කියමන් ඇසෙන විට නිදහස් මනසක් ඇති ඕනෑම අයෙකුට ඇති වන්නේ හිරිකිතකි. ‘ඔවුන් කවුරුන් කියා හිතාගෙනද මේ කතා කරන්නෙ? ’ යන මානසික මට්ටම එවිට ඇතිවේ. රාජ්‍ය සහ රාජ්‍ය දේපළ සියල්ල තමන්ගේ පුද්ගලික දේපල ලෙස ඔවුන් ඇත්තටම සිතාගෙන සිටීමක් මෙතුලින් ගම්‍ය නොවේද? මෙවැනි බලපෑමක් රටක ජනයාට කිරීමට ඒකාධිපතීන්ට හැර ප්රජාතන්ත්රවාදී මනසක් ඇති කිසිවෙකුට රෙදි ඇදගෙන කළ නොහැක. ඇත්තෙන්ම මොවුන්ට ලැජ්ජාවක් නැති බව නම් පසුගිය වකවානුවේම ඔවුන් කළ කී සියල්ල පෙන්නුම් කරනු ලැබීය.
ඒ වාගේම මේ අතර තවත් තැනක දකින්නට ලැබෙන්නේ පසුගිය වකවානුවේ මෛත්‍රී අමාත්‍යවරයා අතින් රැකියා ලද අය සේවයට පැමිණි පසු ඔවුන් සේවයෙන් පහකර ගෙදර යන ලෙස දැනුම් දෙනු ලැබීමයි. එයට හේතු වශයෙන් ඔවුන් දන්වන්නේ මේ රැකියා දෙනු ලැබූ මෛත්‍රී ජනාධිපති අපේක්ෂකයෙකු වන බවයි. ඒ එක්කම පසුව පත්කළ ඇමතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ හිතවතුන්ට රැකියා දෙනු ලබයි. මෙයින් ඔවුන් පැහැදිලි කරන්නේ රටේ ජනයා ඔවුන්ට විහිළුවක් වී ඇති බව නොවේද? ඔවුන් ජනතා නියෝජිතයින් නොව ජනතාවගේ අයිතිකරුවන් ලෙස සිතා සිටින බව නොවන්නේද?
එසේ නම් ඒකාධිපති රදල මාන්නයකින් පෙළෙන පාලක කල්ලියෙන් රට ගලවා ගතයුතු නොවන්නේද? ඒ සඳහා සෑම පුරවැසියෙකුම මෙම විනාශකාරී කල්ලියට එරෙහිව එකම පෙරමුණක සිට මේ දුර්ධාන්ත වැඩවසම් කල්ලිය පරාජය කළ යුතුව ඇත. අද වන විට පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ඇති මෛත්‍රී දිනවීම මේ වැඩවසම් ඒකාධිපති වියරුවෙන් රට බේරාගැනීමට ඇති ආරම්භක පියවරයි. ඉන්පසුව තව දිගු කලක් දැනට විනාශ කර ඇති සමාජය සහ එහි ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට ගතවනු ඇත. එය නිකම්ම සිදුනොවේ. දිගින් දිගටම පුරවැසියන් ලෙස සංවිධානාත්මකව කරන දේශපාලන අරගලය සහ බලපෑම් තුලින් පමණක් මේ කාලකණ්නි තත්වයෙන් රට මුදවා ගැනීමට ගත හැකි වනු ඇත. එනිසා එම ගමනේ ආරම්භය ලෙස අත්‍යවශ්‍ය හදිසි ක්‍රියාදාමය වන්නේ, නිදහස, ප්රජාතන්ත්රවාදය සහ මිනිස අයිතීන් ගරු කරන සියළුම පක්ෂ, සංවිධාන සහ පුද්ගලයින්ගේ එකතුවක් තුලින් පොදු අපේක්ෂකයා දිනවීම සඳහා ක්‍රියාත්මක වීමයි. ඔහු සමග එකට අත්වැල් බැඳ ගැනීමයි.
රංජිත් හේනායකආරච්චි | Hennayakaarachchi