Image Credit: independent.co.uk

2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් නිදහස් වන්නට ලැබීම ලාංකිකයන්ට මහත් අස්වැසිල්ලක් විය. ඉන් පසු ඔවුන් තුළ තිබුණේ, සමාජ ප‍්‍රගතිය සහ යහපාලනය ගැන අපේක්ෂාවන් ය. එහි ගෞරවය පැහැදිළිවම රාජපක්ෂ පාලනයටත් සටන් පෙරමුණේ සිටි සියල්ලන්ටත් හිමි විය යුතුය.

දූෂිත දේශපාලඥයන්ව, සමහර විට යම් මිලකට හෝ ගැනීමෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ආණ්ඩුවට ලබාගත හැකි වූ බැවින් තවදුරටත් ඒ බලයෙන් රටට යහපතක් කිරීමට පුලූවන් කම තිබුණි. එහෙත් සිදුවුණේ, පැවති විනීත ප‍්‍රමිතීන් සහ ශිෂ්ට ආණ්ඩුකරණයේ සකල ප‍්‍රතිපදා උල්ලංඝණය කරමින් තව තවත් බලය ඒකරාශී කර ගැනීම සඳහා එම බලය පාවිච්චි කිරීමයි. යුද්ධයේ සහ ජාතියේ වීරයෙකු වූ සරත් ෆොන්සේකාව ඉන් පසු හැම උප්පරවැට්ටියක්ම පාවිච්චි කරමින් හිරේ දැම්මේය. ඔහුගෙන් පෞද්ගලිකවම පළිගත්තේය.

එසේ සිදුවන අතරේ අනිත් පැත්තෙන්, ත‍්‍රස්තවාදී නායකයෙකු වන කේ. පී. ට සියලූ යසඉසුරු සැපයුණි. අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකට එරෙහිව අභූත චෝදනා ගෙන එමින් එම තනතුරින් පහකෙළේය. ඇයට එරෙහිව පැවැත්වූ විමර්ශනයට අදාළ වාර්තාව පිටු 1000 කින් සමන්විත විය. එය කියවා, පැහැදිළි කොට, අවබෝධ කරවා දී තීරණයක් ගැනීමට ගතවුණේ එක රැයකි. එය, අධිකරණ ඉතිහාසයේ පෙර නොවු විරූ ජුගුප්සාජනක ක‍්‍රියාවලියක් විය. අවසානයේ, නූගත් මන්ත‍්‍රීවරු එම ලියවිල්ලට අත්සන් කළහ. සාමාන්‍ය අපරාධකාරයෙකුට ඊට වැඩි යුක්තියක් ඕනෑම අධිකරණයකින් ලැබෙනු ඇත. මේ ආකාරයෙන් විධායකය කරමින් සිටියේ තමාගේ අභිලාෂයන් හැකි හැම අයුරකින්ම ඉෂ්ට කර ගැනීමට කටයුතු කිරීමයි.

බොහෝ අංශවලින් රටේ දියුණුවක් ඇති බව සැබෑව. යුද්ධයක් අවසන් වීමෙන් පසු එවැනි වර්ධනයක් ඇති වීම ස්වභාවික ය. එය ඕනෑම රාජ්‍ය නායකයෙකු යටතේ බලාපොරොත්තු විය හැක්කකි. උතුරු-නැගෙනහිර පුනරුත්ථාපනය, සංචාරක වර්ධනය, (අති විශාල ධනස්කන්ධයක් වැය කරමින්) ඇති කළ මාර්ග ජාලය, ඇවිදින මංතීරු සහ කොළඹ ශෝභනය නරක නැත. එහෙත්, යුද්ධය සඳහා වැය වූ ධනස්කන්ධය, දැන් යුද්ධයෙන් පසුව දේශපාලඥයන්ගේ සාක්කුවලට යන්නට විය. රටේ ජනතාව දුක්මහන්සියෙන් කල් ගෙවද්දී, ආණ්ඩුවේ මැතිඇමතිවරු ප‍්‍රකෝටිපතියෝ වූහ.

මේ ආකාරයෙන්, රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1000 ක් දක්වා ඉහළ ගියේය. 2005 දී රුපියල් බිලියන 32.3 ක ලාභයක් ලැබූ රාජ්‍ය ආයතන 55 ක්, රුපියල් බිලියන 107 ක පාඩුවක් ලබන ආයතන බවට පත්විය. එහෙත් ඇමති ධුර 100 ක් තිබුණි. 2009 වන විට රුපියල් බිලියන 3589 ක් වූ විදේශ ණය ප‍්‍රමාණය, 2012 වන විට, එනම් යුද්ධයෙන් පසුව ගතවූ අවුරුදු තුනක් ඇතුළත, රුපියල් බිලියන 6791 ක් දක්වා ඉහළ ගියේය.

පාලක කල්ලියේ අධිමානය සන්තර්පණය කරගනු වස්, හම්බන්තොටින් සුදු අලින්ව ගොඩබැස්සුවේය. අළුතෙන් ඉදි කළ හම්බන්තොට වරායේ ගලක් කැඞීමට පමණක් රුපියල් බිලියන 9 ක් ද, ටෙලි සිනමා උද්‍යානයක් සඳහා රුපියල් බිලියන 2 ක් ද, ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයක් සඳහා රුපියල් මිලියන 700 ක් ද හම්බන්තොටට පොම්ප කෙළේය.

ලොකුම අපරාධය සිදුවුණේ මත්තල ගුවන් තොටුපොළෙනි. එහි වියදම රුපියල් බිලියන 39.6 කි. එවැනි වියදමක් දරමින් ගොඩනැගූ එම ගුවන් තොටපොල 2013 අපේ‍්‍රල් මාසය වනවිටත් පාවිච්චි කෙළේ මගීන් 40 දෙනෙකු පමණි. බුලත් කඩකාරයෙක් සාමාන්‍යයෙන් මේ ගුවන් තොටුපොළෙන් එන ආදායමට වැඩි ආදායමක් උපයන බව කියැවේ. කෙසේ වෙතත්, අපේ වාසනාවට තවත් උගුලකින් අපි ගැලවුණෙමු. එනම්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල ලංකාවේ පැවැත්වීමට ආණ්ඩුව ගත් උත්සාහය ව්‍යර්ථ වීමෙනි. එයින් ඉතිරි කරගත හැකි වූ මුදල රුපියල් බිලියන 500 කි. එහෙත්, මේ සඳහා ඉල්ලූම් කිරීමට වැය කළ රුපියල් මිලියන 784 නිකංම කාණුවේ ගියේය.

ජනාධිපතිවරයා සඳහා වන වාර්ෂික වියදම රුපියල් බිලියන 8.6 කි. මෙය, බි‍්‍රතාන්‍ය මහ රැජිණ නඩත්තු කිරීමට වැය වන මුදලටත් වැඩි ප‍්‍රමාණයකි. 2005-2009 දක්වා වන කාලය තුළ පමණක් මහින්ද රාජපක්ෂ රජයේ දූෂණ නිසා ජාතියට අහිමි වූ ධනය රුපියල් බිලියන 870 ක් බව විපක්ෂය ගණන් බලා තිබේ.

100 ත් ඉක්මවන යෝධ කැබිනට් මණ්ඩලය සඳහා රුපියල් බිලියන 2.6 ක් වැය වෙයි. එහෙත් සෑම රජයේ දෙපාර්තමේන්තුවක්ම පාහේ දුවන්නේ පාඩු පිටයි. මේ අතරේ ඇමතිවරු, වෙනත් දූෂණයෙන් හම්බ කරන දේවල්වලට අමතරව, තමන්ට ලැබෙන තීරුබදු රහිත වාහන බලපත‍්‍රයත් විකුණාගෙන කති. හෙජින් ගනුදෙනුවෙන් රටට අහිමි වූ ධනය රුපියල් බිලියන 17 කි. දෙතුන් දෙනෙකුට ආරාධනා ලැබෙන විදේශ සංචාර සඳහා ජනාධිපතිවරයා කැටුව යන සිය ගණන් මැති ඇමතිවරුන්ගේ සංචාරක වියදම් සඳහා රුපියල් බිලියන 1.4 ක් වැය කෙරේ. එහෙත්, ‘මහජන මුදල් වැය කෙරෙන ආකාරය ගැන සියල්ලන්ම වගකිවයුතුව ඇතැ’ යි අනිත් පැත්තට හැරී ජනාධිපතිවරයා කියයි.

‘කෝප්’ වාර්තාව පෙන්වා දෙන පරිදි, ආණ්ඩුවේ දූෂණය නිසා නාස්ති වන මුදල රුපියල් බිලියන 300 කි. මාර්ග ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් මැති ඇමතිවරුන් සොරකම් කරන ධනය අති විශාල ය. ඒවා ලබාගන්නේ තවත් පරම්පරා ගණනක් ගෙවිය යුතු වන, යෝධ ණයවලිනි. ගාල්ල අධිවේගය සඳහා කිලෝ මීටරයකට වැය කළ මුදල රුපියල් මිලියන 900 ක් වන විට, කඩවත සිට කෙරවලපිටිය මාර්ගයේ එක කිලෝ මීටරයකට වැය කළ මුදල රුපියල් මිලියන 7500 ක් වුණේ කෙසේද? පවතින උද්ධමන වේගය නිසා වියදම සියයට 5-10 ත් අතර ප‍්‍රමාණයකින් වැඩි විය හැකි බව ඇත්ත. එහෙත්, එය සියයට 800 කින් වැඩි වන්නේ කෙසේද? එසේ තිබියදී, ගංවතුර නිසා අවතැන් වූ කොළඹ පවුලකට ආණ්ඩුව ගෙව්වේ රුපියල් 333 ක් පමණි.

තමන්ට අත්‍යාවශ්‍ය වන ඖෂධ වර්ග 20 ක් තමන්ට නැති බව මහරගම පිළිකා රෝහල කියයි. ඉතා මූලික මට්ටමේ වෛද්‍ය පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍ය කළමනා තමන් සතුව නැති බව කොළඹ මහ රෝහල කියයි.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ උත්සවලට සහභාගී වන සංචාරවලට වැය වන මුදලින් අඩු වශයෙන් අඩක්වත් ඉතිරි කරගත හැකි විණි නම්, ලංකාවේ පිළිකා රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය මූලික ඖෂධ වර්ග ඉදිරි වසර 20 ටම අවශ්‍ය ප‍්‍රමාණයට සපයාගත හැකිව තිබුණි.

ඉතිං, ප‍්‍රකෝටි ගණනින් මැතිවරණ ව්‍යාපාරය සඳහා ආණ්ඩුව වියදම් කිරීම අරුමයක් නොවේ. ‘දුප්පතාට සැළකීම’ යටතේ ඔවුන් බලන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් නැවත වරක් බලයට පත්වී ඉහත හොද්ද තවත් සිය ගුණයකින් බොර කර ගැනීමට ය.

දොස්තර සී. එම්. සිල්වා

*2014 නොවැම්බර් 26 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ The Curse Of the Executive Presidency නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි