Image Credit: transcurrents.com

රජුන් පුරවැසියන් නොඉවසන බව ප්‍රකට කරුණකි. රජුන් යැයි සිතා සිටින්නවුන්ද පුරවැසියන් නුරුස්සන සහ නොඉවසන අතර ඔවුන් පතන්නේ රටක යටත් වැසියන් නැත්නම් ගැත්තන් පමණක් සිටිය යුතු බවයි. එනිසා පුරවැසියන් ඇතිවීම වැලැක්වීමට ඇති සියළු විධිවිධානයන් ඔවුන් දිගින් දිගටම යොදනු ලබයි. යටත් වැසියන් ඔවුන් වටා රොක්වී වැඳ නමස්කාර කර පඬුරු පාක්කුඩම් පිදීම තරම් ඔවුන්ගේ සතුටට හේතුවන වෙනත් දෙයක් නොමැත. ‘පුරවැසි බලය පොදු වේදිකාවේ’ හිසින් ගාමිණී වියන්ගොඩ ලියූ ලිපියකින් පුරවැසියා සහ යටත් වැසියා පිළිබඳව පැහැදිලිව විස්තර කර ඇත. එනිසා ඒ පිළිබඳව මා මෙහි වැඩිවිස්තර නොකරමි. එමෙන්ම මේ පුරවැසියා සහ මිනිසුන් ගැන සඳහන් කිරීමකදී සුප්‍රකට ස්විටර්ලන්ත ලේඛකයෙකු වූ මාක්ස් ෆිෂ් ‘මිනිසුන් පැමිණ සිටී. ඒත් ඔවුනට පුරවැසියන් වීමට අවසර ලැබී නැත’ යනුවෙන් පවසයි. මෙයින් ඔහු අදහස් කරන්නේ මිනිසුන් සිටියාට පුරවැසියන් බවට ඔවුන් ඉබේ පත්නොවන බවයි.

මහින්ද රජෙකු ලෙස සිතමින් හැසිරීමත් ඔහු රජෙකු යැයි ඔහුගේ කල්ලිය ප්‍රචලිත කිරීම තුලමත් තමන්ද රජුගේ රාජ්‍යයේ කොටස්කරුවන් ලෙස රදල අධිපතීන් මෙන් එමෙන්ම රාජපුරුෂයන් ලෙසද මේ අය තම තමන්වම හදුන්වා ගනිමින් අධිමහන්තත්වයක් මවාගැනීමද කරමින් සිටිති. එවිට ඔවුන් සිතන්නේ ‘උඹ කවුද යකෝ අපේ රජතුමාව විවේචනය කරන්න? ’ එසේ නැතිනම් ‘බලාගනියව් තොපිට කරන දේ. අපිට ඕන දෙයක් ඕන වෙලාවක අපිට කරන්න පුලුවන් යකෝ’ ආදී ලෙස වන අතර ඒවා ප්‍රසිද්ධියේම කියන්නේ එතුලින් තමා තුලඇති රාජපාක්ෂීභාවය පෙන්වා රජුගේ හිත් දිනාගැනීමේ චේතනාව පෙරදැරිකරගෙනයි. තාන්න මාන්න ලැබීම ඒවායේ අරමුණයි.

ඊයේ එප්පාවලදී ජයතිලක බණ්ඩාර සොයුරා ඇතුළු පුරවැසියන් කණ්ඩායමකට රාජපුරුෂයන් වටවී පහර දෙන අතර පොලීසිය සහ සෙනග බලා සිටිති. මෙතන සිදුවන්නේ රජු පුරවැසියන් නොඉවසීමයි. මේ වන විට තමා රජෙකු යැයි සිතා සිටින, රජෙකු ලෙස බලය ගොනුකරගෙන ඇති මහින්ද සහ ඔහුගේ අනුගාමික කල්ලියට රටතුල අභියෝගයක් මතුවී ඇත. ඒ මෙම කල්ලිය විසින් සිදුකරමින් පවතින මෙම සමාජය ආපස්සට කැරකවීමේ ක්‍රියාදාමය දරා ගැනීමට නොහැකි දේශපාලන බලවේගයන් එකතුවක් තුලිනි. මේ අතර රටේ මිනිසුන් අතරින් පුරවැසියන් මෙම බලවේගයන්ට සහාය දක්වමින් පසුගාමී මැර දුර්ධාන්ත රාජපක්ෂ කල්ලියට එරෙහිව තැන තැන ක්‍රියාත්මක වීම් අරඹා ඇත. රජෙක් යැයි මානසික ඔටුන්නක් පැළඳ සිටින මහින්ද මෙන්ම ඔහුට මෙම ඔටුන්න ඇන්ඳවූ අය ඔහු වටා රොක්වී මොවුන්ගේ ගැත්තන් නැතිනම් යටහත් ආවතේවකරුවන් මෙම පුරවැසියනට එරෙහිව මෙහෙයවීම දැන් අරඹා ඇත. ජයතිලක බණ්ඩාර සොයුරා ඇතුළු කණ්ඩායමට පහරදීම ඇතුළු මේ වන විට තැන තැන සිදුවෙමින් පවතින පහරදීම් වලින් පෙන්නුම් කරන්නේ පුරවැසියනට එරෙහිව මේ මෙහෙයුම දැන් දියත් කර ඇති බවයි. පැහැදිලිවම මෙය ආරම්භය වන අතර එය දිනෙන් දින මීට වඩා දරුණු තත්වයකට පත්වන බව නියතය.

නූතන රාජ්‍යයක් තුල ජනතා බලයෙන් බලයට පත්වූ නායකයන් මෙසේ රජුන් ලෙස හැසිරීම සහ රජුන් වීමට තැත්කිරීම ලංකාවේ රාජපක්ෂලාට පමණක් සීමා නොවේ. එවැනි අවස්ථා මෙන්ම සිදුවීම් ලෝකය පුරා ඉතිහාසය තුලත් දැනටත් සිදුවෙමින් පවතින බව අප දනිමු. රොබට් මුගාබේ යටතේ සිම්බාබ්බේ රාජ්‍යයත් ව්ලැඩිමර් පුටිං යටතේ රැසියාවත් අදටක් එසේ වෙමින් පවතින රාජ්‍යයන් වලට උදාහරණ වේ. ඒවාගේම ලංකාවට නුදුරින් ආසියාවේ ඇති රටක් වන පිලිපීනයේ ෆර්ඩිනඩ් මාකෝස්ලාගේ පාලනය ආසියා ඉතිහාසයට ඇති හොඳම පාඩමකි. අද ලංකාවේ සිදුවන දෙය එදා පිලිපීනයේ සිදුවූ දෙය හරියට අධ්‍යයනය කළ කෙනෙකුට පැහැදිලිව වටහා ගැනීමට ඉඩ සලසනු ලබයි. මාකෝස් 1965 බලයට එන්නේ මහජන ඡන්දයෙනි. 69 ඡන්ද වංචා චෝදනා ලබමින්ම ජනාධිපතිකම හොබවන මාකෝස් විශාල ජන විරෝධයක් තිබියදීත් 1972 දී යුධ නීතිය ප්‍රකාශ කරමින් බලයේ සියළු රැහැන් ඔහු වෙත ඇද ගනී. ඔහුගේ විශාල පිලිරූ රටෙහි ගොඩනගමින් සියලු රාජ්‍ය දේපළ තම පුද්ගලික දේපල ලෙස පරිහරණය කරන මාකෝස් පවුල සහ කල්ලිය 1986 ජනතා නැගිටීමකින් පන්නා දමන තුරු ඩොලර් බිලියන 35 ක ණයක් රටට ඉතිරි කරන අතර පිලිපීනයේ සෑම වැසියෙකුම ඩොලර් දහස් ගණනකට ණය කාරයෙකු බවට පත්කරයි. මාකෝස් පැන යන විට ඔහු රාජ්‍ය මුදලින් යටි මඩි ගැසූ මුදල් සහ දේපළ ප්‍රමාණය ඩොලර් බිලියන 10 ඉක්මවයි. ඔහුගේ ඒකාධිපති වියරුව බිලිගත් මිනිස් ජීවිත සංඛ්‍යාව දස දහස් ගණනින් ගණනය වන අතර මාධ්‍යවේදීන්, දේශපාලන ක්‍රියාධරයන්, මානව අයිතීන් ක්‍රියාධරයන් ආදී පුරවැසියන් ඔහුගේ රාජපුරුෂයන් යොදවා දඩයම් කරනු ලැබීය. නමුත් අවසානයේ සියළු දේශපාලන පක්ෂ සහ බලවේග (විශේෂයෙන්ම කොමියුනිස් පක්ෂය, කොන්සවේටිව් පක්ෂය, ලිබරල් පක්ෂ ඇතුළු) එක්වී නැගිටීම තුල ඔහුට රටහැර පැන යාමට සිදුකරනු ලබයි.

අද මහින්දලා කරගෙන යන්නේ එදා මාකෝස්ලා හා සමාන ක්‍රියාදාමයකි. රාජපක්ෂලා කෝටි ප්‍රකෝටි ගණනින් විදේශ ණය ගනී. විවිධ සංවර්ධන වැඩි පිළිවෙලවල් කියමින් කෝටි ගණනින් මුදල් යටිමඩි ගසති. වංචා කරති. මුළු රටේම ජනයා ණය කරුවන් බවට පත්වන අතර මහින්ද ඇතුළු රාජපක්ෂ කල්ලියත් ඔවුන්ගේ හෙංචයියලාත් විශාල මන්දිර ඉදිකරමින් සුඛෝපභෝගී ජීවිත සඳහා එක දිනකට ලක්ෂ ගණනින් වියදම් කරමින් වැජඹෙති. ඔවුන් යටිමඩි ගැසූ රාජ්‍ය දේපළ විදේශ බැංකුවල රහසිගත ගිණුම්වල තැන්පති කරති. අවසානයේ රටේ ජනයාට ඉතිරි වන්නේ ණය පමනි. ඒක පුද්ගල ආදායම ගණනය කරන මහ බැංකුව යම් අයුරකින් ඒක පුද්ගල විදේශ ණය කොපමණද කියා ගණනය කර බැලුවොත් රාජපක්ෂලා මේ වන විටත් රටේ ජනයා කොපමණ ණය කරුවන් කර ඇත්දැයි බලාගත හැක. නමුත් සෑම තැනකම බලය තම අණසක තුල පවත්වා ගන්නා රාජපක්ෂ කල්ලියේ මේ දුර්ධාන්ත පාලනය පෙරළා දමන තුරු එවැන්නකට ඉඩක් නොලැබෙනු ඇත.

අද වන විට මහින්දලාට එරෙහිව කතාකරන සෑම පුරවැසියෙක්ම ඔවුන්ගේ සතුරන් ලෙස හංවඩු ගැසෙන අතර ඔවුනට ඒ ඒ ප්‍රමාණය සහ අවස්ථාව අනුව තර්ජන ගර්ජනයට මුහුණ පෑමට සිදුවනු ලබයි. පසුගිය වසර 5 ක කාලය තුල ලංකා සමාජය මෙම සිදුවීම් දිගින් දිගටම අත්දකිමින් සිටිති. මාධ්‍යවේදීන් අතුරු දහන් කරමින්, මරා දමමින් ක්‍රමක්‍රමයෙන් ඔවුන් රට භීතියේ රාජධානියක් බවට පත්කරමින් පැවතුණි. ඔවුන් නොපැතූ මොහොතක ඔවුනට එරෙහි බලවේගයන් ගොනුවීම තුල දරා ගත නොහැකි වියරුවකට පත්ව ඇති රාජපක්ෂලා දැන් හැසිරෙන්නේ ඔවුනගේ සැබෑ මුහුණුවර හෙලිදරව් වන අයුරිනි.
රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රශ්න ඇසීම නොඉවසන මොවුන් පැනය ඇසූ එකා දණ්ඩනයට පත්කරන බව ප්‍රසිද්ධියේ පවසන්නේ මේ ලංකා භූමි භාගය තුල ඔවුන් ප්‍රශ්න කිරීම පාපයක් බව හඟවමිනි. පුරවැසියකු සතු අයිතීන් ගැන රටේ මිනිසුන් සමග මහමග කතා කිරීමකට වියරුවෙන් පහර දෙන්නේ මෙම රාජවැඩවසම් මනසක හිමිකම හේතුකරගෙනයි. ඔවුනගේ බලයට අභියෝග කරන සියලු දෙනා විදේශ ඔත්තුකරුවන්, අධිරාජ්‍යවාදී අතකොලු, මුදලට විකිණී ඇති අය ආදී මෙකී නොකී අපහාසයට ලක්කරන්නේ ඔවුන් තමන් යනු රට ලෙස සිතා සිටීමේ හේතුවෙනි.

රජුන් විවේචනය කිරීමේදී ඔහුගේ මුළු සනුහරයටම එම වරදට දඬුවම් දෙනු ලබන්නේ වැඩ වසම් සමාජයකදීය. එය ඒ ආකාරයට ක්‍රියාත්ම කිරීමට උත්සාහ දරන බව හිරු මාධ්‍යවේදියාට පහරදීම සහ ඔහුගේ දෙමාපියන් මරා දමන බවට කරන තර්ජනය තුලින් පෙන්නුම් නොකරයිද? එපමණක් නොව මෙම පහරදීම්වලට ගොදුරුවන වුනට රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට ඇති ඉඩකඩද ඔවුන්ට අහිමි කර ඇත. මේ තත්වය පෙන්නුම් කරන්නේ වැඩවසම් සමාජයක ‘රාජ බිය’ සමාජ ගත කිරීම නොවන්නේද? රාජ බිය සමාජ ගත කරන රජුන් වෙතද බිය පැමිණි විට ඔවුන් ක්‍රියාත්මක වන්නේ වියරුවෙනි. රජුන් වියරු වැටීම රටකටම විනයකි. නමුත් රජුන් යැයි සිතා සිටිනවුන් වියරුවැටීමෙන් රටක් නැතිබංග කරනු ලබයි.

ලංකාව නාමිකව හෝ ප්‍රජාතන්ත්‍රවාදය පැවති නූතන ජාතික රාජ්‍යක් ලෙස පැවතුන තැනකි. එතුල ප්‍රජාතන්ත්‍රවාදය හරියාකාරව ක්‍රියාත්මක නොවූවා වුවත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉවක් මේ සමාජය තුල පැතිර පවතී. නමුත් අද මහින්දලා උත්සාහ කරන්නේ මෙම ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයම ඒ ගැන රටතුල ඇති නාම මාත්‍රවල පවා ගෙල සිරකර ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගැන හඬ මතුකරමින් ඒ අදහස පෙරට ගෙන එන පුරවැසියන් යටපත් කර විනාශ කිරීමටයි. පුරවැසියන් නැති රටක ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතිවිය නොහැක. ඔවුන් පුරවැසියනට විරුද්ධ වන්නේ ඔවුන් තුල ප්‍රජාතන්ත්‍රදය කෙරෙහි ඇති භිය නිසාවෙනි. වැඩවසම් පසුගාමී මනසකට ප්‍රජාතන්ත්‍රවාදය නයාට අඳුකොල මෙනි. ප්‍රජාතන්ත්‍රවාදී අදහස්වලට ඔවුන් බිය වන නිසාම ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දරමින් ඒ ගැන කතාකරන පුරවැසියන්ට ඔවුන් වෛර කරති. ඔවුනට හැකි හැම මොහොතකම ඔවුන් පුරවැසියන් විනාශ කරනු ඇත. ඔවුනට අවශ්‍යව ඇත්තේ ඔවුනගේ ගැත්තන් සහ යටහත් වැසියන්ය. නමුත් රාජපක්ෂලාට නොවැටහෙන එක දෙයක් වන්නේ ඉතිහාස රෝදය මොහොතකට නතර කලා වුවත්, මොහොතකට ආපස්සට කැරකවූවා වුවත් ඉතිහාසය රෝදය නැවත නැවතත් නොනවත්වාම ඉදිරියට කැරකෙන බවයි.

රජෙකු වන්නට සිහින දකින මහින්දට අමතක වන ලාංකීය ජනවහරේ එන කියමනක් මෙහිදී මා සිහිපත් කිරීමට කැමත්තෙමි. එය සිහිකිරීම මහින්දටත් හිතකරය. ඒ ‘රජුන්ටත් අකුරු වරදී’ යන්නයි.

ranjith_hennayakeරංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarchchi