Image:Vikalpa

‘‘…..මාව බිම පෙරළගෙන පයින් ගැහීම මට දරාගන්න පුළුවනි. ඒත් මට පහර දෙන මිනිස්සුන්ට මා එක්ක එක ම වේදිකාවෙ ගී ගැයූ දිවුල්ගනේ ශක්තිය දෙනව කියලා සිහිවෙන එක මට දරාගන්න අමාරුයි……’’ (‘වියරුවට එරෙහි වීදියේ විරෝධයේ’ දී ආණ්ඩුවේ මැරයන් ගේ ප‍්‍රහාරයට ලක් වූ සංස්කෘතික කි‍්‍රයාධර ජයතිලක බණ්ඩාර සහෝදරයා)

වියරුවට එරෙහි වී විරෝදය වීදියට ගැලූවාම
වියරුවම තමයි මේ දෝරෙ යන පොළු මුගුරු හමුදාව
පරෙවියනි කුරවියනි නොසිට ගුවනත, පොළොවෙ පයලෑව
කැඩුණු තටු පිරිමදින සෙනඟ හිඟ නෑ, වීදියේ තාම

කුදුගැහුණු ආත්මෙට නිල් අහස දරන්නට බැරිබැවින
විලිවැහෙන තටු කපා හිලව්වට සාටකේ ගෙල ලෑව
රංගනේ ගොන්කවඩි, රත්තරන් කූඩුවල සෙළුවැලිව
ගායනේ කියාදුන් පදවැල්ය, බිතක්කන රජගෙදර

ලජ්ජාව උගස්දුන් කලට සළු උණා මහ තැන්වලට
කජ්ජක්ද කියන එක? කියාදුන් පද තාල තාලමට
බිජ්ජක්ද මොන හූණු ආත්මය? බණ්ඩියට බඩජහර
සජ්ජායනේ ඉතින් නවතින්නෙ පාචනේ උනදාට

කුරුල්ලෙක් කියන්නේ ගගන සරණා කෙනෙකි නිදහසේ
ජීවිතය ගයන්නෙකි නොබා රිසි රිසි ව සිය අබිමතේ
අබිමතේ වැඩෙන්නේ කුරුලූ ඇසකිනි, දකින ජීවිතේ
පරෙවියෙක් කුරවියෙක් කියන්නේ ආත්මෙකි ගුවනතේ

පුළුවන්ද තලා හොට කුරුල්ලෙක් ගයන එක නවතන්න
පුළුවන්ද කපා තටු පියහැඹුම සදහට ම වළකන්න
පුළුවන්ද තබා වෙඩි කුරුළු සනුහරේ මුලිනුපුටන්න
පුළුවන්ද කුරුල්ලෙක් හුරුල්ලෙක් වගේ බැදුමට ගන්න?

ජයේ, ජය ගීය නම් නෑසෙනා මානයක දුර තමයි
මඟට හලනා තරම් කඩු කිනිසි ගල්මුල් ද අපමණයි
ඒත් නවතිනු කෝම? සැනසීම නම් ගමන පමණමැයි
නෑසෙනා දුර දිනෙක ඇසෙන මානෙට පැමිණ අඬගසයි!

Sanath-Balasooriyaසනත් බාලසූරිය | Sanath Balasooriya