සංවර්ධනය පසුපස හඹා ගිය හා වර්ථමානයේ හඹා යමින් සිටින රටවල් බොහොමයක් එකී සිහිනය වෙනුවෙන් තම වනාන්තර, වනජීවීන් හා සෙසු ස්වභාවික සම්පත් සියල්ල මකර කටට යවන්නේ කිසඳු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිවය. වර්ථමාන හා අනාගත පැවැත්ම තහවුරු කරගැනීම සඳහා රටකට ඉවහල් වන එම රටට සොබා දහමෙන් හිමිවූ දායාදයන් සියල්ල වනසා දමමින් ඔවුන් අත්කරගන්නා සාර්ථක ප්‍රතිපලයක් නොමැති බවට අතීතය පුරා අප විසින් තලු මරණ උදාහරණ කොතෙකුත් තිබේ. නමුත් අද දවසේද අපේ රටේ පාලකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් හා බලධාරීන් සිදුකරමින් සිටින්නේද ඒ රෑ වැටුණු වලේ මහා දවාලේ ද මුළුමහත් ජාතියම ඇද දමමින් සිටීම වීම ජාතියේම කාලකන්නිකම විනා අන් කවරක්ද? තමන්ගේ මෙන්ම තම දූදරුවන්ගේ මෙන්ම නූපන් පරපුරේද ජීවත්වීමේ අයිතිය උදුරා ගනිමින් අද දවසේ මෙරට පාලක කාරකාදීන් විසින් සිදුකරමින් සිටින ජාතික විනාශය පිළිබඳව පොදු මහජනතාවගේ සක්‍රීය මැදිහත් වීම අල්ප වීමද එම කාලකන්නිකමේම කොටසක් බව කිව යුතු නැත.
තම දේශපාලන හෙන්චයියන් හට දොළ පිදේනි ලෙස නිල්ගල සංරක්ෂිත වනාන්තරයේ ඉඩම් අක්කර දහස් ගණනක් අත්පත් කර ගන්නටත් ඒවායේ තිබූ වටිනා දැව ශාක පැහැර ගන්නටත් ඉඩදීමට වනජීවී විෂය භාර අමාත්‍යවරයා කටයුතු කල ආකාරය මෙම වසර මුලදීම අසන්නට ලැබුණි. මෙම මහා විනාශයෙන් නිල්ගල සංරක්ෂිත වනාන්තරයට අයත් ඌව පතන් බිම් ලෙස හැඳින්වෙන සුවිශේෂ වනාන්තර දර්ශය බේරා ගැනීමට එහි මායිමේ තිබූ විශාල ශාක සංඝ සන්තක කර පූජා කිරීමට පරිසරවේදීන්ට සිදුවිය. මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම හා බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කොටබෝව, බැඳියාව, කළුගහවාඩිය යන ග්‍රාම සේවා වසම්වල මෙම වනාන්තර විනාශය දිනපතාම දිවා රාත්‍රි දෙකෙහිම සිදුවෙමින් පවතිද්දී වන නිලධාරීන්ට ගොළු බිහිරි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින්නට සිදුවිය. ඉහත ග්‍රාම සේවා වසම් තුනට අයත් ගල්ගේ තලාව, දිඹුල්දෙන, තුන්ගල්තොට, අක්කර 90, අක්කර 60, දම්බිරියාවෙල, තාරාපොළ, පුබ්බාර, නින්තවැල්කිවුල ආදී නිල්ගල වන රක්ෂිතයට අයත් ප්‍රදේශවල මෙම මහා පරිමාණ වනාන්තර විනාශය සිදුවිය.
ගාමිණී විජිත් විජයමුනි සොයිසා අමාත්‍යවරයාගේ පුත්‍රයා මෙවර පළාත් සභා ඡන්දයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ නිසා ඔහුගේ ඡන්ද පදනම ගොඩනැගීම සඳහා තම පාක්ෂිකයන්ට නිල්ගල වනාන්තර රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් නිල හා නොනිල වශයෙන් පවරා දීම සිදු විය.
නිල්ගල වනාන්තර පද්ධතියටම අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ලූණුතිබ්බාහෙළ යෝජිත රක්ෂිතය තුළ වනාන්තර විනාශ කර හේන් වගා කිරීම සඳහා ජනාතාවට අවස්ථාව ලබා දෙන ලෙසට ද මොණරගල දිසා වන නිලධාරීවරයා වෙත වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුනි සොයිසා විසින් දිනයක් හෝ යොමු අංකයක් හෝ නොමැති ලිපියක් මඟින් දැනුම් දී තිබුනි. මෙම යොජිත රක්ෂිතයේ මායිම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිවැරදිව නිර්ණය කර මායිම් කණු යොදා සකස් කර තිබිය දී ඒ තුළ හේන් වගා කිරීම සඳහා අවස්ථාව ලබා දීම යනු නීති විරෝධී මෙන්ම හානි කර කි්රයාවකි.
ගාමිණී විජිත් විජයමුනි සොයිසා අමාත්‍යවරයා විසින් තම පුත්‍රයාගේ ඡන්ද පදනම ගොඩනැගීම සඳහා තම පාක්ෂිකයන්ට මෙලෙස නීති විරෝධී ලෙස වනාන්තර අල්ලා ගැනීමට පෙළඹවීම් කරන ලිපි ලබා දී ඇති බව තහවුරු වේ. පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා රටේ සමස්ත ජනතාවට ම අයත් සම්පත් මෙලෙස විනාශ කිරීමට ආධාර අනුබල ලබා දීම මඟින් රටේ වගකිව යුතු අමාත්‍යාංශයක් භාරව කටයුතු කරන අමාත්‍යවරයකු සිදු කර ඇත්තේ බරපතල අපරාධයකි.
මෙහිදී වැඩිදුරටත් අනාවරණය වූයේ අමාත්‍යවරයා විසින් මොණරාගල දිසා වන නිලධාරීවරයා වෙත යොමු කළ මෙම ලිපියේ පිටපත් තම සන්තකයේ තබා ගනිමින් විවිධ පුද්ගලයන් විසින් මඩුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් තම්පලාවෙල ග්‍රාමය ආශ්රිත ව පිහිටා ඇති ලූණුතිබ්බාහෙළ යෝජිත රක්ෂිතය එළි පෙහෙලි කරමින් සිටින බව ය.
එසේම මෙම වසරේ ලෝක තෙත්බිම් දිනය මහත් උත්සවාකාරයෙන් ගෙවා දැමු බලධාරීන් ශ්‍රී ලංකාවේ අගනුවර ආසන්නව පිහිටා ඇති ඉතා වැදගත් සමුද්‍රාසන්න තෙත්බිම්ක් වන මුතුරාජවෙල තෙත්බිමෙන් අක්කර 450ක බිම් ප්‍රමාණයක් සුඛෝපභෝගී නගර දෙකක් ඉදිකිරීම සඳහා Airport Express Air and Rail Company (Pvt) Ltd නමැති කොම්පැණියට ලබා දීමට කටයුතු කලේ ඉතා නිවට හා නිර්ලජ්ජිත ආකාරයෙනි. එහි ඇති වඩාත් ජුගුප්සාජනකම කරුණ නම් මෙම ස්වභාවික තෙත්බිම වනසා ප්‍රදේශයේ මෙන්ම රටේම ජනතාවගේ ආර්ථික සමාජීය හා පාරිසරික අයිතිය සූරාකන කොම්පැණි කරුවන් තම සංවර්ධන ව්‍යාපෘතියේ අංගයක් ලෙස තෙත්බිම් උද්‍යාන (wetland prak) ඉදිකිරීමටද යෝජනා කිරීමයි.
එසේම මීගමුව කලපුවේ මෝය ආශ්රිත ව පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විශාල කඩොලාන පද්ධතියකට අයත් අක්කර අටක කඩොලාන භූමි ප්‍රදේශයක් නිවාස ව්‍යාපෘතියක් ඇතුළු සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න විසින් කටයුතු කලේද මේ අතර තුරය. 2014 ජුනි මස 9 වන දින මීගමුව, කඩොල් කැලේ, කලපු කළමනාකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මහජනතාවගේ අදහස් විමසමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ධීවර ජනතාවගේ අදහස් ලබා ගන්නා ලදී. ඒ 2009 වසරේ දී පළමු ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කඩොල් කැලේ, කඩොලාන වනාන්තරය එළි කළ අවස්ථාවේ දී ඊට එරෙහි ව ජනතාව හා පරිසර සංවිධාන ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස එම ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමීමට සිදුවීමෙන් පසුවය. ඉන් පසුව 2012 වසරේ දී නැවත වරක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා උත්සාහ කළ අතර එම අවස්ථාවේ දී ද පරිසර සංවිධාන ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස එම උත්සාහය ද ව්‍යර්ථ විය. එසේ තිබිය දී නැවත වරක් මෙම ව්‍යාපෘතිය නීති විරෝධී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කර තිබේ.
ශ්‍රී ලංකාවේ පැරණිත ම අභය භූමි තුනෙන් එකක් වන විල්පත්තු උතුරු අභය භුමියේ අක්කර 500ක පමණ වනාන්තර ඉඩම් විනාශ කරමින් අමාත්‍ය රිෂාඞ් බදූර්දීන් විසින් නීති විරෝධී ලෙස ජනතාව පදිංචි කිරීම සිදු කළ ද ඊට එරෙහිව තව වගකිවයුතු රාජ්‍ය ආයතන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට අපොහොසත් වුනේද මෙම වසරේදීය. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත හා ජාතික පාරිසරික පනත මුළුමනින්ම උල්ලංඝනය කරමින් අභය භූමිය තුළ නීති විරෝධීව ජනතාව පදිංචි කිරීමේ කටයුතු ක්‍රියාත්මක කල අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ මධ්‍යම පරිසර අධිකාරිය එම නීති විරෝධි ක්‍රියා මැඩ පැවැත්වීමට කටයුතු නොකිරීමෙන් වනජීවින්ගේ හා අභය භූමියේ පැවැත්මට දරුණු තර්ජන එල්ලවිය.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන මෝදරගං ආරුව හා සම්බන්ධව හෙක්ටයාර 632ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වී ඇති විල්පත්තු උතුරු අභය භූමිය 1938 පෙබරවාරි මස 25 වන දින ලංකාවේ පැරණිතම අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 1937 අංක 2 දරණ පනතින් වන සත්ත්ව ආරක්ෂක ආඥා පනත පළමුව නීති ගත වීමෙන් අනතුරුව ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කළ අභය භූමියක් ලෙස විල්පත්තු උතරු අභය භූමිය සඳහන් වේ. මෙය විල්පත්තු ජාතික වනෝද්‍යානය හා අඛණ්ඩව විහි දී ඇති මොදරගංආරු ඔයේ ප්‍රධාන ජල පෝෂක වනාන්තර ප්රදේශයකි. මෙම අභය භූමියේ විශාල ප්‍රදේශයක් ආවරණය වී ඇත්තේ වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර හා කටු පඳුරු සහිත ලඳු කැලෑ බිම් වලිනි. අලි – ඇතුන් මෙන්ම කොටින් බහුල ව ජීවත්වන ප්‍රදේශයක් ලෙස සුවිශේෂී ජෛව විද්‍යාත්මක, පාරිසරික මෙන්ම ජල විද්‍යාත්මක වටිනාකමක් පැවතීම හේතුවෙන් ඈත අතිතයේ දී ම මෙම ප්‍රදේශය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දී තිබේ. එවන් අභය භූමියක මේ අයුරින් ජනතාව පදිංචි කිරීම ඉතා හානි කර කටයුත්තක් මෙන් ම වැරදි පූර්වාදර්ශ ලබා දීමකි.
එසේම නාවික හමුදාව ද මෙම වසරේදී නැවතත් විල්පත්තුවේ ඉඩම් කොල්ලකන බව පරිසරවේදීන් අනාවරණය කළේය. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ මොල්ලිකුලම් ප්‍රදේශයේ මෝදරගං ආරු ඔය හා විල්පත්තු උතුරු අභය භූමිය ආශ්රිත ව පිහිටන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර අක්කර 900ක් පමණ බලහත්කාරයෙන් අල්ලා ගෙන එම භූමිය ආවරණය වන පරිදි අඩි 9ක් පමණ උස පස් බැම්මක් ඉදි කිරීමට නාවික හමුදාව කටයුතු කළේය. මේ වන විට නීති විරෝධී ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ නාවික හමුදාව විසින් ම සකස් කළ එළුවන්කුලම – සිලාවතුර මාර්ගය දිගේ කිලෝ මීටර් 2ක් පමණ ආවරණය වන පරිදි මෙම පස් බැම්ම ද සකස් කර අවසන්ව ඇත.
ජාතික ආරක්ෂාවට යැයි සඳහන් කරමින් විල්පත්තු වනාන්තර පද්ධතිය ඛණ්ඩනය කරමින් අලි – ඇතුන් ඇතුළු ව සියලූ වන සතුන්ගේ වාසස්ථාන තර්ජනයට ලක් කරමින් නීති විරරෝධී ලෙස මෙම පස් බැම්ම ඉදි කෙරිණි. වන සතුන්ගේ වාසස්ථාන හා වනාන්තර ප්‍රදේශ එළි පෙහෙළි කරමින් ඩෝසර් යන්ත්‍ර භාවිත කරමින් පස් කැනීම් කර මෙම පස් බැම්ම මේ වන විට ඉදි කෙරිණි. මේ පිළිබඳ ව නාවික හමුදාව ප්‍රකාශ කරන්නේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත තර්ජන තවමත් පවතින බැවින් ආරක්ෂාව සඳහා මේ දැවැන්ත පස් බැම්ම ඉදි කරන බව ය. හාස්‍යජනක කරුණ නම් එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත තර්ජන පැවති සමයේ දී හෝ මෙවන් අවශ්‍යතාවයක් මතුව නොතිබූ තත්ත්වයක් තුළ යුද්ධය නිමවී පස් වසරකට පසු නාවික හමුදාව මෙලෙස විශාල වනාන්තර ප්‍රදේශයක් ආවරණය කරමින් පස් බැම්මක් ඉදි කරන්නේ කුමක් සඳහා ද යන්න ය. මේ පිළිබඳව වැඩි දුර තොරතුරු සොයා බැලීමේ දී අනාවරණය වූයේ අක්කර 900ක් පමණ වන මේ සම්පූර්ණ වනාන්තර ප්‍රදේශය ආවරණය වන ලෙස පස් බැම්ම ඉදි කර එම භූමිය තුළ දැවැන්ත සංචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ය.
උතුරු පලාතේ වනජීවී රක්ෂිත 16ක් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ප්‍රකාශයට පත් කිරීම ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ විරෝධතාව හා බලපෑම මත වසර තුනක කාලයක් තිස්සේ නතර වී තිබුණු අතර පරිසරවේදීන් මෙම වසරේදී ඒ පිළිබඳව ප්‍රශ්න කලද කිසිවෙකුත් ඊට පිළිතුරු ලබා දුන්නේ නැත. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යන ව්‍යාපෘතිවල මූල්‍යාධාර යටතේ 2011 වසරේ මැයි මාසයේ සකස් කර අවසන් කළ උතුරු පළාතේ සමෝධානික උපායමාර්ගික පරිසර තක්සේරුකරණයට (Integrated Strategic Environment Assessment) අනුව මෙම වනජීවී රක්ෂිත 16 ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව ඇත. නමුත් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ මුදා ගැනීමෙන් අනතුරුව ක්‍රියාත්මක කරන සීඝ්‍ර භෞතික සංවර්ධනයට වනජීවී රක්ෂිත පැවතීම බාධාවක් බව සදහන් කරමින් යෝජිත වනජීවී රක්ෂිත ප්‍රකාශයට පත් කිරීමට ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය බාධා එල්ල කරයි.
මේ වනජීවී රක්ෂිත ජාලය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණු වී ඇත්තේ අලි – මිනිස් ගැටුම පාලනය කිරීම, උතුරු ප්‍රදේශයේ පවතින සුවිශේෂී වන ජීවී වාසස්ථානවලට ආරක්ෂාව සැලැසීම, ධීවර කර්මාන්තය ස`දහා වැදගත් වන මත්ස්‍ය විශේෂ බෝවීමේ ප්‍රදේශ වලට ආරක්ෂාව සැපැයීම, වැව් හා ගංගා වල ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම, ප්‍රාදේශීය ව සිදු විය හැකි කාලගුණික හා දේශගුණික විපර්යාස අවම කිරීම මෙන්ම උතුරු ප්‍රදේශයේ වනජීවී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ය.
එසේ වුව ද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මේ වනජීවී රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම නතර කිරීමට බලපැම් එල්ල කරන්නේ පටු අරමුණු කීපයක් මත ය. ඔවුන්ගේ අර්ථ දැක්වීම වන්නේ වනජීවී රක්ෂිත ප්‍රකාශයට පත් කිරීමෙන් සංවර්ධන කටයුතු වලට බාධා එල්ලවන බව ය. එපමණක් නොව එසේ ප්‍රකාශට පත් කරන ජාතික රක්ෂිත වල මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ සංවර්ධන කටයුතු හා හෝටල් ඉදි කිරීම පරිසර බලපෑම් අගැයීම් ක්‍රියාවලියට යටත් ව ක්‍රියාත්මක කිරීමට සිදුවීම බාධාවක් ලෙස ද එම අමාත්‍යාංශය සලකයි. මෙවන් පටු අරමුණු හේතුවෙන් වර්තමාන හා අනාගත නූපන් පරපුරේ සුරක්ෂිත පැවැත්ම උදෙසා ස්වාභාවික සම්පත් ආරක්ෂා කර සුරක්ෂිත කිරීමට බාධා එල්ල කිරීමෙන් පෙනී යන්නේ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය ඉතාම පටු සීමාවක් තුළ භෞතික සංවර්ධනය පමණක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන බව ය. එම භෞතික සංවර්ධනයේ පැවැත්ම මෙම ස්වාභාවික සම්පත් මත රඳා පවතින බව ඔවුන් නොදැනීම මෙන්ම අවබෝධ කරගෙන නොමැති වීම කණගාටුවට කරුණකි.
එසේම තව දුරටත් උතුරු පළාතේ වව්නියාව, මුලතිව්, හා මන්නාරම දිස්ත්‍රික්ක වලට අයත් වන රක්ෂිත හතරක් හා සෙසු රජයේ වනාන්තර දහයක් ආශ්‍රිතව ද නීති විරෝධී ලෙස වනාන්තර විනාශ කරමින් ජනාවාස ඉදිකෙරෙමින් පවතී. පුරවසන්කුලම්, කරුන්කාලිකුලම්, කුලාමරිප්පු, නාගන්චෝලෙයි යන වන රක්ෂිත ද පම්පමඩු, වඩකාඩු, කාකේනිකුලම්, පෙරියමඩු, කල්ආරු, ඔඩ්ඩුසුඩාන්, මුහුදුබඩ පත්තුව, මඩු යෝජිත රක්ෂිතය, කරඩික්කුලි, සුදුවෙත්තපුලම් යන අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර ඉඩම් මීට ඇතුලත්ය. මෙසේ වනසා දමන මුළු වනාන්තර ප්‍රමාණය අක්කර දාහත්දහස් අටසිය තිස් අටකි (17838).
නකල්ස් ලෝක උරුම සංරක්ෂිත වනාන්තරයේ අනවසර එනසාල් වගාකරුවන් ඉවත් කිරීම සදහා අධිකරණයෙන් ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමට එරෙහිව කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර හේන්දෙනිය හා මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල යන අය කටයුතු කිරීම හේතුවෙන් දුම්බර අඩවිය ආරක්ෂා කිරීම සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ දී දැඩි ගැටළුකාරී තත්ත්වයක් මතුවූයේද මෙම වසරේදීය. 2014 අපේ‍්‍රල් මස 25 වන දින මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ නීති විරෝධි ලෙස හා හානි කර අන්දමින් පවත්වා ගෙන යන එනසාල් වගා බිම් ඉවත් කිරීමට වන සංරක්ෂණ නිලධාරින් ගන්නා ක්‍රියා මාර්ග විවේචනය කරමින් එම ක්‍රියාවලිය නතර කිරීමට මේ පිරිස විසින් දැඩි බලපැම් එල්ල කලේය. එපමණක් නොව මාතලේ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කලේ එනසාල් වගා කරුවන්ට නකල්ස් සංරක්ෂිත වනාන්තර තුළ නීති විරෝධී ලෙස එනසාල් වගාබිම් පවත්වාගෙන යාමට ඉඩ ලබා නොදෙන්නේ නම් එම නිලධාරීන්ට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට සහභාගී වීමට අවස්ථාව ලබා නොදී පහර දී පන්නා දමන බව ය.
ඌව වෙල්ලස්ස ජනතාවගේ ඉඩම් අයිතිය උල්ලංඝනය කරමින් පසුගිය වසර කිහිපය තුළ ජනතාවගේ හේන් වගා බිම් ඇතුළු ව වනාන්තර ඉඩම් අක්කර 50,000 ක් පමණ විදේශීය බහු ජාතික සමාගම් වලට හා මහ පරිමාණ සමාගම් වලට ඌවේ දේශපාලකයන්ගේ මැදිහත්වීම මත ලබා දීම හේතුවෙන් උද්ගත වී ඇති දැවැන්ත ජල අර්බුද, වගා කළ හැකි බිම් සීමා වීම, අලි – මිනිස් ගැටුම උග්‍ර වීම වැනි හානි කර තත්ත්වයන් බොහොමයක ප්‍රතිඵලයක් ලෙස ඌවේ බොහෝ ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඉවත් ව ඇති බව ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානයේ මෙහෙයවීම මත පරිසර සංරක්ෂණ භාරය, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය, ප්‍රජා අභිලාෂ ජාලය, ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, සවිස්ති‍්‍ර සංවිධානය හා ශී‍්‍ර ලංකා සොබා සාමූහිකය යන සිවිල් සංවිධාන එක් ව සිදු කරන ලද අධ්‍යයනයකට අනුව අනාවරණය විය.
ලංකා ඉතිහාසයේ වැඩි ම ඉඩම් කොල්ලයකට නතු වූ ප්‍රදේශය වන්නේ ඌව පළාත ය. බහු ජාතික සමාගම්වලට වැඩි ම ඉඩම් ප්‍රමාණයක් ලබා දී ඇති දිස්ති‍්‍රක්කය වන්නේ ද ඌව පළාතේ මොණරාගල දිස්ති‍්‍රක්කයයි. එය උක් වගාව ආරම්භ කළ මෑත අතීතයේ පමණක් නොව වර්තමානය වන විට ද ඒ ආකාරයෙන් ම සිදු වෙමින් පවතී. මේ නිසා ම ඌව පළාතේ ජනතාව සමාජ, ආර්ථික, පාරිසරික, කෘෂිකාර්මික, අධ්‍යාපනික හා සෞඛ්‍ය යන සියලූ ක්ෂේත්රවලින් දැවැන්ත කඩා වැටීමක ට ලක් ව සිටි. යල, මහ දෙකන්නය නිසි පරිදි වගා කර ගැනීමට නොහැකි තත්වයකට මේ ප්‍රදේශයේ කෘෂිකාර්මික ජනතාව පත් ව සිටින්නේත් කෙටි නියං සමයක් ආරම්භ වන විට ම දැවැන්ත ජල අර්බුදයකට මුහුණ දීමට මේ ප්‍රදේශයේ ජනතාවට සිදු වන්නේත් මේ නිසා ය.
ලෝකයේ අපකීර්තිමත් ඇමරිකානු බහු ජාතික සමාගමක් වන ඩෝල් සමාගම මොණරාගල දිස්ති‍්‍රක්කයේ ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ආශි‍්‍රත ව ස්ථාන තුනක ඉඩම් අක්කර 4600 ක් කැවෙන්ඩිශ් නම් කෙසෙල් ප්‍රභේදය වගා කිරීමට යොදා ගෙන තිබේ. මීට අමතර ව තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නිකවැව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මීගස්වැව ප්‍රදේශයේ තවත් ඉඩම් අක්කර 1400 ක් ද ඩෝල් සමාගමට ලබා දී තිබේ. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුඩාඔය ප්‍රදේශයේ අක්කර 1800ක්, බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන්දම, දෙමෝදර ප්‍රදේශයේ අක්කර 1600ක් හා බුත්තල, වෑකඩ ප්‍රදේශයේ අක්කර 1200ක් බැගින් කැවැන්ඩිස් කෙසෙල් ප්‍රභේදය වගා කිරීම සඳහා රජයේ ඉඩම් නීති විරෝධී ලෙස මේ සමාගමට ලබා දී තිබේ. මොණරාගල දිස්ති‍්‍රක්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන්දම, දෙමළිය ප්‍රදේශයේ කඩවර වැවට පහළින් ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ආශි‍්‍රත ව ඉඩම් අක්කර 2000 ක් පමණ අඹ වගා ව්‍යාපෘතියක් සඳහා නෙල්නා සමාගම විසින් මේ වන විට අත්පත් කර ගෙන සිටි. වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහණ වන්නිආරච්චි විසින් පළමු ව මෙම ප්‍රදේශයේ ඉඩම් අක්කර 40 ක ප්‍රමාණයක් අනවසරයෙන් අත්පත් කර ගෙන සිටි අතර, ඔහු විසින් එම ඉඩම් අක්කර 40 සමග අක්කර 2000 ක් පමණ නෙල්නා සමාගමට ලබා දී තිබේ. මේ සියලූ වනාන්තර ඉඩම් මේ වන විට සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර අඹ වගාව ව්‍යාප්ත කර තිබේ. මේ සම්පූර්ණ වගා බිම ආවරණය වන පරිදි විදුලි වැටක් ඉදි කර ඇත. එම විදුලිවැට සකස් කර ඇත්තේ කුඩා සතෙකුට හෝ වගා භූමියට ඇතුළු විය නොහැකි ලෙස ය.
අලි – මිනිස් සහජීවනය බිඳ හෙළමින්, වේලිඔය ව්‍යාපාරය යටතේ යල – මහ දෙකන්නය වගා කළ ජනතාව අවතැන් කරමින් සොරගුණේ දේවාලයේ නින්දගම් ඉඩම්වලට අයත් කොස්ගහමංකඩ වනාන්තරයේ අක්කර 628 ක් එළි පෙහෙළි කර “Eco Golf Resort” නමින් ගොල්ෆ් ක්‍රීඩා පිටියක් හා හෝටලයක් ඉදිකිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ කර මෙම ප්‍රදේශයේ අහිංසක ගොවි පවුල් දහස් ගණනකගේ ජීවිත ආරක්ෂා කරන්නට පරිසරවේදීන් අරගලයක් ආරම්භ කලේ මීට වසර කිහිපයකට පෙර සිටය. වරක් ජනාධිපතිවරයද මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට අදාල කොම්පැණි කරුවන්ට අවසර ලබා නොදෙන බව පාරම්බෑවද එම වනාන්තර මැනීම හා ව්‍යාපෘතිය සැළැසුම් කිරීම මේ වසර තුලදී සිදු වූයේ ජනාධිපති වරයාටද ඉහළ විධායක බලයක් හිමි පුද්ගලයෙක් මෙරට පාලනය කරන බවට සාක්ෂි සපයමිනි. ව්‍යාපෘති භූමියට පිවිසුම් මාර්ග සැකැසීමේ කටයුතු හා කම්බි වැටවල් ඉදිකිරීම් ද ක්‍රියාත්මක විය. හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රන්වන්ගුහාව ග්‍රාම නිලධාරී වසමේ දඩයම්පහළගම ග්‍රාමයේ පිහිටි වනාන්තර කොටසේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. කොළඹ 07, ධර්මපාල මාවතේ අංක 65/බී දරන ස්ථානයේ පිහිටි “Alpha and Omega Developers (Pvt) Ltd” නම් සමාගම විසින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මේ සඳහා යොදා ගන්නා ඉඩම් සොරගුණේ කුඩා කතරගම දේවාලයට අයත් නින්දගම් ඉඩම් වන අතර බෝගහපට්ටිය – සමනළ වැව අභයභූමිය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජිත වනාන්තර ඉඩම් ය. මේ වනාන්තර ඉඩම් වේලි ඔය වාරි ව්‍යාපෘතියේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශ වන අතර උඩවලව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි අලි – ඇතුන් ගේ සුවිශේෂී වාසස්ථානයකි.
මේ වනාන්තර බිම් සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ එච්. එම්. ජනක රවීන්ද්‍ර කළුපහන නැමැත්තා විසින් වරින්වර වංචනික ලෙස විවිධ පුද්ගලයින්ට පැවරීම සිදු කර ඇති අතර අංක 1567 (2006.07.21 දින ලියාපදිංචි අංක න්152/126 බදුල්ල) දරන ඔප්පුවේ උප ලේඛන ගත වනාන්තර ඉඩම් මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන සමාගමේ ආයෝජකයා වන ඇමෙරිකාවේ පදිංචි වාසු රාසයියා නැමැත්තා ලබාගෙන ඇත්තේ ද එලෙස පැවරූ පුද්ගලයකුගෙනි. මේ ව්‍යාපෘතිය පිටුපස සිටින ප්‍රධාන දේශපාලන හස්තය වි. ජ. මු. ලොකු බණ්ඩාරගේ පුත් හපුතලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර ය. මීට අමතර ව බණ්ඩාරවෙල ප්‍රධාන ව්‍යාපාරිකයකු ගේ පුත්‍රයකු හා හල්දුම්මුල්ල ප්‍රදේශයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු මේ වනාන්තර ඉඩම් කොල්ලය හා ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ ව සිටී. මේ දේශපාලන හා නිලධාරී සම්බන්ධය හේතුවෙන් පාරිසරික අනපනත් තුට්ටුවකට මායිම් නොකර මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තිබේ. මේ කි‍්‍රයා දිගින් දිගටම සිදු වුවහොත් මේ ප්‍රදේශවල ජනතාවට දැවැන්ත ජල හිඟයකට මුහුණ දීමටත් තම උපන් බිමේ අනාථයින් බවට පත් වීමටත් සිදු වනු ඇත.
සෝමාවතිය ජාතික වනෝද්‍යානය හා ත්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතය අතර කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි මහවැලි ගඟේ පිටාර තැනි හා ගංගාශ්රිත වනාන්තර ලෙස ව්‍යාප්ත ව ඇති මහවැලි අධිකාරියට අයත් සුවිශේෂී වනාන්තර අක්කර 11400ක් යුධ හමුදාව විසින් නීති විරෝධී ලෙස පවරාගෙන විවිධ ආයතනවලට බදු දීමද මෙම වසරේ සිදු විය. මේ වන විට තිස්තුන් අවුරුදු බදු පදනම මත යුධ හමුදාව විසින් බ්‍රවුන්ස් සමාගමට වනාන්තර අක්කර 1000ක් බදු දී තිබේ. තවත් වනාන්තර අක්කර 6000ක් මරිනා සමාගමට බදු දීමට සූදානම් වේ.
පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඒ.එල්.එම්. අතවුල්ලා හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකිම් යන අයගේ සහයෝගය මත සංවිධානාත්මක පිරිසක් විසින් අම්පාර, බක්මිටියාව – තිඹිරිගොල්ල වන රක්ෂිතයේ වට්ටමඩු ප්‍රදේශයේ අක්කර 1000ක් පමණ යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන එළිපෙහෙළි කර නීති විරෝධී ලෙස මහ පරිමාණ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. සාගම වැවේ හා පන්නල් ඔයේ ප්‍රධාන ජල පෝෂක වනාන්තර ප්‍රදේශයක් හා අලි – ඇතුන් ඇතුළු ව සුවිශේෂී ජෛව ප්රජාවකට රැකවරණය සලසන මෙම රක්ෂිතයේ තෘණ භූමි හා වනාන්තර එළිපෙහෙළි කරමින්, වන සංරක්ෂණ ආඥ පනත උල්ලංඝනය කරමින්, වගාබිම් ව්‍යාප්ත කිරීම සිදු කරනු ලැබුව ද ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර නොමැත. ඔවුන් දේපාලකයන්ට ඇති බිය නිසා මුනිවත රකිමින් සිටියි.
වන සංරක්ෂණ ආඥ පනතට අනුව 2010 ඔක්තෝබර් 01වන දින අංක 1673/45 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 47136ක් වන බක්මිටියාව – තිඹිරිගොල්ල වන රක්ෂිතය ප්‍රකාශයට පත් කර තිබේ. මෙම වන රක්ෂිතය, ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යානයට මායිම් වන අතර ඉතා විශාල අලි ගණනකට රැකවරණය සලසන ප්රදේශයකි. මෙම වනාන්තරය හා තෘණ බිම් එළිපෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කිරීම හේතුවෙන් වාසස්ථාන අහිමි වන අලි – ඇතුන් එ් ආශ්රිත ව පිහිටි සාගම, අලයාඩිවිම්බු හා අලිගම්බේ යන ගම්මානවලට පිවිසීමේ වැඩි අවධානමක් පවතී. මේ නිසා මේ ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුමක් අලූතින් නිර්මාණය විය හැකි වන අතර එ් හේතුවෙන් අලි – ඇතුන්ට හා ගම්වාසීන්ට ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදු වේ. මෙවන් හානි කර තත්ත්වයන් ඇති කිරීමට පටු දේශපාලන පරමාර්ථ වෙනුවෙන් රජයේ වගකිව යුතු අමාත්‍යාංශ භාරව කටයුතු කරන ඇමතිවරුන්ගේ සහයෝගය ලබා දීම පිළිබඳව අප කණගාටු වෙමු.
ආන්දම්කුලම් වන රක්ෂිතයට හා කෝකිලායි අභය භූමියට මායිම් ව පිහිටන වනාන්තර අක්කර 6000ක් පමණ මහවැලි එල් කලාපය ලෙස සංවර්ධනය කිරීමට මේ වන විට එළිපෙහෙළි කිරීමේ කටයුතු හා දේශපාලන හිතවතුන්ට ඉඩම් බෙදා දීමේ කටයුතු මහවැලි අධිකාරියෙන් සීඝ්රයෙන් සිදු කෙරෙමින් පවති. මේ වන විට ප්‍රදේශ දෙකක මෙම වනාන්තර විනාශය සිදු කෙරේ. මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පන්සල් කන්ද ප්‍රදේශයේ වනාන්තර අක්කර 1000ක් පමණ අක්කර 25 බැගින් වූ කොටස්වලට වෙන් කර තිබේ. කෝකිලායි කලපුවට දකුණින් පිහිටි මේ වනාන්තර බිම් වාණිජ ඉඩම් ලෙස මහවැලි අධිකාරිය මගින් විවිධ පුද්ගලයන්ට හා සමාගම්වලට ලබා දී තිබේ.
හැලඹ වැව සිට කෝකිලායි කලපුව දක්වා පිහිටි තවත් වනාන්තර අක්කර 5000ක් පමණ මේ වන විට මහවැලි අධිකාරිය මගින් ඩෝසර් යන්ත්‍ර භාවිතයෙන් මාර්ග සකස් කර වනාන්තර කොටස් වෙන් කිරීම සිදු කර තිබේ. මෙම වනාන්තර ප්‍රදේශය ද අක්කර 25 බැගින් වූ වාණිජ ඉඩම් වශයෙන් හා කෘෂි අක්කරය වශයෙන් විවිධ පුද්ගලයන්ට හා සමාගම්වලට ලබා දීමට නියමිත ව ඇත. මේ වන විට විශාල ශාක කපා ඉවත් කරමින් භූමිය සැකසීම සිදු කරන අතර කපා ඉවත් කරන දැවමය ශාක සියල්ල පුලූස්සා දැමීම ද සිදු කරයි.
මෙම සමස්ථ වනාන්තර පද්ධතිය සුවිශේෂී ජල පෝෂක ප්රදේශයකි. විශේෂයෙන් ම ඒදණ්ඩාවල ජලාශය හා ඒ ආශ්රිත වගුරු පද්ධතියේ පැවැත්ම පමණක් නොව කෝකිලායි කලපුව හා එක්වන ජනකපුර, වැලිආර හා මොරඔය යන දිය දහරාවන්ගේ ප්‍රධාන ජල පෝෂක ප්රදේශයකි. මේ ප්‍රදේශය තුළ පුරාවිද්‍යාත්මක ව වටිනා ස්ථාන 10කට වඩා වැඩි ප්‍රමාණයක් පිහිටා තිබේ. මහවැලි එල් කලාපය ලෙස දැනට සංවර්ධනය කරමින් පවතින මේ සමස්ථ ප්‍රදේශය ම අලි – ඇතුන්, වලසුන් හා කුළු හරකුන් වැනි විශාල ක්ෂීරපායි සතුන්ගේ ප්‍රධාන වාසස්ථානයකි. දැනට කුළු හරකුන් ඉතිරි වී ඇති ඉතා ම ස්වල්පයක් වූ වාස්ථාන අතුරින් එකක් ලෙස ද මේ වනාන්තර ප්‍රදේශය හැදින්විය හැකි ය.
හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම (Greater Hambantota Development Plan) අනුව ස්ථාපනය කෙරුණු වන අලි කළමනාකරණ ප්‍රදේශය (Managed Elephant Range) අශ්‍රිතව සිදුවන විනාශකාරී ක්‍රියා පාලනය කිරීමට ද ගතවූ වසර තුලද බලධාරීන්ට නොහැකිවිය. මෙහි ඇති කනගාටුදායක කරුණ නම් රුහුණු මාගම්පත්තුවේ සැබෑ භූමි පුත්‍රයන් හෙට දවසේ සංවර්ධනයේ අනාථයන් බවට පත් කිරීමට දායක වෙන මෙම විනාශයන් පිළිබඳව අඩු තරමින් කුරහන් සාටකය පළඳි කිසිවෙකු දෑස් විවර කර නොබැලීමයි.
හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිර්මාණය කරන ලද හම්බන්තොට කලාපගත කරන සැලැස්ම තුළින් මෙම ප්‍රදේශයේ වර්ෂ 2030 දක්වා සිදු කිරීමට අපේක්ෂිත සියලූ සැලැසුම්ගත සංවර්ධන ක්‍රියාකාරකම්වලට අවශ්‍ය ඉඩම් වෙන් කිරීම සිදු කරන ලදී. එහි දී මෙම ප්‍රදේශවල දිවි ගෙවූ වන අලි – ඇතුන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ද අවශ්‍ය ඉඩම් වෙන් කිරීමට එම කලාපකරණ සැලැස්ම මඟින් කටයුතු කරන ලදී.
මෙරට ඉතිහාසය තුළ වන අලි සංරක්ෂණයේ නව පරිච්ඡ්දයක් ආරම්භ කරමින් හම්බන්තොට මහා සංවර්ධන සැලැස්මට ප්‍රථම වතාවට වන අලි කළමනාකරණ ප්‍රදේශයක් ඇතුළත් කිරීමට බලධාරීන් කටයුතු කිරීම සැබැවින්ම පැසසිය යුතු කරුණකි. නමුත් අද වන විට මෙම ප්‍රදේශයේ ඉඩම් රජයේම විවිධ පාර්ශ්ව මෙන්ම පෞද්ගලික සමාගම් හා දේශපාලන හිතවතුන් ද අත්පත් කරගනිමින් සිටීම නිසා ගැටලූ රැසක් පැනනැගෙමින් පවතී.
මේ සියළු වනාන්තර විනාශයන් හා ඉඩම් කොල්ලයන් සිදු කරන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, ජාතික පාරිසරික පනත, වන සංරක්ෂණ ආඥා පනත, රජයේ ඉඩම් ආඥ පනත, ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ආදී පාරිසරික හා ඉඩම් අනපනත් සියල්ල ඉතා බරපතල ලෙස උල්ලංඝනය කරමිනි. එසේම මෙම සියළු විනාශයන් කොම්පැණි කරුවන් අතලොස්සක් සැනසීම සඳහා විනා අති මහත් බහුතරයක් අහිංසක දුප්පත් නිර්ධන පන්තියේ ජනතාවගේ ජීවිත සුවපත් කිරීම සඳහා නොවන බවද පැහැදිළිය. එබැවින් රට යන අත පිළිබඳව හිතා ගැනීම අපහසු නැත. මෙකී විනාශකාරීන් අපගේ මාතෘභූමිය වනසා දමා ඇගේ සාරය උරා බී නික්ම ගිය පසු අපට සිදුවන්නේ අප විසින් නොකළ වරදකට අපගේ මෙන්ම අපගේ නූපන් පරපුරේ ජීවිත වලින්ද වන්දි ගෙවීමටය. නමුත් ඒ වන විට වරද නිවැරදි කිරීමට අප බොහෝ ප්‍රමාද වැඩිය.