නාට්‍යය – ධවල භීෂණ

මුල් රංගාවතරණය – විසිවැනි සියවසේ අටවැනි දසකය අග.

නව රැඟුම – විසි එක්වැනි සියවසේ දෙවැනි දසකය මැද (පාසල් දර්ශනයකි.)

ජවනිකාව – අත්අඩංගුවට පත් අරගලයට සම්බන්ධ තරුණියක මිලිටරියේ සමූහ දූෂණයට ලක්වී ආපසු සිරකුටියට තල්ලුකර දැමෙයි. වැරහැලි ඇඳුමින් සහ කඩමාලු ගතින් විසි වෙමින් එන ඇය වේදිකාව මැද ඇදවැටෙන්නීය.

තුෂ්නිම්භූත ප්‍රේක්ෂකාගාරයේ සිටි පාසල් සිසුවෙක් හඬනඟා විමසයි – ”රිදුණද?”

-ධවල භීෂණ නිෂ්පාදක ධර්මසිරි බණ්ඩාරනායක සහෝදරයාගේ ප්‍රකාශයකිනි.

රිදුණා පුතේ හොඳටම
දූෂණය කරනකොට නොව
අහනකොට උඹ
”රිදුනද?”

ඔව් වසර විසි ගණනක්
දැකුම් දන ගන වෙතින් සහසක්
නෑසුණු පැනය නැඟුණේ උඹෙනි.

කොයිතරම් හුරුබුහුටි දරුවෙක්ද උඹ
නවලොවට ගැලපෙනා දිරිමත්?

ගෑනු සීයක් යෙහෙන් වනසා
පාටි දැමු සඳ කාම සෙන්පති
ගමික කත කෙලෙසා නිදැල්ලේ
සරන විට රජගම සභාපති
රජගෙදර අල්මාරි පුරවා
අඩුක් වෙනකොට ඩොලියො පණ ඇති
උතුරුකුරුවේ කෑම්ප් පුරහා
දෝරෙ යනකොට සාප ලේ වැකි

කුමන අරුමද උඹේ ගැටවර
හිසෙහි පිපිරුම මෙවන් පැනපොඩි?

රිදුනෙ නෑ පුත,
කෙලෙසනා විට පේලි හැදිලා
බොහෝ බලගතු සෙනඟ මිලිටරි
ගැලුවෙ මානෙල් මලෙහි සුවඳයි
මත් බමර මුව කමල් පිරි’තිරි
රිදුණු නොරිදුණු බවක් සිහිවෙද
ඇනුණු විට උඹෙ පැනය ළමැදෙහි?

ලේ ගලන්නේ මගේ හීනෙනි,

දැක උඹේ ලොව
දසක දෙකකට මෙහාපැත්තේ
උදා වූ හැටි

සාක්කියකට
නො මළ අපවත්
තබාගෙන මෙහි!

Sanath-Balasooriyaසනත් බාලසූරිය | Sanath Balasooriya