ජනාධිපති මහින්ද රාජපක්ෂ අද විපාක විදින්නේ ඔහුගේම වරදිනි. ඔහුට ජනතාවගේ අදහස් තේරුම් ගැනීමට නොහැකිවීමට වඩා මෙහි ඇත්තේ තමන්ගේ සැබෑ මිතුරන් හඳුනාගැනීමට අසමත් වීම සහ තමන්ගේ දේශපාලන අනවබෝධයයි.
ඔහු නීතියට ඉහළින් සිටින එකම පුද්ගලයා වූ විට, ඔහුව පාලනය කිරීමට නොහැකි දෑ තමන් වටා හැඩගැසෙන විට, පෙරදා තමන්ට අතට අතදුන් මිනිසුන් මෙදා තමන්ගේ දෙපතුල අතගා වැඳ නමස්කාර කරන විට, මොහුගේ සාමාන්‍ය දැනීම ඔහුගෙන් වියුක්ත විය. මොහු කිසිම කාලෙක බලාපොරොත්තු නොවූ දෙයක් ඔහු හමුවේ ප්‍රදුර්භූත විය. එය ඔහුගේ පවුලේ අයවලුන්ටද සීමාව ඉක්මවා ගිය ඉල්ලමක් විය. එය භූක්ති විඳීම සඳහා කිසිඳු බාධාවක් නොවුයේ සිංහලයින් මෝඩයින් සහ අන්ධයින් කිරීමට, “ දේශප්‍රේය”, “ බටහිර කුමන්ත්‍රණ” ආදී යෙදුම් යොදා ඔහුට ඉතා කෙටි කාලයකදී හැකි වීමෙන්ය. අහෝ…අවසානයේදී එම යෙදුම්වල හිරකාරයෙකු වීමට ඔහුට සිදු විය.
මහත් ගෞරවයකින් යුතුව වේදිකාවෙන් බැස යෑමට හැකිව තිබු නායකයෙකු, අගෞරවයට පාත්‍ර වෙමින් කෙසේ හෝ තම බලාධිකාරිය රැකගැනීම සඳහා ගූඪකම් කිරීමට යොමුවන්නේ මන්ද? එය ඔහුගේ පුද්ගලාර්ථයයි. ඔහුට අවබෝධවන දේශපලනය තුළ ඇති සීමාව එයයි. තමන්ගේ සැබෑ මිතුරන් වෙනුවට තමන්ගේ පාලනය පිළිගන්නා සහ ඊට ආවඩන පුද්ගලයින් තමන්ගේ අනුගාමිකයින් ලෙස එකතු කරගැනීමේ විපාකය වන්නේ මෙයයි. බදාගෙන කෑමේ ඵලවිපාකය නොහොත් මා හින්දා මා විනාශ වීම මඟින් ඇතිකොට ඇති ව්‍යාකූලත්වය වූ කලී පුද්ගලයෙකුගේ ගරාවැටීමක් පමණක් නොව එය ජාතියකට සිදුකරන අපහාසයකි.
තමන්ගේ අවසාන ගැලවුම ලෙස ඔහු විකාරයෙන් කතා කරන්නේය. විපක්ෂය, විශේෂයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුට ඉරිසියා කරන බව කියන්නේය. එසේම ඇමෙරිකාව, යුරෝපය මෙන්ම බොහොමයක් රටවල් තමන්ට සතුරු බව කියන්නේය. ඊට මූලික හේතුව ඔහු ගිරුවාපත්තුව වැනි ගමකින් පැමිණ ගැමි සුවඳ හමන නායකයෙකු වීම නිසා යැයි ඔහු කියන්නේය.
නොකඩවාම ගයනා කරනු ලැබූ මෙම ගැමි ගීතය, ජනාධිපති රාජපක්ෂ ඊයේ ( ජනවාරි 6) කැස්බෑවේදී පැවතී රැලියේද සඳහන් කරනු ලැබීය.
ඔහු මේ කියන ගම කුමක්ද? ඔහු යළි යළිත් කියන ගමේ ඇති අංග ලක්ෂණ මොනවාද ? ගම ලෙස රාජපක්ෂ හඳුන්වන සුවඳ හමන සංවිධාන ව්‍යුහය ඔහු හැර වෙනත් ඇය දැක තිබේද? රාජපක්ෂ කියන ගමත් එම අනෙක් මිනිසුන් විසින් අපේ ඉතිහාසයට එක් කළ ගමත් අතර වෙනසක් තිබේද? සැබවින්ම තිබේ. මහින්දගේ ගම වූ කලී මහින්දගේ ලෝකය සහ ආශාවන්ය. ලංකාවේ ගම යනු සැබෑ ඉතිහාසයක් ඇති නියම ගමය.
මාර්ටින් වික්‍රමසිංහ මහතා තමන්ගේ උපන් ගම නමැති කෘතියේ මෙසේ සඳහන් කරනු ලබයි. “ ගැමියන් අතර ඉපිද වැදුණු මම ඔවුන් හඳුනන්නෙක් වීමි. කරබාගෙන දුක්පීඩා ඉවසන ඔවුන්ගේ හොඳ ගති නිසාම මම පොදු ජනයා කෙරෙහි දයාබර සිත් ඇත්තෙක් වීමි. බුදුන් වහන්සේ යේසුස් වහන්සේ ආදී මුනිවරයන්ට උපන් මාගේ අචල භක්ති ප්‍රේමයට එක් හේතුවක් ගැමි ජනයා යැයි මම සිතමි” ( උපුටා ගැනීම – උපන් දා සිට)
එසේම ස්වාධීන සිංහල සංස්කෘතිය ගැන මාර්ටින් වික්‍රමසිංහ මහතා තමන්ගේ මානව විද්‍යාව සහ සිංහල සංස්කෘතිය නමැති කෘතියේ මෙසේ සඳහන් කරන්නේය, “ ස්වාධීන සිංහල සංස්කෘතිය පටන් ගැන්මට හේතුවුණු මුල් බිජුව ලංකාවේ සිටුවන ලද්දේ විජය විසින් නොව පළමුවන වැව කැණවූ පඬුකාබය රජු විසිනි. සිංහලයා පොදු ජනකායක් නොහොත් එකම කාරියක් උදෙසා එකම අදහසකින් බඳිනු ලැබූ ජනකායක් ලෙස පළමුව සෑදුණේ වැවු කැණීමත් වී ගොවිතැනත් නිසාය.” ( උපුටා ගැනීම – මානව විද්‍යාව සහ සිංහල සංස්කෘතිය)
නමුත් රාජපක්ෂගේ ගිරුවාපත්තුව ගැන සහ එහි ඉතිහාසය ගැන අපට කියා දෙන්නේ එක්කෝ මර්වින් සිල්වාය, නැතහොත් මහින්ද රාජපක්ෂය. රාජපක්ෂ සමඟ සිටින අනෙක් සියලුම දෙනා තමන්ගේ ගම ගැන කතා කරනු ලබෙන්නේ මොවුන් දෙදෙනාගෙන් යමක් අහුලා ගැනීමෙනි.
රාජපක්ෂ විසින් ගිරුවාපත්තුවේ ජීවන රටාව විස්තර කිරීම ඇසීමට ප්‍රියජනක නොවුණද රටේ නායකයා ලෙස පත්වීම නිසා මෙන්ම අපේ බදු මුදලින් ඔහු නඩත්තු වන නිසා ඊට ඇහුම්කම් දිය යුතුය.
ඔහු විස්තර කරන ගමත් ඔහුගේ හැසිරීමත් මඟින් පැහැදිලිවන දෙයක් තිබේ. ගමේ උපදින සෑම එකෙක්ම අහිංසක මුව පැටියෙකු නොවේ. එනම් සෑම සමාජ ඒකකයක මෙන්ම බොහෝ ගම්වලද අලුගුත්තේරුවන් සිටිති. එසේම බොරු හැර වෙනත් වචන නොකියන අය සිටිති. එපමණක්ද, ගම්වල අසරණ ජීවිත තමන්ගේ පෞද්ගලික ආශාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ජීවත් වන අයවලුන් සිටිති. සුන්දර ගමේ සුවඳට මුසුවන දුර්ගන්දය ඔවුන්ගෙන් පිටවේ.
රාජපක්ෂ වූ කලී මෙම තුන්පාර්ශවයේම සංකලනයකි. ඔහුගේ හැසිරීම බොහෝ දුරට සමාන වන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ බේගලයා නමැති කෙටි කතාවේ එන බේගලයාට හෙවත් අන්දෝ අයියාටය. රාජපක්ෂ රටට බොරු කියන්නේ අන්දෝ අයියා අනුන්ගේ සල්ලිවලින් කෝපි කෝප්පයක් බීම සඳහා තමන්ගේ මුවහත් කඩුවෙන් කළ වික්‍රම කියන ආකාරයෙනි.
අන්දෝ අයියාගේ මෙන් නොව රාජපක්ෂගේ කුකුළන් මෙන්ම කිකිළියන් හීනෙන් පමණක් නොව හැබයින්ද මෙරට ජනතාවට කොටා අවසානය. ඉන් මුළු මාතෘ භූමියටම තුවාල සිදු කොට ඇත. මෙය මේ ආකාරයෙන් දීර්ඝ විස්තර කළ හැකි කාරණයකි.
එළඹීමට හැකි පොදු නිගමනයක් තිබේ. ඒ වූ කලී, රාජපක්ෂලා රටට මෙන්ම ලෝකයටම උගන්වා ඇත්තේ ගමේ සුවඳ නොව ගම කෙතරම් ගඳද යන්නය. සැබැවින්ම මෙවැනි ගති අඩු සහ වැඩි වශයෙන් ඇති අයවලුන් ලංකාවේ වත්මන් ගම් වලද සිටින බව අවිවාදිතය. ගම නමැති ව්‍යුහය වෙළඳ භාණ්ඩයක් වූ විට එය පළමුව විකුණන්නේ මෙවැනි අයවලුන් විසිනි.
ඉතින් “රජතුමනි” ඔබ අපට උගන්වන්නේ ගමේ සුවඳ නොව ගම කෙතරම් ගඳද යන්නය. එය මත පිහිටා ගම ගැන වැරදි තීරණ ගෙන ඔබ විසින් සඟවන ගමේ සුන්දරත්වය මඟ හැරීමට කිසිවෙකු සූදානම් නැතිබව මෙවර ඔබ ඉගෙන ගෙන ඇත. ගිරුවාපත්තුවේ පිහිටි හතර මායිමෙන් වට වූ මැදමුලන සම්පූර්ණ ගමක් ලෙස දැකීමට තරම් කිසිවෙකු අන්දයෝ නොවෙති.
නිලන්ත ඉලංගමුව