මාතලේ මහරෝහල් භූමියෙන් මීට දෙවසරකට පෙර පළමුවරට මහපොළොව ඉස්මත්තට ආ මනුස්ස ඇටකැබලි විසින් ලොවට හඬගා කියන ලද ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගත් විශාලතම සමූහ මිනීවලේ කතාව, වසර දෙකක් ඇවෑමෙන් ඇදීයමින් තිබෙන්නේ වගකීම් හා වගවීම් විරහිත, යුක්තිය හා සාධාරණත්වය ඇටකටුවලට පවා අහිමි කර දැමෙන අන්තයකට ද යන සැකය ප්‍රබලව නැ‍ගෙමින් එයි. දරුණු වදහිංසාවලට ලක්කරන ලද බවට හා අවම ගෞරව සහිතව ‍හෝ මිහිදන්වීමක හිමිකම පවා අහිමිකරන ලද බවට අධිකරණ වෛද්‍ය හා පුරාවිද්‍යා විශේෂඥ මත පලවී ඇති මනුස්ස ජීවිත අවම වශයෙන් 154ක්, මෙහි මිහිදන්ව තිබේ. දැනට කරුණු යෙදී ඇති පිළිවෙලට විධිමත්, විනිවිද පෙනෙන පරීක්ෂණයක් මාර්ගයෙන් මෙම සමූහ මිනීවලේ සැබෑ තතු හෙළිදරව් වනු ඇතැයි විශ්වාස කරන්නට ඇති කරුණු අල්ප ය.

මාතලේ සමූහ මිනීවල පිළිබඳ කතාව මුල් වතාවට එළියට එන්නේ 2012 නොවැම්බර් මස 26වැනිදා, මාතලේ මහරෝහල් භූමියේ ඉදිකිරීමක් සඳහා පොළොව කැනීමේදී මිනිස් ඇටකැබලි හමුවීමත් සමඟිණි. එතැන් පටන් වසර දෙකක් පුරා සමාජ දේශපාලන කතිකාවේ මතුපිටට එමින් ද, යළි යටයමින් ද ඇදී ආ මේ සමූහ මිනීවලේ කතාව පිළිබඳ සත්‍යය මුළුමනින් වැසී යාද යන සැකය ප්‍රබලව නැගෙන්නේ පසුගිය නොවැම්බර් 18 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමී හි පිහිටි බීටා ඇනලිටික් විකිරණශීලී කාබන් කාලනිර්ණ රසායනාගාරය විසින් මිනීවල සම්බන්ධයෙන් සිය විකිරණශීලී කාබනික කාලනිර්ණය ලබාදී, මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී වාර්තාවේ මූලික නිගමනය හෙළිකිරීමත් සමඟිනි. තවමත් නිලවශයෙන් ප්‍රකාශයට පත්වී නැති වාර්තාවට අනුව මෙම අස්ථි කොටස්වල කාබන් කාලනිර්ණය 1950 දශකයෙන් එපිට කාලයට අයත් ය.

කාලනිර්ණයේ පරස්පරතා

මෙම කාලනිර්ණය මීට ප්‍රථම මේ සම්බන්ධයෙන් ලබාදී තිබූ කාලනිර්ණ පරාසය වූ ‘‘වර්ෂ 1986ට වඩා පැරණි නොවන හා වර්ෂ 1990ට වඩා අළුත් නොවන’’ යන්නට (මාතලේ මහරෝහල් පරිශ්‍රයෙන් සොයාගත් මානව අස්ථි ශේෂයන් පිළිබඳ අධිකරණ පුරාවිද්‍යාත්මක වාර්තාව. පි. 47) ඉඳුරා පටහැනි ය. එය මෙම මිනීවල සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකිරීමේ වගකීම පැවරුණු කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව විසින් ලබාදී තිබුණකි. සිය ක්‍රමය ‘කාලානුක්‍රමික සැන්ඩ්විච්’ (Chronological Sandwich) ක්‍රමය ලෙස හඳුන්වන මහාචාර්ය සෝමදේව (එම පි. 47) එය ‘‘ඉතා ම දියුණු මෙන්ම නිවැරැදි කාලනිර්ණ ක්‍රමවේදයක්’’ ලෙසත් “දකුණු ඉන්දියාව වැනි කලාප තුළ ඉතා සාර්ථකව අත්හදා බලා ඇති ක්‍රමවේදයක් ලෙසත්” හඳුන්වා දුන්නේය. (රාවය 2013.04.07)

එහෙත් මෙම නව වාර්තාවේ සත්‍යාසත්‍යතාව පිළිබඳ මෙන්ම වාර්තාවට පදනම් වූ නියැදීන් පිළිබඳව ද ප්‍රබල සැක මතුවෙමින් එයි. මිනීවල සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යභාරය ඉටුකළ වෛද්‍ය අජිත් ජයසේන හා මිනීවලේ පරීක්ෂණ කටයුතු මෙහෙයවූ මහාචාර්ය සෝමදේව මෙම වාර්තාවේ සම්පූර්ණ පිටපත් ඉල්ලා ඇතත්, මේ වන තුරුත් ඔවුන්ට ඒවා ලැබී නැත. මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූ මහාචාර්ය සෝමදේව පවසන්නේ මිනීවල සම්බන්ධයෙන් පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව පසුගිය නොවැම්බර් 19 වැනිදා තමන් වෙත උක්ත පරීක්ෂණ වාර්තාව වශයෙන් පෙන්වා සිටියේ කිසිදු පිළිගත හැකි නිල ලියැවිල්ලක් නොව ‘‘හාෆ් ෂීට් කොලයක ලියූ පේලි හතරක පමණ සටහනක්’’ බවයි

“මේක වංචාවක්”

එම ‘වාර්තාව’ දුටුවිට තමන් මවිත වූ බව ඔහු පවසයි. ‘‘….මොකද ලෝකයේ කිසිදු විද්‍යාත්මක පර්යේෂණයන් සිදුකරන ආයතනයක් ඒ විදියට වාර්තා නිකුත් නොකරන නිසා. කොමිසමේ විනිසුරුවන් මට පෙන්වූ වාර්තාවේ කිසිදු තැනක පර්යේෂණයේදී ඔවුන් අනුගමනය කළ විද්‍යාත්මක ක්‍රමවේදය හෝ නිගමනයන් සටහන්ව තිබුණේ නෑ. අඩුම තරමේ ලිපි ශීර්ෂයක්, පර්යේෂණ ලිපිගොනු අංකයක්, නැවත ඔවුන්ගෙන් විමසා සිටිය හැකි සම්බන්ධතාවක් එහි සටහන්ව තිබුණේ නෑ. ඇත්තටම ඒක හිස් කොලයක ලියූ වැදගැම්මකට නැති පේලි කිහිපයක්. ඊට යටින් කවරකු හෝ අත්සන් තබා තිබුණත්, අඩුතරමේ අත්සන් තැබූ පුද්ගලයාගේ තනතුර හෝ වගකීම කුමක්දැ’යි යන්නවත් එහි සටහන් වී තිබුණේ නෑ. මා හිතන්නේ මෙය වංචාවක්. එම වාර්තාවේ ඇති අඩුපාඩු සහ එය විද්‍යාත්මක වාර්තාවක් ලෙස පිළිගැනීමට මට ඇති නොහැකියාව මා පැහැදිළිව කොමිසමට පෙන්වා දුන්නා. මගේ පිළිතුර ලෙස පිටු 10ක වාර්තාවක් මා කොමිසමට යොමු කළා.’’

වාර්තාවේ වලංගුභාවය ගැන එසේ ප්‍රශ්න නඟන ආචාර්ය සෝමදේව පරීක්ෂණය සඳහා යැවූ අස්ථි සාම්පල්වල නිරවද්‍යතාව ගැනද සැක පහළකරයි.

prof_raj_somadeva_crop‘ඒ වාර්තාවේ මා පැහැදිළිව කියා සිටියා මේ පරීක්ෂණය සඳහා අදාළ නියැදි යැවීමට පෙර ඒවා වැසි ජලයෙන් හෝ වෙනත් විදියකින් දූෂ්‍ය වී (contaminate) ඇතිදැ’යි පරීක්ෂා කළ යුතුය යන්න මගේ නිර්දේශය වූ බව. එසේ කළාදැ’යි මා දන්නේ නෑ. මිනීවල දෙවරක් වැසි ජලයෙන් යටවුණා. අදාළ නියැදීන් යැවීමට පෙර නිසි පරිදි මුද්‍රා තබා තිබුණාද, එසේ නම් එහි වගකීම ගනු ලැබුවේ ඊට නිසි පුහුණුව ලද විද්‍යාඥයෙක්දැ’යි මා විමසා සිටියා. එහෙත් ඒ කිසිවකට කොමිසමෙන් පිළිතුරු ලැබුණේ නෑ.

‘‘ඔවුන් පෙන්වා සිටි පරීක්ෂණ වාර්තාව නොපිළිගන්නා බව මා ඉතා පැහැදිළිව කියනවා. පේළි හතරක නිකම්ම සටහනක් විද්‍යාත්මක වාර්තාවක් විදියට අපි කොහොමද පිළිගන්නේ? මේ සම්බන්ධයෙන් විද්‍යාඥයකු ලෙස මා කළ පරීක්ෂණයේ නිරවද්‍යව ගැන අදටත් මා සහතික වෙනවා. මේ මිනීවල 1986ට පෙර එකක් නොවන බවට මා වෘත්තීය නිගමනයක් ලබාදී තිබෙනවා. ඉදිරියටත් මා කටයුතු කරන්නේ මගේ විශ්වාසය හා නිගමනයන් මත පදනම්ව යි.’’ මහාචාර්ය සෝමදේව වැඩිදුරටත් පවසයි.

අමානුෂික වදහිංසා සලකුණු

මෙම කාල නිර්ණයට අමතරව මහාචාර්ය සෝමදේව හා මෙම මිනීවලේ අධිකරණ වෛද්‍ය කටයුතු භාරව සිටි එවකට මාතලේ මහරෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන දෙපළ සමූහ මිනීවලෙන් සොයාගත් අස්ථි කොටස්වලට අදාළ පුද්ගලයන් ගේ මරණයන් සම්බන්ධයෙන් එළැඹෙන නිගමන බෙහෙවින් වැදගත් වෙයි. ඒ නිගමනයන්ට ඔවුන් එළැඹෙන්නේ අස්ථි කොටස් වලතුළ දමා ඇති ආකාරය, අස්ථිවල ස්වභාවය හා ඒ සමඟ හමු වූ ඇතැම් සුළු මානවකෘතීන් වැනි සාක්‍ෂ්‍ය ආධාරයෙනි. ඒ අනුව ඔවුන් ගේ පැහැදිළි නිගමනය වන්නේ මෙය අපරාධයක් සිදුවූ ස්ථානයක් බව යි. මේ ඇටසැකිලිවල හිමිකරුවන්ගෙන් බහුතරය අති අමානුෂික වධබන්ධනයන්ට ලක්කොට ඇති බව හා ඔවුන්ට ගෞරවණීය භූමදානයක හිමිකම නොලැබී ඇති බව යි. ඒ පිළිබඳ ඔවුන් කරන විස්තරයට අනුව මේ වින්දිතයන්ගෙන් ඇතැමුන් ගේ හිස් මෙන්ම වෙනත් ශරීර අවයව ද කියත් වැනි ආයුධවලින් කපා වෙන්කොට තිබේ. මොට ආයුධවලින් සිදුකළ පහරදීම්වල, යම් යම් දෑ ශරීරයට ඇතුළුකිරීම්වල සලකුණු ඇටකැබලිවලින් හඳුනාගත හැකි ය. වලදමා ඇත්තේ ඇඳුම් පැළඳුම්වලින් තොරව ය. හිසකෙස් පවා නොමැතිව ය.

අංක 76 දරන හිස් කබලේ හිසේ මුදුන් කොටස තියුණු ආයුධයකින් කපා වෙන්කොට ඇති අතර, එය මරණ පරීක්ෂණයක දී සිදුවූවක් නොවන බවත්, තියුණු කැපුම් සලකුණු හිස කඳින් වෙන්කිරීමට සමාන සචේතනික ක්‍රියාවක් බවට ප්‍රබල හැඟවුමක් ලබාදෙන බවත් ඔවුහු පවසති. මුව විවරවී තිබෙන ඇතැම් හිස්කබලක් අතිශය දරුණු වධබන්ධනයක් නිසා මරණ මොහොතේ නැඟූ විලාපයක් මූර්තිමත් කරනු විය හැකි ය. එක් පා අස්ථියක රැඳී තිබූ ලෝහ වළල්ලක් නැවත නැවතත් පාවිච්චියට ගතහැකි අයුරින් සූක්‍ෂම දෑතකින් නිපදවී ඇති බව වාර්තාවේ සඳහන් වන අතර (පුරා විද්‍යාමය වාර්තාව පි. 29) වින්දිතයාට විදුලිසැර වැද්දවීමට භාවිතාකළ එකක්ද යන සැකය ඇතිවේ. අංක 06 ඇටසැකිල්ලේ අතැඟිලිවලට යකඩ ඇණ ඇතුළුකොට තිබෙන බවට සාක්‍ෂ්‍ය වෙයි.

skull_79

මහාචාර්ය සෝමදේව කළ කාලනිර්ණයට අමතරව මෙම නිරීක්ෂණයන් ද සමූහ මිනීවලේ මිහිදන් කරනු ලැබූවන් කවුරුන් වියහැකිද යන්න පිළිබඳ ප්‍රබල ඉඟි සපයයි.

අධිකරණ වෛද්‍ය නිලධාරී ජයසේනට අනුව මේ මිහිදන් කිරීමට අදාළ කිසිදු වාර්තාවක් රෝහලේ හෝ වෙනත් කිසිදු තැනක නැත. ඒ අනුව මේ මිනීවලට කිසිදු නීතිමය පසුබිමක් නැති අතර, එහි නීත්‍යානුකූලභාවය ප්‍රශ්නකාරී ය. (පුරා විද්‍යාමය වාර්තාව පි.43) මෙය ස්වභාවික විපතකට හෝ වසංගතයකට ගොදුරුවූවන් ගේ සොහොන් බිමක් නොව අපරාධ සිදුවීමකට අදාළ සමූහ මිනීවලක් බවට ද ඔහු නිගමනය කරයි.

මේ නිගමනයන් සමඟ භීෂණ සමයේ සිය සමීපතමයන් අහිමිවූ 13 දෙනෙක් මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සම් භාරදී ඇති අතර, ඞීඑන්ඒ පරීක්ෂණ මඟින් අස්ථීවල හිමිකාරයන් සොයාදෙන්නැ’යි ඔවුහු ඉල්ලා සිටිති.

භීෂණ සමයේ වධකාගාර

මෙම සොයාගැනීම්වලට ගැලැපෙන පසුබිම් තොරතුරු බොහොමයක් දැනටමත් ඉස්මත්තට පැමිණ තිබේ. ජවිපෙ දෙවැනි සන්නද්ධ නැගිටීම සමයේ මාතලේ ප්‍රදේශයේ හමුදා හා පොලිස් වධකාගාර ගණනාවක්ම ක්‍රියාත්මක වූ බවට තොරතුරු හෙළිවී ඇති අතර, මාතලේ විජය විද්‍යාලය, තානායම් ගොඩනැඟිල්ල, කූඹියන්ගොඩ විහාරස්ථානය හා පෝසිලේන් කර්මාන්ත ශාලාව මෙබඳු වධකාගාර පැවැති ස්ථාන ලෙස නම් කෙරී තිබේ. ඒ අතරිනුත් මාතලේ විජය විද්‍යාලයේ හා රජයේ තානායමේ පවත්වාගෙන ගිය වධකාගාර මෙම සමූහ මිනීවලට වඩාත් ආසන්නයේ පිහිටියේ ය.

මාතලේදී අත්අඩංගුවට පත්ව, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යන ලද විජය විදුහල් වධ කඳවුරේ රඳවාගනු ලැබ විවිධ වධ බන්ධනයන්ට ලක්වී ජීවිතය බේරාගත්, සිය අනන්‍යතාව හෙළිකිරීමට අකැමැතිවූ පුද්ගලයෙක් 2012 දෙසැම්බර් 09 දින ‘ජනරළ’ පුවත්පතට කරතිබූ දිගු විස්තරයකින් මහාචාර්ය සෝමදේව හා වෛද්‍ය ජයසේන අනුමාන කරන වධ බන්ධනයන්ට අනුරූප වධ හිංසන තත්ත්වයන් හෙළිදරව් වේ. මෙම දීර්ඝ විස්තරයට අනුව මියගිය පුද්ගලයන්ගේ හිස් කඳෙන් වෙන්කිරීම මෙම වදකඳවුරේදී බහුලව සිදුවී ඇති අතර අත්අඩංගුවට පත්වූවන්නට කෲර වධහිංසා පමුණුවා ඝාතනය කොට ඇත.

මෙම සමූහ මිනීවලෙන් සොයාගත් අස්ථි සාම්පලවලට අදාළ විකිරණශීලී කාබන් කාලනිර්ණ වාර්තාවෙන් මෙම අස්ථි වර්ෂ 1950 පෙර යුගයට අයත් බව නිගමනය කරඇතැයි කියන්නේත් මෙබඳු පසුබිමක ය.

මෙම වාර්තාව ඉදිරිපත් කරන ඇමරිකානු ආයතනය වන ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි හි පිහිටි බීටා ඇනලිටික් යනු අදාළ ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් තිබෙන ප්‍රධානතම විමර්ශක ආයතනයක් බව අන්තර්ජාල තොරතුරුවලින් හෙළිවෙයි. අස්ථි කොටස්වලට අදාළ රසායනාගාර පරීක්ෂණ මෙම ආයතනය මඟින් ඉටුකරවාගැනීම සිය වාර්තාවෙන් (පුරා විද්‍යාමය වාර්තාව පි.46) නිර්දේශ කරන්නේ මහාචාර්ය සෝමදේව ය. එහෙත් දැන් එම ආයතනයේ වාර්තාව සම්බන්ධයෙන් සැක පහළකරමින් ඊට අභියෝග කරන ප්‍රධාන පුද්ගලයකු වන්නේද ඔහුම ය.

මෙම නව වාර්තාව වංචාවක් නම්, පරීක්ෂණ කටයුතු නොමඟ යැවීමක් නම්, සත්‍ය වසාදැමීමේ උත්සාහයක් නම් ඒ කුමක් නිසාද, කාගේ වුවමනාවටද යන්න සැළකිල්ලෙන් පිරික්සා බැලීම වැදගත් ය. අවනීතික ලෙස, ජීවත්වීමේ අයිතිය අහිමි කරනලද ජන පිරිසක් සම්බන්ධයෙන් වැළලූණු සත්‍යය ඒ මඟින් සොයා පාදාගන්නට හැකි වන්නට ඉඩ ඇති බැවිනි.

(මතු සම්බන්ධයි)

Sanath-Balasooriyaසනත් බාලසූරිය | Sanath Balasooriya

@JDS