පසුගිය ජනවාරි 8 වෙනි දා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් වූ ප්‍රධාන කරුණ වූයේ එමගින් යහපාලනය ඇති කර ගැනීම සඳහා මාවතක් විවෘත කර ගැනීම යි. කෙසේ වුවත්, ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමෙන් පමණක් යහපාලනයක් ඇති වන්නේ නැත. ජනාධිපතිවරයාත් ඔහුගේ ආණ්ඩුවත් විසින් යහපාලනයට අදාළ වන්නාවු විශ්වයීය වටිනාකම් වලට අනුබල දීමත් ඒ සඳහා අවශ්‍ය කරන දේශපාලන ක්‍රියාවලියන් ක්‍රමානුකූලව ආයතනගත කිරීමත් මගින් යහපාලනයට වැඩෙන්නට ඉඩකඩත්, පෝෂණයත්, ශක්තියත් ලබා දිය යුතු ය. නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහුගේ නවීකරණය කරන ලද පාලනය විසින් ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණ වන යහපාලනය වෙනුවෙන් වැඩ කිරීම ආරම්භ කර තිබේ. එහෙත්, මෙතෙක් ගෙන තිබෙන සමහර පියවර එතරම් ඵලදායී නොවන බවක් ද, ඇතැම් ප්‍රකාශන තරමක් මනෝරාජික ස්වභාවයකින් යුක්ත වන බවක්ද පෙනෙන්නට ඇත.

කෙසේ වෙතත්, මින් පෙර නොවූ විරූ ආකාරයේ මෙම සාධනීය ප්‍රතිඵලය ශී‍්‍ර ලාංකිකයන් වෙනුවෙන් ඇති කරලන්නට දායක වූ විවිධාකාර සියලූ බලවේග සතු උනන්දුව රඳවා තබා ගැනීමෙන්, එනම් නිර්මාණාත්මක ලෙසත්, ඉවසිලිවන්ත වත් පරීක්ෂාකාරී වත් කටයුතු කිරීමෙන් යහපාලනය වෙත කෙරෙන මෙම ගමනට විචක්‍ෂණශීලී අන්දමින් අපට දායක විය හැකි යයි මම විශ්වාස කරමි. අපේ අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා ඉදිරියට වැටී තිබෙන මාවත දෙස බලන්නට පෙර අප දැන් සිටින්නේ කොතැනකදැයි යන්න දැන ගැනීම සඳහා කරන කෙටි විග්‍රහයක් මෙහි පහත දැක්වෙයි.

මැතිවරණයේ පසුබිම

මෙම මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම නිදහස්, සාධාරණ, සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී එකක් නො වුණත්, ජනතාව පුළුල් වශයෙන් ද මහත් උද්යෝගයකින් ද යුක්තව එම ව්‍යාපාරයට සහභාගි වූහ. මැතිවරණයේ සහභාගිත්වය සියයට 81.5 ක ඉතා ඉහළ මට්ටමක පැවතිණි. උතුරේ ඡන්ද දායකයන් ගෙන් සෑහෙන දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වූහ. ඇතැම් ඵල ප්‍රයෝජන සහිත බොහෝ කණ්ඩායම් විසින් තම උවමනාවන්ට අනුකූලව මැතිවරණ ප්‍රතිඵල පක්‍ෂග්‍රාහී ලෙස අර්ථකථනය කොට තිබුනද, 1990 ගණන්වලින් පසුව සිංහල, දෙමළ, මුස්ලිම් ආදී විවිධ ජන ප්‍රජාවන්ගේ සහභාගිත්වයෙන් එක් අපේක්‍ෂකයෙකු තෝරා පත් කර ගන්නා ලද පළමු අවස්ථාව ලෙස මෙම මැතිවරණය සැලකිය හැකි ය. 1950 ගණන්වල සිට පවත්වන ලද මැතිවරණවල දී මූලික ප්‍රශ්න ලෙස මතු කොට තිබුනු වාර්ගික හා ආගමික කරුණු හා සම්බන්ධ ප්‍රශ්ණ මෙම මැතිවරණයේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ නැත.

අවාසනාවකට මෙන් මෙම ජනාධිපතිවරණය පැවැත්වූයේ විපක්ෂ පොදු අපේක්ෂකවරයාගේ ව්‍යාපාරයට එරෙහිව බාධක රැසක් නිර්මාණය කර තබන ලද වාතාවරනයක් තුල යි. රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරය දැඩි ලෙස ජාතිවාදය ඔසවා තැබූ අතර එම ව්‍යාපාරයට ඇති තරම් මුදල් ද ආයෝජනය කොට තිබුණි. විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට එරෙහිව මානව, ද්‍රව්‍යමය, මුල්‍යමය හා මාධ්‍ය ඇතුළු රාජ්‍ය සම්පත් සියල්ලම පාහේ භාවිතා කරන ලදි. ලංකාවේ පවතින අන් සියලූ ප්‍රශ්න කෙරෙහි බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් වන ජාතික ප්‍රශ්නය පිළිබදව කිසිදු සාකච්ඡාවක් මෙහිදී සිදු වූයේ නැත.

හිටපු පාලකයාගේ අධිකාරිවාදය, දූෂණ, වංචා, නාස්තිය, පවුල් සහ ඥාති සංග්‍රහ, සිවිල් පරිපාලනය දේශපාලනීකරණය කිරීම හා හමුදාකරණය කිරීම හුවා දැක්වූ විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය නාගරික ප්‍රදේශවල සාර්ථක වී ඇති බවක් පෙණුනද ග්‍රාමීය ප්‍රදේශවල, විශේෂයෙන් ම දකුණු පළාතේ එම මැතිවරණ ව්‍යාපාරය එතරම්ම සාර්ථක වූයේ යයි කිව නොහැකි ය. එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ ව්‍යාපාරය වඩා සංවිධානය වූ, සම්බන්ධීකරණය කරන ලද, සුමටව දිවූ, බිම් මට්ටමේ ජන කොටස් මත පදනම් කර ගන්නා ලද එකක් විය. රාජපක්ෂ රෙජිමය විසින් බලයේ රැඳී සිටීමට අනුගමනය කරන ලද අධිකාරිවාදී වූත් ඒක සංස්කෘතික වූත් ප්‍රවේශය හේතුවෙන් පොදු විපක්ෂ අපේක්ෂකයාට දෙමළ සහ මුස්ලිම් ජනයාගෙන් ලැබුණු සහයෝගය වර්ධනය විය.

මැතිවරණ ප්‍රතිඵල

මා ඇතුළු විවිධ විශ්ලේෂකයන්ගේ ලෝක දැක්ම හා ඔවුන් විසින් ආරක්‍ෂා කිරීමට යත්න දරන ඵල ප්‍රයෝජන හා වර ප්‍රසාද වලට අනුකුලව මෙම මැතිවරණ ප්‍රතිඵලය විවිධ ආකාරයෙන් විග්‍රහ කොට ඇත. රාජපක්ෂ හිතවාදීන් හා ජාතිකවාදීන් ද ශ්‍රී ලංකාවේ ඇතැම් වමේ කණ්ඩායම් ද ඇතුළු මේ පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ පාර්ශ්වයන් විසින් අනන්‍යතා දේශපාලනය ඔස්සේ මෙම මැතිවරණ ප්‍රතිඵල අර්ථකථනය කරන්නට උත්සාහ කර තිබේ. මැතිවරණ ප්‍රතිඵල වාර්ගික ලෙස බෙදා වෙන් කර දැක්වීම එතරම් වැදගත් නොවුණ ද, එවැනි විග්‍රහයක් අවතක්සේරුවට ලක් නොකළ යුතුය. මෙම ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම කෙරෙහි ප්‍රමුඛත්වයක් දී තිබුනි. යහපාලනය, නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන්, දූෂණයට එරෙහිව කරන අරගලය, ජීවන වියදම, රැකියා අවස්ථා, සෞඛ්‍ය සේවාවන් හා අධ්‍යාපන පහසුකම් සඳහා වඩා හොඳ ප්‍රවේශයන් ලබා දීම වැනි වෙනත් බොහෝ කරුණු ද මෙම මැතිවරණ ව්‍යාපාරයේදී අවධාරනය කරන ලදී. වමේ අය විසින් ජාතික ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන්නට ඇති අවශ්‍යතාවය මතු කළ නමුත්, එයට එතරම් වැදගත් කමක් ලැබුනේ නැත.

රටේ උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජාතික සන්ධානයත්, නැගෙනහිර හා අනෙකුත් පළාත්වල ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් ලබා දුන් සහයෝගය වැදගත් වන නමුත්, සමස්ත මැතිවරණ ප්‍රතිඵලය වාර්ගික හා ආගමික අනන්‍යතාවන්ට පමණක් ආරෝපනය කිරීමෙන් කරුණු අතිශය ලෙස සරළ කොට ඉදිරිපත් කිරීමක් සිදු වෙයි. උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනයා විසින් ප්‍රකාශ කරන ලද අති විශාල ඡන්ද ප්‍රමාණය මෛත්‍රීපාල සිරිසේනට වාසිදායක වන ලෙස බලතුලනය වෙනස් කරන්නට හේතු කාරක වූවද, මෙම මැතිවරණ ප්‍රතිඵලය බෙදුම්වාදයට හෝ බලය බෙදාගැනීමට පක්ෂපාතී වූ එකක් ලෙසට නඟනු ලබන තර්කය සාවද්‍ය වූවකි. සංඛ්‍යාලේඛණ අනුව මැතිවරණ ප්‍රතිඵල බෙදා දැක්වීමෙන් පෙන්වා දෙනු ලබන්නේ මෛත්‍රීපාල සිරිසේනට ලැබී ඇති ඡන්දවලින් සියයට 84 ක්ම රටේ උතුරු නැගෙනහිරට අයත් නොවන ප්‍රදේශවලින් ලැබී තිබෙන බවයි.

රාජපක්ෂ රෙජිමයත්, එහි පන්දම් කරුවෝත් මුළු රට ම ආවරණය කරන පරිදි ඒක සංස්කෘතික වූත්, ජාතිකවාදී සහ ජාතිවාදී වූත් ප්‍රචාරයන් මත පදනම් කර ගත් දැවැන්ත රූපවාහිනී හා ගුවන් විදුලි ප්‍රචාරණයක් ගෙන ගිය හ. මෙමගින් වඩා ජාතිවාදී ලෙස සිතන සිංහලයන් රාජපක්ෂට ඡන්දය දෙන්නට ද, දෙමළ ජනයා වැඩියෙන් විපක්‍ෂයේ පොදු අපේක්ෂකයාට ඡන්දය දෙන්නට ද පොළඹවා ලන්නට ඇත. සමහර බෙදුම්වාදී හා ජාතිවාදී කණ්ඩායම් සහ ඇතැම් රුඩිකල් වාදී කණ්ඩායම් මැතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලා සිටි බව අපි දනිමු. එසේ කිරීම ඔවුන්ට ඇති ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිතා කිරීමක් වූවත් එසේ කිරීමෙන් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඔවුන් විසින්ම ඵලදායක ලෙස අහිමි කොට ගෙන ඇත. ඡන්ද දායකයන්ගෙන් සියයට 20ක් පමණ ඡන්දය නොදී සිටීම සදහා පොළඹවන්නට තමන්ට හැකි වූ බව ඔවුන් ප්‍රකාශ කර සිටින්නට පුළුවන. එහෙත්, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙකුට ඡන්දය දීම සඳහා වෙනදාට වඩා වැඩි ඡන්දදායකයන් පිරිසක් මේ වතාවේ ඉදිරිපත් වීමෙන් ම එම ප්‍රකාශය නිශ්ඵ්‍රභා වෙයි.

කලින් තිබුන රෙජීමයේ සිටි රාජපක්ෂ ගැති කොටස් විසින් කර ගෙන යන ලද දරුණු ප්‍රචාරත් විපක්ෂයට අවාසිදායක වන පරිදි ජාතික ආරක්ෂාව, ඒකීය රාජ්‍යය, රටේ ස්වෛරීභාවය හා භෞමික අඛන්ඩතාවය සම්බන්ධයෙන් විපක්ෂයේ න්‍යාය පත්‍රය මත පටවන ලද නොයෙක් අවහිරකම් මධ්‍යයේ පවා මෙම මැතිවරණයට සහභාගි වීම පිළිබදව දෙමළ ජනතාවට ප්‍රශංසා කළ යුතු බව මගේ මතයයි. 1940 ගණන්වලින් පසු ලංකාවේ පවත්වන ලද මැතිවරණවලින් වර්ගය හා ආගම යන කරුණු මැතිවරණ ප්‍රතිඵලය වෙත බලපාන ආකාරයේ ප්‍රධාන භූමිකාවක් රඟ නොදක්වන ලද පළමු මැතිවරණය මෙය බව මගේ නිගමනය යි.

ආසන්න අනාගතය

ජනාධිපතිවරයා හා අලූත් කැබිනට් මණ්ඩලය දිවුරුම් දී ඇත. ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් ද පත් කර තිබේ. දින සියයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන දියත් කොට ඇත. නව අන්තර්කාලීන රජයට දිය හැකි හොඳම උපදෙස වන්නේ සෑම අමාත්‍යාංශයකට ම හා දෙපාර්තමේන්තුවකට ම අදාළ වන්නාවූ වැදගත් ම කරුණු 10 ක් තෝරා ගෙන, එම කරුණු ආමන්ත්‍රණය කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති මාලාවන් සකස් කොට, එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන ලෙස යි. නව ජනාධිපතිවරයා හා ආණ්ඩුව කෙරෙහි විශ්වාසය ගොඩ නැඟීම සඳහා මෙය අතිශයින්ම ඉවහල් වනු ඇත. ජනාධිපතිවරයා, ඇමතිවරු හා අමාත්‍යාංශ තීරණ ගත යුත්තේ සියලූ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් සහ ඔවුන් සහභාගි කර ගනිමින් ය. වැදගත් ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම කල් දැමීමත් තීරණාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් අවිනිශ්චිත ව සිටීමත් අනාගතය කෙරෙහි මාරාන්තික ප්‍රතිඵල උදා කර දිය හැකි ය.

රාජපක්ෂවරු හා වීරවංශලා නිහඩව නොසිටින හෙයින් මෙසේ කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වෙයි. රාජපක්‍ෂ ඡන්දයෙන් පැරදුණේ උතුරු නැගෙනහිර හා වතුකරයේ ඡන්දදායකයන් නිසාය යන මුසාව ඔවුහු දැනටමත් පතුරුවමින් සිටිති. තමන් ලැබූ ඡන්දවලින් කොටසක් ලබා ගත්තේ අල්ලස දීමෙන්, තර්ජන හා බියවැද්දීම් කිරීම් මඟින් සහ කොටි අවතාර හා බෙදුම් වාදයක් පෙන්වා ලමින් සිංහල බෞද්ධ බහුතරයේ ජාතික මනස බොරුවෙන් රවටා ඔවුන් තුළ බිය ඇති කිරීමෙන්ය යන කරුණු ගැන ඔවුහු නිහඬ ව සිටිති.

මැතිවරණ කොමසාරිස්වරයා, පොලිස්පතිවරයා, හමුදාපතිවරයා ඇතුළු තවත් ඇතැම් අයගේ අවංකත්වයට ස්තුති වන්නට රාජපක්ෂවරුන් විසින් හදිසි නීතිය හා හමුදාව යොදාගෙන දිගට ම බලයේ රැඳී සිටින්නට දියත් කරන ලද කුමන්ත්‍රණය ව්‍යර්ථ කළ හැකි විය. මේ පිළිබඳව ඔවුන්ට අපගේ කෘතඥතාවය හිමි වෙයි. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම ජනතාව අතරේ සෑහෙන අන්දමින් එළිදරව් කළ යුතු ය. නීතියට අනුව සැකකරුවන්ට එරෙහිව ක්‍රියා කළ යුතු ය. කලින් මෙම පුද්ගලයන්ට සෘජුවම උදව් කරන ලද ඇතැම් නිලධාරීන්ගේ නිහඬ අනුදැනුම ඇතිව මේ හා සම්බන්ධ ඇතැම් සැකකරුවන් රටින් පළා ගොස් ඇති බව පෙනෙයි. රාජපක්ෂවරුන් හා ඇතැම්විට නිල් බලකාය සමග කිට්ටුවෙන් වැඩ කළ සමහර ප්‍රධාන පෙළේ තරුණ සංවිධාන රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් ප්‍රජාතාන්ත්‍රික චිත්‍රයක් කෙසේ හෝ පින්තාරු කරන්නට වෙර දරති. අනාගතයේ අවශ්‍ය වූ විටක, රාජපක්ෂ රෙජීමයට සම්බන්ධව සිටි පවුලේ ශේෂයන්ට ප්‍රජාතාන්ත්‍රවාදයේ සළුපිළි පොරවා යළි පණ ගැන්වීමට උදව් කරන්නට ඔවුහු උත්සාහ දරනවා නිසැකය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාධරයන් වූ ලලිත් හා කුගන් පැහැරගැනීම, පුවත්පත් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, Action Contre la Faim ආයතනයේ සහායක සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීම, ත්‍රිකුණාමලයේ සිසුන් පස්දෙනෙකු මරාදැමීම හා කොළඹදී අත්අඩංගුවට ගන්නා ලද අපරාධ පිළිබඳ සැකකරුවන් ඝාතනය කිරීම වැනි අපරාධ චෝදනා රුසක් රාජපක්‍ෂ රෙජීමයට එරෙහිව එල්ල වී තිබේ. වර්ජන, සාමකාමී විරෝධතා සහ සිවිල් යුද්ධය අතරතුර නිරායුධ සාමකාමී සිවිල් වැසියන් ඝාතනය කළ බවට ද චෝදනා එල්ල වී ඇත. රාජපක්ෂ රෙජීමය විවෘතව ම, කිසිදු පැකිළීමකින් තොරව, බියක් සැකක් නැතිව, අල්ලස් දීමෙන්, තර්ජනය කිරීමෙන් හා ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීමෙන් මැතිවරණ නීති උල්ලංඝනය කළේය. එවැනි සාපරාධී ක්‍රියා හා වැරදි ස්වාධීන ලෙස හා නියමානුකූලව විමර්ශනය කොට වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු ය.

සමාප්තිය

ශ්‍රී ලාංකික සිවිල් සමාජයට ක්‍රියාත්මක විය හැකි අන්දමින් වඩා වැඩි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් විවර කර දීම සඳහා නව පාලනය මුල් පියවර තබමින් සිටියි. මීළඟ මහ මැතිවරණය පවත්වන්නට පෙර දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී කලින් පැවති අධිකාරිවාදී පාලනයට සම්බන්ධව සිටි දේශපාලකයන් හා නිලධාරීන් අතරින් ඇතැම් අයගේ සහාය ලබා ගැනීමට නව පාලනයට බල කෙරී ඇත. යහපාලනය හා නීතියේ ආධිපත්‍යය පිහිටුවීම සඳහා බලාපොරොත්තු වෙමින් කරන ගමනට පැහැදිලි ලෙසම මෙම තත්වය වාසි සහගත තත්වයක් ඇති නොකරයි. නව ජනාධිපතිවරයාත් ඔහුගේ පාලනයත් මේ ගැන ඉතා සුපරීක්‍ෂාකාරී විය යුතු ය. අවිනිශ්චිතතාවය හා කල් මැරීම මාරාන්තික මෙන්ම සියදිවි නසාගැනීමකට සමාන වන්නට ඉඩ ඇත.

ප්‍රධාන වශයෙන් ගොවීන් සහ කම්කරුවන්ද ඇතුළු රටේ පීඩිත ජනතාව ගේ සමාජ කළකිරීමත් අසන්තෝෂයත් හේතුවෙන් ප්‍රචණ්ඩ කාරී නොවන අන්දමින් රෙජීමය වෙනස් කරන්නට හැකි විය. සිංහල නොවන ජන කොටස් ඔවුන්ට සුවිශේෂ වූ ප්‍රශ්න සාකච්ඡා කොට විසඳා ගැනීම සඳහා ඉදිරි මාවතක් ද, ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සඳහා ඔවුන්ගේ කැමැත්ත ද ප්‍රකාශ කර තිබේ. මෙම ජනතාවන්ගේ අභිප්‍රායයන් හා බලාපොරොත්තු ඉටු නොකළහොත් ඉන් ඇති වන තත්වය අළුතින් අරගල පැන නැඟීම සඳහා වාසිදායක වාතාවරණයක් ඇති කරනවා ඇත. නව රජය නිවැරදි දිශාව වෙත තබන පළමු පියවර විය යුත්තේ ජනතාවගේ කැමැත්ත ඇතිව රටේ හා ජනතාවගේ දිගුකාලීන ඵල ප්‍රයෝජන සැළකිල්ලට ගනිමින් එවැනි ප්‍රශ්න සුදුසු ආකාරයෙන් විසඳා ලන්නට අවශ්‍ය එඩිතර පියවර ගැනීම යි.

මේ අතර රාජපක්ෂ රෙජීමයේ නෂ්ටාවශේෂයන් විසින් පහත්ම මට්ටමේ නො මග යැවීම් උපයෝගී කර ගනිමින් දුෂ්ඨ ආකාරයේ ජාතිවාදී සහ ජාතිකවාදී හැඟීම් යළි පණ ගන්වන්නට උත්සාහ දරනවා ඇත. රාජපක්ෂ රෙජීමයේ මෙවැනි ප්‍රවණතාත් අධිකාරිවාදී හා මර්දනකාරී ස්වභාවයත් හේතුවෙන් බොහෝ පුද්ගලයෝ, කණ්ඩායම් හා සංවිධාන අධිකාරිවාදී විධායක ජනාධිපති ක්‍රමය පෙරළා දැමීම සඳහා පෙරට පැමිණ විපක්ෂ පොදු අපේක්ෂකයාට සහාය දැක්වූහ.
සමාජය ඉදිරියට ගමන් කරන දිශාව වෙනස් කර ගැනීම සඳහා පක්ෂ දේශපාලනයටම සීමා නොවී, පෙර නොදුටු ක්‍රියාකාරිත්වයක් සහිත වූ මෙම සාමූහිකය විසින් මාවත විවෘත කර දී ඇත. නව පාලනයේ පැත්තෙන් ඇති වෙන ඕනෑම දෙගිඩියාවක් හෝ අවිනිශ්චිතතාවයක් වළක්වා ලිය හැකි වන පරිද්දෙන් වෙනසක් ඇති කිරීම සඳහා ජනතාව තුළ තිබෙන කැමැත්ත පවත්වා ගෙන යමින් වෙනසක් ඇති කිරීම සඳහා වූ මෙම උනන්දුව සජීවී ලෙස ඉදිරියට ගෙන යන්නට අප වග බලා ගත යුතු ය. එවිට මැතිවරණ ව්‍යාපාරයේදී දෙන ලද පොරොන්දු ඉටු කරනවා හැරෙන්නට නව පාලනයට ගත හැකි වෙනත් විකල්පයක් නොමැති වෙනවා ඇත. නව පාලනයෙන් කල් දැමීම් හා අවිනිශ්චිතතාවයන් ඇති විය හැකි වුවත් වෙනසක් ඇති කිරීම සඳහා තිබෙන අභිලාෂය සජීවීව පවත්වාගෙන යන්නට හැකි වෙන අන්දමට මෙම සමාජ සාමූහිකය වඩා සංවිධානාත්මක බවටත්, ජව සම්පන්න බවටත්, සුපරීක්ෂාකාරී බවටත් පත් කළ යුතු ය.

Lionel Bopageලයනල් බෝපගේ | Lionel Bopage