පරිසර සංරක්ෂණය ගැන මෛත්‍රී පාලනයේ අමුතු පිළිවෙත හා
සජින්ද වාස්‌ගේ හොර අලියා ගැන
වනජීවී අධ්යක්ෂ ජනරාල්ගේ දෙබිඩි පිළිවෙත
මෛත්‍රී පාලනය ආරම්භ වී දෙසතියක් ඉක්ම ගොස් තිබේ. දින සියයකින් අලුත් රටක් තනන්නටත් යන ගමනේදී දින දාහතරක් යනුද තීරණාත්මක කාල පරිච්ඡේදයක් බව සිතමු. ඒ අනුව එම තීරණාත්මක කාල පරිච්ඡේදය තුල සිදුවූ සිදුවීම් සොයා බලා ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය තුල මෙරට වනාන්තර, වනජීවීන් හා සෙසු ස්වභාවික සම්පත් වලට හිමිවිය හැකි තැන පිළිබඳව විමසීම කාලෝචිතයැයි හැඟෙයි. ඒ මන්ද යත් යම් වරදක් හෝ අතපසුවීමක් සිදුවී ඇත්නම් දැන් දැන්ම උත්සාහ කළහොත් එය නිවැරදි කරගැනීමට වඩාත් වැඩි කාලයක් ඉතිරි වන බැවිනි. අලුත් පරිසර ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩ ඇල්ලුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි ප්‍රවාහනය තහනම් කිරීම හා තවත් එවැනි ක්‍රියාමාර්ග කිහිපයක් සමගින් වීම ඇතැමුන්ගේ ඇස් නනල් ගැන්වීමට හේතුවිය. ජනාධිපතිවරයාගේ එම උත්සාහයන් සාධනීයය. නමුත් ඒ හැර පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් අවංකවම ලැදියාවක් දක්වන පිරිස් අපේක්ෂාකල ආකාරයේ ප්‍රමුඛ වෙනස්කම් කිහිපයක්ම මේ සටහන තබන මොහොත වන විටද සිදු කිරීමට වර්තමාන ආණ්ඩුව අපොහොසත්වී හෝ අතපසුකර ඇති බව කණගාටුවෙන් නමුත් සඳහන් කල යුතුය.
මෛත්‍රී පාලනය යටතේ දින සියය ඇතුලත පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ක්‍රියාවට නංවන්නට පොරොන්දුවූ ක්ෂණික සහන වැඩසටහන් සමහරක් පහත පරිදි වේ.
1. සත්ව හිංසනය වැළක්වීම සඳහා නීති පැනවීම
2. අප රටේ සංරක්ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්ෂා කරගැනීම හා ඒවායේ මායිම්වල සුරක්ෂිතබව පිළිබඳව වගබලා ගැනීම
3. පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
4. දැනට හානි සිදුවී ඇති හෝ විනාශවීමේ අවදානමට මුහුණ දී ඇති පාරිසරික වශයෙන් වටිනා කලාප ලොව පවතින නවීනතම විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගැනීම
5. සත්ව හා වෘක්ෂලතා ආඥා පනත නොබියව හා පක්ෂග්‍රාහී බැවින් තොරව දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම
6. සංවර්ධන වැඩසටහන්වල සංකල්පිත අවධියේදීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීමක් අනිවාර්ය කිරීම
මෙම වැඩසටහන් වල මේ දක්වා ප්‍රගතිය සොයා බැලීමට අප ඉක්මන් නොවෙමු. නමුත් අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී පරිසර අමාත්‍යාංශ විෂය පථයෙන් වනජීවී සම්පත් සංරක්ෂණය ඉවත්කර එය වාණිජ්‍ය පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන සංචාරක අමාත්‍යාංශය වැනි පරිපාලන ව්‍යුහයකට සම්බන්ධ කිරීමෙන් මේ වන විට වර්තමාන ආණ්ඩුව මුල වරද්දාගෙන ඇති බව නම් අප ඉතා අවධාරණයෙන් සඳහා කරනු කැමැත්තෙමු.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගියදා උත්සවාකාරයෙන් පරිසර අමාත්‍යංශයේ වැඩ ආරම්භ කර ඔහු විසින් ගනු ලැබූ ආන්ධෝලනාත්මක තීරණ පිළිබඳව ඉහත ද සඳහන් කළෙමු. නමුත් සුපුරුදු පරිදිම මේ ආණ්ඩුව යටතේත් වනජීවී සම්පත් සංරක්ෂණය විෂය පථය පරිසර අමාත්‍යංශයෙන් ගිලිහී තිබීම බරපතල තත්වයකි.
මෙරට වනාන්තර හා වනජීවී සම්පත් සංරක්ෂණය කරගැනීමේ අඩිතාලම වශයෙන් වන හා වනජීවී යන සම්පත් ඒකට කැටි කොට පරිසර අමාත්‍යාංශයේ පාලනයට නතු කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. එසේ හෙයින් දැනට අමාත්‍යවරුන් පත්කර එම විෂයන් අමාත්‍යාංශ දෙකකට බෙදා වෙන්කර දී තිබීම පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු කිරීම වැදගත්ය. ඉකුත් පාලන සමයේදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතට වනජීවී සංරක්ෂණ විෂය ආඳා තිබුණේ වනජීවී සම්පත් සංරක්ෂණය රාජපක්ෂවරයෙකුගේ යටතේ වඩාත් කාර්යක්ෂම ලෙස සිදුකිරීමටද යන්න දෙවරක් පැවසිය යුතු නැත. එහි අරමුණ වූයේ මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට පහළොවක් පමණ ආවරණය වන වනජීවී රක්ෂිත ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ පාලනය යටතේ තබා ගෙන එමගින් ජනනය වන අතිමහත් විදේශ විනිමය ප්‍රමාණය රාජපක්ෂවරුන් යටතට ගැනීම බව පැහැදිලි ය. එමගින් වන ජීවීන්ට හෝ රටට හිමි වටිනා පරිසර පද්ධතීන් වලට සෙත සැදුනේ නැත. සිදුවුනේ මෙරට වනජීවීන් ප්‍රධාන සංචාරක ආකර්ශක කොටගෙන මුදල් ඉපයීම පමණි. වනජීවී රක්ෂිතවල මුවවිටේ ඇති ඉඩම්(buffer Zones) පවා අත්පත් කරගනිමින් සංචාරක හෝටල් තනන්නට මග පාදා ගැනීම සඳහා වනජීවී අන පනත් සංශෝධනයට උත්සාහ දරුණු ඒ අතීතය අපට මතකය. වනජීවී විෂය පරිසර අමාත්‍යංශයෙන් ඉවත්කර වෙනත් අමාත්‍යාංශයකට ඇඳීමෙන් සිදුවන විපතට එයම කදිම නිදසුනකි. ආර්ථික, සංචාරක හෝ වෙනත් යම්කිසි අමාත්‍යාංශයකට වනජීවීන් පැවරීමෙන් සිදුවන්නේ වනජීවී සංරක්ෂණය නොවේ. එම අමාත්‍යංශයේ මූලික අරමුණ වන ආර්ථික, සංචාරක ප්‍රවර්ධන හෝ වෙනත් යම්කිසි අවශ්‍යතා සඳහා වනජීවී සම්පත් දඩමීමා කරගැනීමය. මෙරටට හිමි වනජීවී හා වනාන්තර සම්පත් තිරසාර ආකාරයෙන් යොදා ගනිමින් මුදල් ඉපයීමේ වරදක් නැත. නමුත් එසේ නොකර එකී සම්පත් විනාශ මුඛයට ඇර හෝ මඩිය තරකර ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඉකුත් ආණ්ඩුව එය ඉතා නිර්ධය ආකාරයෙන් සිදු කල අතර වර්තමාන ආණ්ඩුවද ඒ මාර්ගයේම ගමන් ආරම්භ කිරීමෙන් වනජීවීන්ට මෛත්‍රිය අහිමි වන බව අවධාරණය කලයුතුය.
මෙරට වනජීවී රක්ෂිත ජාලය ආරක්ෂා කරගැනීම වැදගත් වන්නේ වන සතුන් සඳහා පමණක් නොවේ. එමගින් රටට බලශක්තිය සපයන ජලවිදුලි උත්පාදනය සඳහා වැදගත්වන ජලාශ වල ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා වීම සිදුවේ. එසේම රටට බත සපයන කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබා දීමටද මෙම ජල පෝෂක වැදගත් මෙහෙයක් ඉටු කරයි. එසේම මෙරට බොහොමයක් පුරාවිද්‍යා ස්ථාන වනජීවී රක්ෂිත තුල පිහිටා ඇති බැවින් ඒවාටද මෙමගින් නිරායාසයෙන්ම ආරක්ෂාවක් සැලසේ. එබැවින් සංචාරක කර්මාන්තයට පමණක් ලඝු කොට මේ දෙස බැලීම වරදකි.
වන සම්පත් හා වනජීවී සම්පත් දෙකොටස වෙන වෙනම පාලනය වීම නිසා මෙරට පිහිටා ඇති ඉතා වැදගත් වනජීවී වාසස්ථාන සංරක්ෂණය කරගැනීමට පවා එමගින් පරිපාලනමය අවහිරතා ඇති වේ. වෙන එකක් තබා වන අලි මිනිස් ගැටුම පාලනය සඳහා විදුලි වැට ඉදිකිරීමේදී පවා මෙම පරිපාලන ගැටළු මතුවේ. උදාහරණයක් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තම රක්ෂිත භූමි මායිමේ විදුලි වැටවල් ඉදිකර අලි මිනිස් ගැටුමට විසඳුම් සොයන්නට වලි කති. නමුත් වනජීවී රක්ෂිතය මායිමේ ඊට පිටතින් ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩම් වල සිටින අලි ඇතුන්ට එමගින් ගම් වැදීමට භාදාවක් ඇති නොවේ. එමගින් අලි මිනිස් ගැටුම නොනවතින අරගලයක් බවට පත්වේ. මෙම දෙපාර්තමේන්තු දෙක එක් අමාත්‍යංශයක් යටතේ පාලනය වූවා නම් එවැනි ගැටුම් ඇති නොවේ.
එසේම වනජීවී සම්පත් සංරක්ෂණයේ වගකීම පැවරී ඇති නවීන් දිසානායක අමාත්‍යවරයාගේ විෂය පථය තවදුරටත් ඉතා කාර්යබහුල විෂයන්ගෙන් පිරී පැවතීමද මෙරට වනජීවී සම්පත් සංරක්ෂණයට කන කොකා හඬන්නට හේතුවිය හැකිය. සංචාරක කර්මාන්තයට අමතරව ක්‍රීඩාවේ වගකීමද වනජීවී විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී තිබේ. එකී ක්ෂේත්‍ර දෙකම නොයෙකුත් හැලහැප්පීම් වලින් ගහනය. එවිට වඩාත් කැළඹිලි සහගත කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට අමාත්‍යවරයාට නිතැතින්ම සිදුවේ. උදාහරණයක් ලෙස රේකීය විෂය භාර අමාත්‍යවරයා අවස්ථා ගණනාවකදී මාධ්‍යට කරුණු දක්වා තිබූ ආකාරයට ඔහුගේ ප්‍රධාන ඉලක්කය ඉදිරියේදී පැවැත්වෙන ලෝක ක්‍රිකට් කුසලානය බව කීම දැක්විය හැකිය. මෙවැනි තත්වයන් මගින් සිදුවන්නේ වනජීවී සංරක්ෂණය හුදෙකලා වීමය, ඈලියාවට යාමය. පරිසරයට ආදරය කරන කිසිවෙකුටත් එය කෙසේත්ම අනුමත කල හැකි නොවේ.
එසේම වනජීවී සම්පත පරිසර අමාත්‍යංශයෙන් ඉවත්කර එහි වගකීම පවරා ඇති පුද්ගලයාද ගැටළු සහතය. මීට කලකට පෙර වරක් හග්ගල දැඩි ස්වභාව රක්ෂිතයේ අනවසරයෙන් පදිංචිව සිටි පුද්ගලයින් ඉන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් මගින් කටයුතු කල අවස්ථාවේ වර්තමාන රේකීය විෂය භාර අමාත්‍යවරයා එදා ජනතාව වීදි බස්වා හැසිරුණු ආකාරය අපට මතකය. දැඩි ස්වභාව රක්ෂිත යනු මෙරට වනජීවී රක්ෂිත ජාලයේ ඇති ඉතාම සුවිශේෂී අංගයකි. ශ්‍රී ලංකාවේ ඇත්තේ මෙම වර්ගයේ වනජීවී රක්ෂිත තුනක් පමණි. එනම් යාල දැඩි ස්වභාව රක්ෂිතය, රිටිගල, හා හග්ගල ය. වනජීවී අධ්යක්ෂ ජනරාල්ගේ අවසරයකින් තොරව ඒවාට ඇතුල්වීම පවා තහනම් කර මෙම වනජීවී රක්ෂිත ආරක්ෂා කරන්නේ ඒවායේ ඇති වැදගත්කම නිසාය. මිනිසුන්ට ජීවත් වීමට ඉඩම් අවශ්‍ය බව සැබෑ ය. නමුත් ඉහත සඳහන් කල තරම් වටිනා වනජීවී වාසස්ථානයක් මිනිස් පරිභෝජනය සඳහා විනාශ කර දමනවාට වඩා වෙනත් විකල්පයක් පිළිබඳව සිත යොමු කිරීම අනාගතයටද කරන ආයෝජනයකි. වර්තමාන වනජීවී විෂය භාර අමාත්‍යවරයාට එදා එම අවබෝදය තිබුණි නම් එසේ ජනතාව පාරට බස්වන්නේ නැත. ඒ අනුව වර්ථමානයේ වනජීවී සම්පත් සංරක්ෂණ විෂය භාර අමාත්‍යවරයාගේ දැක්මෙහි යම් කිසි ගැටළු සහගත තැන් තිබිය හැකි බව කිව මානය. කෙසේ හෝ මේ වන විට වත් අදාල පරිනතභාවය අමාත්‍යවරයා විසින් ලබාගෙන ඇතිදැයි අපි නොදනිමු.
රේකීය විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ තත්වයද ඊට නොදෙවැනි බව පැහැදිලිවන්නේ ඔහු පසුගියදා මල්වතු අස්ගිරි විහාරාධිකාරී හිමිවරුන් බැහැදකින්නට ගිය අවස්ථාවේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කල කරුණු අනුවය. ඔහු ප්‍රකාශ කලේ වන අලි පැටවුන් ජාවාරම පාලනය කිරීම සඳහා අලි හොරුන්ට පොදු සමා කාලයක් ලබා දෙන බවය. එසේ සිදු කරන්නේ අලි පැටවුන්ගේ ආරක්ෂාවට බවද හෙතෙම වැඩි දුරටත් පවසා තබුණි. එමගින් අලි පැටවුන් සුරක්ෂිතව වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඉන් පසුව ජාවාරම්කරුවන් නීතිය හමුවට ගෙන එන බව ඔහුගේ ප්‍රකාශයෙන් ගම්‍ය වේ. නමුත් අපගේ වැටහීම එම කතාව ඉබ්බා දියේ දමා ඇන්නෑවේ කීවාක් වැනි බවය. අලි හොරුන්ට පොදු සමා කාලයක් ලබා දීමට ඔවුන් කටයුතු කරන්නේ පරණ පුරුදු දුෂිත නිලධාරී පන්තිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අරක්ගෙන සිටියදීම නොවේද යන්න විමසිය යුතුය. මේ අරාදින්නේ දින සියය අවසන් වන තුරු කල් මැරීමට නොවන්නේදැයි විමසිය යුතුය.
එසේම බොහෝ දෙනෙක් අපේක්ෂා කල පරිදි දුෂිත නිලධාරීන්ගෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගලවාගැනීමටද මේ සටහන තබන මොහොත දක්වා ආණ්ඩුව කටයුතු කර නැත. ඒ මගින් තවදුරටත් සිදුවන්නේ ඉහත සඳහන් කල ආකාරයෙන් හුදෙකලා වන වනජීවී සංරක්ෂණය විපිළිසරභාවයේ පතුලටම ගිලා බැසීමය. නොඑසේ නම් ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් බඳු සිදුවීමකි. නිසි අමාත්‍යවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු නොමැති කල වනජීවීන්ට හා වනජීවී රක්ෂිත වලට කාගේ නම් හව්හරනක්ද? මෙරට වනාන්තර හා වනජීවීන් සංරක්ෂණය කරගැනීමේ අඩිතාලම වන්නේද 2009 අංක 22 දරණ පනතින් අවසන් වරට සංශෝධිත1937 අංක 02 දරණ වන සත්ව හා වෘක්‌ෂ ලතා ආඥපනත බව නොකිව මානය. එම පනත නොබියව හා සෘජුව ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු පනතේ බලධරයා ලෙස කටයුතු කල යුතුය. විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල සිටි ලේකම්වරුන් හා අධ්‍යක්ෂවරුන් ඉවත්කර නව නිලධාරීන් පත්කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කල ආකාරයට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවද පවිත්‍ර කරනු ඇතයි පරිසරයට ලැදි බොහෝ දෙනා බලා සිටියහ. නමුත් වර්තමාන ආණ්ඩුව එම කටයුත්ත අතපසු කර ඇත්තේ එය අප්‍රධාන කාර්යක් ලෙස ඔවුන් විසින් ලඝු කරණු ලැබ ඇති නිසා දැයි කීමට නොදනිමු. මෛත්‍රී පාලනය පොරොන්දු වූ “සත්ව හා වෘක්ෂලතා ආඥා පනත නොබියව හා පක්ෂග්‍රාහී බැවින් තොරව දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම” සඳහා ද එය බරපතල බාධාවකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ විදේශ කටයුතු අධීක්‍ෂණ මන්ත්‍රීවරයා ව සිටි සජින්ද වාස් ගුණවර්ධනගේ බලපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක රඳවා සිටි බව කියන හොර අලි පැටවකු වැටලීමට වනජීවී දෙපාර්තමේන්තුව විසින් කටයුතු කලේ ඉකුත් 13 වැනිදාය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ඉතා දුෂිත ආයතනයක් බව ප්‍රකට කරන ආසන්නතම උදාහරණය එය ය. මෙම වැටලීම වර්තමාන වනජීවී අධ්යක්ෂ ජනරාල් එච්.ඩී. රත්නායකගේ විශ්මකර්ම උත්සාහයක් ලෙස බැලූ බැල්මට පෙනෙන්නට තිබුනද එය එසේ නොවේ. එසේම හිටපු මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ පරිසර හා වනජීවී සම්පත් විනාශයන් නිසා කම්පාවට පත්ව සිටි සියල්ලන්ට වර්තමාන මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව විශ්මකර්මයෙක් ලෙස පෙනෙන්නට මෙම වැටලීම හේතු වූවා නම් එය ද ඉතා බරපතල මිථ්‍යාවකි.
වනජීවී අධ්යක්ෂ ජනරාල් වරයා විසින් හික්කඩුව වනජීවී නිලධාරීන් යොදා ගනිමින් පසුගිය 13 වැනිදා සිදුකරන ලද එම වැටලීම හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් විනා මෙරට තුල සිදු කෙරෙන අලි පැටවුන් ජාවාරමට තිත තැබීමේ සැබෑ අරමුණින් සත් භාවයෙන් සිදු කරන ලද කටයුත්තක් නොවන බව ඉතා අවධාරණයෙන් සඳහන් කලයුතුය. එසේම එය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ තම පුටුව ආරක්ෂා කර ගැනීමට අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් යොදන ලද කූට උපක්‍රමයක් බවද ඕනෑම නොදරුවෙකුට වුව වැටහෙන කාරණයකි.
වනජීවී අධ්යක්ෂ ජනරාල් වරයාට මෙරට තුල සිදුවන මෙම අහස පොළොව නූහුලන අපරාධය මැඩලීමට සැබෑ අවශ්‍යතාවයක් තිබුණි නම්, ඉකුත් ආණ්ඩු සමයේ ඔහුට තිබූ දේශපාලන බලපෑම් මේ වනවිට ඉවත්ව ගොස් ඇතිනම් වර්තමාන ආණ්ඩුව යටතේ ඔහුගේ වනජීවී ජාවාරම් මැඩලීමේ කටයුතු ආරම්භ කිරීමට ඔහුට කොළඹින් දුර බැහැර බලපිටියට යාමට අවශ්‍ය නැත. ඒ මන්ද යත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටා ඇති බත්තරමුල්ල ප්‍රදේශයේම වුව නීති විරෝධී ලෙස රඳවාගෙන සිටින අලි පැටවුන් සිටින ස්ථාන ඇති බැවිනි. එසේම විගණකාධිපතිවරයා විසින් අවස්ථා දෙකකදී සකස් කරන ලද හොර අලි පැටවුන් 14 දෙනෙකු සම්බන්ධ වාර්තා ඔහුගේ හමස් පෙට්ටියේ ඇති බැවිනි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලන ලද අලි පැටවුන් කිහිප දෙනෙකුගේම නඩු තවමත් ඔහේ ගොඩ ගැසී ඇති බැවිනි.
එබැවින් මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධනගේ නිවසේ රඳවා සිටින අලි පැටවකු පිළිබඳව රාජකාරි කිරීමට යාමද ඉහත කී පරිදි හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව පැහැදිළිය. තවද එය එසේම බව සාක්ෂි සහිතව ඔප්පු කිරීමේ හැකියාව ද ඇත. බලපිටියේ සජින් ද වාස් ගුණවර්ධනගේ නිවසේ රඳවාගෙන සිටින බව කියූ අලි පැටවා පිළිබඳව සොයා බැලීමට වනජීවී අධ්යක්ෂ ජනරාල්ගේ උපදෙස් පරිදි හික්කඩුව උද්‍යාන භාරකරු ඇතුළු වනජීවී නිලධාරීන් ගිය අවස්ථාවේ අදාළ නිවසේ සිටි පුද්ගලයන් අත අලි පැටවාගේ නීත්‍යනුකූල බලපත්‍රය තිබී නැති බව අනාවරණය විය. මෙම අලි පැටවාට නීත්‍යනුකූල බලපත්‍රයක් තමන් සතුව පවතින බව මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන වනජීවී නිලධාරීන්ට පවසා ඇත්තේ දුරකථනයෙන් බව කියති. නමුත් වනජීවී නිලධාරීන් එයින් සැහීමකට පත්ව පසුදා එය ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කරන බවට ලද පොරොන්දුව මත විශ්වාසය තබා නික්ම ගොස් තිබීමම මතභේදාත්මකය. යම් කිසි අවස්ථාවක මහා මාර්ගයේ ගමන්කරන මොටර් රථයක බලපත්‍රය රියදුරා සතුව නොමැති වුව හොත් ඔහුට පසුදින බලපත්‍රය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමේ කොන්දේසිය මත නික්ම යන්නට ඉඩ තබනවාද ? ඒ අනුව වනජීවී නිලධාරීන් මෙසේ කටයුතු කිරීම විමතිය දනවන්නක් නොවේද ?
පොරොන්දු වූ පරිදි සජින් ද වාස් ගුණවර්ධන තම සහායකයකු අතේ අලි පැටවාගේ නීත්‍යානුකූල යෑයි කියන බලපත්‍රය වනජීවී සංරක්‍ෂණ ප්‍රධාන කාර්යාලයේදී එහි අධ්‍යක්‍ෂවරයාට හා අලි සංරක්‍ෂණ අංශයට ඉදිරිපත් කර තිබුණු බව අසන්නට ලැබේ. ඒ අනුවන් 2009.12.17 දින එවකට හිටපු වනජීවී අධ්යක්ෂ ජනරාල් ආනන්ද විඡේසූරිය විසින් නිකුත් කර ඇති අංක 207 දරණ බලපත්‍රය මෙම අලි පැටවාට අදාල බලපත්‍රය ලෙස ඉදිරිපත් කර තිබේ. එය මහරගම ශ්‍රී විපශ්‍යාරාමය අංක 50/20 දරණ ස්‌ථානයේ සංඛ විරාජ් නවරත්න නමැත්තෙකුගේ නමට ලියාපදිංචි කරන ලද අලියෙකුගේ බලපත්‍රයකි. ඒ වන විට මෙම පිරිමි අලි පැටවාගේ උස අඩි 5 අඟල් 2 ක් ලෙස ද, වයස අවුරුදු 6 මාස 6 ක් ලෙස ද සඳහන් කර තිබේ.
මෙම බලපත්‍රය 2010.01.01 සිට 2012.12.31 දක්‌වා නැවත වරක් එවක වැඩ බලන වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාව සිටි උදේනි වික්‍රමසිංහ මහතා විසින් අලුත්කර තිබේ. 2012 මාර්තු 27 වැනිදා කොළඹ 07 ඩඩ්ලි සේනානායක මාවතේ අංක 9/1 ස්‌ථානයේ පදිංචි වජිර කාලිංග විජේවර්ධන නමැත්තකු විසින් මෙම අලි පැටවා රුපියල් ලක්‍ෂ 10 කට මිලදී ගත් බවට වන තොරතුරු වනජීවී දෙපාර්තමේන්තුව සතුවන අතර, ඊට අත්සන් තබා ඇති එක් සාක්‍ෂිකරුවකු වන්නේ පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ පදිංචි කොලොන්නාවේ සුමංගල හිමියන්ය. මෙසේ අලි පැටවා මිලදී ලබා ගන්නා ලදැයි කියන නව භාරකරුවා විසින් අලියා රඳවා තබා ගන්නා ස්‌ථානය අම්බලන්ගොඩ පටබැඳි මුල්ල ටී.සී.පී.ප්‍රනාන්දු මාවතේ අංක 145/1 ලෙස දක්වා පටබැඳිමුල්ල ග්‍රාම නිලධාරි රන්දික මදුශාන් හා අම්බලන්ගොඩ වැඩබලන ප්‍රාදේශීය ලේකම් සුසීමා කාරියවසම් යන අයගෙන් ලබා ගත් ලියවිලි ද ඉදිරිපත් කර තිබේ.
මේ සියළු තත්වයන් බැලූ බැල්මට නිවැරදිය. නිත්‍යානුකූලය. නමුත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට වැරදුනේ වෙනත් තැනකදීය. අංක 207 බලපත්‍රයට අදාල අලියා පිළිබඳව ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2014.06.19 දින කටයුතු ආරම්භ කරන අතර ඒ සඳහා පත්කරන ලද පශුවෛද්‍ය සුහද ජයවර්ධන මහතා ප්‍රමුඛ සිව්පුද්ගල විමර්ශන කමිටුව 2014.09.02 දින මෙම බලපත්‍රය පිළිබඳ තමන්ගේ නිරීක්ෂණ වාර්තාව වනජීවී අධ්යක්ෂ ජනරාල් වරයා වෙත ලබා දී තිබේ.
එහි සඳහන් වන්නේ මෙම අලියාගේ හිමිකරුවන්ගේ ඇති අවිනිශ්චිතභාවය, මෙම අලි පැටවා සම්බන්ධයෙන් ලබා ගන්නා ලද ප්‍රකාශයන්ගේ පරස්පරතා හා මෙම සත්වයාගේ බාහිර ශරීර ලක්ෂණ පරික්ෂා කිරීමෙන් ලද තොරතුරු සැලකිල්ලට ගෙන මෙම අලි පැටවා අනවසරයෙන් වනයෙන් අල්ලා ගත් අලි පැටවෙකු බව කමිටුව නිගමනය කරන බවය.
ශ්‍රී ලංකාවේ වන අලින් පොදු දේපලක් වන බැවින් වන අලිපැටවුන් අනවසරයෙන් අල්ලා විකිණීම රුපියල් කෝටියක පමණ මුදලක් ජනතාවට අහිමි කිරීමක් වන අතර නිදැල්ලේ වෙසෙන වන අලි පැටවුන්ට මතුව ඇති තර්ජනයකි. මෙලෙස අනවසර අලිපැටවුන් අල්ලා සාවධ්‍ය ලිපිලේඛණ සකසා ලියාපදිංචි කිරීම සහ විකිණීම වහාම නතර කිරීමට පියවර ගතයුතු බවත්, මෙම අලි පැටවා පොදු දේපලක් වන බැවින් රාජසන්තක කර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත යුතු බවත් අදාල කමිටුව යෝජනා කරයි.
පසුගිය 13 වැනිදා පුහු මාධ්‍ය සංදර්ශණයක් පවත්වා වර්තමාන වනජීවී අධ්යක්ෂ ජනරාල් විසින් නිත්‍යානුකූල බව සඳහන් කරන්නේ මෙසේ ඉකුත් වසර අගදී ඔහු විසින්ම පත්කළ පශු වෛද්‍යවරයෙකු ප්‍රමුඛ පළපුරුදු නිලධාරී කමිටුවක් විසින් ව්‍යාජ බලපත්‍ර සකස්කර නීති විරෝධී ලෙස වනාන්තරයෙන් අල්ලාගත් අලි පැටවෙකු බව සාක්ෂි සහිතව ඔප්පු කර ඇති අලි පැටවෙකි. සජින්ද වාස් ගේ අලි පැටවා පිළිබඳ වනජීවී අධ්යක්ෂ ජනරාල්ගේ දෙබිඩි පිළිවෙත එපරිදිය.
මෙම මාධ්‍ය සංදර්ශනය පමණක් දකින ඕනෑම අයෙකු සිතන්නේ නව ආණ්ඩුව යටතේ වනජීවීනට යහපත් කලක් එළඹෙනු ඇති බවය. මෙවැනි වනජීවී අධ්යක්ෂ ජනරාල් වරයෙකු පහළවී ඇත්තේ ජාතියේ පෙර පිනකට බවය. නමුත් මෙවැනි කපටි කෛරාටික වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරුන් යටතේ අලි පැටවෙකුට තබා කුරා කුහුඹුවෙකුටවත් අත්වන සාධාරණයක් නැති බව දෙවරක් සඳහන් කල යුතු නැත (මීට අමතරව වර්තමාන වනජීවී අධ්යක්ෂ ජනරාල් වරයා විසින් සිදුකර ඇති අකටයුතුකම් පිළිබඳව විමර්ශනය කිරීම වෙනමම සිදුකල යුත්තකි). මනු සතුන්ට මෙන්ම වන සතුන්ටත් මෛත්‍රිය හිමිවීමට නම් මෙවැනි දුෂිත නිලධාරීන් ද නීතිය හමුවට ගෙනවිත් නිසි දඬුවම් පමුණුවා මෙරට වනජීවී සම්පත සංරක්ෂණය කිරීම සඳහා අවංකව කැපවෙන නිලධාරීන් පිරිසක් අතට එම වගකීම පැවරිය යුතු බව අපගේ වැටහීමයි.
මෛත්‍රී පාලනය ආරම්භවී මේ වන විට ගතවී ඇති කාලය යමෙකුට කෙටි කාලයක් විය හැකිය. නමුත් හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ යනුවෙන් අතීත කියමනක් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පාරිසරික හා ස්වභාවික සම්පත් සංරක්ෂණය හා තිරසාර භාවිතය සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තු තබා ගත හැකි පරිපාලන යාන්ත්‍රණයේ ව්‍යුහාත්මක වෙනසක් සඳහා ආරම්භක පියවරක් හෝ තැබීමට වර්තමාන ආණ්ඩුව අපොහොසත්වී ඇති බව ඉහත කරුණු විශ්ලේෂනය කිරීමෙන්ම පෙනී යන බව කණගාටුවෙන් නමුත් සඳහන් කලයුතුය. එවැනි තත්වයක් තුල අනාගතයේ දවසක හෝ මෙහි ඉහත සදහන් කල ආකාරයේ මෛත්‍රී පාලනය යටතේ දින සියය ඇතුලත ක්‍රියාවට නංවන පරිසර සංරක්ෂණය සම්බන්ධ ක්ෂණික සහන වැඩසටහන් ක්‍රියාත්මක වෙතැයි සිතීම අපහසුය. එසේනම් වර්තමාන ආණ්ඩුව පරිසර සංරක්ෂණය සම්බන්දයෙන් ගෙන යන්නේ අමුතු පිළිවෙතක් බව කීම වරදක්ද?
අපගේ මාතෘභූමියට ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය උදාකිරීම සඳහා වර්තමාන ආණ්ඩුව ගෙන යන ඇතැම් වැඩසටහන් සාධනීය බව නොකිව මානය. එසේම එපරිද්දෙන්ම මෙරට වනාන්තර, වනජීවීන් හා සෙසු ස්වභාවික සම්පත්වල සුරක්ෂිත බව තහවුරු කිරීමටද පාලකයින් මුල සිටම කැපවීම අත්‍යවශ්‍ය වෙයි. ඒ මන්ද යත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යනු මෙරට මිනිසුන්ගේ මෙන්ම වනජීවීන් හා ගහකොළ වලද අද දවසේ භාරකරුවා වන බැවිනි. තමන්ට සිදුවන යම්කිසි අසාධාරණයක් හෝ අකටයුත්තක් සම්බන්ධයෙන් හඬ නැගීමට, වීදි බැසීමට හා අරගල කිරීමට මිනිසුන්ට හැකියාවක් ඇත. නමුත් තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි වනසතුන් හා ගහකොළ වල ඉරණම ඔවුන්ට එල්ලවන අසාධාරණයක් හෝ අකටයුත්තක් මගින් නිහඬවම විසඳෙනු ලැබෙන්නේ ඉතා කෘර හා අමානුශික ආකාරයට බව පාලකයින් දැඩිව සිහි තබා ගත යුතුය. අප නිසි අවබෝධයෙන් හා නිරන්තර අවධියෙන් නොසිටියහොත් මෙම අසරණ වනජීවීන්ට හා ගහකොළට සිදුවී ඇති විනාශය වටහා ගන්නා විට අප බොහෝ ප්‍රමාධ වැඩි බව අවසන් වශයෙන් ලියා තබනු කැමැත්තෙමු.
සුපුන් ළහිරු ප්‍රකාශ්
[email protected]
පරිසර සංවිධාන කිහිපයක නියෝජිතයින් විසින් සකස්කළ ජාතික පාරිසරික හා කෘෂිකාර්මික ප්‍රඥප්තිය උදෙසා ජනතා සම්මුතිගතවීම නමැති ලේඛනය එවකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත්කල ආකාරය.