මෙය සැබවින්ම පුරසාරම් පෑ යුතු කාරණයකි. රටේ සිටින සැබෑ වීරයින් ගැන ලිවිය යුතු කාලයකි. ඔවුහු වෙනුවෙන් නව නිර්මාණ මෙන්ම වාර්තා ඉදිරිපත් විය යුතු අවස්ථාවකි.
ජනවාරී 09 වන දින මෙරටට ලැබුණු වාසනාවන්ත පුවතින් පසු ලැබුණු විශාලතම සහ වැදගත්ම පුවත මේ වන විට වාර්තා වී තිබේ. රටකට හිමි ආත්ම ගරුත්වය ආරක්ෂා වීමේ පළමු සහ මූලික පදනම ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය මාර්ගයේ මීළඟ පියවරට අපේ මාතෘ භූමිය පැමිණ සිටින්නීය. මේ වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කළ සියලු දෙනාම රටේ සැබෑ වීරයින් වේ. ඔවුහු සියලු දෙනාම ඉතිහාසයේ සාක්ෂිකරුවෝ වෙති.
රටේ නීතියානුකූල 43වන අග්‍රවිනිශ්චකාරවරිය යලිත් තම ධූරයේ පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම මෙන්ම ඒ වෙනුවෙන් රටේ විනිසුරුවන්, නීතිඥවරුන් සහ අනෙකුත් සියලුම දෙනා ඉටු කළ අග්‍රගණ්‍ය සේවය පැසසිය යුතුවේ. එය දීර්ඝ වැඩපිළිවෙලක එක් වැදගත් සංදිස්ථානයකි.
ජනාධිපතිවරයා ඊයේ අදාළ කාරණය සම්බන්ධයෙන් ඇති නීතිමය ආවකාශය සොයා බැලූවේය. ඒ අනුව අග්‍රවිනිශ්චකාරවරිය යළි සේවයේ පිහිටවනු ලැබීය.
ඇය තම ධූරයේ සිටීමට බලාපොරොත්තු වන පැය කිහිපයට වඩා වැදගත් වන්නේ මෙම සිදු වීමය. එහි ඇති නීතිමය සහ සදාචාරමය වැදගත්කමය. මෙය සැබවින්ම ඓතිහාසික වේ. එසේම ඇයගෙන් පසු මෙම තනතුරට පත්වන කලක් වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් සේවය කළ කේ. ශ්රීපවන් විනිසුරුවරයා හෝ වෙනයම් අයෙකු වේවා, මත පැවරෙන වගකීම අතිශය බැරෑරුම් සහ තීරණාත්මක වේ. රටේ මීළඟ ඉරණම තීන්දුවන්නේ එම අගවිනිසුරුවරයා හෝ වරිය කටයුතු කරණ ආකාරය අනුවය.
1978 සිට පවත්වාගෙන ආ විකෘතිය තම බලය ව්‍යාප්ත කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තවදුරටත් ව්‍යාකූල කරනු ලැබීය. ඔහුගේ චින්තනයේ ඇති ගැඹුර එයයි. ගැටලුව විසඳීම වෙනුවට එය වසා දමමින් තම පෞද්ගලික අභිමතාර්ථයන් ඉටුකරගැනීම ඔහුගේ මුලික උපාය විය. ඔහුට ඒ සඳහා සහය වීමට පිරිසක් එකතු වූහ. ජනාධිපති රාජපක්ෂ තමන්ගේ අගවිනිසුරුවරයා ලෙස මොහාන් පීරිස් ගෙන එනු ලබන්නේ තම පාලන ක්‍රමවේදයෙහි වූ පිළිකුල්භාවය තවදුරටත් ලෝකයට පෙන්වමිනි. ඒ සඳහා අනුගමනය කළ ක්‍රියාවලීය අප්‍රසන්න වූවා පමණක් නොව එහි තීරණාත්මක කාරණා නීති විරෝධී කටයුත්තක් විය.
ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය මෙන්ම වත්මන් ජනධිපතිවරයා සහ ආණ්ඩුව නිවැරදිව අවබෝධකර ගනු ලැබුවේ එහිදී සිදු වූ අවනීතියයි.
ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් නෙරපාහැර තත්වාරාකාර ( ඩි ෆැක්ටො) අගවිනිසුරුවරයෙකු පත් කිරීම නීති විරෝධී බැවින් වත්මන් ජනාධිපතිවරයාට හිමි බලතල වලට අනුව අගතියට පත් පාර්ශවයට යුක්තිය ඉටුකළ හැකිය. අද සිදු වූයේ එයයි.
හිටපු ජනාධිපතිවර්යා අගවිනිසුරුවරිය බලහත්කාරයෙන් පළවා හැරීම සඳහා නිතී විරෝධී ක්‍රියාමාර්ග ගත්තේය. එසේම තම නීතී විරෝධී උපාය ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා වෙනත් ලියවිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. එයට අගවිනිසුරුවරිය ඉවත් කිරීම ඇතුලත් නොවූ කාරණයක් වූ බව නීතිඥ සංගමය දිගින් දිගටම ප්‍රකශ කළේය. එබැවින් වත්මන් ජනාධිපතිවරයාට 43වැනි අගවිනිසුරුවරිය යළිත් ධූරයේ පිහිටුවීම සඳහා නීතිමය අවකාශය සැපයේ. ඒ අනුව ඊයේ ( ජනවාරී 27) රාත්රියේදී රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අගවිනිසුරුවරයා වශයෙන් කටයුතු කළ මොහාන් පීරිස් මහතා අදාළ කාරණය සම්බන්ධයෙන් දැනුවත් කරනු ලැබීය. ඔහු අද සේවය පැමිණීමෙන්ද වැළකී සිටියේය.
ඒ අනුව මුළු රටේම පමණක් නොව ගෝලීය වශයෙන් රටට අපකීර්තියක් පමණක් ලබා කරදුන් හිටපු ජනාධිපති රාජපක්ෂගේ අගවිනිසුරුවරයාට හිමි නිසි තැන නිසි කලදී ලැබුණේය. ඔහු ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් තම දේශපාලන ව්‍යාපෘතිය සිදුකළ පුද්ගලයෙක් මෙන්ම මෙරට නීති ක්ෂේත්රයට, බලවත්ම හානිය සහ අපකීර්තිය මෙන්ම අගෞරවය හිමි කර දුන් පුද්ගලයාද වේ. ඔහු සැබවින්ම ජාතියෙන් සමාව ගතයුතු රාජ්‍ය නිලධාරියෙකු වේ.
බලය හමුවේ දිය කර හරිනු ලැබූ යුක්තිය ලෝකය හමුවේ වසා දැමීම සඳහා භාවිතා කළ හැකි අලුගුත්තේරුවකුගේ කටයුත්ත සිදු කළ මොහාන් පීරිස් මහතා තම අඹුඩයද අවසානයේ ගලවා ගත්තේය. මීළඟ පියවර විය යුත්තේ ඔහු විසින් කෙළසනු ලැබූ රටේ අධිකරණයට හිමි ස්වාධීන බලය යළි ස්ථාපිත කිරීමට කටයුතු කිරීමය. ඒ සඳහා වගකිවයුතු පාර්ශවයන්ගේ මැදිහත් වීමය.
රටක නීතිය ආරක්ෂා කිරීම සහ ඊට හිමි ස්වාධීනත්වය ලබා දීම වූ කලී අතිශය බැරෑරුම් සහ සංකීර්ණ කටයුත්තකි. එය අත්‍යවශ්‍ය ක්‍රමවේදයක් වන්නේ බලය නිසා කෑදරකම් වලට ස්වාභාවිකවම ගොදුරුවන පාලකයා පාලනයකට නතුකළ හැකි එකම සදාචාරාත්මක අවිය වූ කලී නීතිය හෙයිනි. නීතියක අවශ්‍යතාවය මුලින්ම ඉස්මතු වූයේ මෙම කාරණය ඉස්මතු කොට ගෙනය. නීතියේ ආධිපත්‍ය අතුරුදන් කරනු ලැබූ රටක ජනතාව පාලනය වන්නේ තණ්හා කාරයින්ගේ ආශාවන් මඟින් යැයි මෙහිදී මතු වූ මුලික අදහසකි.
ක්‍රිස්තු පූර්ව 3000 දී පමණ පුරාණ ඊජිප්තුවේ හඳුන්වාදුන්නේ යැයි සැලකෙන සිවිල් නීති සංග්‍රහය ප්‍රධාන කාරණා 12 කින් සමන්විත විය. එම නීති සංග්‍රහය පදනම් වී තිබුනේ මාත් නමින් හැඳින්වූ සංකල්පය මතය. මාත් වූ කලී සත්‍ය, තුලනය, පිළිවෙල, නීතිය, සදාචාරය සහ යුක්තිය අරුත්ගන්වන සංකල්පයයකි. මෙම පුරාතණ ඊජිප්තුවේ නීති සංග්‍රහයේ මුලික අරමුණ වූයේ සමාජ සමානාත්මතාවය සහ අපක්ෂපාතීත්වය බලාත්මක කිරීමය. ඉන් පසු උර්-නම්මු නමැති පාලකයා විසින් මෙන්ම හම්මුරාබි නැමති රජු විසින් බැබිලෝනියානු නීති සංග්‍රහය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීය. අපේ මුතුන් මිත්තන් සමානාත්මතාවය සහ අපක්ෂපාතීත්වය ගැන ලියා එය නීතියක් බවට පත් කරනු ලැබුවේ සියවස් ගණනාවකට පෙරය.
එම ඓතිහාසික වර්ධනයන් රටක නීතී ක්‍රමය ඉදිරියෙහි රටක වෙසෙන සියලු දෙනාම සමාන ලෙස සැලකීම සඳහා හේතු විය. එමඟින් රටේ වෙසෙන පුරවැසියන්ට මුලික ගරුත්වයක් මෙන්ම ස්වයං ආරක්ෂාවක් ලැබේ. එය රටක සැබෑ සංවර්ධනය සඳහා ප්‍රභල ලෙස බලපාන මුලික කාරණයක් වේ.
නමුත් දශක ගණනාවක් තිස්සේ සිදු වූයේ “ජාතික ආරක්ෂාව” නැමති දේශපාලන එන්නත මඟින් රටේ ජනතාව සතු ස්වාධීනත්වයට ඇති ශක්තිය බෙලහීන කිරීමය. ඒ අනුව වරක් බෙන්ජමින් ෆ්රෑන්ක්ලින්ක් සටහන් කළ අවධියට සමස්ථ රට තල්ලු විය. ඒ වූ කලී, “තාවකාලීක ආරක්ෂාව අරඹයා තමන්ට හිමි අත්‍යවශ්‍ය ස්වාධීනත්වය කැපකරන්නා අවසානයේදී ස්වාධීනත්වයද ආරක්ෂාවද අහිමිකර ගනී”, යන්නය.
හුදු නාම මාත්‍රික නමුත් අතිශය තීරණාත්මක මනෝවිද්‍යාත්මක භාවිතයක් වූ “දේශප්‍රේමීත්වයේ” සිට “ ජාතික ආරක්ෂාව” නැමති කාරණය දක්වා මෙරට පැමිණි ගමන් මාර්ගය තුළ අහිමි කරනු ලැබුවේ සෑම මනුෂ්‍යයකුටම හිමි අතවශ්‍ය ස්වාධීනත්වයයි. එමඟින් පුද්ගලයා එක්තරා සීමාවකට නතු කිරීමට පහසු වන අතර ඊට ඇතුලතින් තම පෞද්ගලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට පාලකයාට හැකි වේ.
රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තම දේශපාලන න්‍යාය සම්පූර්ණයෙන්ම පාහේ නාභිගත කරනු ලැබුවේ මෙම කාරණය මතය. එසේම, හිටපු ජනාධිපතිවරයාගේ තත්කාලීන අගවිනිසුරුවරයා පලවා හැරීම මෙන්ම නීත්‍යානූකූල අගවිනිසුරුවරිය යළි සේවයේ පිහිටුවීම මඟින් අපට ලබා දෙන මුලික අභියෝගයේ පරාමිතය සටහන් වන්නේද මෙම කාරණය මූලික කර ගනිමිනි.
මෙරට මුහුණ දී සිටින මූලික අභියෝගය වූ කලී නීතියේ ආධිපත්‍ය යළි ස්ථාපිත කිරීම සහ අධිකරණ ක්‍රමවේදය ගැන රටේ පැළපදියම් කරනු ලැබූ අවිශ්වාසය යළි නිවැරදි මගට ගෙන ඒමය. ස්වාධීන නීතී ක්‍රමයක් ඇති රටක තම ජීවිතය ගත කිරීමට ලැබීම සැබවින්ම වාසනාවකි. අලබර්ට් අයින්ස්ටයින් වරක් සඳහන් කළ පරිදි; “තීරණයක් ගැනීමට හැකි වටපිටාවක්, හමුවේ මා ජීවත් වන්නේ දේශපාලන ස්වාධීනත්වය, ඉවසීම සහ රටේ සෑම පුරවැසියෙක්ම නීතිය ඉදිරියේ සමාන වන රටකය”.
ශ්‍රී ලංකාව වර්තමානයේදී ගමන් කරමින් සිටින්නේ මෙම උදාර අරමුණ සාක්ෂාත් කරගැනීමේ ඉලක්කය වෙතය. වඩාත් ප්‍රවේශම් සහගත විය යුත්තේ 1959 දී බිහි වූ තල්දූවේ සෝමාරාම හෙවත් තල්දූවේ රතුගම රාලලාගේ වේරිස් සිංඤ්ඤෝලාගේ යළි ආගමනය ගැන කල්පනාකාරී වීම සහ ඔවුන්ගෙන් විය හැකි ප්‍රභල අනතුරු වලින් ආරක්ෂා වීමය. මන්ද පරාජිතයා වූ කලී දුර්වලයෙක් නොවන හෙයිනි.
නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa