සෑම බරපතල අපරාධකරුවෙකුටම සිර කුටියක් තිබිය යුතුය. මොහාන් පීරිස් යනු එවැනි සිරකුටියක සිටිය යුතු පුද්ගලයෙකි.
රටක් පවතින්නේ නීතියක් ඇති තැනයි. නීතියක් පවතින්නේ අධිකරණයක් ඇති තැනයි. නීතියක් යනු පොතක ලියැවුණු වචන ගොඩක් නොවේ. අධිකරණයක් යනු, විනිසුරුවරුන් අසුන් ගන්නා ගොඩනැගිල්ලක් නොවේ. නීතියට, ස්වායත්ත ආධිපත්‍යයක් තිබිය යුතුය. එම ආධිපත්‍යය ආරක්ෂා කිරීමට, අධිකරණ ශාලාවේ අසුන් ගන්නා විනිසුරන් ස්වාධීන විය යුතුය. මේ නීතිය සහ අධිකරණය පෙර නොවූ විරූ ආකාරයෙන් හරයාත්මකව විනාශ කිරීමට රාජපක්ෂ පාලනයේ අසංස්කෘතිය උපස්ථම්භක විය. මහින්ද රාජපක්ෂ, සමස්තයක් වශයෙන් සමාජය අරා එසේ අවනීතිය ස්ථාපිත කරන විට, මොහාන් පීරිස් යටතේ අපේ ඉහළම අධිකරණය ඉතිහාසයේ පහත්ම අඩියට ඇද වැටුණේය. ඔහු වනාහී, ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි, ගාල්ලේ මුතුහෙට්ටිගම ය.
ඔහුගේ පැටිකිරිය මීට පෙර අප ඕනෑ තරම් පෙන්වා දී තිබේ. ඩොක්යාර්ඞ් මහා වංචාව පිළිබඳ සිද්ධියේදී එදා නීතිපතිවරයා වශයෙන් ඔහු කටයුතු කළ ආකාරය දූෂිත ය. ගන්දස්කාර ය. එම නඩුව දැන් නැවත කරළියට විත් තිබෙන නිසා ඒ ගැන මෙහි සඳහන් නොකරමි. ඉන් පසු අගවිනිසුරු වශයෙන් පත්වීමෙන් පසු නඩු විභාග කිරීමේදී ඔහු අනුගමනය කළ පිළිවෙත (උදා: ගනේෂන් නිමලරූබන්, කොම්පඤ්ඤ වීදියේ නිවැසියන් පිටමං කිරීම සහ වැලිකඩ සිරකරුවන් ඝාතනය) සාකල්‍යයෙන්ම පක්ෂග්රාහී විය. ඒ බවත් විටින් විට අප පෙන්වා දී ඇති නිසා, මේ අවස්ථාවේ අපේ සාකච්ඡාව සීමා වන්නේ, මහින්ද රාජපක්ෂ පාලනයේ අවසාන දිනයේ සිට මේ දක්වා ඔහුගේ හැසිරීම අනුව, ඔහු මේ රටේ නීතිය ඉදිරියේ අපරාධකරුවෙකු විය හැක්කේ කෙසේද යන්න පෙන්වා දීමට පමණි.
මහින්ද රාජපක්ෂ පාලනය ගෙදර යවා අදට (28) දින 20 කි. අද උදේ සිට කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සහ අවට පෙදෙස්වල විශාල ජනකායක් මොහාන් පීරිස් ගෙදර යවන ලෙස ඉල්ලා අඛණ්ඩ උද්ඝෝෂණයක නිරත වූහ. මේ කාලය අතරතුර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මොහාන් පීරිස්ටත්, ශිරානී බණ්ඩාරනායකටත් ලිපි දෙකක් යවා තිබුණි. පළමුවැන්නෙන් කියැවුණේ, මොහාන් පීරිස් කිසි දවසක මේ රටේ අගවිනිසුරු වශයෙන් සිටියේ නැති බවයි. දෙවැනි ලිපියෙන් කියා තිබුණේ, අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකට සිය තනතුරේ වැඩ කටයුතු කරගෙන යන ලෙසයි. ඒ අනුව අද දහවල් ශිරානී බණ්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු කාර්යාලයට පැමිණ වැඩ පටන් ගත්තාය. හෙට ඇය එම තනතුරින් ඉල්ලා අස්වී විශ්‍රාම යාමට නියමිතයි.
ශිරානී බණ්ඩාරනායකට එරෙහිව පැවැත්වූ දෝෂාභියෝග ක්‍රියාවලිය අපේ ව්‍යවස්ථාවට එකඟ නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටටත්, රටේ බලධාරීන්ටත් දැනුම් දී තිබුණි. එසේ තිබියදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශිරානී බණ්ඩාරනායකව එම තනතුරෙන් පහ කිරීමත්, මොහාන් පීරිස්ව එම පුටුවේ වාඩි කැරැවීමත් ව්‍යවස්ථා විරෝධී විය. ඉතා පැහැදිළි මේ නීතිමය තත්වය මුල සිටම මොහොන් පීරිස් දැන සිටි දෙයකි. එනිසා ඔහු එම පුටුවේ වාඩි වුණේ, එසේ වාඩි වීම රටේ උත්තරීතර ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව හොඳ හැටි දැනගෙන ය. රටේ ව්‍යවස්ථාව දැනුවත්ව උල්ලංඝණය කිරීම රාජ ද්‍රෝහීත්වයකි. වැඩියත්ම එසේ වන්නේ, එම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිව්රුම් දී ඇති දෙවැනි පුරවැසියා ඔහු වන බැවිනි.
ජනවාරි 8 වැනි දා රෑ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලය අත නොහැරීම සඳහා ඔහුගේ සමීපතමයන් කිහිප දෙනෙකු සමග යම් කුමන්ත්‍රණයක් කරමින් සිටි බවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පොලීසිය ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කොට තිබේ. එය අනාගතයේ අධිකරණයක් ඉදිරියේ ඔප්පු වීමට හෝ නොවීමට ඉඩ තිබේ. මේ පිරිස අතර මොහාන් පීරිස් ද සිටියේය. එහි සිටි සෙස්සන් වන, ගෝඨාභය රාජපක්ෂ සහ උදය ගම්මන්පිල වැන්නන්, කුමන්ත්රණකරුවන් හෝ කුමන්ත්‍රණ සහායකයන් වූ බව එවැනි විමර්ශනයකදී ඔප්පු නොවන්නේ නම් ඔවුන් නිදහස් වන්නේය. එහෙත්, මොහාන් පීරිස් එතැන සිටීම වරදක් වීමට, කුමන්ත්‍රණ චෝදනාවක් ඔප්පු කිරීම කොහෙත්ම අවශ්‍ය නැත. රටේ අගවිනිසුරුවරයා වශයෙන්, ඡන්ද ප්‍රතිඵල නිකුත් කෙරෙන අවස්ථාවක එක් ජනාධිපති අපේක්ෂකයෙකුගේ ගෙදර සිටීමම බරපතල අපචාරයකි. අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය කෙලසීම සම්බන්ධයෙන් ඔහුව හිර භාරයට ගැනීමට, අරලියගහ මන්දිරයේ එදා රෑ සිටීමම සෑහේ.
එයින් පසු මේ පුද්ගලයා හැසිරුණේ කෙසේද?
සංසන්දනයක් වශයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩු කබ්රාල්ගේ ඉල්ලා අස්වීම ගන්න. එය, සාමාන්‍ය රාජ්‍ය සංස්ථාවක සභාපති ධුරයකින් හෝ ආණ්ඩුවේ වෙනත් තනතුරකින් කෙනෙකු ඉල්ලා අස්වීම වැනි කාරණයක් නොවේ. ආණ්ඩු වෙනසක් සමග මහ බැංකු අධිපතිවරයා ද වෙනස් විය යුතු බවට කිසි නීතියක් හෝ සම්ප්රදායක් තිබී නැත. හේතුව, මහ බැංකු අධිපති ධූරය යනු දේශපාලනික ධූරයක් නොවන බැවිනි. එහෙත් තමන් හෙබවූයේ දේශපාලනික පත්වීමක් බවත්, එම තනතුර තුළ තමන් හැම විටම ක්‍රියා කෙළේ දේශපාලනිකව බවත් අජිත් නිවාඞ් කබ්රාල් දැන සිටියේය. පවතින පාලනය වෙනස් වීම නිසා, ඉතිහාසයේ පළමු වතාවට, රටේ මහ බැංකු අධිපතිවරයාටත් ඉල්ලා අස්වීමට සිදුවූණේ එබැවිනි.
මහ බැංකුවක් දේශපාලනීකරණය වීමට වඩා රටක නීතියක් සහ අධිකරණයක් දේශපාලනීකරණය වීම අත්‍යන්තයෙන්ම බරපතල ය. පළමු තත්වය යටතේ ඇති විය හැකි ප්‍රතිවිපාක හැම විටකම රුපියල් සතවලින් මිණිය හැකිය. එහෙත්, නීතිය සහ අධිකරණයක් වල් වැදීම, රුපියල් සතවලින් මිණිය නොහේ. මන්ද යත්, එය ප්රජාතන්ත්රීය ශිෂ්ටත්වය පිළිබඳ ප්‍රශ්නයක් වන බැවිනි. මොහාන් පීරිස් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළ හැම පැයක් ගානේ ඔහු පරදුවට තැබූයේ මේ රටේ ප්රජාතන්ත්රීය ශිෂ්ඨත්වයයි. එසේ කළ හැක්කේ අශිෂ්ඨයෙකුටම පමණි.
එය තේරුම් ගැනීමට පසු ගිය සතියේ ඔහුගේ ක්‍රියාකලාපය සළකා බලමු. මුලින්ම, තමන් ඉල්ලා අස්වීමට නම්, ඇමරිකාවේ ලංකා තානාපති ධූරය තමන්ට පිරිනැමිය යුතු යැයි ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
දැන්, ප්‍රාණඇපකරුවන් ග්‍රහණයේ තබාගන්නා අපරාධකරුවෙකු ගැන සිතින් මවාගන්න. අදාළ ප්‍රාණඇපකරුවන්ගේ ජීවිත බේරා දීමට නම්, තමන්ට අහවල් දේ අවශ්‍ය යැයි එවැනි අපරාධකරුවෝ ඉල්ලා සිටිති. ඇතැම් අය, තමන් ඉල්ලා සිටින දෙයට අමතරව, තම දිවි ගලවාගෙන අදාළ ස්ථානයෙන් බේරී පළා යාම සඳහා ගුවන් යානයක් පවා ඉල්ලති. දැන්, තානාපති තනතුරක් දෙන්නේ නම් අගවිනිසුරු ධූරය අතහැරීමට සූදානම් යැයිි මොහාන් පීරිස් කියන විට, එය ඉහත කී ප්‍රාණඇපකරුවන් ග්‍රහණයට ගත් අපරාධකරුවාගේ භූමිකාවට වෙනස් නැති බව නොපෙනේද?
මොහාන් පීරිස්ට තිබුණේ තේරීම් දෙකක් පමණි. එකක්, ඉල්ලා අස්වීම ය. දෙවැන්න, ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කිරීම ය. ඉන් එක තේරීමකටවත් කොන්දේසි තිබිය නොහැක. ඉල්ලා අස් නොවන්නේ නම් එසේ විය යුත්තේ, ඉල්ලා අස්වීම නීතියෙන්වත්, සදාචාරයෙන්වත් තමන්ට බල කරනු නොලබන දෙයක් නම් ය. එවිට, තමන් නිවැරදි ය යන ප්‍රතිපත්තිය යටතේ කෙනෙකුට ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළ හැකිය. එහෙත්, ඉල්ලා අස්වීමට එකඟ වී එය යම් පෞද්ගලික ප්‍රතිලාභයක් සමග ගැටගසන විට සිදුවන්නේ, ධූරයේ රැඳී සිටීම සඳහා තමන්ට පාවිච්චි කළ හැකිව තිබූ නීතිමය, සදාචාරමය සහ ආචාර ධාර්මික තර්කය ස්වකැමැත්තෙන් අතහැරීමත්, ඒ සමගම ඒ ඉල්ලා අස්වීම තමන්ගේ ප්රතිලාභයක වටිනාකමකට හිලව් කිරීමත් ය. තවත් විදිහකින් කිවහොත්, මේ අගවිනිසුරා එම ධූරයේ රැුඳී සිටි කාලයේදීත් මෙවැනිම ආකාරයෙන් පෞද්ගලික ප්රතිලාභ සමග නීතියේ රාජකාරි හිලව් කරන්නට ඇති බව අපට නොකියා කීවේය.
ඊළඟට, ඉහත කී ප්‍රාණඇපකරුවන්ගේ ජීවිත පරදුවට තැබූ අපරාධකරුවාට වඩා මොහාන් පීරිස් අධම ගණයේ දේවදත්තයෙකු වන බවත් දත යුතුය. ප්‍රාණඇපකාර අපරාධකරුවා ඔට්ටුවට ගන්නේ ජීවිත කිහිපයකි. මොහාන් පීරිස් ඔට්ටුවට ගත්තේ මුළු රටක්ම ය. ඒ රටේ වටිනාකම, ඔහුට අනුව, තානාපති තනතුරකි/ මීටත් වඩා තුච්ඡු අපරාධකරුවෙකු තවත් සිටිය හැකිද?
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda