ගිය සතියේ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට මා ලියූ ලිපියකට ශ‍්‍රී ලංකාවේ අධිකරණ නියෝජ්‍ය ඇමතිවරයා ප‍්‍රතිචාර දක්වා තිබුණි. ඇමරිකානු පුරවැසියෙකු වන ශ‍්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමට ඇමරිකාවට ඇති හැකියාව ගැනත්, එසේ නඩු පැවරිය යුත්තේ මන්ද යන්න ගැනත් මගේ ලිපියෙන් සාකච්ඡා කොට තිබුණි. ඇමරිකාව විසින් රාජපක්ෂට එරෙහිව එසේ නඩු පැවරීමෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාව ආරක්ෂා කර ගැනීමට තමන් කටයුතු කරන බව වර්තමාන අධිකරණ නියෝජ්‍ය ඇමතිවරයා කියා තිබුණි. මගේ මේ ප‍්‍රතිචාරය ඒ ප‍්‍රකාශය ගැනයි.
රජයට අයත් ‘ඬේලි නිව්ස්’ පුවත්පත නියෝජ්‍ය ඇමතිවරයාගේ ප‍්‍රකාශය වාර්තා කර තිබූ ආකාරයට එය පහත සඳහන් පරිදි වෙයි:
‘‘ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකු වන නිසා, 1996 දී ඇමරිකාව සම්මත කරගත් යුද අපරාධ ආඥාපනත ප‍්‍රකාරව ඔහුට එරෙහිව එම රටේ නඩු පැවරිය හැකි බව සැබෑ ය. එහෙත් ලංකාවේ අධිකරණ බල සීමාව තුළ එසේ කළ නොහැකිය’’ යනුවෙන් ඔහු පැහැදිළි කොට තිබුණි.
‘‘අපේ අධිකරණ බල සීමාව තුළ වෙනත් රටකට තමන් රිසි සේ කටයුතු කිරීමට හැකියාවක් නැත. ශ‍්‍රී ලංකාවේ අධිකරණ බල සීමාව තුළ සිටින තාක් කල් ගෝඨාභය රාජපක්ෂ සුරක්ෂිත ය.’’ යනුවෙන් නියෝජ්‍ය ඇමති සේනසිංහ මහතා තවදුරටත් කරුණු පැහැදිළි කොට ඇත. මීට අදාළව දැනටමත් ශ‍්‍රී ලංකාවේ සිදු වී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කෙරී ඇති තත්වය තුළ, අළුත් ආණ්ඩුව ඒ ගැන දරණ ස්ථාවරය කුමක්දැයි අසන ලදුව, ඔහු මෙසේ කීය: ‘‘අපේ ස්ථාවරය ඉතා පැහැදිළියි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද ආධාර ඇතුව අපි අපේම වන දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.’’
පවතින නීතිය යටතේ ගත් කල, ගෝඨාභය රාජපක්ෂ ශ‍්‍රී ලංකාවේ රැඳී සිටින්නේ නම්, ඇමරිකාව මගින් ඔහුට එරෙහිව යුද අපරාධ ගැන නඩු පැවරීමෙන් ඔහුව ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් ලංකාවේ ආණ්ඩුවට ඇති බව සැබෑව. එහෙත් ඒ එක කොන්දේසියක් යටතේ ය: එනම්, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ඔහුට එරෙහිව නඩු පවරන්නේ නම් ය.
ඇමරිකාව සහ ශ‍්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින ‘ප‍්‍රත්‍යාහරණ ගිවිසුමක්’ (චූදිතයෙකු හෝ වරදකරුවෙකු රටකින් තවත් රටකට භාර දීමට දෙරටක් එකඟ වී ඇති ගිවිසුමක්) ඇත්තේය. එම ගිවිසුමේ පළමු වැනි වගන්තිය අනුව, ‘‘ප‍්‍රත්‍යාහරණ අපරාධයක් සම්බන්ධයෙන් නඩු පැවරීමට හෝ දඬුවම් ලබා දීමට ඇමරිකාවට අවශ්‍ය කරන පුද්ගලයෙකු එම රටට භාර දීමට’’ ශ‍්‍රී ලංකාව බැඳී සිටින්නේය. ඒ අනුව, ‘‘අපේ අධිකරණ බල සීමාව තුළ වෙනත් රටකට තමන් රිසි සේ කටයුතු කිරීමට හැකියාවක් නැති’’ බවට ශ‍්‍රී ලංකාවේ නියෝජ්‍ය ඇමතිවරයා කරන ප‍්‍රකාශය සැබෑවක් මුත්, මෙවැනි අපරාධවලට සම්බන්ධ සැකකරුවන් කෙරෙහි කටයුතු කිරීමට ඇමරිකාවට බලයක් ඇති බව ශ‍්‍රී ලංකාව දැනටමත් පිළිගෙන තිබෙන බවත් සැබෑවකි.
අප කතා කරන සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාව ඇමරිකාවට භාර දීමට හැකියාවක් පවතින බව නියෝජ්‍ය ඇමතිවරයා පිළිගන්නවා ඇති. ගෝඨාභය රාජපක්ෂ මහතා ‘‘ශ‍්‍රී ලංකාවේ අධිකරණ බල සීමාව තුළ සිටින තාක් කල් ඔහු සුරක්ෂිත වන්නේය’’ යනුවෙන් නියෝජ්‍ය ඇමතිවරයා කියන විටම එයින් ගම්‍ය වන්නේ, ඇමරිකාව සමග ‘ප‍්‍රත්‍යාහරණ ගිවිසුමකට’ එළඹ ඇති වෙනත් රටකට යාම පවා ගෝඨාභය රාජපක්ෂ මහතාට අවදානම් සහගත වන බව ඔහු පිළිගන්නා බවයි. මේ නීතියට අදාළ කරුණු අනුව සළකන්නේ නම්, ගෝඨාභය රාජපක්ෂ මහතාට සති අන්තයකට වුව- යම් සම්මන්ත‍්‍රණයක් හෝ දරුවෙකුගේ උපාධි ප‍්‍රදානෝත්සවකයක් සඳහා ලන්ඩන් නුවරට යාමත් ඇඟට ගුණ නැත. සමහර විට, ඔහු නොදැනුවත්වම, ඔහුව තමන්ගේ රටට භාර දෙන ලෙස ඇමරිකාව විසින් ඉල්ලා මුද්‍රා තැබූ වරෙන්තුවක් බි‍්‍රතාන්‍ය බලධාරීන්ගේ අතේ තිබෙන්නට පුලූවන. බි‍්‍රතාන්‍ය සහ ඇමරිකාව අතර අත්සන් තබා ඇති ‘ප‍්‍රත්‍යාහරණ ගිවිසුම’ ප‍්‍රකාරව, එහිදී බි‍්‍රතාන්‍ය බලධාරීහූ ඔහුව ඇමරිකාවට භාර දීමට බැඳී සිටිති.
කෙසේ වෙතත්, යම් පුද්ගලයෙකු වෙනත් රටකට භාර දීමේ වගකීමෙන් ‘ගැලවීමේ’ එක් නීතිමය මගක් තිබේ.
ශ‍්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අත්සන් කොට ඇති ද්වි-පාර්ශ්වීය ප‍්‍රත්‍යාහරණ ගිවිසුම මගින් යමෙකු ‘ද්විත්ව උපද්‍රවයට’ පත්කිරීමේ අවස්ථා බැහැර කෙරේ. එනම්, එකම පුද්ගලයෙකුට එකම අපරාධයකට දෙවරක් නඩු පැවරීමෙන් වැළැකිය යුතු බවයි. එම ගිවිසුමේ 5 වැනි වගන්තියට අනුව, අදාළ පුද්ගලයා ඔහුගේ රටේ දැනටමත් අදාළ වරද සම්බන්ධයෙන් නඩු පවරනු ලැබ, ‘වරදකරු වී හෝ නිදහස් වී හෝ ඇත්නම්’ එම පුද්ගලයාව දෙවැනි රටකට භාර දීමට ඔහුගේ රට බැඳී නැත. එහෙත් ඒ සඳහා පරිපූර්ණ වූත්, විශ්වසනීය වූත් දේශීය නඩු විභාගයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය වන්නේය. ඉහත කී 5 වැනි වගන්තියම තවදුරටත් පැහැදිළි කරන පරිදි, ‘දේශීය බලධාරීන් අදාළ පුද්ගලයාට එරෙහිව නඩු නොපවරන්නේ නම් හෝ ඔහුට එරෙහිව ආරම්භ කෙරුණු නඩු ක‍්‍රියාවලියක් අතරමග නතර කරන්නේ නම්, ඔහුව දෙවැනි රටට භාර නොදී සිටීමේ අයිතියක් පළමු රටට නොලැබෙන්නේය. එයින් අදහස් වන්නේ ශ‍්‍රී ලංකාව අවසානයක් දක්වා එම නඩුව ගෙන යා යුතු බවයි.
කෙටියෙන් කිවහොත්, ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ශ‍්‍රී ලංකා ආණ්ඩුව නඩු පවරන්නේ නම්, ඇමරිකාවට ඔහුව භාර දීමෙන් ආරක්ෂා කරගත හැකි වන්නේය. එසේම, රටේ ස්වායත්ත භාවය ද බොහෝ දුරට ආරක්ෂා කරගත හැකි වන්නේය. එහෙත් ශ‍්‍රී ලංකාවේ බලධාරීන් එසේ ක‍්‍රියා නොකරන්නේ නම්, යම් අවස්ථාවකදී වෙනත් පාර්ශ්වයක්- උදාහරණයක් වශයෙන් ඇමරිකාව- තමන්ගේ රටේ ද පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක විය හැකිය. මා ලියූ ඉහත කී ලිපියේදී සාකච්ඡා කළ පරිදි, මෙවැනි ක‍්‍රියාමාර්ගයක් පිළිබඳ තමන්ගේ අදහසක් ඇති බව ඔබාමා පරිපාලනය විසින් ලංකාවේ බලධාරීන්ට අඟවනු ලැබුවහොත්, ඊට අදාළ නීතිමය පියවර තමන් විසින්ම ගැනීමට ශ‍්‍රී ලංකාවේ බලධාරීන්ව යොමු කළ හැකි වන්නේය. ශ‍්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මෑතකදී කර ඇති ප‍්‍රකාශ දෙස බලන විට, තමන්ගේම වන එවැනි විභාගයක් සඳහා අවශ්‍ය කරන ප‍්‍රමාණවත් දේශපාලනික පරිසරයක් ඇති බව ඔවුන් සැබවින්ම විශ්වාස කරන බවක් පෙනෙන්ට තිබේ. නව විදේශ ඇමතිවරයාත්, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ එදා සිටි ප‍්‍රකාශක සහ වර්තමාන කැබිනට් ප‍්‍රකාශක සහ සෞඛ්‍ය ඇමතිවරයාත් කර ඇති ප‍්‍රකාශයන්ගෙන් ඒ බව මනාව පැහැදිළි වෙයි. මේ අයවළුන් කරන ලද එම ප‍්‍රකාශ ආණ්ඩුවේ ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිපත්ති වශයෙන් ක‍්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය සංවාදයට දායක වීමේ හැකියාව ඇමරිකාවට ඇත.
මහාචාර්ය රයන් ගුඞ්මාන්
*2015 ජනවාරි 30 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Way to Prosecute US Citizen Gatabhaya නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි